එට්‌කා(ETCA) ගැන නොසිතන, නොදකින, නොඅසන දේ

පසුගිය වසර 13ක කාලයක්‌ තිස්‌සේ අප රටේ රජයන් දෙකක්‌ යටතේ විවිධ විද්වත්හු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත සේවා ආශ්‍රිත වෙළ...

පසුගිය වසර 13ක කාලයක්‌ තිස්‌සේ අප රටේ රජයන් දෙකක්‌ යටතේ විවිධ විද්වත්හු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත සේවා ආශ්‍රිත වෙළෙඳ ගිවිසුමේ වැදගත්කම පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් කරති. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ එම ගිවිසුම නම් කරනු ලැබුවේ 'සීපා' හෙවත් විස්‌තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ලෙසයි. පසුව නව රජය විසින් සීපා ගිවිසුමට එරෙහිව දියත් වූ විරෝධතා සමනය කිරීමේ අරමුණින් ඊට 'එට්‌කා' යනුවෙන් නව 'ලේබලයක්‌' ඇලවීය. එහෙත් එම ගිවිසුම්වලට අදාළ ලේඛනවල අන්තර්ගතය තුළ ගිවිසුමේ කොන්දේසි හෝ ආවරණය වන විෂය පරාසයට අදාළව වෙනසක්‌ දක්‌නට නැත. එසේ අන්තර්ගතය වෙනස්‌ නොකර ලේබල් මාරු කිරීම තුළම අරමුණෙහි සද්භාවය ප්‍රශ්න කෙරේ. ගිවිසුමට පක්‍ෂපාතව බරපතළ මැදිහත්වීමක්‌ කරන විද්වතුන් සියලු දෙනාම ගිවිසුමට අදාළව විවිධ බැඳීම් ඇති පිරිසක්‌ බවට දිගින් දිගටම චෝදනා එල්ල වේ. යම් අය Rජුවම ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශකයන් ලෙස කටයුතු කරති. තවත් අයට ඉන්දියාව සමඟ ගැඹුරු නෑකම් ඇති බව කියවේ. අනෙක්‌ පිරිස රජයෙන් වැටුප් ලබා එම කාර්යය ඉටුකරන පිරිසකි. එම නිසා ඔවුහු සියලු දෙනා කෙසේ හෝ ගිවිසුම අත්සන් කරන තැනට ආණ්‌ඩුව තල්ලු කිරීම සඳහා ඉන් ලැබෙන වාසි පිළිබඳව පමණක්‌ ඉතා පැතැලි සහ තර්ක කිහිපයක්‌ දිගින් දිගටම ඉදිරිපත් කරති. 

එම තර්ක අතුරින් පළමුවැන්න නිදහසේ වෙළෙ\ම ඊට දායකවන සියලු පාර්ශ්වවලට වාසිදායක බැවින් සැම විටම එය ප්‍රචලිත කළ යුතු බවයි. නමුත් දැනට පවතින නිදහසේ වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ අපනයනවලට දිගින් දිගටම කෝටා ක්‍රම සහ බදු නොවන බාධක හරහා සීමා පනවන්නේ කුමක්‌ නිසාද? යන ප්‍රශ්නයට ඔවුන් උත්තර සපයන්නේ නැත. එම තත්ත්වය තුළ රටවල් දෙක අතර වෙළෙඳ පරතරය ඉන්දියාවට වාසිදායක ලෙස දස ගුණයකින් වැඩිවන්නේ කෙසේදැයි ඔවුන් පැහැදිලි කරන්නේ නැත. විශාල වෙළෙඳ පොළක්‌ ශ්‍රී ලංකාවට විවෘත වන බවට පුන පුනා කියා සිටියත් එහි වාසිය ශ්‍රී ලංකාවට නොලැබෙන්නේ කුමක්‌ නිසා දැයි ඔවුන් පැහැදිලි කරන්නේ නැත.

ඔවුන්ගේ දෙවැනි තර්කය වන්නේ පාර්ශ්ව දෙක අතර පවතින අසමානතාවය සැලකිල්ලට ලක්‌කොට ඒවා ගිවිසුම තුළම සාධාරණව විසඳිය හැකි බවයි. එහෙත් ප්‍රායෝගිකව සිදු වන්නේ අසමානතාව දිගින් දිගටම වර්ධනය වීම නොවේද? තුන්වැනි තර්කය ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ මීට පෙර ගිවිසුම්වල ගැටලු නව ගිවිසුමක්‌ යටතේ විසඳිය යුතු බවයි. ඒ අනුව නිදහස්‌ ගිවිසුමේ ගැටලු එම ගිවිසුමේ පවතින ප්‍රතිපාදන යටතේ විසඳීම වෙනුවට ඒ සඳහා සීපා ගිවිසුම යොදාගත යුතු බවට තර්ක කෙරේ. ඊට අමතරව එම විද්වත්හු දෙරටේ නීතිමය රාමුවල වෙනස නිසා ඇතිවන බාධක නොසලකා ගිවිසුම අත්සන් කොට ඒවා ක්‍රමයෙන් විස¹ගත යුතු බවට හතරවැනි තර්කයක්‌ද ඉදිරිපත් කරති. එහිම දිගුවක්‌ ලෙස ඉන්දියානුවන්ගේ අභියෝගවලට මුහුණ දීම සඳහා තම රටේ නීති පද්ධතියේ සිදුකළ යුතු වෙනස්‌කම් පූර්ව කොන්දේසියක්‌ බවට පත්කරගෙන ගිවිසුම අත්සන් කිරීම පමා නොකළ යුතු බවට පස්‌වැනි තර්කයක්‌ද ඔවුහු ඉදිරිපත් කරති. 

ගිවිසුමට පක්‌ෂපාත ඊනියා විද්වතුන් සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඉදිරිපත් කරන එම ''රෙඩිමේඩ්'' තර්කවලින් දිගින් දිගටම යෑපෙනවා මිස විරුද්ධ පාර්ශ්ව විසින් මතු කරන ගැටලු පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කිරීමට වෙහෙසෙන්නේ නැත. පසුගිය දිනවල එට්‌කා විරෝධී විද්වතුන් පිරිසක්‌ විසින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ පවතින දුර්වලතා සහ ඉන්දියාවේ යම් නීති මගින් පනවන බාධක නිසා ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවට සිදුවන අගතිය පැහැදිලි කරමින් දීර්ඝ ලේඛනයක්‌ ඉදිරිපත් කරන්නට යෙදුණි. එම කරුණු පිළිබඳව එට්‌කා හිතවාදී විද්වතුන්ට කිසිදු අවබෝධයක්‌ නොතිබූ අතර ඔවුන් කටවල් ඇරගෙන බලා සිටියා මිස ඒවා පිළිබඳව අදහසක්‌ පළ කිරීමටවත් දැනුවත් වී සිටියේ නැත. එම තත්ත්වය තුළ මෙම ඊනියා විද්වතුන් සහ ඇමැතිවරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ අපරික්‍ෂාකාරී හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක ඇත. කෙසේ හෝ ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවට දුන් පොරොන්දුව පසු පස හඹායාම නවතා කූට ඉන්දියානුවන් මෙන් තම රටට සිදුවිය හැකි යහපත සහ අයහපත ගැන ගැඹුරු අධ්‍යයනයකට ඔවුන් යොමුවිය යුතුය. අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා සේවය ලබාගන්නා සියලු විද්වතුන් සහ නිලධාරීන් ඒ සඳහා බැඳී දසිටියි. ඔවුන් එට්‌කා විරෝධින්ගේ සියලු ප්‍රශ්න සහ අභියෝගවලට පිළිතුරු දීමට බැඳී සිටිති. එසේම රටේ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කිරීමට ද ඔවුහු බැඳී සිටිති. වෙළෙඳ ගිවිසුමක්‌ මගින් වෙනත් රටක පුරවැසියන්ට විශේෂ 
රැකවරණ සහ වරප්‍රසාද ලබාදීමේදී එම ගිවිසුම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවිය යුතු බවට ව්‍යවස්‌ථාවේ 157 වැනි වගන්තිය මගින් ප්‍රතිපාදනයක්‌ පනවා ඇත්තේ විශේෂයෙන්ම සේවා ගිවිසුමක්‌ හරහා සිදුවන පුද්ගල ආගමනයේ බලපෑම සැලකිල්ලට ගනිමිනි. නමුත් එම ව්‍යවස්‌ථා ප්‍රතිපාදනය නොසලකා කටයුතු කිරීමේ පැහැදිලි ප්‍රවණතාවක්‌ දක්‌නට ඇත. 

මීට ඉහත 1994 දී ලෝක වෙළෙඳ සංවිධානයේ ''ගැට්‌ස්‌' ගිවිසුමට අත්සන් තැබීමේදී අප රටේ වාණිජ දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විද්වතුන් කටයුතු කර ඇති හදිසි සහ වගකීම් විරහිත ආකාරය නිසා අද අප රට බරපතළ ආර්ථික සහ වෙළෙඳ උගුලකට කොටුවී ඇත. එම ගිවිසුමට අදාළව අප රටේ විද්වතුන් බලවත් තාක්‌ෂණික වරදක්‌ සිදුකොට ඇත. ඔවුන් එක්‌ පැත්තකින් ආරම්භයේදී ක්‍ෂේත්‍ර හතරක්‌ පමණක්‌ සේවා සඳහා විවෘත කරන බවට ධනාත්මක ලැයිස්‌තුවක්‌ යොමුකොට ඇත. ඒ සමඟ විවෘත කිරීමට එකඟ නොවන අංශ ලෙස තවත් ක්‍ෂේත්‍ර 5ක්‌ අඩංගු ලැයිස්‌තුවක්‌ ගිවිසුම් ගතකොට ඇත. එම නිසා අප රට එසේ සීමා නොකරන සියලු අංශ විවෘත කරන බවට බැඳීමක්‌ ඇතිවේ. අප රටේ විද්වතුන්ගේ එම දුප්පත් ක්‍රියාව දෙස බලන විට පෙනී යන්නේ ඒ වන විට අයෝජන මණ්‌ඩලය විසින් අයෝජන සඳහා සකස්‌ කොට තිබූ නිර්ණායක ලැයිස්‌තුවක්‌ කිසිදු සොයා බැලීමකින් තොරව එසේ ''ගැට්‌ස්‌'' ගිවිසුමට යොමුකොට ඇති බවය. ඊට අමතරව ගැට්‌ස්‌ ගිවිසුමේ සේවා වෙළෙඳාමේ හතරවැනි ක්‍රමවේදය අනුව ''ක්‍ෂේත්‍රවලට විශේෂිත'' සහ ''තිරස්‌ බැඳීම්'' ලබාදීමේදී ශ්‍රී ලංකාව පනවා ඇත්තේ ඉතා සරල කොන්දේසියකි. එනම් පවතින නීතිය යටතේ වෘත්තිකයන්ට හෝ සේවා සපයන්නන්ට ශ්‍රී ලංකාවට ඇතුළත් විය හැකි බවයි. නමුත් ඉන්දියාව ඊට අදාළ දිර්ඝ කොන්දේසි ප්‍රමාණයක්‌ පනවා ඇත. ඒ අනුව ඉන්දියානු ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට ඉතා පහසුවෙන් පැමිණිය හැකි වුවත් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට හෝ ඉන්දියාවට එසේ පහසුවෙන් ඇතුළුවිය නොහැක දැන් අප රට ලෝක වෙළෙඳ සංවිධානයේ ගැට්‌ස්‌ ගිවිසුමට වලංගුභාවයක්‌ ලබාදී ඇති බැවින් අප ඉන් පසුව ලෝකයේ කුමන රටක්‌ සමඟ සේවා ගිවිසුම් අත්සන් කළත් වලංගු වන්නේ අප රට ගැට්‌ස්‌ ගිවිසුමට ලබාදී ඇති එම අවම බැඳීමය. එම තත්ත්වය නිසා අපට එම ගැට්‌ස්‌ බැඳීම්වලට පිටුපාමින් සීපා හෝ එට්‌කා ගිවිසුම්වලට සීමා පැනවිය නොහැක එසේ පැනවිය හැකි බවට නිලධාරීන් සහ විද්වතුන් කියන්නේ පට්‌ටපල් බොරුවකි. 

එම තත්ත්වය තුළ අප රටේ වෙළෙඳ ගිවිසුම් ඉතිහාසය තුළ අප රටේ විද්වතුන් සහ නිලධාරීන් කටයුතුකොට ඇති දුප්පත් ආකාරය දෙස බලන විට ඔවුන්ගේ අරමුණු සැබෑ හෙවත් සැඟවුණු පරීක්‍ෂාකර බැලීමට මහජනතාවට අයිsතියක්‌ ඇත. ඒ අනුව ඒ සඳහා වන පරීක්‍ෂාවක්‌ ලෙස එට්‌කා හිතවාදී විද්වතුන්ට සහ නිලධාරීන්ට ප්‍රශ්න මාලාවක්‌ මෙසේ ඉදිරිපත් කෙරේ. එහි පළමුවැන්න මෙසේය ''ගැට්‌ස්‌'' ගිවිසුමට අදාළව තාක්‌ෂණිකව වැරදි ආකාරයට ලබාදී ඇති බැඳීම් සංශෝධනය නොකර එට්‌කා ගිවිසුමට අදාළව පමණක්‌ පුද්ගලයන්ගේ ආගමනය පාලනය කළ හැකි බව පැවසීම පට්‌ටපල් බොරුවක්‌ නොවේද? උදාහරණයක්‌ ලෙස අප රට ගැට්‌ස්‌ ගිවිසුමට අදාළව සේවා වෙළෙඳාමේ හතරවැනි ක්‍රමවේදය හෙවත් පුද්ගල ආගමනයට එක`ග වී ඇති තත්ත්වයක්‌ තුළ එට්‌කා ගිවිසුමට එම ක්‍රමවේදය ඇතුළත් නොකරන බව පැවසීම පට්‌ටපල් බොරුවක්‌ නොවේද? අප රටේ විද්වතුන් එම වරද හෙවත් පළමු ප්‍රශ්නය පිළිගන්නවානම් ඔවුන්ගෙන් ඇසිය යුතු අතුරු ප්‍රශ්නය වන්නේ එට්‌කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ගැට්‌ස්‌ ගිවිසුමේ වරද නිවැරදි කිරීම සඳහා අයෑදුම් කළ යුතු නොවේද? යන්නයි. එය අප රටේ නිදහස්‌ අධ්‍යාපනයෙන් ලැබූ විද්වතුන්ගේ හා නිලධාරීන් මෙන්ම මහජන ඡන්දයෙන් බලයට පත් වූ ඇමැතිවරයා විසින් ද ඉටුකළ යුතු අවම යුතුකම නොවේද? එවැනි නිවැරැදි කිරීමක්‌ කිරීමට තාක්‌ෂණික ඉඩක්‌ තිබිය දී ඒ සඳහා ඉල්ලුම් නොකිරීම බරපතළ ලෙස රට පාවාදීමක්‌ නොවේද? එසේ නොකර ඒ මගින් බලපෑමක්‌ සිදුනොවන බවට බොරු කීම කුමන විද්වත්භාවයක්‌ද? 

දෙවන ප්‍රශ්නය වන්නේ විද්වත් ක්‍ෂේත්‍රවල ඉන්දියානු වෘත්තිකයන්ගේ පැමිණීමට ඉඩ සැලසීමේදී දෙරටේ එම වෘත්තික ක්‍ෂේත්‍ර නියාමනය කරන ආයතන අතර අෙන්‍යාaන්‍ය හඳුනාගැනීමේ එක`ගතාව ඇතිකර ගැනීමේදී පැන නඟින ගැටලු ගැඹුරින් හැදැරීමට ලක්‌කොට ඇත්ද? යන්නයි. උදාහරණයක්‌ ලෙස අප රටේ වාස්‌තු විද්‍යාඥයන් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය රාමුවකින් ආවරණය සපයන විශේෂිත ආයතනයක්‌ නොමැත. ඊට අදාළ ඉන්දියාවේ ආයතනය නියාමනය කරන පනත අනුව විදේශිකයන්ට ලියාපදිංචිය ලබාගත නොහැක එවැනි තත්ත්වයක්‌ තුළ එම වෘත්තික ක්‍ෂේත්‍ර විවෘත කිරීමට පෙර අප රටේ නව නීතියක්‌ සම්මත කිරීම සහ ඉන්දියාවේ නීතිය සංශෝධනය කිරීම පූර්ව කොන්දේසියක්‌ නොවේද? එසේ නොකර ගිවිසුම අත්සන් කළ විට එම ක්‍ෂේත්‍රයේ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි වුවත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට ඇතුළුවී එම ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ ලබාගත නොහැක. 

මෙම ගැටලු ගැඹුරින් අධ්‍යයනය නොකර සහ ඒවා නිවැරදි කිරීමට නිර්දේශ ඉදිරිපත් නොකර ගිවිසුම අත්සන් කිරීමට උපදෙස්‌ දෙන විද්වතුන් රටට එරෙහිව වගකීමෙන් තොරව කටයුතු කරන පිරිසක්‌ ලෙස නීතිය ඉදිරියට පැමිණවිය යුතු නොවේද? එම දෙවැනි ප්‍රශ්නයට අදාළ තවත් උදාහරණයක්‌ වන්නේ අප රටේ වෛද්‍ය සභාවේ විශේෂඥයන් ලියාපදිංචි කරන ''රෙජිස්‌ටරයක්‌'' නීතිය මගින් පිහිටුවා නොමැති නිසා අප රටේ විශේෂඥ වෛද්‍යවරුන්ට ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව ඉන්දියාවේදී විශේෂඥයකු ලෙස රැකියාව කිරීම සඳහා ලියාපදිංචිය ලබාගැනීමේ ගැටලුවක්‌ මතුවේ. එහෙත් ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේදී එවැනි තත්ත්වයක්‌ මතු නොවේ. එසේනම් එට්‌කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභා පනත සංශෝධනය කොට විශේෂඥ වෛද්‍ය රෙජිස්‌ටරයක්‌ ආරම්භකළ යුතු නොවේද? ඉන්දියානු හොර දොස්‌තරලා රටට පැමිණීම වැළැක්‌වීම සඳහා ද එය වැදගත්වේ. එට්‌කාවාදී විද්වතුන් ඊට දෙන පිළිතුර කුමක්‌ද? 

තුන්වැනි ප්‍රශ්නය වන්නේ ගිවිසුමේ ජාතික සත්කාරය නැමැති ප්‍රතිපාදන අනුව ඉන්දියානුවකුට සහ ශ්‍රී ලාංකිකයකුට වෙනස්‌ ආකාරයට සැලකීමේදී ඉඩක්‌ නොමැති බැවින් අසමානයන් දෙදෙනකුට සමානව සැලකීමෙන් සිදුවන අසාධරණය වළක්‌වන්නේ කෙසේද? යන්නයි. 'ගැට්‌ස්‌' ගිවිසුමේ ජාතික සත්කාරය නැමති මූලධර්මය එට්‌කා ගිවිසුමටද අදාළ වන බැවින් අනෙක්‌ රටේ පුරවැසියාට තම රටේ පුරවැසියාට මෙන් සැලකීමට පාර්ශ්ව දෙකම බැඳී සිටියි. ඒ අනුව උදාහරණයක්‌ ලෙස ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයක එකම පන්තියේ ඉගෙනගත් ඉන්දියානුවකු සහ ශ්‍රී ලාංකිකයකු උපාධි ලබාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණිය හොත් සිදුවන්නේ කුමක්‌ද? එවිට ඉන්දියානු වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඉන්දියානුවාට ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබුණත් ශ්‍රී ලාංකිකයාට ඒ සඳහා විශේෂ විභාගයකට හෙවත් පරීක්‍ෂණයකට පෙනී සිටීමට සිදුවේ. එසේ වෙනස්‌ ලෙස සැලකීම බේරා ගැනීමට සිදුවන්නේ අධිකරණයෙන්ද? එසේ නැතහොත් ගිවිසුම අත්සන් කිරීමට පෙර නිවැරදි කළ යුතු නොවේද?

හතර වැනි ප්‍රශ්නය වන්නේ වසර 16ක්‌ ක්‍රියාත්මක වූ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම සමාලෝචනයකට ලක්‌කොට එහි පවතින ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක්‌ නිවැරදි කරගැනීමට නොහැකි වී ඇත්තේ කාගේ වරදින්ද? යන්නයි. විශේෂයෙන්ම කෝටා ක්‍රම සහ බදු නොවන බාධක මගින් ශ්‍රී ලංකාවේ අපනයනවලට බාධා එල්ල කිරීමේ ගැටලු විසඳා ගැනීමට අප රටේ විද්වතුන්ට සහ නිලධාරීන්ට නොහැකි වූයේ කුමක්‌ නිසාද? දැන් ඊට වඩා සංකීර්ණ සේවා ගිවිසුමක්‌ යටතේ අනිවාර්යයෙන්ම පැන නඟින ගැටලු විසඳීම සඳහා එම පිරිසට හැකියාවක්‌ සහ විභවයක්‌ තිබේද?මෙම ප්‍රශ්න කිරීමෙන් ගැලවීම සඳහා ඔවුන් ''අස්‌වනු කලින් නෙළා ගැනීම'' නමින් වගන්තියක්‌ එට්‌කා ගිවිමුසට ඇතුළුකොට ඒ මගින් නිදහස්‌ වෙළෙඳ ගිවිසුමේ ගැටලු කඩිනමින් විසඳන බවට ව්‍යාජ පොරොන්දුවක්‌ ලබාදේ. වසර 16 ක්‌ නොකළ දේ කිරීමට හදිසියේ ඔවුන්ට ලැබෙන හැකියාව කුමක්‌ද? එම නිසා එම විද්වතුන් සහ නිලධාරීන් මහජන විශ්වාසය දිනාගැනීම සඳහා එට්‌කා අත්සන් කිරීමට පෙර නිදහස්‌ වෙළෙඳ ගිවිසුමේ නම්කළ ගැටලු ප්‍රමාණයක්‌ විසඳා පෙන්විය යුතු නොවේද?

පස්‌වැනි ප්‍රශ්නය වන්නේ සේවා ආශ්‍රිත වෙළෙ\මේ හතරවැනි ක්‍රමවේදය අනුව පුද්ගලයන් දේශසීමා හරහා පැමිණ සේවා සැපයීමට ඉඩ සැලසීම මගින් ඉන්දියානු කම්කරුවන් සමූහ වශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නිසා පැන නැඟිය හැකි සමාජ, සංස්‌කෘතික ආරක්‍ෂක සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳ එට්‌කා හිතවාදී විද්වතුන් පූර්ව අධ්‍යයනයක්‌ සිදුකොට ඇත්ද? යන්නයි. ශ්‍රම වෙළෙඳපොළ විශේෂඥයයන්ගේ අධ්‍යනයන්ට අනුව එසේ කෙටි කලකින් ශ්‍රී ලංකාවට කඩා වදින ඉන්දියානු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 6 ක්‌ පමණ විය හැක. ඒ මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළ තුළ වැටුප් මට්‌ටම බරපතළ ලෙස පහත වැටීම මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය කඩාවැටීමේ ප්‍රශ්නය මෙම විද්වතුන් අධ්‍යයනය කොට ඇත්ද? එදා වතු ආර්ථිකය සඳහා අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියානු කම්කරුවන් යොදාගත් ආකාරයට මෙදා ලාභ ශ්‍රමය මත පදනම්වන විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා එට්‌කා ගිවිසුම යොදාගන්නා බව සැඟවිය හැකිද?

හත්වැනි ප්‍රශ්නය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉතා සාධාරණ බව පෙනෙන ආකාරයට පුන පුනා ඉල්ලා සිටින ඉල්ලීම් දෙකක්‌ ඉටුකිරීමට මැළිවන්නේ කුමක්‌ නිසාද යන්නයි. ඔවුන්ගේ පළමු ඉල්ලීම වන්නේ වෙළෙඳ ගිවිසුමට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා පරිපාලන ක්‍රියාවලියේ පියවර මොනවාද එහි වගකීම් දරන නිලතල මොනවාද සහ ඊට නීතිමය ආවරණය සපයන නීතිමය රාමුවේ ප්‍රතිපාදන මොනවාද යන්න එළිදරව් කිරීමයි. එය ඉතා පහසුවෙන් කළ හැකි දෙයක්‌ වුවත් අද වනතුරු එය ඉටු නොවන්නේ සැඟවීමට බොහෝ දේ තිබෙන නිසාද? එසේ රටේ අනාගතයට බලපාන බරපතළ තීන්දු ගැනීමේදී යම් විනිවිදභාවයක්‌ පෙන්වීමට අකමැති විද්වතුන්, නිලධාරීන් සහ ඇමැතිවරුන් පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවැනි ඉල්ලීම වන්නේ මහජනයාට සහ ස්‌වාධීන විද්වතුන්ට අදහස්‌ සහ යෝජනා ඉදිරිපත් කළ හැකි ආකාරයට ස්‌වාධීන කොමිසමක්‌ පත්කොට වෙළෙඳ ගිවිසුම ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමයි. ඒ සඳහා දැනටමත් නීතිමය ප්‍රතිපාදන තිබියදී එසේ නොකර හොර රහසේ හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ එට්‌කා හිතවාදී පක්‍ෂපාතී විද්වතුන් පිරිසකට එම කටයුත්ත බාර දීම මගින් ඊට වගකිව යුතු පිරිස්‌ මහජනයාට පෙන්වන ගුණය කුමක්‌ද? වෙළෙඳ ගිවිසුමක්‌ කළමනාකරණය කිරීමේදී නිලධාරීන්ට වැදගත් වන තාක්‌ෂණික කරුණු මහජනයාට එතරම් වැදගත් නැත. මහජනයාට තේරුම්ගත හැක්‌කේ සහ ඔවුන් දැනගත යුත්තේ උපාය මාර්ගිකව වැදගත් වන ප්‍රතිපත්තිමය කාරණාය. කුමන වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කළත් ඕනෑම රටක්‌ තම රටේ ආර්ථිකය ආරක්‌ෂා කරන ක්‍ෂේත්‍ර පිළිබඳව ජාතික එකඟතාවකට පැමිණිය යුතුය. ඒ අනුව අප රටේ ආණ්‌ඩුව ආරක්‍ෂා කරන්නේ අප රටේ ආර්ථිකයේ, පරිසරයේ, සංස්‌කෘතියේ සහ ජන ජීවිතයේ කුමන ක්‍ෂේත්‍රද, කුමන අංගද යන්න මහජනයා දැනගත යුතුය. අවසාන ප්‍රශ්නය හෙවත් අටවැනි ප්‍රශ්නය ලෙස එට්‌කා හිතවාදීන්ට ඉදිරිපත් කළ යුත්තේ එසේ ආරක්‍ෂා කරන්නේ මොනවාදැයි සහ කුමන ක්‍ෂේත්‍ර දැයි ගිවිසුම අත්සන් කිරීමට පෙර එළිදරව් කරනවාද යන්නයි.

-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 1339834423054154916

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item