චීන තානාපතිත් දේශපාලනයට

මෙරට චීන තානාපති පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රවි කරුණානායක හා රනිල්ගේ ආණ්ඩුව විවේචනය කළා. සාමාන්‍යයෙන් තානාපතිවරු එහෙම කරන්නේ න...

මෙරට චීන තානාපති පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රවි කරුණානායක හා රනිල්ගේ ආණ්ඩුව විවේචනය කළා. සාමාන්‍යයෙන් තානාපතිවරු එහෙම කරන්නේ නැහැ. ඔහු දේශපාලනයට පැමිණ කීවේත් තානාපති සම්බන්ධකම් දේශපාලනීකරණයට ලක් නොකරන ලෙසයි! එය පරස්පර විරෝධීයි. චීන තානාපති එලෙස ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම එතරම් සුදුසු යැයි මා කියන්නේ නැහැ. ඒත් ඔහුගේ ප්‍රකාශයට කරුණු දෙකක් හේතුවන්න ඇති. පළමුවෙන් ම මෙරට බටහිර තානාපතිවරු කලක සිට ම ජනමාධ්‍යයට දේශපාලන ප්‍රකාශ කරනවා. ඔවුන් එතැනින් නවතින්නේ නැහැ. ඔවුන් දේශපාලනය කරනවා. විශේෂයෙන් උතුර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දේශපාලනය කරනවා.

දෙවැනුව ඒකාබද්ධ විපක්‍ෂය චීනය සම්බන්ධයෙන් රවි කරුණානායකට නිසි පිළිතුරක් දුන්නේ නැහැ. චීන තානාපති හිතන්න ඇති ඔහුවත් රවි කරුණානායකට පිළිතුරක් දිය යුතු ය කියා. බටහිර තානාපතිවරුන් හා ඉන්දීය මහා කොමසාරිස් ප්‍රසිද්ධ දේශපාලන ප්‍රකාශ කරනවා පමණක් නොවෙයි. දේශපාලන කටයුතුවලට ද සහභාගි වෙනවා. අප කාටත් ඩික්සිත් මතකයි. ඔහු ජේ ආර් ජයවර්ධන කාලෙ කැබීනට් රැස්වීම්වලටත් සහභාගි වුනා. යැංකි ඩිකීගෙ ආරක්‍ෂාවට යැංකීන් (ඇමරිකා එක්සත් රාජ්‍ය) පැමිණියේ නැහැ. ප්‍රෙමදාසට ග්ලැඩ්ස්ටන් ගෙදර යවන්න සිද්ධ වුනා. නෝර්වෙ තානාපති කාර්යාලය තානාපති වරප්‍රසාදවලට මුවා වෙලා යාපනයට (කොටින්ට) අවශ්‍ය භාණ්ඩ යැවුවා.

මහින්ද රාජපක්‍ෂ කාලෙ දෙමළ ත්‍රස්තවාදයට විරුද්ධ හමුදා මෙහෙයුම් නතර කරවීමට ඔවුන්ගේ මෙරට සිටින තානාපතිලා පමණක් නොව එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන් තකහනියක් ලංකාවට පැමිණ උත්සාහ කළා. පසුගිය දිනවල එක්සත් රාජ්‍යවල තානාපති අතුල් කේෂප් දේශපාලන ප්‍රකාශ කළා. බටහිර රටවල හා ඉන්දියාවෙ විදේශ ඇමතිලා, විදේශ ලේකම්ලා තොරතෝංචියක් නැතිව මෙරටට එනවා. මේ සියල්ල මැද චීන තානාපති දේශපාලන ප්‍රකාශයක් කිරීම අරුමයක් නො වෙයි.

චීන තානාපති රවිට අභියෝග කළා. චීනයෙන් දීපු ණයවල පොලීිය ගැන. චින තානාපති කිව්වෙ සියයට දෙකේ පොලියට ලංකාවට පමණක් නොව වෙනත් රටවලටත් ණය දෙන බවයි. ඔහු සියයට පහක ණයක් ගැනත් කිවුවා. ඒත් වැඩිය කතා කෙළේ සියයට දෙකේ ණය ගැන. මේ ආණ්ඩුව ඊට වැඩි ප්‍රමාණයකින් චීන බැංකුවකින් ණය ගැනීමක් ගැනත් සඳහන් වුනා. චීන ආණ්ඩුවෙන් ණය ගැනීම හා චීන බැංකුවකින් ණය ගැනීම යනු දෙකක් බව වටහා ගන්න මුදල් ඇමතිට හැකි විය යුතුයි. චීනයෙන් ණය ගැනීම යනු චීන ආණ්ඩුවෙන් ණය ගැනීම. රවි කරුණානායක කියන්නෙ තමා ලංකාවෙ මුදල් ඇමති මිස චීනයේ මුදල් ඇමති නොවන බවයි. ඒක කිසිම තේරුමක් නැති කතාවක්. ලංකාවෙ මුදල් ඇමතිට වුනත් තේරෙන්න ඕන චීන ආණ්ඩුව හා චීන බැංකු කියන්නෙ දෙකක් බව.

චීන තානාපති තවත් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. චීනයෙන් දෙන ණයවල පොලිය වැඩි නම් රවි නැවත නැවතත් චීනයෙන් ණය ගන්න එන්නෙ මොකද කියලා ඇහුවා. රවි කරුණානායක ඒකට දෙන උත්තරේ මොකක් ද? රවිලා මේ ආණ්ඩුව පත්වෙච්ච දවස්වල හිතන් හිටියෙ බටහිර රටවලින් හා ඉන්දියාවෙන් ආධාර ලැබේවි කියලා. බටහිරයන් වියදම් කරන්නෙ ආණ්ඩු පෙරලන්න මිසක් ආණ්ඩු පවත්වාගෙන යන්න නොවෙයි. ආණ්ඩුවට චීනයෙන් තමන් විරුද්ධ වුණු චීන (චී) ණය ගන්න සිද්ධ වුනා. චීනයෙන් ලැබුණු චී ණය!

රවිලා ඒ දවස්වල කෑ ගැහුව චීනයට ඉඩම් විකුණනවා කියලා. දෛවයේ සරදමකට වගේ අද ආණ්ඩුවට හම්බන්තොට වරාය සමීපයෙන් චීනයට ඉඩම් විකුණන්න සිද්ධ වෙලා. මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන්නෙ ඒ ලැබෙන මුදලින් රුපියල ස්ථායි කරගන්න පුළුවන් කියලා. මේවත් මහින්ද රාජපක්‍ෂගෙ ගිණුමට බැරකරන්න ආණ්ඩුව සූදානම් වෙයි ද? හම්බනතොට වරාය හදලා තිබුණ එකත් හොඳයි. ඒ වරාය චීනයටත් වැදගත්.

මේ ආණ්ඩුව අද ඉන්නෙ ගල උඩ පැහැරූ බළලකු වගේ. ඔවුන්ගෙ මුදල් කළමණාකරණයේ රඟ හොඳහැටි පේනවා. මහා බැංකු කොල්ලයෙන් එ ජා පක්‍ෂය මුදල් කළමණාකරණය මෙහෙමයි කියලා රනිල්ගෙ නැන්දගෙ පුතා රජිව් විජේසිංහ කීව්වා. රජිව් ගැන ආරංචියක් නැත්තෙ මොක ද?

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.



නලින් ද සිල්වා
2016 නොවැම්බර් 04



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 8313025630451032663

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item