ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස් (Vaginal delivery)

මව් කුස තුල සිටින බිලිඳා බිහි වන දිනය තෙක් ඔබ නොඉවසිලිමත්ව බලා සිටිනව. ඒ වගේම මෙම ක්‍රියාවලිය ගැන බියකුත් දැනෙනව ඇති. මෙම ලිපියෙන් අපි සා...

මව් කුස තුල සිටින බිලිඳා බිහි වන දිනය තෙක් ඔබ නොඉවසිලිමත්ව බලා සිටිනව. ඒ වගේම මෙම ක්‍රියාවලිය ගැන බියකුත් දැනෙනව ඇති. මෙම ලිපියෙන් අපි සාමාන්‍ය දරු ප්‍රසූතියක් වෙන හැටි ගැනයි තොරතුරු ගෙන එන්නේ.

ගර්භාෂය තුල වැඩෙන දරුවා මෙලොව එලිය දකින්නට ඇති ස්වභාවික ක්‍රමය සාමාන්‍ය දරු ප්‍රසූතියයි. එමෙන්ම ලෝකයේ දියුණු රටවල නවතම ප්‍රවණතාවය වෙන්නේ වැඩි වැඩියෙන් ස්වභාවික දරු උපත් සඳහා යොමු වීමයි. දරුවා ස්වභාවයෙන් ම මෙම ක්‍රියාවලියට සූදානම්. එයට අවශ්‍ය ඔබේ සහයෝගය නිසි ලෙස ලබා දීමෙන් නිරෝගී දරුවෙකු බිහි කිරීමේ හැකියාව ලැබෙනව.

සාමාන්‍ය දරු ප්‍රසූතියක ඇති විශාලතම වාසිය වෙන්නේ මවට සැත්කමක් අවශ්‍ය නොවීම. එම නිසා ප්‍රසූතියෙන් පසුව ඇයට ඉතා ඉක්මනින් සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමටත් දරුවා බලා ගැනීමටත් හැකියාව ලැබෙනව සැත්කමකින් පසුව ඇතිවෙන අධික වේදනාව, තුවාල පැසවීම, කැලැල් ඇතිවීම වැනි සංකූලතා මේ නිසා ඇති වෙන්නෙ නැහැ. දරුවා ප්‍රසූතිය සඳහා සූදානම් වීමේ දී පෙනහළු වල ඇති තරල ඉවත් වී ඉපදුණු වහාම හොඳින් හුස්ම ගැනීමේ හැකියාව ලැබෙනව. එම නිසා දරුවාට මවු කිරි ඉරීමටත් පහසු වෙනව. මෙය මව සහ දරුවා අතර ආරම්භයේ දීම හොඳ බැඳීමක් ඇති කිරීමට හේතු වෙනව.

දරු ගැබට මාස 7ක් පමණ වෙන විට ඔබ දරු ප්‍රසූතියට කල් තියා සූදානම් වෙන්න. දරු ප්‍රසූතියට රෝහල් ගත වීමට අවශ්‍ය සියළුම බඩු බාහිරාදිය එක බෑගයක දමා කලින් සූදානම් කර තැබීම ඉතා වැදගත්. එවිට හදිසි අවස්තාවකදී කිසිවක් අමතක වෙන්නේ නැහැ.

ගර්භණී මවක් ප්‍රසූතියට ආසන්න වන විට දරුවාගේ හිස පහලට හැරී සිටින්නේ. අවසාන සතිය පමණ වන විට දරුවාගේ හිස ශ්‍රෝණි කුහරය තුලට ගමන් කරන අතර බොහෝ විට මුහුණ පිටුපසට හැරී පිහිටන්නේ. මේ කාලයේ ගර්භාෂය සංකෝචනය වීමට පෙර හුරුවක් වගේ වරින් වර උදරයේ සහ කොන්දේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්.

මෙම වේදනාවන් ඇතිවෙන වාර ගණන වැඩි වන විට ඔබට දැන ගන්න පුළුවන් දරු ප්‍රසූතිය ආසන්න වී ඇති බව. ඒ සමග යෝනි මාර්ගයෙන් සුළු රුධිර වහනයක් සහ ස්‍රාව පිටවීමක් සිදු වෙන්න පුළුවන්. එවිට ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා වෙත යොමු වීම සුදුසුයි.

ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ පසු වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලනව. මෙම පරීක්ෂාවෙන් අනතුරුව දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට කියන පරීක්ෂණය සිදු කරනව. එය සාමාන්‍ය නම් වේදනාව වැඩි වී සාමාන්‍ය ලෙස ප්‍රසූතියට සූදානම් වෙන තෙක් යම් කිසි කාලයක් රෝහලේ ගත කිරීමට සිදු වෙනව. වේදනාව වැඩි වෙන විට වෛද්‍ය වරයා යෝනි පරීක්ෂාවක් කර ගැබ් ගෙල විවෘත වීම ආරම්භ වී ඇති දැයි පරීක්ෂා කර බලනව. එසේ නම් සූතිකාගාරය වෙත යොමු කිරීමක් සිදු වෙනව.

මේ අවස්තාවේදී සුදුසු පරිදි ඔබට වේදනා නාශක ඖෂධ ලබා දීම සිදු කරනව. වේදනා නාශක ලබා ගත හැකි ආකාර කිහිපයක් තිබෙනව. ඔබේ රෝහලේ ඇති පහසුකම් අනුව, වේදනා නාශක පෙති ලෙස, නික්ෂේපණයක් ලෙස, එපිඩියුරල් ක්‍රමයට කොන්දට විදින ඖෂධ ලෙස හෝ ආශ්වාස කරන වායුවක් ලෙස ලබා ගැනීමට හැකියි. ප්‍රසූත වේදනා ඇති වෙන විට හුස්ම ගැනීම පාලනය කිරීමේ වේදනාවේ ත්‍රීවතාවය අඩු කර ගන්න පුළුවන්. මෙය Breathing exercises ලෙස හඳුන්වන අතර කලින් එම ව්‍යායාම පුහුණු කිරීම දරු ප්‍රසූතිය පහසු කර ගැනීම උපකාරී වෙනව.

සූතිකාගාරය තුල දී දරුවාගේ හෘද ස්පන්දය නිරීක්ෂණයට ලක් කරන අතර ගැබ් ගෙල විවෘත වී දරුවා පහලට එන ආකාර පැය 4කට වරක් සිදු කරන යෝනි පරීක්ෂණ මගින් නිරීක්ෂණය කරනව. ඊට අමතර ඔබේ සෞඛ්‍ය තත්වය, නාඩි, රුධිර පීඩනය වේදනාව ඇති වෙන වාර ගණන ආදියත් නිරීක්ෂණය කරනව. එහිදී ඔබට අවශ්‍ය පරිදි නැවත වේදනා නාශක ලබා දීමත් සිදු කරනව.

දරු ප්‍රසූතිය ආසන්න වෙන විට දරුවාගේ හිස යෝනි මාර්ගයේ පහලටම පැමිණෙනවා. මේ අවස්ථාවේ දී පුහුණු පවල් සෞඛ්‍ය සේවිකාවක් හෝ වෛද්‍ය වරයා ඔබට දරු ප්‍රසූතිය සඳහා උදව් කරනව. දරුවා බිහි වීමට අවශ්‍ය පරිදි ඔබට තැටමීමට ඔවුන් උපදෙස් දේවි. ඒ වගේම දරුවාගේ හිස එලියට ඒමට ආසන්න වන විට තැටමීම පාලනය කිරීමටත් අවශ්‍යයි. එවිට වෛද්‍ය වරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මෙම ක්‍රියාවලිය ඔබටත් දරුවාටත් ආරක්ෂාකාරී ලෙස සිදු කර ගන්න හැකියාව ලැබෙනව. සමහර අවස්ථාවල දරුවා එළියට පැමිණීම ප්‍රමාද වෙන විට විටිපිය කැපුමක් යෙදීමට සිදු වෙනව. මෙය හිරිවැටීමට ඖෂධ ලබා දී සිදු කල යුතු වෙන්නේ. එවිට දරු ප්‍රසූතිය පහසු වෙනව.

දරුවා එළියට පැමිණි විට ඔබට ගර්භාෂයෙන් රුධිර වහනය වළක්වා ගන්න නික්ෂේපණ ඖෂධයක් ලබා දෙනව. සමහර විට මෙම ඖෂධය නිසා ඕක්කාරය වමනය වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි. එසේ වුව හොත් ඒ සඳහා සුදුසු පරිදි ප්‍රතිකාර ගත හැකියි. දරුවා බිහි වූ පසු දරුවා වැදෑමහට සම්බන්ධ වී ඇති පෙකණි වැල කපා දරුවා ඉක්මනින් පිරිසිදු කර ඔබට මවුකිරි දීම ආරම්භ කිරීමට ලබා දෙනව. ඒ අවස්ථාවේදීම මවුකිරි දීම ආරම්භ කිරීම ඉතා ම වැදගත්.

ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කිරීම සිදු කරන අතර ඉන් පසු යෝනි මාර්ගය අවට ඉරීමක් සිදු වී ඇති දැයි පරීක්ෂා කරනව. එසේ ඉරීමක් ඇති නම් හෝ කැපුමක් යොදා ඇති නම් එය දිය වන මැහුම් යොදා ගෙන හිරි වැටීම යටතේ මැසීම වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනව. ඉන් පසු ඔබට දරුවා සමග දිගටම කාලය ගත කිරීමට හැකි අතර මුල් පැය දෙක තුල වරින් වර පරීක්ෂා කර බැලීම සිදු කරනව.

පැය දෙකකින් පසුව සූතිකාගාරයෙන් පිටතට පැමිණිය හැකි අතර දවසක් පමණ දරුවා සමග රෝහලේ ගත කිරීමට සිදු වෙනව. ඒ කාලය තුල දරුවාගේ සහ ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් නම් පසු දින රෝහලෙන් බැහැරව යාමට ඔබට හැකියි.

සාමාන්‍ය දරු ප්‍රසූතිය අපහසු වෙන සමහර අවස්ථාවල දී ඔබට සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරන්න පුළුවන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 6654741562566895064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item