විග්නේශ්වරන්ලාගේ නැටුම් ගැන රජය නැවත සිතිය යුතුයි

මේ දිනවල උතුර සහ ජාතික සංහිඳියා වන ප්‍රධාන ජාතික ආගමික සහජීවනය පිළිබඳ මතවාද අර්බුද නිතර ඇසේ. මේ ඒ සම්බන්ධයෙන් ගැටඹේ රාජෝපවනාරාමාධිපති, රා...

මේ දිනවල උතුර සහ ජාතික සංහිඳියා වන ප්‍රධාන ජාතික ආගමික සහජීවනය පිළිබඳ මතවාද අර්බුද නිතර ඇසේ. මේ ඒ සම්බන්ධයෙන් ගැටඹේ රාජෝපවනාරාමාධිපති, රාමඤ්ඤ මහා නිකායේ චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්මවාගීස්වර, අතිපූජ්‍ය කැප්පෙටිගොඩ නායක හිමියන් සමග කළ අදහස් විමසුමකි.

Q ගතවූ දිනවල ඔබවහන්සේ ආන්දෝලනාත්මක පුවත් ප්‍රකාශ කළා. ඇයි එහෙම වුණේ?

ඉතිහාසයේ කවදාවත් නැති තරමටම බරපතළ සැකසංකා උපදවන විදිහට රට ජාතිය සමය පිළිබඳ අවිනිශ්චිත යුගයකට සිංහල බෞද්ධයන් ඇදදමන අර්බුදකාරී තත්ත්වයක් එදිනෙදා ඇහෙන දේවලින් අපට පෙනෙනවා. එදා රට පාලනය කළ නායක නායිකාවන් නියපොත්තෙන් කැඩිය හැකි තත්ත්වයේ තිබියදී එසේ නොකර යුද්ධය හොඳින් වර්ධනය වන තැනට පත්කර ගත්තා. රණවිරුවන්ට පිංසිඳුවන්න යුද්ධය ජය ගත්තා.

ඒ වුණාට ආයෙත් පාලකයන් යැයි කියන නායක නායිකාවන් ජාත්‍යන්තරයේ ලණු කමින් සිටින බව පෙනෙනවා. එහිදී හිටපු ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා, හමුදාව එකතු කරගෙන සටනට ගිය සරත් ෆොන්සේකා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ මෙහෙයුම පරිදි සටන්බිම ගතකළ රණවිරුවන්ගේ සේවය අපට අමතක නැහැ. එතැනදී සිවිල් වැසියන් තුළ තිබුණු හික්මීමත්, සංවරකමත් භික්ෂූන් වහන්සේලාගේ තිබුණු මගපෙන්වීමත්, ආශිර්වාදයත් නිසා අද රට නිදහස් රාජ්‍යයක් බවට පත්වෙලා. ඒත් ඒ අමාරුවෙන් දිනාගත්ත රට ආයෙත් ජාත්‍යන්තර බලවේග හෝ පටු දේශපාලන වාසි වෙනුවෙන් ගිජුවීමේ විපාකයෙන් නැති අර්බුද ඇති කරන තැනට පත්වෙලා.
Q ඇයි එහෙම වුණේ?


මම දකින්නෙ ආණ්ඩුව ඕනෑදේයි එපාදේයි පටලවා ගෙන ඉන්නෙ. නැති ප්‍රශ්න හදලා ජනතාවට කතා කරන්න මාතෘකා නිර්මාණ කරලා දීලා. ඒ අය තමන්ගෙ නොහැකියාව වහගන්න උත්සාහයක් තියෙනවා යයි ජනතාව පැත්තෙන්ද චෝදනා එල්ල වෙනවා.

Q එහෙම වුණත් රජය සංහිඳියාව වෙනුවෙන් විශාල වශයෙන් තීරණ ගන්න බව ප්‍රකාශ කරනවා?

සංහිඳියාව කියන එක ආණ්ඩුවකට නීතියෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මිනිසුන් තුළ ආකල්පමය වශයෙන් ඇති කළ යුතු වෙනසක්. ඒ සඳහා ජනතාවට දැනුම, පුහුණුව, අධ්‍යාපනය දෙන්න අවශ්‍යයි. ආගමික පසුබිම මගින් යහපත් ආධ්‍යාත්මයක් නිර්මාණය කර දිය යුතුයි. එහෙම නැතිව ජාතික සංහිඳියාව කියන වචනය විකුණා ගෙන කෑ පමණින් රටක සංහිඳියාව ඇතිවන්නේ නැහැ.

එහෙමනම් ගමේ ගොඩේ සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් අතර එදා තිබුණු විශ්වාසය ඇති කළ යුතුයි. ගමේ මේ ඇත්තන් එකට ජීවත්වන ආකාරය ගැන දේශපාලකයන්ට දැනුමක් නැහැ. ඒදා ගමට ආ මුස්ලිම් මිනිසාටත් දෙමළ මනුස්සයාටත් නවාතැන, බත්පත ලැබුණෙ සිංහල ගෙදරකින්. නැත්නම් ගමේ පන්සලෙන්. පසුකාලීනව මේ විරසකය ඇති කළේ බලයට පොරකන දේශපාලකයන්. ඒ අය හිතන්නෙ ජාතීන් ආගම් විරසක කරන තරමට, ඒ අය මරා ගන්නා තරමට, තමන්ගේ ඡන්ද ගොඩ ලොකුකර ගත හැකියි කියලා. එදත් වුණේ ඒ ටික. අද වෙමින් පවතින්නෙත් ඒ ටික.
Q එතකොට යහපාලන ආණ්ඩුව?

මට පේන විදිහට පවතින ආණ්ඩුවත් කිසිම ක්‍රමවේදයකට ප්‍රතිපත්තියකට අනුකූල නැති හිතුවක්කාර පාලන තන්ත්‍රයක් සඳහා එකතුවෙලා බලය තුළ ඒකරාශී වනවා කියන තැන ඉන්නවා. අනික මේක තවත් පැත්තකින් සාදාචාරත්මක නොවන ආණ්ඩුවක්.

Q ඒ කියන්නේ? 

දැන් බලන්න පාර්ලිමේන්තුවට එපා යැයි ජනතාව මනාප නොදුන්න හොරුන්, තක්කඩියන් ආපහු රිංගාව ගත්තා. එහෙම නම් හොරුන් එක්ක බැහැ කියලා පුරසාරම් දොඩවලා ඒ අය ඇතුළත් කරගෙන ආයෙත් හදපු ආණ්ඩුව නීති විරෝධී එකක් කියලා සමහරු හඳුන්වන එකත් ඇත්ත. හොරු නැතිව අලුත් මිනිස්සු එක්ක කරන්න බැරි තරමට නායකයන් බංකොළොත්වෙලා නම් කවදද, කොහොමද මේ රටින් දූෂණය, වංචාව තුරන් කරන්නේ?

Q අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවාලු. ඒත් ඔබවහන්සේගේ කතා විලාසය අනුව ඒකට විරුද්ධ හැඩයි පේන්නෙ?

ඇයි අලුත් එකක්. තියෙන එක හරියට පාවිච්ච් කළා නම් හරිනෙ. අනික් පැත්තට තියෙන එකේ ප්‍රතිපාදන හරියට පාවිච්චි කරන්නට මේ ඇත්තන්ට පුළුවන් වුණාද? මානව හිමිකම් ගැන කතාකරන ඇත්තන්ට තිබුණු ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසවත් 126 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උපරිම ප්‍රයෝජනය නැතිබැරි අහිංසක මිනිසුන්ට ඉක්මනින් වියදමකින් තොරව ළඟා කර දෙන්නවත් පුළුවන්කමක් තිබුණද? 18 ව්‍යවස්ථාව හොඳ නැත්නම් දැන් අලුත් ආණ්ඩුවේ 19න් හරි මානව හිමිකම්, පොලිස් කොමිසම් තියෙන රටේ රාජ්‍ය සේවකයන් තෘප්තිමත් දැයි හොයා බැලුවද? ජනතාවට කඩිනමින් යුක්තිය සාධාරණය ඒවායෙන් ඉටුවනවාද හොයල බැලුවාද? කොමිසම්වලට ලැබුණු මහජන පැමිණිලි අහස උසට ගොඩවෙලාලු. විභාග කරන්ට කාලය මදිලු. නිලධාරීන් නැහැලු. ඒත් ඒවායේ මහතැන්වලට දීමනා, වැටුප්, ප්‍රතිලාභ වැඩිකළා කියල කියනවා. කමක් නැහැ. දෙතුන් දෙනෙකුගේ වැටුප් වැඩි කරන ගමන් දසදහස් ගණනකගේ පැමිණිලි ටිකත් මාසෙන් දෙකෙන් විසඳන ක්‍රමයක් හැදුවා නම් නේද හොඳ? ඒදේ නොකර පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් වැඩක් නැහැ.

Q ඔබවහන්සේ බැහැ දැකීමට ආණ්ඩුවේ මැති අමැතිවරු එන්නෙ නැද්ද?

ජනාධිපතිතුමා අාවා. තවත් එක්කෙනෙක් දෙන්නෙක් ආවා. ඒත් ඒ අය පැරදිලා ඉන්නකොට වගේ දැන් එන්නෙ නැහැ. ආයෙ පැරදුනාම එයි.
Q ඔබවහන්සේ දේශපාලකයන්ට දොස් නගනවා. ඒ ඇයි?

අද ඇතැම් නායකයන් සංඝයා වහන්සේලා භේද කිරීමට කටයුතු කරන බව පේනවා. ඉංග්‍රීසි පාලකයොත් දැනසිටියා මේ රට විනාශ කර සුන්නද්දූලි කරන්න නම් පැවිදි පාර්ශ්වයත්, ගිහියන් අතරත් භේදයක් ඇති කළ යුතුයි කියන එක. ඒ වගේම භික්ෂූන් වහන්සේලා අතරත් භේදයක් මැවිය යුතු යැයි කියලා. අද වනවිට ඒ දේ රටේ පාලකයන්, නායකයන්, දේශපාලකයන් සිදුකරමින් ඉන්නවා කියන සැකයයි මට තියෙන්නෙ. මම එන අයට දොස් කියන්නෙ නැහැ. එන අයට ඒ වරද පෙන්වලා දෙනවා. ඒ අය එන්නෙ අපෙන් අවවාද අනුශාසනා ගන්න නම් ඇහුම්කන් දෙයි. අපිට උපදෙස් දෙන්න නම් ආයෙ නෑවිත් ඉඳියි. 

මේ රටේ සිංහල බෞද්ධ උරුමය ගැන කතා කරන ජාති හිතෛෂීන්, ජාතිවාදීන් හැටිය හංවඩු ගහනවා. ඔවුන්ට රාජ්‍ය නායකයන් තර්ජනය කරනවා. මාධ්‍ය බිය වද්දනවා. එහෙම වුණාට සංඝයා වහන්සේලා අතරත් නිකාය හෝ පක්ෂ වශයෙන් බෙදීමක් පවතින විට මේ පොදු සහජීවනය පිළිබඳ ඇතමුන් තුළ කුකුසක් පවතිනවා.මහා සංඝයා අමරපුර, රාමඤ්ඤ, සියම් යනුවෙන් නිකායන්ට බෙදී තිබෙන බව ඇත්ත. ඒත් මේ රටේ භික්ෂූන් වහන්සේලා හැමදාමත් ඉන්නෙ එකම අරමුණක් ඇතිව. උන්වහන්සේලා අතර ශාසනික සහ ජාතික අවශ්‍යතාවයන් හිදී බෙදීමක් නැහැ. බුදුන්වහන්සේ 'සුඛා‍ සංඝස්ස සාමග්ගි' යනුවෙන් සංඝයාගේ සමගිය සැපයට කරුණක් ලෙස දේශනා කර තියෙනවා.

එදා අනුරාධපුර යුගයේදී මහසෙන් රජු සංඝ භේදය සිදුකළ අයුරු සඳහන් වෙනවා. ඔහු භික්ෂු පරම්පරාව භේදකර මහා විහාර පාර්ශ්වයට අයත් භූමිය සී සා උදු වැපුරුවා. එහෙම පාලකයො එදත් හිටියා. අද උතුරේ මහ ඇමතිගේ උත්සාහයත් උතුරෙන් සිංහලයාත්, බුද්ධාගමත් අතුගා දමන්න. එ නිසාම එවැන්නෝ අදත් බිහිවිය යුතු නැහැ. නායකයෝත්, පාලකයෝත් සිංහල බෞද්ධකම රැකගැනීමට ජනතාව දිරිමත් කළ යුතුයි. ඒ අයත් රැකෙන්නේ සිංහලකමත් බෞද්ධකමත් රැක ගත්තොත් පමණයි. ඡන්ද ගොඩ ලොකුකර ගන්න අපේකම පාවාදුන්නොත් කවුරුත් විනාශයි. හැබැයි එහෙම වෙනවනම් හැම භික්ෂූන් වහන්සේ නමක්ම එදාට පාරට බහීවි.මට පේන විදිහට මේ නායකයන් කරන්නෙ කෞටිල්‍ය හා මැකියාවලී න්‍යායාචාර්යන්ට අනුව සියල්ල භේදකර රට පාලනය කිරීමට සැරසීමක් කියලයි මට හිතෙන්නෙ.

Q උතුරේ එළුග තමිල් රැස්වීමක් පැවැත්වුණා. උතුර යන්නෙ කොහේටද?

දැන් උතුරු නැගෙනහිර සිදුවන දේ බලපුවාම රාජපක්ෂ ජනාධිපතිවරයා, සරත් ෆොන්සේකා හා හමුදාව කරපු යුද්ධය අමතක කරලා ආපස්සට උතුර ඇද ගෙන යනවා. වෙහෙර විහාර, බුදුපිළිම, පන්සල් විනාශ කරන තැනට උතුර ආයෙත් යුද්ධ භූමියක් වේගෙන එනවාද කියන සැකය තියෙනවා. උතුරේ සිංහල ජනතාවට පදිංචි වීමට ඇති අයිතියත් නැති කරන දෙමළ නායකයෝ ජාතික සංහිඳියාව ගැන කතා කරනවා.

උතුරු නැගෙනහිර පටු ජාතිවාදී බලය මේ රටේ ශිෂ්ටාචාරයට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි. එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කළ මොහොතේ මහ ඇමතිවරයාට රටත් හැරදා පලායාමට ඉඩ සැලසූ අන්දම රජයට මතක් කිරීමට කැමතියි. එතුමාට ඒ සඳහා දැඩි ආත්ම ශක්තියක් තිබුණා. මෙම ඉතිහාසය පාඩමක් කරගෙන උක්ත අන්තවාදීන්ට අනුග්‍රහ නොදක්වා රටට දැයට හිතකර ක්‍රියා මාර්ග නොබියව ගැනීමට පාලකයන්ට දැනුම ඇති විය යුතුයි.

Q නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ අවදානම ඉවත්විය නොහැකිද?

හිටිහැටියේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඒක දැන් සම්මතයි යනුවෙන් මූලාසනයෙන් නිවේදනයක් නිකුත් කිරීමට බොහෝදුරට බැරි කමක් නැහැ. එ නිසා මහජන නියෝජිතයන් අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඒවා ලියවෙන්නෙ ආණ්ඩුවට අවශ්‍ය විදිහට කියලා කියන චෝදනා ගැන ආණ්ඩුව මීට වඩා විවෘත විනිවිදභාවයකින් කටයුතු කළ යුතුයි. ඒක රටට වගේම ආණ්ඩුවටත් හොඳයි. ලාල් විජේනායක කමිටුව මහජන අදහස් ලබා ගත්තා කියලා කියන ‍යෝජනාවලින් රටක් ජාතියත්, ආගමත් පිළිබඳ හැඟීමක් නැති උග්‍ර භෞතිකවාදීන්ගේ අදහස් අන්තර්ගතවෙලා ඇති බව පෙනෙනවා.
Q එහෙම වුණාට ලංකාවේ පළමු වරට මහජන අදහස් ලබාගත් එකම ව්‍යවස්ථා සංශෝධනය මේක බවට ලාල් විජේනායක කමිටු සභාපතිවරයා පවසනවා?

මෙහෙමයි. දෙකෝටියක් ජනතාව අතර ලියන්නට කියන්නට තේරුම් ගන්නට පුළුවන් කෝටියක් ඉන්නවා යැයි හිතමු. යෝජනා පන්දහසක්වත් රට පුරා ඇවිද්දත් ලැබිලා නැහැනෙ. මිනිසුන් කියන්නෙ තියෙන ව්‍යවස්ථාව හොඳයි කියල. ඒකවත් හරියට ක්‍රියාත්මක නොකර එළියට පන්නපු මහජන නියෝජිතයො ආපසු ආණ්ඩුවට මුක්කු ගහගෙන ආණ්ඩු හදන තරමට ව්‍යවස්ථාවන්ගේ තියෙන තමන්ට වාසි ප්‍රතිපාදන විතරක් හොයන පාලකයන් නිසා ජනතාව ඔය ව්‍යවස්ථාවන්ට යෝජනා නිර්දේශ ඉදිරිපත් කරන්න ඉදිරිපත් වන්නේ නැහැ. ආණ්ඩුව පිහිටුවන කොටම දීපු වැරදි පූර්වාදර්ශ නිසා මේ ආණ්ඩුව හොඳ පැත්තකට යන්න හිතුවත් ඒ ගමනට එකතු කරගෙන ඉන්නේ හොරු රැළක් කියලයි ජනතාව කියන්නෙ. ඉතින් මිනිස්සු කාලය කාගෙන යෝජනා ඉදිරිපත් කරන්න යයිද? ඒකයි මම කියන්නෙ තිබුණු එක හොඳයි කියල. කරන ඇත්තන් අවංකව කටයුතු කළ යුතුයි කියලා. එංගලන්තෙ වැඩ කරන්නේ ව්‍යවස්ථාවකටයැ?
Q නව යෝජිත අණපනත් අනුව දියවඩන නිලමේ තනතුර සඳහා අමරපුර නිකායටත් රාමඤ්ඤ නිකායටත් අවස්ථාව ලැබී නැතැයි මත වාදයක් පවතිනවා. ඔබ වහන්සේ රාමඤ්ඤ නිකායේ නායක හිමිනමක ලෙස පෞද්ගලිකව දරන මතය කුමක්ද?

දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරයා හැටියට දියවඩන නිලමෙතුමාට තියෙන වගකීම සම්ප්‍රදායික චාරිත්‍රයක්. ඒ ගැන කතා කරන එක සංඝභේදය අවුස්සන කතාවක් වෙන්න බැහැ. එතැනදී අප අවධානය යොමු කරන්නට ඕනෑ ඒ සම්ප්‍රදායික වත්පිළිවෙත් සහ කාලීන අවශ්‍යතාවයන් අනුව ඒවාට ගත හැකි විකල්ප ක්‍රම ගැන හිතලයි.අපේ රාමඤ්ඤ නිකාය වගේම අනෙක් අමරපුර නිකායන් බිහිවන්නෙ මෙයට අවුරුදු එකසිය පනහකට, දෙතුන් සියයකට ඉස්සරනෙ. සියම්, මල්වතු, අස්ගිරි නිකායන්ගෙ අතීතය එයට වැඩියි. එහෙම වෙනකොට රජකාලයේ ඒ නිකායන්ට ඒ වගකීම පවරලා තියෙනවා. දැන් කාලානුරූපව දළදා හාමුදුරුවන් හැම බෞද්ධයෙකුගේම මුදුන්මල්කඩ නිසා හැම නිකායකම තෝරාගත් මහනායක හිමිවරුන් සහ ඒ හිමිවරුන්ගේ නිර්දේශ යටතේ තවත් පාර්ශ්වයන්ට දියවඩන නිලමේ තනතුර සඳහා ඡන්ද බලය ලැබෙනවා නම් වරදක් නැහැ.
Q රාමඤ්ඤ නිකායේ වගකිව යුතු තැනක් දරන ඔබ වහන්සේට දියවඩන නිලමේ තෝරාගැනීමේදී ඡන්ද බලය තිබෙනවාද?

මගේ මතකය හැටියට බෞද්ධ කටයුතු පිළිබඳ මහා භාරකාරතුමන්ගේ කාලයේ මටත් ඡන්දය තිබුණා. මේවා දේශපාලනය වෙනස්වෙලා අමාත්‍යාංශ බවට දේශපාලනීකරණය වුණාම දැන් නම් එහෙම අවස්ථාවක් නැහැ.

Q එහෙම වුණාට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්ද අයිතිය තියෙනවා නේද?

එතන මටත් අර්බුදයක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ එදා සුද්දා ප්‍රාදේශීයව ආදායම් පරිපාලනයට පත්කළ රජයේ නිලධාරීන්නෙ. එහෙම නම් ඒ අය විශ්‍රාම යන වැටුප් ලබන රජයේ නිලධාරීන් පිරිසක්. ඒ අය වෙනුවට එතැනට බුද්ධ ශාසනය වෙනුවෙන් ඇපකැපවුණ නිකායන්ට ඇති අයිතිය වඩාත් අවධානයට යොමු කළ යුතුයි කියන මතය මමත් විශ්වාස කරනවා. ඒ කියන්නෙ අද නිකායන්ගේ මහනායක හාමුදුරුවරුන් අභිබවා සුද්දාගේ නීතියේ වැටුප් ලබන ප්‍රාදේශීය ලේකම්වරු ඉහළින් ඉන්නවා. මේක සදාචාරාත්මකව සිතිය යුතුයි.

Q මේ දේ ගැන කතා කරන්න ඇමතිවරු නිලධාරීන් ඔබවහන්සේ හමුවුණාද?

නැහැ. ඔය කිසිම දේකට කිසිම වගකිවයුතු ඇමතිවරවයෙකු හෝ නිලධාරියෙකු අප හමුවී අදහස් යෝජනා අහලා නැහැ. විහාර දේවාලගම් පනතක් ගැනත් කියවෙනවා. ඉතින් කවුරුවත් අපෙන් ඒ ගැන අහන්නේ නැති නම් අපිට යෝජනා ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවානෙ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1576028750804156162

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item