රේගු නිලධාරියා පඹයෙක් කරලා

රේගු ආඥා පනත අහෝසි කර අලුතින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත මගින් රේගු නිලධාරියා 'පඹයෙකු' බවට පත් කර ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය...

රේගු ආඥා පනත අහෝසි කර අලුතින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත මගින් රේගු නිලධාරියා 'පඹයෙකු' බවට පත් කර ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

මෙම සංශෝධන පිළිබඳව තම සංගමය සමඟ විවෘත සංවාදයකට එන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ ඒ ගුණතිලක, මුදල් ඇමතිවරයාට අභියෝග කළේය.

'දැනට භාවිත වන රේගු ආඥා පනත කියන්නේ වසර 150ක කාලයක් තිස්සේ කටයුතු කළ රේගු නිලධාරීන්ගේ අත්දැකීම්වල සම්පිණ්ඩනයක්. මේ ආඥා පනත සහ නව යෝජනාවලිය එකට තිබ්බොත් මේ අලුතින් හදල තියෙන එක නිකම්ම නිකං කඩමල්ලක්. රේගු නිලධාරියා තනිකරම පඹයෙක් බවට පත් කරලා.' බීබීසී'ය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසීය.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මුදල් ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

රේගුව තුළ සිදුවන වංචා සහ දූෂණවලට වැට බැඳෙන බැවින් මෙම නව පනතට රේගු නිලධාරීන් එරෙහි වී ඇති බවට නැගෙන චෝදනා පිළිබඳව බීබීසීය විමසූ විට සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම්වරයා කියා සිටියේ, මෙහි යටි අරමුණ වී ඇත්තේ ජාවාරම්කරුවන්ට සහන සැලසීම බවයි.

'මේ කරන්නේ නංගි පෙන්නලා අක්ක දෙන වැඩේ. ජනතාවට කියන්නේ රේගු නිලධාරීන් හොරකම් කරන නිසා මේක ගේනවා කියල. ඒක අමූලික බොරුවක්. ඒක නැති කරන්න නම් මුදල් ඇමතිවරයා මේ එන්නේ අපි අත් දෙකම උස්සනවා. ඒත් ඒකට නෙමෙයි මේ එන්නේ.' සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ ඒ ගුණතිලකමහතා පැවසීය.

කෙසේ නමුත් ඇතැම් රේගු නිලධාරීන් ද අක්‍රමිකතාවල යෙදෙන බව පිළිගත් ලේකම්වරයා කියා සිටියේ දේශපාලකයන් ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසා එය එසේ සිදු වන බවයි.

'මේක හැදෙන්න ඕන දේශපාලකයාගේ පටන්. ඔවුන් හොරකම් කරන තාක් නිලධාරීන් ගේ හොරකම් නවත්වන්න බැහැ.' ඔහු පැවසීය.

මේ අතර, දැනට පවතින රේගු පනත අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හා විනිවිද භාවයකින් තොරව ගෙනඒමට නියමිත රේගු පනත අහෝසි කරන ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් ශ්‍රී ලංකා රේගුවේ සේවකයින් පිරිසක් පසුගිය සඳුදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටී.

මේ හේතුවෙන් රේගුවට දෛනිකව විශාල පාඩුවක් සිදුව ඇති අතර වත්මන් තත්ත්වය හමුවේ විශ්‍රාම ගනු ලැබූ සේවකයින් නැවත කැඳවීමට තීරණය කර ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කියයි.

මේ අතර නව පනතට එරෙහිව ඊයේ (21) කොළඹ කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට රේගු සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක ද නිරත වූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3255830459424222237

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item