මහින්දට වාසියි - BBC ඇසින්
රනිල් වික්‍රමසිංහ මහතා එම පදවියට යළිත් පහසුවෙන් පත් වෙන බවට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔහු නායකත්වය දෙන සන්ධානය තුල දැඩි විශ්වාසයක් ඇතත් බහ...
https://www.sathhanda.com/2015/07/bbc.html
රනිල් වික්‍රමසිංහ මහතා එම පදවියට යළිත් පහසුවෙන් පත් වෙන බවට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔහු නායකත්වය දෙන සන්ධානය තුල දැඩි විශ්වාසයක් ඇතත් බහුතර සිංහල ජනතාව අතර ජනප්‍රිය දේශපාලන චරිතයක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් අගමැතිවරයාට එල්ල වෙමින් පවතින්නේ දැඩි අභියෝගයක් බව පෙනී යයි.
විවිධ මත දරන දේශපාලන පෙරමුණක්
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුහුණ දෙන පළමු අභියෝගය ලෙස ඔහුට සහාය දෙන කණ්ඩායම් අතර ගැටළු පැන නැඟීමේ හැකියාව පෙන්වා දිය හැක.
මීට හේතුව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සටන් කරන පිලේ පුද්ගලයින් දේශපාලනික වශයෙන් පරස්පර වූ මතයන් හි පිහිටා සිටීමයි.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ සහාය ලබා දෙන පාඨලී චම්පික රණවක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, වෛද්‍ය රාජිත සේනාරත්න වැනි දේශපාලන චරිත මෙන්ම රවුෆ් හකීම් සහ මුස්ලිම් කොංග්‍රසය , රිෂාඩ් බදියුදීන් ඇතුළු කණ්ඩායම , දිගම්බරම් , මනෝ ගනේෂන් දරනුයේ එකිනෙකට වෙනස් මතයන්ය.
ජනාධිපතිවරණයේ දී එක් පෙරමුණක් ලෙස තරග කළ මොවුන් පසුව විවිධ මතවාද හේතුවෙන් එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමට ක්‍රියා කළහ.
මෙලෙස එකිනෙකාට පරස්පර මත දරන දේශපාලන චරිත සමූහයක සහාය ලැබීම මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට අවාසිදායක තත්වයක් නිර්මාණය කළ හැකියි.
කුඩා පක්ෂ නියෝජනය කරන ජන කණ්ඩායම් වෙන වෙනම දේශපාලන වශයෙන් තෘප්තිමත් කිරීමට මේ පිරිස උත්සාහ කිරීම තුලින් අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් වුවද දෙදීරීමකට ඉඩකඩක් පවතියි.
ග්‍රාමීය ඡන්ද පදනම :
රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට වඩාත් සමීප නායකයෙක් නොවේ යයි ජනතාව අතර මතයක් පවතී.
රනිල් වික්‍රමසිංහ විසින් අගමැති ධුරය දැරූ පසුගිය මාස හය තුල දී ඔහු යම්තාක් දුරට ජනතාවට සමීප වීමට උත්සහ කරනු දක්නට ලබුනත් සාමාන්‍ය මහජනතාව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සමීප සම්බන්ධතාව සාපේක්ෂව විශාලය.
රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයේ දී ග්‍රාමීය ඡන්ද ආකර්ශණය කර ගැනීමට නම් හිටපු ජනාධිපතිවරයා සමග දැඩි තරඟයකට මුහුණ දීමට සිදු වනු ඇති බව පොදු පිළිගැනීමයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන කථිකයෙකු වශයෙන් දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ අතර , මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කරන කතිකයෙක් වශයෙන් පිළිගැනෙයි.
ලාංකීය සමාජය සංවේදී වීමට ගත වන කාලය කෙටි බවට උදාහරණ මෙරට දේශපාලන කරළියේ එමටය.
එබැවින් මහින්දගේ දේශපාලන ආමන්ත්‍රණය ග්‍රාමීය හදවත් තුලට කාවදීමට ඇති වැඩි ඉඩකඩ රනිල්ට අභියෝගයක් වීමට ඉඩ ඇත.
බහුතර සිංහල බෞද්ධ බලවේගය
බහුතර සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබුණේ විශේෂ හැකියාවකි.
නමුත් බහුතර සිංහල ජනතාව සහ රනිල් වික්‍රමසිංහ මහතා සමග පවතින සම්බන්ධතාව මහින්ද රාජපක්ෂ මහතා සාපේක්ෂව අඩුය.
සුළු ජාතික පක්ෂ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම නිසා විපක්ෂය සිංහල බහුතර බලවේගය වෙනම ආමන්ත්‍රණය කිරීමට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ මහානායක හිමිවරුන් හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය ගැන ඉලක්ක කර ගනිමින් කළ ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යම් වාසිදායක තත්වයක් ද ඇති කළ හැකියි.
ග්‍රාමීය සංවර්ධනයට මහින්දගේ කැපවීම
නොයෙක් ව්‍යාපෘති මඟින් ග්‍රාමීය ප්‍රදේශවල මංමාවත් පිළිසකර කරමින් කඩිනම් ක්‍රියාමාර්ග දියත් වූයේ මහින්ද රාජපක්ෂ රජය යටතේය.
ජනතාවට වඩාත් වැදගත් යටිතල පහසුකම් සංවර්ධනයයි.
ගෙවුනු කෙටි කාලයේ දී රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුල එම කටයුතු සිදු කෙරුණේ මන්දගාමීවය.
මේ සදහා සාධාරණ ප්‍රායෝගික ගැටළු රැසක් හේතු වුවත් විපක්ෂය මෙම කාරනාව උලුප්පා පෙන්වීමේ දී සාමාන්‍ය ජනතාව එය එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අසාර්ථකත්වයක් ලෙස දැකීමට ඇති ඉඩ කඩ වැඩිය.
මහබැංකු බැඳුම්කර සිද්ධිය :
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පිරිසිදු දේශපාලන නායකයෙක් යැයි ශ්‍රී ලංකා සමාජය තුල පැළපදියම්ව තිබූ පොදු ජන මතය පසුගියදා යම් දෙදරීමකට ලක් විය.
ඒ මහබැංකු බැඳුම්කර සිද්ධිය හේතුවෙනි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ද රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණයේ අවාසිදායක විය හැක.
මහබැංකු අධිපතිවරයා මෙම සිද්ධිය හේතු කොට ගෙන ඉල්ලා අස් විය යුතු යැයි තමන් ප්‍රකාශ කලද , අගමැති රනිල් ඊට ක්‍රියාමාර්ගයක් නොගත් බව ජනාධිපතිවරයා රට හමුවේ කියා සිටියේ ය.
මහබැංකු බැඳුම්කර සිද්ධිය විපක්ෂයේ කටගැස්ම ලෙස වඩාත් රසවත්ව මැතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාවිච්චි කිරීමට ද ඉඩකඩක් පවතියි.
මේ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටුව මේ වන විටත් නිර්දය විවේචනයට ලක් වෙමින් තිබේ.
තවද, රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වේදිකාවල ඉකුත් සමයේ වැරදි කරුවන්ට දඩුවම් දීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ මෙවන් පසුබිමක් යටතේ ජනප්‍රිය ප්‍රකාශ බවට පත් වීමේ ඉඩකඩ අඩු අතර එම ප්‍රකාශ ඔහුට විරුද්ධව දේශපාලන කරලියේ භාවිතා වීමට ඉඩ ඇත.
ඊට අමතරව රාජපක්ෂ පාලනයේ වැරදි කරුවන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂා කළ බවට ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන මතවාදයත් මැතිවරණ සටනේ දී ඔහුට අවාසිදායක තුරුම්පුවක් විය හැකියි.
මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන පෙරමුණට පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට හැකියාවක් තිබේද යන්න නිශ්චිතව තවම ප්‍රකාශ කළ නොහැක.
විවිධ දේශපාලන බලවේගවල සහයෝගය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට යළි පත්වීමේ වැඩි ඉඩකඩක් ඇතත්, මහින්ද රාජපක්ෂ මහතා සිටින පාර්ලිමේන්තුවක් ස්ථාවරව පවත්වා ගෙන යාම ඔහු මුහුණ දෙන විශාලතම අභියෝගය විය හැකිය.


Related