අවසන් සටනෙනුත් ඔස්ට්‍රේලියාවට ජය

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (04දා) නිමාව දුටු පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක...

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (04දා) නිමාව දුටු පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ජයග්‍රහණයත් සමග එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 196ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියනු පිතිකරුවෝ තරගයේ 43 වැනි පන්දුවාරයේදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වූහ.

නායක ඩේවිඩ් වෝනර්ගේ හා ජෝර්ජ් බේලිගේ ඉවසිලිවන්ත පිතිකරණය හමුවේ යළිත් වරක් අසාර්ථකවීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට මෙම තරගයේද සිදුවූ අතර, ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී ශතකයක් රැස්කළ පළමු ඔස්ට්‍රේලියානු පිතිකරුවා බවට පත්වෙමින් ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් විය. මීට පෙර 1992 වසරේදී හිටපු ඔස්ට්‍රේලියානු නායක මාක් ටේලර් (94) ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලැබූ ඔස්ට්‍රේලියානුවා බවට පත්ව සිටියේය.

 
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 196ක පහසු ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවන්ට එය ළඟා කරගැනීම පහසු නොකළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 5.5කදී ලකුණු 25ක් පමණක් ලබාදී ඔස්ට්‍රේලියානු ඉදිරිපෙළ කඩුලු 02ක් දවාගනිමින් ඔස්ට්‍රේලියාව අසීරු අඩියකට ඇඳ දැමුවේය. එහිදී මැතිව් වේඩ් (03) හා උස්මාන් කවජා (06) දවා ගැනීමට ඩිල්රුවන්ගේ දඟපන්දුවට හැකිවිය.

එහෙත් උපමහාද්වීපික තණ තීරුවල සිය අත්දැකීම් මනාව උපයෝගී කරගත් ජෝර්ජ් බේලි හා නායක ඩේවිඩ් වෝනර් තෙවැනි කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් පවත්වමින් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය ඉක්මන් කළහ. මෙහිදී ජෝර්ජ් බේලි ලකුණු 44ක් ලබා සිටියදී, ඩිල්රුවන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර, පසුව බේලි එම දැවීයාම තෙවැනි විනිසුරුගෙන් විමසා සිටියද, එය දැවී යාමක් ලෙස තෙවැනි විනිසුරුද සනිටුහන් කළේය.

නායක ඩේවිඩ් වෝනර් ලකුණු 106ක් ලැබූ අතර, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. එම ශතකයකත් සමග වෝනර්ගේ පෞද්ගලික එක්දින ශතක සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගියේය. ඉනිම අවසාන වනවිට ජේම්ස් ෆෝක්නර් හා ජෝන් හැස්ටින්ග්ස් ලකුණු 08 බැගින් ලබාගෙන ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා මෙහෙයවූහ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40.2කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 195ක් පමණි.

 
 
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 04ක් සමගින් අවතීර්ණ වූ අතර, ඒ අනුව ධනංජය ද සිල්වා සමගින් ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කළහ. පසුගිය තරග කිහිපයේ අසාර්ථකවූ ආරම්භ පිතිකරු යුගලයට සැනිසිලිදායක ආරම්භයක් ලබාදීමට ඔවුහු සමත් වූහ. ධනුෂ්ක හා ධනංජය පන්දුවාර 13.5 කදී අගනා ලකුණු 73ක සබඳතාවක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්කළ අතර, ෆෝල්ක්නර්ගේ පන්දුවක් හමුවේ ස්ටාක් අතට උඩපන්දුවක් ලබාදී ධනංජය දැවී යනවිට පන්දු 47කින් ලකුණු 34ක් ලබාගෙන තිබුණි.

ආරම්භක පිතිකරු යුගල සබඳතාවෙන් පසු ශ්‍රී ලංකා ඉනිම දෙසට පීඩනය වැඩිකළ ඔස්ට්‍රේලියානුවෝ දීර්ඝ ඉනිම් ගොඩනැගීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාව ලබා නොදුන්හ.

ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම ලකුණු 39කට නිමාකළ ඇඩම් සම්පා, ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ කළ අතර, පසුව ස්ටාක් නායක දිනේෂ් චන්දිමාල්ව එක් ලකුණකට දවා ගත්තේය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ පන්දුවාර 15.2කදී කඩුලු 03කට ලකුණු 78ක් වශයෙනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ක්‍රියාත්මක කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් උත්සාහ කළද, ඔහුගේ ඉනිමද ලකුණු 33කින් නවතාලන්නට ජෝන් හැස්ටින්ග්ස් සමත් විය.

 
අනතුරුව උපුල් තරංග (15), කුසල් ජනිත් පෙරේරා (14) හා දසුන් ශානක (13) දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නනන් සමත්වූ අතර, එම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව ඉක්මවා යාම අඩපණ කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසාන භාගය අන්තයක් රැකගනිමින් ඉනිම වර්ණවත් කළ සචිත් පතිරණ, පන්දු 38කදී හතරේ පහර 04ක් සමගින් ලකුණු 32ක් ලබාමින් ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් විය. ඒ හේතුවෙන් පන්දුවාර 40.2කදී ශ්‍රී ලංකාවට ලකුණු 195ක් දක්වා ඉදිරියට යාමට හැකිවිය.

ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළ මිචෙල් ස්ටාක් ලකුණු 40කට කඩුලු 03ක්ද, ඇඩම් සම්පා හා ට්‍රැවිස් හෙඩ් කඩුලු 02 බැගින්ද දවාළූහ.

මෙම තරගය සඳහා ආබාධයකට ලක්වූ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නායකත්වයේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරුණු අතර, ඉකුත් තරගයට ක්‍රීඩාකළ අවිෂ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා හා ඇන්ජලෝ පෙරේරා වෙනුවට දසුන් ශානක, උපුල් තරංග, සුරංග ලක්මාල් හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා තිබුණි.

තරගයේ වීරයා ලෙස නායක ඩේවිඩ් වෝනර් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ජෝර්ජ් බේලි සම්මාන දිනාගත්තේය. දෙරට අතර විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට (06දා) මෙම ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

 
 
ada.lk



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4109656711092798603

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item