ඩෙන්මාර්කය දෙමළ ඊළම් රාජ්‍යය පිලි ගැනීම සහ වර්තමාන දේශපාලන ගැන උදයගේ කියවීම

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල රටේ වර්තමාන දේශපාලන තත්වය සහ කාලීන මාතෘකා කිහපයක පිළිබඳව මෙස...


පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල රටේ වර්තමාන දේශපාලන තත්වය සහ කාලීන මාතෘකා කිහපයක පිළිබඳව මෙසේ සවිස්තරවත්මක අදහස් දක්වන ලදී.

ඩෙන්මාර්කයත් දෙමළ ඊළම් රාජ්‍යය පිලි ගනියි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය කිව්වා මාස හැටෙන් අළුත් රටක් කියලා. මතක තියා ගන්න රට අළුත් කරන්න නොවේ ජන වරම ඉල්ලුවේ. අළුත් රටක් හදන්නයි ජන වරම ඉල්ලුවේ. ඒ කියන්නේ ලෝක සිතියමට තවත් රටක් එකතුකරන්න. ජනතාවත් පෙල සැදී ගිහින් අලියාට කතිරය ගැහුව්වා. තවම මාස හැටෙන් ගත වුණේ මාස 13යි. මෙන්න ඒ අළුත් රට මතුවෙලා.මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම රටක් විදිහට මතුවේවා. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඒ ලැයිස්තුවේ තිබෙනවා දෙමළ ඊළම. මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවැත් වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා. තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ. ඒ රටේ ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ කලේ.

ස්වාධීන රටක් බිහි වීමේ දී භූමියක් තිබීමට වඩා වැදගත් වන්නේ වෙනත් රටවල් පිලි ගැනීමයි. පලස්තීනයට මෑතක් වන තුරු භූමියක් තිබුණේ නෑ. නමුත් ලෝකයේ බහුතර රටවල් පිලිගත් නිසා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය පාවා තිබෙනවා. තිබ්බතයටත් භූමියක් නැතත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් පිලි අරන් තිබෙනවා. අනිත් පැත්තෙන් තායිවානයට ශ්‍රී ලංකාවෙන් හරි අඩක පමණ භූමියක් ඇතත් ලෝකය තවම පිලි අරන් නෑ. මේ පසුබිම හේතුවෙන් දෙමළ ඊලාම් සටන පැරදුනු පසුව, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් හරහා දෙමළ ඊළාම් රාජ්‍යය දිනා ගැනීම සදහා 2010 දී දෙමළ බෙදුම්වාදින් වී රුද්‍රකුමාරන් අගමැති කරලා බිමක් නැති රාජ්‍යයක් බිහි කළා. ඔවුන් එය හඳුන්වන්නේ Transnational Government of Tamil Eelam හෙවත් ජාත්‍යන්තරව පැතිරුණු දෙමළ ඊලාම් ආණ්ඩුව ලෙසයි. ඔවුන් තමන්ව පිලි ගන්නා මෙන් ලෝකය පුරා රාජ්‍ය තාන්ත්‍රික සටනක් දියත් කරලා තිබෙන්නේ. මේ පිලිබඳ ශ්‍රී ලංකාණ්ඩුව නිවටව නිහඬව බලා සිටියොත් පිරබාහරන් බාලසිංහම් දෙපලට බැරි වුණු දේ සම්බන්දන් - විග්නේශ්වරන් දෙබෑයෝ කරාවි.

සමන් ගමගේ ට අත නොතබනු

දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සමන් ගමගේ පසුගිය වසර පුරා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියා. රහස් පොලීසියේ ඉන්නා සාහිත්‍ය සූරි ප්‍රබන්ධ කතාකරුවන් හෙලි කරන ලිපි රැසක් ලිව්වා. වසරකට අධික කාලයක් ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය පිලිබඳ බොරු චෝදනා නගමින් යුද හමුදා බුද්ධි නිලධාරින් රඳවා ගෙන සිටීම ලිව්වා. ඊට පස්සේ රවිරාජ් ඝාතනයට යැයි කියමින් නාවික බුද්ධි නිලධාරින් රඳවා ගැනීම ලිව්වා. තාජුඩීන් ඝාතනයක් පිලිබඳ කියමින් ගෝඨාභය කොටු කිරීමේ දුෂ්ට සැලැස්ම හෙලි කලා. ලසන්ත ඝාතනය පිලිබඳ අළුත්ම නාටකය ද හෙලි කළා. පූජිතගේ නීතිය නමන පොලීසිය යන්තම් අමුඩයක් ඇඳ ගෙන විලි වසා ගන්න කොට සමන් ඒක කඩලා නිරුවත පෙන්වනවා. සමන් ගමගේ සිටින තුරු තමන්ගේ බොරු නාටක කර ගෙන යෑමට බැරි බව දැන් රහස් පොලීසිය දන්නවා. ඒ නිසා සමන් ගමගේ දඩයම පටන් අරන් තිබෙනවා.

ලසන්ත ඝාතනය පිලිබඳ සමන් දන්නවා කියලා ඔහුට ප්‍රකාශයක් දෙන්න රහස් පොලීසියට එන්න කියලා. ඔහු කිසිම තොරතුරක් දන්නේ නෑ. රටම දන්නා තොරතුරු විග්‍රහ කිරීම පමණයි ඔහු කලේ.නොගියාම ඔහුට උසාවියේ පෙනී සිටින්න කියා නියෝගයක් අරගෙන. මේ ලිපි මාලාව පිලිබඳ දැනටමත් දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතාගෙන් ප්‍රකාශයක් අරගෙන. ලබන බදාදා සමන්ට රහස් පොලීසියට එන්න කියලා. රහස් පොලීසියත් හරියට නලපාන ජාතකයේ තිබෙන විල වගේ. සමහරුන්ගේ ගිය පා සටහන් මිස යලි ආ පා සටහන් නම් නෑ.

ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කරන්නේ ඉතාම වෘත්තීය ක්‍රමයකට. මාධ්‍ය ආයතන ගිනි තබන්නේ නෑ. පැහැර ගෙන යන්නේ නෑ. සීල් තබන්නෙත් නෑ. ඒ වෙනුවට පොලීසිය, නීතිපති රේගුව වැනි ආයතන භාවිතා කරලා තමයි විරුද්ධවාදින් මර්දනය කරන්නේ.

මේක මාධ්‍ය නිදහස පිලිබඳ ප්‍රශ්නයක්. වෙනදා නම් මාධ්‍ය පිළිබද පුංචි ප්‍රශ්නයකදී උනත් ලොකුවට කෑ කොස්සන් ගහන සංවිධාන බලවේග අද නිහඩයි. රාජපක්ෂ ආණ්ඩුව පෙරලලා අවසන් නිසා බටහිර තානාපති කාර්යාල දැන් මාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ නෑ. රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍ය නිදහස පිලිබඳ කතා කරන්නේ නෑ. ඒ නිසා මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍යවේදින් පෙනී සිටිය යුතු කාලය ඇවිල්ලා.

ජර්මනියේ නාසි මර්දනය පිලිබඳ මාටින් නියොමොලර් පියතුමාගේ ලෝක පූජිත කවිය මම නැවතත් සිහිපත් කරනවා.

ඔවුන්ම පලමුව සොයා ආවේ සමාජවාදින්ය. මම සමාජවාදියෙකු නොවන නිසා නිහඬව සිටියෙමි.

ඔවුන් ඊ ලඟට සොයා ආවේ වෘත්ති සමිතිකරුවන්ය. මා වෘත්තිය සමිතිකරුවෙකු නොවන නිසා නිහඬව සිටියෙමි.

ඔවුන් ඊ ලඟට සොයා ආවේ යුදෙව්වන්ය. මා යුදෙව්වෙකු ද නොවන නිසා නිහඬව සිටියෙමි.

අවසානයේ දී ඔව්හු මා සොයා ආහ. නමුත් එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.

අද සමන් හෙට ඔබ වෙන්න පුළුවන්.ඒ නිසා මේ මොහොතේ සමන් ගමගේ වෙනුවෙන් හඬ නගනවා කියන්නේ ඔබේ ලිවීමේ කියවීමේ නිදහස ඔබේ ජීවිතාරක්ෂාව සලසාගැනීමයි කියන එක මාධ්‍ය වේදී මිතුරන්ට අප සිහිපත් කරනන්නට කැමතියි. 

උදයත් සරණ වගේ හදන්නම බෑ.

මා ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියලා තිබෙනවා “හිරේ දාලත් මුගේ කට නම් අඩු වෙලා නෑ කියලා. මමත් කියනවා හිරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්. අපි යකාට බය නැති හින්ද තමයි සොහොනෙ ගෙවල් හදාගෙන ඉන්නේ. මමත් හරියට සිදූ කතාවේ ඉන්න සරණ පූසා වගේ. මමත් හදන්නම බෑ තමයි. මගේ පාසල් සමයේ මගේ ආදරණීය විදුහල්පති ආර් අයි ටී අලස් මැතිතුමා ඒ දවස්වල හිනා වෙවි කියනවා ගමන් කරන පිල හදන්නම බෑ කියලා. එතුමාගේ ගෝලයින් වන අගමැතිතුමා සභානායකතුමා එජාප සභාපතිතුමා ඒ පාඩම එතුමාගෙන් ඉගෙන ගෙන නෑ වගේ.

2020 සිට වසර පහක් ශ්‍රිලනිප - එජාප සංධානයක් 

අගෝස්තු 12 දා මාතර පැවැති හවුල් ආණ්ඩුවේ පලමු සංවත්සර රැස්වීමේ දී ජනාධිපතිතුමා කිව්වා කවුරු විරුද්ධ වුණත් තවත් වසර 5ක් ශ්‍රිලනිප - එජාප හවුල් ආණ්ඩුව රට පාලනය කරනවා කියලා. පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර 5යි. දැනටමත් එකක් ඉවරයි. ඉතින් කොහොමද තවත් අවුරුදු පහක් හවුල් ආණ්ඩු කරන්නේ. මම මේ ගැන සැප්තැම්බර් 08දා පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමාගෙන් ප්‍රශ්න කළා. එතුමා කියනවා “ජනාධිපතිතුමා ඒ ප්‍රකාශයෙන් අදහස් කලේ 2020 දීත් හවුල් ආණ්ඩුවක් හදලා තවත් වසර පහක් රට පාලනය කරනවා කියන එකයි කියලා. ඒ කතාව ඇහුනාම මට නම් දුක හිතුනේ මා මිත්‍ර ඩිලාන් පෙරේරා සහ මහින්ද අමරවීර ඇමති දෙපල ගැනයි.

හවුල් ආණ්ඩු ගිවිසුම වසර දෙකකට අත්සන් කලාට පස්සේ මේ දෙන්නා තොරතෝංචියක් නැතුව කියන්න ගත්තා වසර දෙකකින් ශ්‍රිලනිප ආණ්ඩුවක් හදනවා කියලා. මේ අය මේ මන්තරේ ජප කරන අතරේ ජනාධිපතිතුමා මේ අයටත් හොරෙන් වසර දෙක වසර පහක් කළා. ඒක මේ අය දැන ගත්තෙත් පත්තරෙන්. ඊට පස්සේ ලැජ්ජාව හංඟා ගෙන වසර පහකට පස්සේ ශ්‍රිලනිප ආණ්ඩුවක් හදනවා කියලා තොරතෝංචියක් නැතුව කියන්න ගත්තා. නැවත වතාවක් මේ අයට හොරෙන් ජනපති අගමැති ජෝඩුව එකතු වෙලා දීගය 2020 සිට වසර පහකට දිගු කරලා. දැන් මොකද මා මිත්‍ර ඩිලාන් ඇමතිතුමා කියන්නේ? දැන් ශ්‍රිලනිප ආණ්ඩුව හදන්නේ 2025 දී ද? එතකොට ශ්‍රිලනිප ආණ්ඩුවක් හදන්න රටක් ඉතුරු වෙලා තිබේවි ද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4462727207582693336

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item