විග්නේෂ්වරන්, ජාතිවාදය සහ බුදුදහම

ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි  වර්ගවාදයෙන් හිස උදුම්මාගත් විග්නේශ්වරන්ගේ 'දෙමළ නැගිටීම' පෙළපාලිය රට යළිත් අගාධයකට යෑවීමට සැරසෙ...

ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි 

වර්ගවාදයෙන් හිස උදුම්මාගත් විග්නේශ්වරන්ගේ 'දෙමළ නැගිටීම' පෙළපාලිය රට යළිත් අගාධයකට යෑවීමට සැරසෙන බව පෙනේ. ඒ අතර බෞද්ධ බුද්ධි මණ්‌ඩලයක්‌ පිහිටුවා රාජ්‍ය පාලනයට බෞද්ධ හර පද්ධතීන් ඇතුළත් කර ගැනීම සදහා රජය මගින් කටයුතු කරගෙන යන බව පෙනෙයි. ඒ පිළිබඳව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරාධිපති, බස්‌නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, ජාතික බෞද්ධ බුද්ධි මණ්‌ඩල අනුකමිටුවේ සභාපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි සමග කරන ලද සාකච්ඡා සටහනකි .

වසර තිහක යුද්ධයෙන් පෑරුණු සිත් සුවපත් කරන්න මේ ආණ්‌ඩුව යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. උතුරු පළාත් සභාව පිහිටුවා, ඒ පළාතේ ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සදහා අවස්‌ථාවක්‌ ලබා දුන්නෙත්, අවි අතට ගැනීම වෙනුවට දේශපාලන නියෝජනය ඉදිරියට ගෙන ඒමටයි. විග්නේෂ්වරන් වැනි පරිණත, උගත් චරිතයක්‌ උතුරේ මහ ඇමති වීම අපි බැලූවේ සුබවාදී දෙයක්‌ හැටියට. එල්ටීටීඊ තරුණ, නූගත් අන්තවාදීන්ට වඩා සාමය පිළිsබඳව ඔහු ක්‍රියා කරනු ඇතැයි අප සිතුවා. ඒ වෙනුවට ඔහු යන්නෙත් පරණ පාරේම බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම ඔහුගේ මේ දෙමළ පිබිදීම කියන ව්‍යාපාරය ක්‍රියා කරන්නේ මේ රටේ යළි වර්ගවාදී, ජාතිවාදී ගින්නක්‌ ඇති කිරීම සදහා පෙට්‍රල් ඉසීමක්‌ විදිහටයි මම දකින්නේ. එක්‌ වරක්‌ ඔහු උතුරට ගංගා හරවා වතුර ලබා දෙනවාට එරෙහි වුණා. ඒ සදහා විරුද්ධ විය යුතුව තිබුණේ සිංහලයන්. මධ්‍යම කඳුකරය හරහා ගලා එන ජල සම්පත, උතුරේ ජනතාවගේ පිපාසය සංසිඳවීම සඳහා ලබා දෙනවාට කිසිම සිංහලයෙක්‌ විරුද්ධ වුණේ නැහැ. එයින් ප්‍රතිලාභ ලබන්නේ උතුරේ දෙමළ ජනතාව. ඒ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා දීම පවා ජාතිවාදී ඇසකින් බැලූ විග්නේශ්වරන්, මේ ජනතාව තමන්ගේ පටු වුවමනාවක්‌ වෙනුවෙන් පාරට දක්‌කාගෙන ඒම ගැන අපට පුදුමයකුත් නැහැ. මේ රටේ විහාරස්‌ථාන ඉදිකිරීම සඳහා විරුද්ධ වෙන තරමට මේ අය අද දුර දිග ගිහිල්ලා තියෙනවා. උතුරේ දෙමළ නායකයෝ ඔහොම හැසිරුණාට ඒ අය තමන්ගේ ආරක්‌ෂාවට දුවගෙන ආවේ, සිංහල ජනතාව අතරට. අමිර්තලිංගම් මහත්තයා සහ බිරිඳ එදා ජීවත් වුණේ සිංහලයොත් එක්‌ක. ඔවුන්ව කොළඹදී වෙඩි තියලා මරා දැම්මේ දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් මිසක්‌ සිංහලයන් නෙමෙයි. මෙන්න මේ ටික අපි විග්නේෂ්වරන්ට මතක්‌ කරලා දෙන්න කැමතියි. 1969 වසරේදී පිරිවෙන් ශිෂ්‍යයෝ විදිහට යාපනයට යන කොට එහෙ දෙමළ ජනතාව අපිව ආදරයෙන් පිළිගත්තා. එදා මේ රටේ ජාති බේද තිබුණේ නැහැ. නිදහස දිනා ගන්නා කාලයේදී පොන්නම්බලම් රාමනාදන් මහත්තයා ජයග්‍රහණය කළේ සිංහල නායකයෝ ඉද්දියි. සිංහලයෝ එදා දෙමළ නායකයන්ට සැලකුවේ එහෙම. ඒ සමගිය කඩාකප්පල් කළේ මේ වගේ දෙමළ නායකයෝ. අද විග්නේශ්වරන්ට අවශ්‍යම වෙලා තියෙන්නේ, මේ ඇතිවී තිබෙන සමගිය කඩාකප්පල් කරන්න. 

වත්මන් රජයේ සංහිඳියා වැඩපිළිවෙල ජාත්‍යන්තරව පිළිගෙන තිබෙනවා. ඒ සංහිඳියාව නිවටකමක්‌ කියලා කවුරු හරි කල්පනා කරනවා නම් ඒ තැන තමයි, ඒ අය වරද්දා ගන්නේ. 

සිංහල ජනතාව මේ රටේ දෙමළ ජනතාවට සලකන විදිහ එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමලිනි විසින් ලියපු තියුණු අසිපතක සෙවනේ කියන පොත බැලූවම පෙනෙනවා, ඇයට සිංහල සමාජය සැලකුවේ කොහොමද කියලා. එවැනි සැලකීමක්‌ ලෝකයේ වෙන කිසිම ජාතියකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ පොතෙන් ලැබෙන ආදායම පවා ඇය විසින් පරිත්‍යාග කරන්නට කියලා තියෙන්නේ මහරගම ජාතික පිළිකා රෝහලටයි. යාපනයට නෙමෙයි. සටන් බිමේ හිටපු කෙනෙකුට පවා සිංහල ජනතාව අඳුරාගත්තට පස්‌සේ ඇතිවුණු හැඟීම ඒකයි. 

මේකෙන් පෙනෙන්නේ සිංහලයන් සංහිඳියාව පිළිබඳව දක්‌වන ආකල්පය. අද නැවත පදිංචි කිරීම් සඳහා ආණ්‌ඩුව වැදගත් ක්‍රියාමාර්ග රාශියක්‌ ගෙන තිබෙනවා. ඒ අමාත්‍යංශ පවා බාරදීලා තියෙන්නේ දෙමළ, මුස්‌ලිම් ඇමැතිවරුන්ට. ඒ වුණාට උතුරේ එදා හිටපු සිංහලයන් සහ මුස්‌ලිම් ජාතිකයන් නැවත ඒ පළාත්වල පදිංචි කිරීම ගැන විග්නේශ්වරන් හෝ වෙන කවුරු හරි කතා කළාද...? සංහිඳියාව ඇති කරන්නේ මෙහෙමද කියන ප්‍රශ්නය මෙතැනදී අපිට ඇසීමට සිද්ධවෙනවා. 

අද උතුරු පළාතේ හමුදා කදවුරු ඉවත් කරන්න කියලා ලොකු කෑගැසීමක්‌ තියෙනවා. 1971 වසරෙන් පස්‌සේ මේ රටේ හැම තැනම යුද හමුදා අනුඛණ්‌ඩ තියෙනවා. ඊට ඉස්‌සෙල්ලා එහෙම තිබුණේ නැහැ. අද හැම දිස්‌ත්‍රික්‌කයක්‌ පාසාම හමුදාව විමධ්‍යගත කරලා තියෙනවා. ඒක දකුණටත් සාධාරණයි, උතුරටත් සාධාරණයි. ඉස්‌සර උතුරේ තිබුණු හොර බඩු ජාවාරම මඩින්න හමුදාව ඕනේ වුණා. පස්‌සේ ත්‍රස්‌තවාදී ක්‍රියා නිසා රජයේ හෝ පුද්ගලික ඉඩම් පවරාගෙන හමුදා කඳවුරු ඇති කිරීමට සිද්ධවුණා. මේ පුද්ගලික ඉඩම්, ඒ ජනතාව වෙත යළි ලබාදීම සඳහා ආණ්‌ඩුව කටයුතු කරමින් යනවා. එසේ තිබියදී උතුරේ සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ, හමුදාවම උතුරෙන් ඉවත් කිරීමට. සංහිඳියා වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්නේ මේ පිරිස. රාජ්‍ය පාලනය සඳහා බෞද්ධ හර පද්ධතිය ඇතුළත් කර ගැනීම සදහා රජයේ අවධානය යොමුවීම වැදගත් වන්නේ මෙතැනදියි. මේ සඳහා රජය විසින් බෞද්ධ බලමණ්‌ඩලයක්‌ පත් කර තිබෙනවා.

විශේෂම කාරණය බෞද්ධ බුද්ධි මණ්‌ඩලයේ සාමාජිකයන් පක්‌ෂ විපක්‌ෂ භේදයකින් තොරව තෝරා ගැනීම සහ ඒ අනුවම ක්‍රියාත්මක වීමයි. එහිදී රාජ්‍ය පාලන ක්‍රමයේ මෙන්ම ශාසනික වශයෙන් පවත්නා හා ඉදිරියේදී ඇති විය හැකි අඩුපාඩු, දුර්වලකම්, වැරදි මඟහරවා ජනතා හිතවාදී පාලන ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරවීමට විවිධ විෂයයන් යටතේ රාජ්‍ය නායකත්වයට මඟපෙන්වීම, අදහස්‌ හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරෙනවා. පෞද්ගලික අපේක්‌ෂාවන්ගෙන් තොරව කාලයට ගැලපෙන ලෙස ධාර්මික උපදෙස්‌ ලබා දීම, ක්‍රියාත්මක කරවීමට උනන්දු කරවීම බෞද්ධ බුද්ධි මණ්‌ඩලයේ කාර්යභාරයයි. දැන උගත්, වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ හැකි තරුණ භික්‌ෂුන් වහන්සේ ගේ අදහස්‌, යෝජනා, මඟපෙන්වීම් ඒ සඳහා දායක කර ගන්නවා. එහිදී විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන අංශවල නායකත්වය දරන, අලුතින් යමක්‌ සිතන්නට පුළුවන් භික්‌ෂුන් වහන්සේ විසි දෙනකු පමණ, සාම්ප්‍රදායික ලෙස පළාත් වශයෙන් තෝරාගත් සමාජ දැනුමැති තලතුනා හාමුදුරුවරු විසිපස්‌ නමක්‌ පමණ හා ගිහි උගතුන් ද බෞද්ධ බුද්ධි මණ්‌ඩලයට දායකත්වය ලබා දෙනවා. එහි ප්‍රධානතම අරමුණ පවතින රාජ්‍ය ක්‍රමයට බෞද්ධ දාර්ශනික ප්‍රවේශයක්‌ ඇතුළත් කළ හැකි ද යන්න සොයා බැලීමයි. ඒ වගේම බෞද්ධ ඉගැන්වීම් අදට ගැළපෙන ලෙස ප්‍රමිති අර්ථකථනය කොට නැවත භාවිතයට යොදා ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරෙනවා. බෞද්ධයන් ලෙස අපි විශ්වාස කරනවා ලෝකයට සැනසීම උදා වන්නේ බෞද්ධ පාලන ක්‍රමවේදයකින් පමණක්‌ම වන බව. එය සාධනය කිරීම සඳහා ආකෘතියක්‌ ලෝකෙට දෙන්න පුළුවන් හැකියාව පිළිබඳව ද බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්‌ ඇති කොට ඒ මඟිsන් අධ්‍යයනයට ලක්‌ කෙරෙනවා. ඒ වගේම බෞද්ධ නීතියේ මූලික අංග විමසමින් රාජ්‍ය පාලනයේ දී එය භාවිතයට ගත හැකි ආකාරය ගැන අධ්‍යයනය කෙරෙනවා. තිරසාර සංවර්ධනය පිළිබඳ බෞද්ධ ප්‍රවේශයක්‌ ඇති කිරීම තුළින් දැනට පවතින සංවර්ධන උපාය මාර්ගයන්ට බෞද්ධ දාර්ශනික ප්‍රවේශයක්‌ ලබා දෙන්නට කටයුතු කරනවා. විශේෂයෙන් ගස්‌ වැල් ඇතුළු සියලු රාජ්‍යයන්ට හිතකාමී පරිසරයක්‌ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම බෞද්ධ බුද්ධි මණ්‌ඩලයේ කාර්යභාරයන් අතර ප්‍රධානයි.

මූලිකම කාරණය අද හාමුදුරුවරු ආවේගශීලීයි. සිය දිවි නසා ගන්නා බවට තර්ජනය කිරීමට තරම් ඒ ආවේගශීලී බව ඇතැම් විට ප්‍රබලයි. හේතුව භික්‌ෂු අධ්‍යාපනයේ තිබෙන දුර්වලතාවන්. අවුරුදු තුනකට අධික කාලයක්‌ තිස්‌සේ පිරිවෙන් අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්‌ හිටියේ නෑ. කටයුතු අකර්මණ්‍ය වෙලා තිබුණේ. බුද්ධි මණ්‌ඩලය රැස්‌ වෙලා මාස දෙකක තරම් සුළු කාලයක දී අපි පිරිවෙන් අධ්‍යක්‍ෂවරයෙක්‌ පත් කළා. ඒ වගේම අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ මේ ආයතනවල තනතුරු ඇති කරලා නෑ. ඉතින් අධ්‍යාපන ආයතනයක්‌ දියුණු වෙන්නේ කොහොමද? ඉදිරියේ දී අඩුපාඩු සම්පූර්ණ කිරීමට ඉක්‌මන් පියවර ගන්නවා. භික්‌ෂු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. ඒවා නිරාකරණය කොට සම්භාව්‍ය භාෂා, පාලි, සංස්‌කෘත භාෂා ප්‍රශ්නයට, හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ඒ වගේම අද බොහෝ භික්‌ෂුන්වහන්සේලාට සමාන්තර අවබෝධයක්‌ නෑ. භික්‌ෂු අධ්‍යාපනයේදී ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. බෞද්ධ භාවනාව භික්‌ෂුන් වහන්සේට අනිවාර්ය අංගයක්‌ බවට පත් කළ යුතු යි. අද අපේ භික්‌ෂුන් වහන්සේට ලෝකයට මුහුණ දීමේදී විවිධ ගැටලූ මතු වෙනවා. 21 වන සියවසට මුහුණ දෙන්නට භික්‌ෂූන් වහන්සේ සූදානම් කිරීමට යම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරනවා.

භික්‌ෂුන් වහන්සේට යම් නීති මාලාවක්‌, විනය මාලාවක්‌ තිබිය යුතුයි කියන නිගමනයේ වැඩි පිරිසක්‌ ඉන්නා බව පෙනුණා. ශාසනික උන්නතිය වෙනුවෙන්, මහානායක හිමිවරුන්ගේ අවසරය ගෙන අණ පනත් සංශෝධනය කොට සම්මත කිරීමට ක්‍රියා කරනවා. ඒ වගේම ගමත් පන්සලත් අතර ඇති දුරස්‌ථ බව අඩු කර, ග්‍රාමීය විහාරස්‌ථාන නඟාසිටුවා සමාජ ප්‍රගමනය වෙනුවෙන් පන්සලට දිය හැකි දායකත්වය කෙබඳුද යන්න අධ්‍යයනය කොට ඒ අනුව නව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් බෞද්ධ අරමුදලක්‌ ආරම්භ කර අවසන්. ඒ අනුව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් බුද්ධ ශාසන පුනර්ජීවන අරමුදල ලෙස එය ආරම්භ කළා.

බුද්ධ ශාසන අරමුදල තිබුණත් පොදු මතය වුණේ ඒ මඟින් ශාසනික අභිවෘද්ධියට සිදු කළ සේවය කිසිසේත් ප්‍රමාණවත් නොවුණු බවයි. අපි බෞද්ධ පුනර්ජීවන අරමුදල ආරම්භ කළේ දුෂ්කර වෙහෙර විහාරවල භෞතික සංවර්ධන කටයුතු දියුණු කොට ශාසනික පුනර්ජීවනයක්‌ ඇති කිරීමටයි. ඒ වගේම අක්‍රීය වී තිබෙන බුද්ධ ශාසන අරමුදලේ අඩු පාඩු සම්පූර්ණ කොට සක්‍රීය දායකත්වයක්‌ ලබා ගෙන වඩාත් ඵලදායී සේවයක්‌ ලබා ගැනීමට අනුකමිටුවක්‌ පත් කොට තිබෙනවා.

භික්‌ෂුන් වහන්සේ උපැවිදිවීමට සාපේක්‌ෂව පැවිදි නොවෙනවා වෙන්න පුළුවන්. ඒත් ඔය කියන කාරණය ශාසනයට ලොකු පාඩුවක්‌ කියලා කියන්න බෑ. අද කුඩා දරුවෝ පැවිදි බිමට ඇතුළු වෙන්නේ ජීවිතය ගැන කලකිරීමකින් නොවෙයි. ශාසනික සම්ප්‍රාදායන් රැක ගන්නවා වෙනුවට වෙනස්‌ පරමාර්ථ මුදුන් පමුණුවා ගන්නටයි, සමහර වෙලාවට කුල දරුවන් පැවිදි කරන්නේ. ඇතැම්විට එය පිරිවෙන්වල ඔඵ ගෙඩි ගණන වැඩි කොට පෙන්වා ප්‍රතිලාභ භුක්‌ති විඳීමේ අරමුණින් විය හැකියි. කිහිප දෙනෙක්‌ කරන මේ ක්‍රියාව ශාසනයටම බලපෑමක්‌ කරනවා. ශාසනික පැවිද්ද ගැන අවබෝධයක්‌ නොදී එක්‌වරම සසුනට ඇතුළු කර ගත්තාම, මේ තියෙන සමාජ ක්‍රමයත් එක්‌ක ගැටලූ මතුවෙනවා තමයි. බොහෝ විට ඈත දුෂ්කර ප්‍රදේශවල පවුල් ප්‍රශ්නවලින්, සමාජ ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වුණු පුංචි දරුවො සසුන් දිවියට ඇතුළත් කර ගන්නවා. සමහර විට මේ අයගේ අම්මා විදේශ ගත වෙලා. තාත්තා බීමතින්. අම්මගේ තාත්තගේ ආදරෙත් නෑ. පන්සලට ආවාම හාමුදුරුවන්ගේ කරුණාවකුත් නෑ. ශාසනය ගැන ශ්‍රද්ධාවකුත් නෑ. මේ ප්‍රශ්නවලින් ගොඩනඟන මානසික ප්‍රශ්න උපැවිදි වීම්, ආවේගශීලී වීම් දක්‌වා දුර දිග යන්නට පුළුවන්. තරුණ හාමුදුරුවරු උපැවිදි වනවා නම් එයට ප්‍රධානම වග කිව යුත්තා සමාජයයි. සසුන්ගත වෙන පොඩි හාමුදුරුවන් වහන්සේට ශාසනය ගැන නිවැරදි අවබෝධයක්‌ ලබා දී, උන් වහන්සේගේ අවශ්‍යතා ගැටලූ ඇති නොවන ආකාරයෙන්, උපරිමයෙන් ඉටු කළ හැකි ක්‍රමවත් ක්‍රමවේදයක්‌ සොයා බලා ක්‍රියාවට නැංවිය යුතුයි.

සාකච්ඡා කළේ - දීප්ති ප්‍රමිතා අධිකාරි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 938206246780542955

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item