පළාත් සභා සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීම-සාකච්ඡාව සාර්ථකයි

පළාත් සභා සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව සාර්ථක බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප...

පළාත් සභා සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව සාර්ථක බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(22) දහවල් පැවති මෙම සාකච්ඡාව සඳහා සියලු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද එක්ව සිටි බව සඳහන්ය.

මෙම වසර සඳහා පසුගිය 2016 අයවැයෙන් වෙන්කළ සම්පූර්ණ මුදල් මෙතෙක් පළාත් සභා වෙත නොලැබීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබේ.

මේ වන විට පළාත් සභාවල විවිධ සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර ඒවායේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීම් සිදුකිරීමට පළාත් සභා සතුව මුදල් නොමැති බව පළාත් ප්‍රධාන අමාත්‍යවරු එහිදී පෙන්වා දී ඇත.

පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල් නොලැබුණහොත් 2017 අයවැයෙන් පළාත් සභා සඳහා වෙන්කරනු ලබන මුදලින් කොටසක් අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා භාවිතයට ගැනීමට සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එසේවුවහොත් ලබන වසරේ කටයුතු සඳහා පළාත් සභාවලට මුදල් ප්‍රමාණවත් නොවන බව පළාත් ප්‍රධාන අමාත්‍යවරු පවසා ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට මෙම වසර සඳහා 2016 අයවැයෙන් වෙන්කළ මුදල් දෙසැම්බර් මස 10 වැනිදාට පෙර කොටස් වශයෙන් ලබාදෙන ලෙස දැනුම් දී ඇති අතර ඊට මුදල් අමාත්‍යවරයා එකඟත්වය පළ කර තිබේ.

මේ අතර 2017 අයවැයෙන් පළාත් සභාවලට වෙන් කළ මුදල් ප්‍රතිපාදන 2016 වසර සමග සංසදනය කිරීමේ දී සියයට 50කටත් අඩු අගයක් ගන්නා බව සඳහන්ය.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී පළාත් ප්‍රධාන අමාත්‍යවරු පෙන්වා දී ඇති අතර එහිදි රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා අයවැයෙන් ප්‍රතිපාදන අඩු කිරීම පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට පෙන්වා දී ඇත්තේ මෙම වසරේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පළාත් සභාවලට පමණක් නොව අමාත්‍යාංශවලට ද මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම අඩු කිරීමට පියවර ගත් බවයි.

කෙසේවෙතත් ඉදිරි වසරේ මුදල් ආධාර මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ ලැබෙන මුදල් පළාත් සභාවලට ප්‍රතිශතයක් ලෙස ලබාදීමට ලබන වසර මැදදී කටයුතු කරන බවත් රවී කරුණානායක අමාත්‍යවරයා පවසා තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3783482660093331205

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item