අගමැති ඉල්ලා අස්විය යුතුයි - වීරකුමාර

කෝප් කමිටු නිර්දේශ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමට ඉඩහැර අග්‍රාමාත්‍ය රනිල් වික්...

කෝප් කමිටු නිර්දේශ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමට ඉඩහැර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා,"පසුගිය සිකුරාදා වන විට අපට හැකි වුණා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදු කළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට. පසුගිය මාස 20 පුරාම ආණ්ඩුව උත්සාහ කළේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක වළක්වන්න. මේ වාර්තාව 2015 ජුනි මාසය වන විට සකස්කර අවසන්ව තිබුණා. එදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම වැළැක්වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. ඊට පසුව පත්වුණු නව පාර්ලිමේන්තුව යටතේ පිහිටු වූ කෝප් කමිටුව විසින් මේ වාර්තාව යළි ඉදිරිපත් කිරිමට උත්සාහ ගැනීමේදීත් ආණ්ඩුව විශේෂයෙන් කෝප් කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊට බාධා කළා. එම වාර්තාව එළි දැක්වීම අනන්තය දක්වා කල් දමන්න කළ හැකි සියල්ල කළා.

කෙසේ නමුත් අද මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. නීතිපතිවරයාට මේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසා තිබෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු සහ සාක්ෂි සටහන් මෙම වාර්තාවේ අන්තර්ගතයි. ඒ නිසා නීතිපතිවරයා වෙත යවලා මහා දීර්ඝ කාලයක් ගත යුතු නැහැ. කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොවෙයි, පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයත් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතුයි. කෝප් කමිටුව සිය නිර්දේශවල 'මෙම ගනුදෙනුවේදී සාපරාධී අපරාධයක් සිදුව ඇත' යන නිර්දේශයත් ඉදිරිපත්කර තිබෙනවා. ඒ නිසා මේකට වගකිව යුතු අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියාව තිබෙනවා. අද නීතිය ක්‍රියාත්මක කරන සියලු පාර්ශ්වවලට හැකියාව තිබෙනවා, කඩිනමින් මේ කෝප් කමිටු නිර්දේශ ක්‍රියාවට නංවා මේ හොරකමට වරදකරුවන් කවුද? කියා ජනතාවට පෙන්වා දෙන්න. 

අගමැතිවරයා, මහ බැංකු අධිපතිවරයා හා පර්පචුවල් ට්‍රෙෂරීස් යන අය අතර තිබුණු බැඳීම්, ලැදියාවන් හා සම්බන්ධතා මොනවාද? කියා නීතිය ඉදිරියේ නිසි ආකාරයෙන් ප්‍රශ්න කළ හැකියි. ඒවා ප්‍රශ්න කළ යුතුයි. 'සිංගප්පූරු අර්ජුන්' කියන්නේ සිංගප්පූරු ජාතිකයෙක්. අගමැතිවරයා ඔහුව මහ බැංකු අධිපති ධුරයට පත් කළේ මේ රටේ නීති සීමාවන් ඉක්මවලා කියලා කෝප් කමිටුව ඉරිදියේ ඔප්පු වුණා. අර්ජුන මහේන්ද්‍රන් තම ධුරයට අදාළ දිවුරුම ලබා දුන්නේ නැහැ. තම ධුරයට අදාළ දිවුරුම ලබා නොදීපු කෙනෙකුට එම ධුරය දරන්න අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන මහ බැංකුව භාරව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදා දීලා තිබුණා. මෙවැනි ප්‍රතිපාදන හදලා දුන්නේ මේ ආණ්ඩුවට මේ රටේ මහ බැංකු අධිපති ධුරයට පත් කිරිමට වෙන කිසිවකුවත් සිටියේ නැති නිසාද? ඒ එක පැත්තක්.
මේ බැඳුම්කර ගනුදෙනුව 'සාපරාධී අපරාධයක්' කියලා කෝප් කමිටුවේ අපි තීරණය කළේ එය සිදුකර ඇති සැලසුම් සහගත, කුමන්ත්‍රණකාරී ආකාරය හොඳටම අවබෝධකර ගෙනයි. ඒ නිසා තවදුරටත් මේක යටගහන්න උවමනා නැහැ. දැන් ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට පුළුවන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා කියලා රටට පෙන්වන්න. ඒ සඳහා කඩිනමින් මේ කම්බ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න. එතාකොට ජනතාව පිළිගනිවී, 'දැන් යහපාලනය ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව හොරු ටික රකින්නේ නැහැ' කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වූ පාර්ලිමේන්තුව විසින් පිළිගෙන තිබෙනවා මෙතැන හොරකමක් සිදුව තිබෙනවා කියලා. ඒ නිසා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරනවානම් ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම මෙම කෝප් කමිටු නිර්දේශ ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩහැර අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමකොටම ඉල්ලා අස්විය යුතුයි". යනුවෙන් කියාසිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6292991175747157772

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item