ශ්‍රී පාදය සර්වාගමික අච්චාරුවක් නොවේ - එල්ලාවල හිමි

ශ්‍රී පාදස්ථානය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වුණත් එය හෙළ රජදරුවන් වන්දනා කළ හා සංවර්ධනය කළ පුදබිමක් මිස සර්වාගමික අච්චාරුවක් නොව...

ශ්‍රී පාදස්ථානය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වුණත් එය හෙළ රජදරුවන් වන්දනා කළ හා සංවර්ධනය කළ පුදබිමක් මිස සර්වාගමික අච්චාරුවක් නොවන බව සෙල්ලිපි හා මුලාශ්‍රවලින් සනාත වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

වැරදි අදහස් සමාජගත වූ විට අනාගතයේ අනවශ්‍ය ගැටුම් පවා ඇතිවිය හැකි නිසා බෞද්ධ උරුමයන්හි අධිපතිත්වය දරන ගිහි පැවිදි කවුරුන් හෝ අදහස් පළ කිරීමේදී ප්‍රවේශම් විය යුතු යැයිද මේධානන්ද හිමියෝ අවධාරණය කරති.

මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රයෙහි බුදුරදුන් ම‍ලේගිරි ශිඛර හෙවත් සමනල කන්දේ සිට ධර්මදේශනා කළ බව සඳහන් වෙනවා. ශ්‍රීපාද කන්ද ලෝක ප්‍රසිද්ධ වූ විට විවිධ රටවලින් එහි පැමිණියා. අරාබි ජාතිකයන් පැමිණ එය ආදම්ගේ කන්ද කිව්වා. එය මනඃකල්පිතයක් පමණයි. සෙනරත් පරණවිතාන මහතා ගෝඩ්ඔෆ් ඇඩම්ස්පීක් යනුවෙන් ‍පොතක් නිසා සමනල කන්ද ගැන වැරදි මතයක් ලෝකයාට ගියා. 7 වන සියවසේ සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයක මෙහි අගස්ති සෘෂිවරයාගේ ආරාමයක් තිබූ බව සඳහන් වුණා. නමුත් මේ කිසිම අන්‍යාගමික සටහනක් ශ්‍රීපාද කන්දේ නැහැ. මම කාලයක් ශ්‍රීපාද කන්දේ නැවතී ගවේෂණ කළා. එහි ඇති සෙල්ලිපිවල ස්පර්ශ ලාංඡන ගැනීමේදී ක්‍රි.පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින් භගවා යනුවෙන් සඳහන් වැකි හමුවුණා.

එළාර රජුගේ ප්‍රධාන යෝධයා වූ දීඝජන්තු යෝධයා ශ්‍රීපාද කන්දට ඇවිත් එහි තිබූ ෙචෙත්‍යයට රතුපාට කොඩියක් පිදූ බව අටුවාවල සඳහන් වේ. එසේම දුටුගැමුණු රජුගේ ථෙරපුත්තාභය යෝධයා සමනල කන්දට ගොස් පුද පූජා කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.

අනුරාධපුර, ‍පොළොන්නරු යුගවල රජවරු ශ්‍රීපාද කන්දට යම් යම් පුද පූජා කළ බව වංශකතාවල දැක්වෙනවා. ‍පොළොන්නරුවේ 1 වෙනි විජයබා රජු ශ්‍රීපාද වඳින්න ගිය මාර්ග සුද්ධ පවිත්‍රකර තැන් තැන්වල අම්බලම් කර වූ බවද සඳහන් වෙනවා. ඒ අනුව පෙනීයන්නේ ඔහුගේ කාලයටත් පෙර සිට ශ්‍රීපාදයට පැමිණෙන මාර්ග තිබූ බවයි. එසේම ගිලීම‍ලේ හා අඹගමුව සෙල්ලිපිවලින් හැටන් හා රත්නපුර ඔස්සේ ශ්‍රීපාදයට පිවිසෙන මාර්ග තිබූ බව ඔප්පු වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රීපාදයට නැග වැඳුම් පිදුම්කර ඒ අසල ඇති භගවා ලෙනේ රජුගේ රූපය කොටා සෙල්ලිපි කිහිපයක්ම පිහිටෙව්වා.
පසුකාලීනම ඉබන්බටුවා වැනි සංචාරකයන් ශ්‍රීපාද පත්මය වඳින්න ඇවිත් නොයෙක් අයගෙන් අසා ගත් තොරතුරු ඔස්සේ වර්තා සකස් කළා. මේ හේතුව නිසා වැරදිමත ලෝකයට ගෙන යන්න එදා වගේම අදත් සමහරු උත්සාහ කරනවා.
ශ්‍රීපාද කන්ද බුදුරජුගේ ශ්‍රීපාද සටහන පිහිටි පුදබිම මිස අන්‍යාගමික හෝ සර්වාගමික අච්චාරුවක් නොවන බව නැවතත් අවධාරණය කළ යුතුයි. අපි යමක් ප්‍රකාශ කිරීමට පෙර කියන්නේ කුමක්ද යන්න අවබෝධයක් තිබිය යුතුයි. නිතරම අපි කටයුතු කළ යුත්තේ බෞද්ධ අනන්‍යතාව රැක ගැනීමටයි යැයිද එල්ලාවල මේධානන්ද හිමියෝ වැඩිදුරටත් පැවැසුහ.

ජනක හෙට්ටිආරච්චි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6839278591480008533

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item