මිල සූත්‍රයත් ඖෂධ මාෆියාවේම කොටසක්‌!

ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලෙන් නොමිලේ ලැබෙන බෙහෙත්වල අගය දැනෙන්නේ ලෙඩක්‌ දුකක්‌ හැදී බෙහෙත් ගන්න ගිය විටදීය. මෙහි අගය වැඩිපුරම දැනෙන්නේ මධ්‍යම ප...

ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලෙන් නොමිලේ ලැබෙන බෙහෙත්වල අගය දැනෙන්නේ ලෙඩක්‌ දුකක්‌ හැදී බෙහෙත් ගන්න ගිය විටදීය. මෙහි අගය වැඩිපුරම දැනෙන්නේ මධ්‍යම පන්තියේ ජනතාවටය. දුප්පත් යෑයි සිතන පන්තියේ ජනතාව ලෙඩක්‌ දුකක්‌ හැදුණ විට කොහොමටත් යන්නේ රජයේ රෝහලකට බැවින් ඔවුනට ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලයේ සේවය අත්‍යවශ්‍යය. නමුත් මධ්‍යම පන්තියේ ජනතාව ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලයෙන් ලබාදෙන ඖෂධ භාවිත කිරීමටත් ඇතැම් අවස්‌ථාවලදී ඖෂධ අලෙවිසල්වලින් ඖෂධ මිලදී ගැනීමටත් හුරුව සිටිති.

ඒ අතර ඇතැම් රෝහල්හි වෛද්‍යවරුන් මෙම මධ්‍යම පන්තියේ ජනතාවගේ මූණ බලා ඖෂධ නියම කරන අවස්‌ථාත් ඇත. "මේ බෙහෙත රෝහලේ නැහැ.. පිටින් ගන්න... රෝහලේ තිබෙන බෙහෙත්වලට වඩා හොඳ බේතක්‌ ලියලා දෙන්නම් ඒක ගන්න.. "එසේ වෛද්‍යවරයා පැවසූ විට රෝගියා තුළ ඇති වන්නේ ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලයේ නොමිලයේ දෙන ඇතැම් ඖෂධ තත්ත්වයෙන් බාල ඒවා ලෙසිනි.

අප කවුරුත් ඖෂධ පාවිච්චි කරනුයේ මතුව ඇති රෝගය සුවපත් කර ගැනීමට හෝ පවතින රෝග තත්ත්වය පාලනය කර ගැනීමටය. කිසිවකුත් බෙහෙත් බීම සඳහා හටගත් අධික ආශාවක්‌ නිසා වෛද්‍යවරයෙක්‌ වෙත ගොස්‌ ඖෂධ ලබාගන්නේ නැත. කිසිවකුත් එසේ ඉල්ලා සිටිනවා නම් එම තැනැත්තා මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බවට අනුමාන කළ හැකිය. 

යම් රෝගයකට ලබාගත හැකි ඖෂධ වර්ග රැසක්‌ ඖෂධ වෙළෙඳපොළේ ඇත. උදාහරණයක්‌ ලෙස දියවැඩියා රෝගය පාලනය සඳහා ලබාදෙන මෙට්‌ෙµdමින් ඖෂධය වෙළෙඳ නාම 22 කින් පමණ වර්තමානයේ දේශීය ඖෂධ වෙළෙඳපොළේ අලෙවි කරනු ලබයි.


අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන ලොසාටන් නමැති ඖෂධය ද වෙළෙඳ නාම 23 කින් පමණ දේශීය ඖෂධ වෙළෙඳපොළේ අලෙවි කරනු ලබයි.

මෙම ඖෂධය අදාළ වෙළෙඳ නාමයන් අනුව මිල ගණන් ද විවිධ අගයන්හි පවතී.

බාල බඩුවල සිදුරක්‌ ඇතැයි කියා පවසන පැරණි කියමන නිසා බොහෝ දෙනා මිල අඩු ඖෂධ කෙරෙහි දක්‌වන්නේ ද අඩුq සැලකිල්ලකි. ඒ නිසා නිතරම යම් මධ්‍යස්‌ථ අගයක ඇති ඖෂධ මිලදී ගැනීමට ඔවුහු හුරුවී සිටිති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්දොa ජාතික ඖෂධ නියාමන කොමිසම ද 2016 සැප්තැම්බර් මස 23 වැනිදා එළිදැක්‌වූ ඖෂධ මිල සූත්‍රයේ උපරිම සිල්ලර මිල තීරණය කිරීම සඳහා පාදක කරගෙන ඇත්තේ වෙළෙඳපොළේ ඇති මිල අඩුම ඖෂධයේ සිට මිල වැඩිම ඖෂධය දක්‌වා වූ ඖෂධවල මධ්‍යයන අගයකි. 

ඒ සඳහා උදාහරණයක්‌ දක්‌වතොත් දියවැඩියා රෝගය සඳහා භාවිත කරන මෙට්ෆොමින් මිලිග්‍රෑම් 500 (500පට) ඖෂධයේ උපරිම සිල්ලර මිල ලෙස නියම කර ඇත්තේ රුපියල් 3.75 කි.

වෙළෙඳපොළේ ඇති මෙට්ෆොමින් ඖෂධ වර්ග 22 ක්‌ පිළිබඳව අවධානය යොමු කර එහි අවම මිල වන රුපියල් 1.75 සහ උපරිම මිල වන රුපියල් 10.00 අතර ඇති ඖෂධ මිල ගණන්වල මධ්‍යයන අගය වන රුපියල් 3.75 උපරිම සිල්ලර මිල ලෙස නියම කර ඇත.

මෙම මිල තීරණය කිරීම සඳහා අවධානය යොමු කර ඇත්තේ වෙළෙඳපොළේ දැනට සියයට දෙකකට (2%) වඩා වැඩි අලෙවියක්‌ සහිත ඖෂධ පමණි.

ඖෂධ මිල සූත්‍රය අනුව රෝගීන් බහුලව භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ 40 ත් 50 ත් අතර ප්‍රමාණයක්‌ සඳහා උපරිම සිල්ලර මිලක්‌ නියම වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වන්නේ ඊට අදාළ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමෙන් පසුය. එම ගැසට්‌ නිවේදනය ඉදිරි සති දෙක තුනක කාලයක්‌ ඇතුළත නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඖෂධ මිල සූත්‍රය හඳුන්වා දුන් 2016 සැප්තැම්බර් මස 23 වැනිදා මාධ්‍ය වෙත පැවසීය.

මෙම මිල සූත්‍රය එළිදැක්‌වූයේ ඖෂධ සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බවට ලොවට පළමුවරට ප්‍රකාශ කළ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අනුස්‌මරණ දිනයේදීය.

ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රතිපත්තියක්‌ අවශ බව මහාචාර්ය සේනක බිබිලේ මහතා යෝජනා කළේ 1971 වසරේදී බවත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට වසර 45 ක්‌ බලා සිටීමට සිදුවූ බවත් ඖෂධ මිල සූත්‍රය එළිදක්‌වමින් සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන කොමිසමේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා විසින් සකස්‌ කරනු ලැබූ මෙම ඖෂධ මිල සූත්‍රය සම්බන්ධව මේ වනවිට නොයෙකුත් විරෝධතා ඉදිරිපත් වන්නට පටන්ගෙන ඇත.

මේ සම්බන්ධව මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානය ද විරෝධය පළ කර සිටී.

අදාළ විරෝධය පෑමට හේතු ලෙස එම සංවිධානයේ ජාතික සංවිධායක සහ සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතා දැක්‌වූ අදහස්‌ මෙසේය.

ජාතික ඖෂධ නියාමන කොමිසම මගින් ඉදිරිපත් කර ඇති ඖෂධ මිල සූත්‍රය මගින් සිදු කර ඇත්තේ සාමාන්‍ය ජනතාව රවටා ඖෂධ සමාගම් සතුටු කිරීම පමණයි.

ඖෂධයක මිල තීරණය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක්‌ තිබෙනවා. නිෂ්පාදන පිරිවැය සහ ලාභය අනුව එය තීරණය විය යුතුයි. 2002 වසර දක්‌වා ඖෂධ මිල තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කළ සූත්‍රය වූයේ ආනයනය කරන ඖෂධවල මිල මෙන් සියයට එකසිය හැට පහක අනුපාතයකි. (100(165).

එය උදාහරණයකින් පැහැදිලි කළහොත් ආනයන කරන ඖෂධයක්‌ කොළඹ වරායට පැමිණෙද්aදී මිල සඳහන්ව ඇත්තේ රුපියල් සියයක්‌ නම් (රු. 100) එය දේශීය ඖෂධ වෙළෙඳපොළේ අලෙවි කළ හැක්‌කේ රුපියල් එකසිය හැට පහටය. (රු. 165).

මෙම මිල සූත්‍රයේ ද අඩුපාඩු පවතින බව සේනක බිබිලේ සංවිධානය ලෙසින් අප ආණ්‌ඩුව දැනුවත් කර තිබෙනවා. නමුත් වගකිවයුත්තන් එය අවධානයට යොමු කළේ නැහැ. 2002 වසරේ සිට මෙම මිල සුත්‍රය අහෝසි කිරීමට එවකට සිටි වෙළෙඳ ඇමැති වත්මන් ආණ්‌ඩුවේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා ක්‍රියා කළා. එදා සිට අපට ඖෂධ මිල පාලනයක්‌ නැහැ.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඉදිරිපත් කර ඇති මෙම ඖෂධ මිල සූත්‍රය ඔහුගේ හිතුමනාපයට සකස්‌ කළ එකක්‌. මෙය එම අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ පොදු මතය නෙමෙයි. 

මෙය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට පටහැනියි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව රජය මැදිහත්වී ඖෂධ ආනයනය කළ යුතුයි. ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය තොග පිටින් ආනයනය කර දේශීයව ඖෂධ නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දිය යුතුයි. ඖෂධ අලෙවිය සඳහා රජය පූර්ණ මැදිහත්වීමක්‌ සිදු කළ යුතුයි.

ඖෂධවල ප්‍රමිතිය ආරක්‍ෂා කිරීමට රජය මැදිහත් විය යුතුයි. අප පරිහරණය කරන ඖෂධ සම්බන්ධව සෞඛ්‍ය වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව දැනුවත් කළ යුතුයි. ඖෂධයක්‌ රෝගියකුට නිකුත් කළ යුත්තේ ඖෂධීය නාමයෙන් පමණයි.

ජාතික ඖෂධ නියාමක අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති ඖෂධ මිල සූත්‍රයට අනුව ඖෂධ සඳහා මිල පාලනයක්‌ ඇති වෙනවා නේද? ඉන් සාධාරණ මිලට ජනතාවට ඖෂධ මිලදී ගැනීමට පහසුකම් සැලසෙනවා කියා ඔබ පිළිගන්නේ නැතිද?

මේ මිල සූත්‍රය මගින් බැලූ බැල්මට මිල අඩුවීමක්‌ වෙන බව පෙනෙනවා. නමුත් සිදුවන්නේ පැවැති අඩුම මිලත් අවම සිල්ලර මිලට ඉහළ නැංවීමට ඖෂධ අලෙවිකරුවන්ට අවස්‌ථාව උදා කර තිබීමයි. ඒ සඳහා උදාහරණයක්‌ පවසන්නම්. මිල සූත්‍රය අනුව අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන ලොසාටන් මිලිග්‍රෑම් 50 ඖෂධයේ උපරිම සිල්ලර මිල රුපියල් 10.30 ක්‌ ලෙස නියම කර තිබෙනවා. මෙම ඖෂධය වෙළෙඳ නාම 23 කින් ලංකාවේ අලෙවි වනවා. ඒ අනුව රුපියල් 2.00 සිට රුපියල් 28.00 දක්‌වා මිල ගණන්වලට මෙම ඖෂධය අදාළ වෙළෙඳනාම යටතේ අලෙවි කරනවා.

දැන් මොකද වෙන්නේ රුපියල් 2.00 ට මිල නියමව ඇති ලොසාටන් පෙත්තත් රුපියල් 10.30 ක උපරිම සිල්ලර මිලට අලෙවි කරන්න පුළුවන්. නමුත් අපට පෙන්නලා තියෙන්නේ රුපියල් 28.00 ට අලෙවි වන ලොසාටන් පෙත්තක මිල රුපියල් 10.30 දක්‌වා අඩු කළා කියලයි.

මෙම මිල සූත්‍රය සෑදීමේදී දේශීය ඖෂධ වෙළෙඳපොළේa වැඩිපුරම අලෙවි වන්නේ කුමන මිල ගණන් යටතේ ඇති ඖෂධ ද කියා සොයා බලා නැහැ. එහෙම සමීක්‍ෂණයක්‌ කළා නම් වැඩිපුරම අලෙවි වන ඖෂධවලට සමගාමීව උපරිම සිල්ලර මිලක්‌ නියම කරන්න තිබුණා.

ජනතාව තුළ මතයක්‌ තිබෙනවා අඩු මිල ගණන් යටතේ ඇති ඖෂධවල ගුණාත්මක බව පවතින්නේ ද පහළ මට්‌ටමක බව. ඒ නිසා මෙලෙස මධ්‍යයන අගයකට පැමිණියා විය හැකි නොවේද?

ඖෂධයේ ගුණාත්මක බව තීරණය වන්නේ මිල අනුව නෙමෙයි. එය නිෂ්පාදනය කරන ආකාරය අනුවයි. මිලෙන් අඩු තත්ත්වයෙන් උසස්‌ ඖෂධ ඕනෑ තරම් නිපදවනවා. ඒවා දේශීය වෙළෙඳපොළේ ඕනෑතරම් තියෙනවා.

අපට ඖෂධ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක්‌ නැහැ. ලංකාවේ බහුලව ම භාවිත කරන ඖෂධ රැසක්‌ දේශීයව නිපදවීමේ හැකියාව අපට තිබෙනවා. ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මහා පරිමාණයෙන් නිපදවන්නේ චීනය සහ ඉන්දියාවයි. අපට එම රටවලින් අදාළ ඖෂධ අමුද්‍රව්‍ය ගෙන්වා ඉතා අඩු මිලට ඖෂධ නිෂ්පාදනය කළ හැකියි. ඒ සඳහා පිහිටු වූ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාවේ (SPMC) අපට බහුලවම අවශ්‍ය ඖෂධ වර්ග 65 ක්‌ පමණ නිපදවූවා. නමුත් දැන් නිපදවන්නේ ඖෂධ වර්ග 10 ක්‌ පමණ ප්‍රමාණයයි.

ඊට වගකිවයුත්තේ හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියයි. එක ආයතනයක්‌ව පැවැති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව (SPMC) සහ රාජ්‍ය ඖෂධ සංස්‌ථාව (SPC) ඇය විසින් 1999 වසරේ සිට ආයතන දෙකක්‌ බවට පත් කළා. SඡඵC එකෙන් නිපද වූ ඖෂධ SPC මිලදී ගෙන රජයේ රෝහල්වලට සහ රජයේ ඔසුසල්වලට අඩු මිලට ලබා දුන්නා.

නමුත් 1999 පටන් එය දෙකඩ වීම නිසා SPC ය. SPMC වෙතින් ඖෂධ මිලදී ගැනීමට වඩා පිටරටින් බාල ඖෂධ ගෙන්වා අලෙවි කරන්න පටන් ගත්තා. ඉන් ඔවුනට විශාල කොමිස්‌ මුදලක්‌ ලැබුණා. ඒ නිසා අඩු මිලට අලෙවි කරන ඖෂධ සම්බන්ධව ජනතාව තුළ වැරදි චිත්‍රයක්‌ මැවුණා. ඊට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ SPC හි බලධාරීන්.

SPC මගින් දියවැඩියා රෝගීන් ට ලබාදෙන මෙට්‌ෙµdමින් පෙත්තක්‌ ශත 90 ට නිපදවූවා පැරසිටමෝල් පෙත්තක්‌ ශත 70 ට නිපද වූවා. අධි රුධිර පීඩනයට දෙන ඇටනෝල් පෙත්තක්‌ රුපියල් 2.00 ට නිපදවූවා. මෙම ඖෂධ ගුණාත්මක බවින් ඉතා ඉහළ මට්‌ටමක පැවතියා.

පිළිගත් ඖෂධ නිෂ්පාදන සමාගමකට තමාට හිතු මතේ ඖෂධ නිපදවන්න බැහැ. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියක්‌ තිබෙනවා. ඒ සඳහා නීතිරීති පිළිපැදිය යුතුයි. එසේ නොවුණහොත් එම ඖෂධ නිෂ්පාදන ආයතන ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නැහැ. SPMC කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් ඖෂධ නිෂ්පාදන කරන රාජ්‍ය සංස්‌ථාවක්‌.

නව මිල සූත්‍රය මගින් අප රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවය වඩාත් ශක්‌තිමත් විය හැකියි නේද?

නිදහස්‌ සෞඛ්‍ය සේවය සඳහා කරුණු තුනක්‌ සම්පූර්ණ විය යුතුයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා රජය දරන වියදම. අරමුදල් මගින් දරන වියදම සහ එදිනෙදා ඖෂධ මිලදී ගැනීම සඳහා පෞද්ගලික මට්‌ටමින් දරන වියදම යන මෙම කරුණු තුන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකවලට අනුකූල විය යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක අනුව නිදහස්‌ සෞඛ්‍යය සඳහා රජය විසින් තම ආදායමින් 70% ආසන්න මුදලක්‌ සෞඛ්‍යය සඳහා වෙන් කළ යුතුයි. නමුත් අප රටේ රජය ඒ සඳහා වෙන් කරන්නේ 40% ප්‍රතිශතයකි. එදිනෙදා ඖෂධ මිලදී ගැනීම සඳහා පුද්ගලයෙක්‌ තම ආදායමින් වැය කළ යුත්තේ 30% අඩු ප්‍රතිශතයක්‌ බවය.s ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ. නමුත් අප රටේ ජනතාව තම ආදායමින් 50% පමණ ප්‍රතිශතයක්‌ එදිනෙදා ඖෂධ මිලදී ගැනීම සඳහා වැය කරනවා.

නිදහස්‌ සෞඛ්‍ය සේවය කියන්නේ කිසියම් රෝගයකදී ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආදායම ගැන නොසලකා කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය යන්නයි.

නමුත් දැන් අප රටේ ජනතාව රෝගී වුණාම ගේදොර උකස්‌ තියලා හෝ විකුණලා. ප්‍රතිකාර ගත යුතු තත්ත්වයට ඖෂධ මිල, සෞඛ්‍ය පරීක්‍ෂණ මිල ඉහළ ගොස්‌ තිබෙනවා. එය පාලනය කරන්න මේ ඉදිරිපත් කරලා තියෙන නව ඖෂධ මිල සූත්‍රයට බැහැ.

මේ කරලා තියෙන්නේ ගහ දන්නා මිනිහට කොළ කඩා පෑමක්‌ වගේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ කුඩා කොටසක්‌ ගෙන ජනතාව රැවටීමට උත්සාහ ගැනීමක්‌ පමණයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 8486453504912801036

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item