මෛත්‍රී සමග ඇති අමනාපයට වඩා ඔහු සමග ඇති මිතුදම දිගයි - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට දේශපාලන පිටියේ සුවිශේෂී චරිතයකි. තිස් වසරක් තුළ ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය පරාජය කරමින් ඉතිහාසයේ...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට දේශපාලන පිටියේ සුවිශේෂී චරිතයකි. තිස් වසරක් තුළ ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය පරාජය කරමින් ඉතිහාසයේ නම සනිටුහන් කිරීමට සමත් වුවද. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා පරාජයට පත්වූයේ බොහෝ චෝදනාවන්ටදලක්වෙමිනි. දැන් මහින්ද රාජපක්ෂ නම නැවතත් කතාබහට ලක්වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම උදෙසා දේශපාලන සටන් බිමට අවතීර්ණවී සිටින බැවිනි. මේ වත්මන් දේශපාලනය පිළිබඳව ඔහු සමග කළ සාකච්ඡාවකි.

අරලියගහ මැදුරෙන් ජනාධිපතිකම අතහැර හිමිදිරි අලුයම මෝටර් රථයක නැග අවසන්වරට රටේ ජනතාවට ආචාර කර නික්ම යන මොහොතේදී නැවත දේශපාලනයට එනවා කියලා නිකමටවත් සිතුණද?

මම එදා අරලියගහ මැදුරෙන් නික්ම වුණු දවසේ නැවත දේශපාලනයට පැමිණෙන අදහසක් තිබුණේ නැහැ. ඒ වගේම මම හිතුවේ නැහැ, එදා ගෙදර ආපු මාව නැවත ඉල්ලගෙන මේ තරම් ජන ගංගාවක් මැදමුලනට එයි කියලා.

මම හිතුවා ටිකක් විවේක ගන්න ඕනේ කියලා. මම ගෙදර ආපු දවසේ ඉඳන් මිනිස්සු මාව බලන්න ආවා. මම බලන්න ආපු සමහරු මාව දැකලා අඬනවා. මට වඳිනවා. රට භාරගන්න කියනවා. මාව බලන්න ආපු සෙනග වෙනුවෙන් මේ පාර දෙපස කඩ දාන්නත් පටන් ගත්තා. සමහරු දන්සල් දෙන්නත් පටන් ගත්තා.
මම හැමදාමත් මේ රටේ දරුවන්ට වගේම සියලු ජාතීන්ට ආදරය කළා. සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා මම බෙදීමක් කළෙත් නැහැ. මාව බලන්න මේ හැම ජනකොටසක්ම ආවා. ඔවුන්ගේ සිත්වල මහා දුකක් තිබෙන බව මට වැටහුණා. මට ඔවුන් ආරාධනා කළා ඔවුන්ගේ ගම්වලට පැමිණෙන්න කියලා. ඉන්පසුවයි මම රට පුරා පන්සල්වලට යන්න පටන් ගත්තෙ. අපේ මහා සංඝ රත්නය මා වෙනුවෙන් බෝධි පූජා පැවැත්තුවා. ඒ බෝධි පූජාවලට මට ආරාධනා කළාම මම කොහොමද නොගිහින් ඉන්නෙ. බුදු දහම කොහොමත් මගේ ජීවිතයට ඉතා සමීපයි. පන්සල් වෙහෙර විහාර මට අමුතු දෙයක් නොවෙයි.

නැතුව මම පන්සල්වලට ගියේ දේශපාලනය කරන්න නෙමේ.දිනේෂ්ලා, වාසුලා, විමල්, ගාමිණී, උදය වගේ අපේ පැත්තේ ක්‍රියාශීලි දේශපාලන නායකයෝ කීපදෙනෙක් මා වටා එක්වෙන අසීමිත ජන ගංගාවට අවශ්‍ය පෙළගැස්ම නුගේගොඩින් ආරම්භ කළා. ඒ වගේම තමයි පළාත් සභාවල අපගේ මන්ත්‍රීතුමන්ලා සියයට අනූනමයක්ම මට නැවත දේශපාලනයට එන්න කියලා ආරාධනා කළා. 

සමහරු නම් කියන්නේ මන්ත්‍රීවරයෙකු, ඇමැතිවරයෙකු, අගමැතිවරයෙකු, ජනාධිපතිවරයෙකු වෙලා සිටි ඔබ නැවත මේ මන්ත්‍රීවරයෙකු වෙලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නේ බලයට ඇති කෑදරකම නිසා කියලයි?

මොන බොරුවක්ද? මමද බලයට කෑදර? එහෙම නම් අවුරුදු දෙකකුත් තියාගෙන මම මැතිවරණයකට යනවද? මැතිවරණයකට නොගියා නම් මම තාම ජනාධිපති. මට අවශ්‍ය වුණේ ජනතාවගේ කැමැත්ත බලන්නයි. ජනතාව මාව එපා කිව්වාම මම ගෙදර ගියා. ඉන්පසු ජනතාව නැවත ආපසු මාව බලන්න ඇවිත් රට බාරගන්න කියනවා. මම මොකද කරන්න ඕනේ. ජනතා ඉල්ලීම අහක දාන්න ඕනෙද? අනිත් කාරණාව ජනවාරි 08 දා මම පරාජය වුණේ උතුරේ ඡන්දවලින් පමණයි. දකුණේ ඡන්දවලින් මම පරාදවුෙණ් නැහැ. මේ අයමනෙ කිව්වේ මාව පරාද කළේ අවුරුදු දෙකක කුමන්ත්‍රණයකින් කියලා. ඒ කුමන්ත්‍රණයට මගේ කරට අත දාගෙන හිටපු අයත් හවුල් වුණා. මම මිනිසුන් පිළිබඳව දැක්වූ අසීමිත විශ්වාසය තමා ඔවුන්ම මාව පරාද කරන්නත් යොදාගත්තේ.

අනික රනිල් අගමැති වුණේ ජනතාවගේ කැමැත්තෙන්ද? නෑ. ඒත් මම 70 වේ ඉඳල මැතිවරණවලට මුහුණ දෙනවා. ජය පරාජය මට පුරුදුයි. මම ජනතාවට ද්‍රෝහිකම් කළා නම්, හොරකම් කරලා තියෙනව නම් මට මෙහෙම නැවත ජනතාව අතරට යන්න පුළුවන්ද? මම අහන්නෙ ඇයි මම එනවට මේ අය මේ තරම් බය කියලයි. 


ඔබ නැවත බලයට ආවොත් ඔබ වටා සිටි නොයෙකුත් දූෂිතයින් නැවත ඔබ වටා එකතුවෙන බවට, විරුද්ධ පාක්ෂිකයින් විවිධ මත ජනතාවට පවසනවා?

එහෙම අය කවුරුත් දැන් මා වටා නැහැ. ඒ සමහරු දැන් දේශපාලනයෙත් නැහැ. මා වටා හිටපු අන්තවාදීන් අද අලියට එකතු වෙලා. මට දැන් ඔය කා ගැනත් හොඳ වැටහීමක් තිබෙනවා. ඒ නිසා මම බලයට ඇවිත් රටේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරවනවා. ඇමැති ද, මන්ත්‍රී ද තමන්ගෙ කෙනාද, පුතාද, බාප්පද කියලා දැන් මම බලන් නැහැ. වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. 

එදා ඔබගේ ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ සමහර අය නීතියේ ආධිපත්‍යය අතට ගෙන ක්‍රියා කළා. මාධ්‍ය ආයතනවලට පැමිණ පහර දුන්නා. විධායක ජනාධිපතිව සිටි ඔබට එදා ඇයි එවැනි අයට දඬුවම් දෙන්න බැරිවුණේ?

ඔය කියන ඇමැතිවරයාට නිසි දඬුවම එදා එම මාධ්‍ය ආයතනයට පහර දෙන්න ගිය අවස්ථාවේදීම ලැබුණනෙ. එයා රතු පාට නාගෙනයි ඒ මාධ්‍ය ආයතනයෙන් එළියට ආවේ. මම හිතුවේ ‍ලේ කියලා. ඔළුවත් පැලුවා. එහෙම දඬුවමක් ලබපු කෙනාට මම ආයිමත් දඬුවම් කරන්න ඕනෙද? ඔහුට අද වන විටත් කළ වැරදිවලට නිසි දඬුවම් ලැබි තිබෙනවා. 

වර්තමානය වන විට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිබවා නැගී සිට ඇති බවක් පෙනෙන්නට ඇතැයි මා පැවැසුවහොත්....?

මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. ඔවුන්ට අද රාජ්‍ය බලය තිබෙන නිසයි ඔබට එහෙම පෙනෙන්නේ. ජනතා බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගයි. එය 17 දාට රටටම දැකගන්න ලැබෙයි. ඔවුන් අද අසීමිත ලෙස ‍පොලිස් බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය පමණක් නොවෙයි ධනේශ්වර පන්තියේ බලය මතුකරගෙනයි කටයුතු කරන්නේ. 

ලක්ෂ 62ක ජනවරමකින් මීට මාස 7කට පෙර පිහිටුවූ රජය පිළිබඳව ඔබට ඇති ප්‍රධානම විවේචනය මොකක්ද?

මම විතරක් නමෛයි, වෙනසක් කරන්න ආපු මේ යහපාලන ආණ්ඩුව ගැන අද මුළු රටම විවේචන ඉදිරිපත් කරනවා. සමහරු අද දුක් වෙනවා රටට වෙච්ච දෙයක් කියලා.

නීතියේ ආධිපත්‍යයට අද මොකද වෙලා තියෙන්නේ, කැලෑ නීතිය රජ කරනවා. අපේ කා‍ලේ විනිසුරුවරයෙකුටවත් බලපෑම් කරලා නැහැ. නමුත් අද අධිකරණයටත් බලපෑම් කරනවා. අද බලන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මොනතරම් පීඩාවකට මේ අය පත්කර තියෙනවද කියලා. බොරු චෝදනාවලට අපේ මන්ත්‍රීතුමන්ලා හිරේ විලංගුවේ දැමුවා. රාජ්‍ය සේවකයාට තිබූ ගෞරවාන්විත පිළිගැනීම විනාශ කළා. රජයේ සේවකයින්ගෙන් පළිගැනීම් කළා. රැකියාවලින් දොට්ට දැමුවා. අල්ලස් හෝ දූෂණ කොමිසමට පමණක් රජයේ නිලධාරීන් 800ක් පමණ මේ වන විට ගෙන්වා තිබෙනවා.


රටක් පාලනය කරන විට ජාත්‍යන්තර සබඳතා ඉතා වැදගත් වෙනවා. නමුත් ඔබ ජනාධිපතිව සිටියදී අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති නිසා අපට හිතවත් බොහෝ මිතුරු රාජ්‍ය විරසක වුණා නේද? විශේෂයෙන් ඉන්දියාව?

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේ නමක් ඇතිකරන්න හැකිවුණේ මටයි. සාර්ක් සමුළුව, ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමළුව ඔබට මතක ඇතැයි කියලා මම හිතනවා. ලෝකයේ රාජය නායකයින් කීදෙනෙක් ලංකාවට ආවද? ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී අපි පවත්වපු ආකාරය ගැන අදත් මුළු ලෝකයම කතා කරනවා. 

හැබැයි මම කවදාවත් විදේශ රාජ්‍යයන් ඉදිරියේ දණින් වැටුණේ නැහැ. රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඔවුන්ට අත‍පොවන්න දුන්නේ නැහැ. මට ත්‍රස්තවාදය අවසන් කරගත හැකි වුණෙත් ඒ නිසයි. අද සමහරුන්ට මේවා මතක නැහැ. රටක් ලෙස අපි ස්වාධීනව නැගිටින විට අපි ගැන විරසක භාවයක් ඇතිකරගත් විදේශ රාජ්‍ය තිබෙන්නට පුළුවන්. නමුත් මට වැදගත් වූයේ අප උපන් මාතෘ භූමිය පමණයි. සමහරු කියනවා මම චීනයට ගැතිවුණා කියලා. මම චීනයෙන් ණය ආධාර ගන්නවා වගේම ඇමෙරිකාවෙනුත් එංගලන්තයෙනුත් ණය ගත්තා.

මම ඉන්දියාව සමග තරහක් ඇති කරගත්තේ නැහැ. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පවා මට කතා කළා. මට සුබ පැතුවා. නරේන්ද්‍ර මෝදි පමණක් නොවෙයි හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මැතිතුමා සමගත් අපි ඉතාමත් සුහදව කටයුතු කළා. 

ඔබතුමාගේ පාලන කාලයේ කළ නොයෙක් ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘති බවට ඇතමුන් පෙන්වා දෙනවා. නැව් නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටු‍පොළවල් හැදූ බවට කොපමණ චෝදනා නැගෙනවද...?

අද, අධිවේගී මාර්ග අසාර්ථකද, සිවිල් ගුවන් සේවා අසාර්ථකද...? හම්බන්තොට වරාය ගමු. මේ වරාය හැදුවේ හදපු ගමන් නැව් ගේන්න නෙමේ. ක්‍රමානුකූලවයි රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතා හොඳ මුහුදු මාර්ගයක් ඉලක්ක කොටයි හම්බන්තොට වරාය හැදුවේ. ඒ වරායට නැව් එන ක්‍රමවේදයත් අපි පටන් අරගෙනයි තිබුණේ. මේ අය තමයි මේ ව්‍යාපෘති විනාශ කරන්නේ. අද මෙම ව්‍යාපෘතිවලින් විශාල ආදායමක් ලබනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා වියලුවේදී කිව්වා මේ වරාය පුද්ගලීකරණය කරනවා කියලා. අමතක කරන්න එපා මත්තල ගුවන් තොටුපළ වහලා තිබුණත් මේ රටට මුදල් ලැබෙන බව. මොකද කිසියම් ගුවන් යානාවක් අපගේ ගුවන් සීමාවේ පියාසර කරන විට අපිට මුදල් ලැබෙනවා. 

ඔබ ගොඩනගන්න බලා සිටින නව ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන විශේෂ සහන මොනවද...?

විශේෂයෙන් තරුණයාගේ අනාගතය ගොඩනැගීම, රටේ සාමය, නීතියේ ආධිපත්‍ය සුරැකීම, කුඩු එතනෝල්වලින් රට මුදවාගැනීම, රටේ සාරධර්ම සුරැකීම අපගේ අරමුණයි.

අපි මේවා කිව්වාම එක්සත් ජාතික පක්ෂය මේවා එකතු කරගෙන දැන් දෙන්න පුළුවන්නම් දීලාම දානවා. ඒ නිසා මේවා දැන්ම කියන එකත් නුවණට හුරු නැහැ. කොහොම වුණත්, තවදුරටත් කියනවනම්, රාජ්‍ය සේවයේ ගෞරවය රැකීම, අවම වැටුප 25000 කිරීම, විශ්‍රාමිකයන්ට සහන සැලසීම, ‍පොලීසියට උසස් වීම් ලබාදීමේ නව වැඩපිළිවෙළක් හඳුන්වා දීම, ආරක්ෂක අංශ සඳහා නවීන පුහුණුවීම් ලබාදීමට අපි බලා‍පොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව අපේ හමුදා අඩු කරන්න විශාල වැඩපිළිවෙළක් කරන්න යනවා, විදේශවලින් අද මේ ආණ්ඩුවට බලපෑම් කරනවා, හමුදාව අඩු කරන්න කියලා. ඒවා වහාම නතර කොට හමුදා සේවයේ වැටුප් තල වෙනසකට ලක්කොට අසාධාරණකම් ඉවත්කිරීමට මා බලා‍පොරොත්තු වෙනවා. රබර් මිල, වී මිල වැඩි කිරීම.රනිල් නම් කියනවා තේවලට 90ක් දෙනවා කියලා. මම කියනවා ‍පොරොන්දු වූ 80 දෙන්න කියලා. අද නුවර තේ කිලෝව රුපියල් 43 යි. ඒ නිසාම මේ ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාර කඩාවැටීම. වහාම ව්‍යාපාර නගාසිටුවිය යුතුයි. අපි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලා‍පොරොත්තු වෙනවා. තව ගොඩක් තියෙනවා ඒවා පසුව රටට කියන්නම්.

ඔබ පැහැදිලි කළේ සංවර්ධන අභියෝගය ජයගන්න ආකාරයයි. නමුත් මුළු ලෝකයම අපිට ඇඟිල්ල දිගු කරන දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් දෙන්න සැලැස්මක් නැද්ද...?

අපි ඒ සඳහාත් තීන්දුවක් ගෙන තිබෙනවා, අපි තමයි දෙමළ ජනතාවට ඡන්ද බලයක් දීලා ඔවුන්ගේ ජීවිතවලට අභය දානයක් දුන්නේ. එම දෙමළ ජනතාවට එකඟ විය හැකි විසඳුමක් අපි දෙන්න අවශ්‍යයි. හැබැයි ඔය දෙමළ නායකයින්ට එකඟ වෙන්න හරි අමාරුයි. ඔවුන් හදන්නේ එයාලගේ රාජධානි හදාගෙන ඒවායේ., රජ කරන්නයි. ඒ සඳහා ඉඩ තියන්න මට බැහැ. උතුරේ ජාතිවාදයට වඩා කුල පීඩනයක් තිබෙනවා. ඒ ජනතාව ඒවාටත් මුහුණ දෙනවා. මේ සියල්ල හරිහැටි වටහාගෙනයි අපි ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ. අපි උතුරු හා නැගෙනහිර පළාත් පසුගිය අවුරුදු පහ තුළ අතිවිශාල සංවර්ධනයකට ලක් කළා.

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්, යුද හමුදාව හා මහින්ද රාජපක්ෂ මහතා සමග රහස් ගිවිසුමක් ඇතිකරගෙන බලයට එන්න හදනවා කියලා දෙමළ ජාතික සන්ධානය චෝදනාත් එල්ල කළා නේද...?

මගේ දේශපාලන ඉතිහාසයේ කවමදාකවත් මම රහසේ කුමන්ත්‍රණ කරලා නැහැ. රහස් ගිවිසුම් මා තුළ නැහැ. අපේ පක්ෂය කුමන්ත්‍රණ කරලා නැහැ. කිසිවෙකු සමග මම රහස් ගිවිසුම් ඇතිකරගෙන නැති බව ජනතාව දන්නවා. මම විවෘත මිනිහෙක්. පළිගැනීම් මා ළඟ නැහැ. මගේ විවෘතභාවය තමයි ලොකුම දුර්වලකම වුණේත්. නමුත් මට ජනතාව රවට්ටන්න බැහැ. ජනතාවට බොරුවක් කරන්න බැහැ. අපි මේ මාතෘභූමියට ණයගැතියි. ඒ නිසා රටේ ජනතාවට මම කියන්නේ දෙමළ මුස්ලිම් කියලා බියවෙන්න එපා. අපි රට තුළ අන්තවාදයට ඉඩ තියන්නේ නැහැ. හැම කෙනෙකුගේම අයිතිවාසිකම එකහා සමානයි. විශේෂත්වයක් කාටවත් නැහැ.

මෙවර මැතිවරණයේදී විපක්ෂය නම් කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අන්ත පරාජයක් ලබන බවයි. ඔබගේ විශ්වාසයට අනුව ඔබගේ සන්ධානයට ආසන කීයක් හිමිවෙයිද...?

ආසන 117කට වැඩි සංඛ්‍යාවක් අපි ලබාගන්නවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ පාලනය මේ දින 100 කට වැඩි කාලය තුළ ජනතාව හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. වෙනසක් කියලා ඡන්්ද දුන්නු අයට පහුගිය කා‍ලේ රටේ ඇතිවූ වෙනස කුමක්ද කියලා අද තේරිලා තිබෙන්නේ. බොහෝ දෙනා මට අද කතා කරනවා එක්සත් ජාතික පක්ෂයේ මේ දුර්වල පාලනය ගැන. ඒ නිසා අගෝස්තු 17 දාට රටේ ජනතාව සන්ධානය ඉහළින්ම දිනවලා පෙන්නාවි.

සන්ධානය ජයග්‍රහණය කළත් ඔබට අගමැතිකම නොදෙන බව ජනාධිපතිවරයා මුළු රටටම කිව්වා. ඔබට නිකම්ම නිකන් මන්ත්‍රීවරයෙක් වෙන්න වෙයිද...?

එය බලාගන්න අගෝස්තු 17 වෙනකම් ඉමුකෝ. මොකටද අපි කට ඉස්සර කරගන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය හමුවේ කළ ප්‍රකාශයෙන් ඔහු ඔබ කෙරේ දැඩි විරසක භාවයකින් සිටින බව පෙනෙන්නට තිබුණා. ඔබ තුළත් ඔහු කෙරෙහි එවැනිම විරසකභාවයක් ඇති නේද...?

එහෙම කිසිම දෙයක් නැහැ. මාව දැක්කම එහෙම හිතෙනවද...? අඩුම තරමින් මගේ ප්‍රකාශයකින්වත් මම එතුමාට චෝදනා කරලා නැහැනේ. ඒ ප්‍රකාශය මම ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ඔහුගේ හිතේ තිබුණු දේවල් තමයි එළියට දැම්මේ. මගෙ කිසිම විරසක බවක් ඔහු කෙරේ නැහැ. අපි හැමෝම මෛත්‍රී කරන්න ඕනෑ.

එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කර ඔබ අගමැති වුණා යැයි අපි සිතමු. එහිදී ජනාධිපති හා අගමැති වන ඔබ අතරේ ඇති අමනාපකම් රටේ පාලනයට අහිතකර ලෙස බලපායි නේද?

දැන් රනිල් අගමැති කරලා, රටේ පාලනය හරියට කරනවද? අපි ගොඩනගපු රට මේ මාස 6ට විනාශ කළා. දැන් අපිට නැවත රටට පණ දෙන්න වෙලා.

ජනාධිපති හා මා අතරේ අමනාපකමකට වඩා ඉතා දිගු මිතුදමක් තිබෙනවා. අමතක කරන්න එපා අපි එකට වැඩ කළ අය. ඈත්වෙලා හිටියේ ටික දවසයි. ඒ නිසා රටේ අනාගතය ගොඩනැගීමට කිසි ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සකස් කරද්දී ඔබට ඉතා හිතවත්ව සිටි කිහිප දෙනකුට නාම යෝජනා ලැබුණේ නැහැ. කවුද ඒ තීරණය ගත්තේ?

පක්ෂයේ නායකයා තීරණයක් ගත්තාම අපිට ඊට එකඟ වෙන්න සිදුවෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් තීරණවලට අපිට බලපෑමක් කරන්න බැහැ.

නිදහස් පක්ෂයේ නායකත්වය බාරදීම ගැන අද කනගාටු වෙනවාද?

කිසිම කනගාටුවක් නැහැ. මම එහෙම පක්ෂයක් භාර දුන්නට කවුරුවත් එහෙම පක්ෂයක් භාර දෙනවද? ඉතිහාසයේ නායකයෝ එහෙම කරලා තියෙනවද? හැබැයි පක්ෂය ආරක්ෂා කරගන්න එක සභාපතිගේ වගකීම. මට ඕනනම් තිබුණා මැතිනිය එක පාරක් පක්ෂයේ ‍ලේකම්ලා අයින් කරලා පක්ෂය රැකගත්තා වගේ දෙයක් කරන්න. මම එහෙම කළේ නැහැ. දැන් මේ තහනම් නියෝග ගෙනල්ලා. මොන විහිළුවක්ද? එහෙම තහනම් නියෝගයක් ගත්ත එක පක්ෂයට කැළලක්. මොකද පක්ෂයේ සභාපතිව ඉවත් කරන්න අපේ කාගේවත් වුවමනාවක් නැහැ.

මම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක්. මම දින 7න් පක්ෂය බාර දුන්නා. ඉතිහාසයේ කිසිම නායකයෙක් එහෙම පක්ෂය බාරදීලා නැහැ. මට පක්ෂය ගන්න වුණේ සටන් කරලා. මම ඇමෙරිකාවේ ඉන්න කෙරීට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මිනිසෙක්. ඒ නිසානේ ඔවුන්ට මාව ප්‍රශ්නයක් වුණේ. මාව පරාද කරන්න කටයුතු කළේ.

ගිරුවාපත්තුවේ ජන නායකයා ගිරුවාවේ ජනතාව අතහැර මහ මැතිවරණයට කුරුණෑගලට පැනලා ගියා කියලා ඔබට ලොකු චෝදනාවක් මේ දිනවල විපක්ෂයෙන් එල්ල කරනවා?

මම ගිරුවාපත්තුවේ මිනිහා නිසයි මේ රටම ආදරය කරන්නේ. ගමේ සුවඳ මා ළඟ තියනවා. මම ගැමියෙක්. එය හංගන්න මට ඕනේ නැහැ. ගිරුවාව වගේම කුරුණෑගලත් මට මගේ ගම වගෙයි. කුරුණෑගලින් විතරක් ‍නෙවෙයි රත්නපුරෙන්, අනුරාධපුරයෙන්, ගම්පහිනුත් මට මැතිවරණයට තරග වදින්න ආරාධනා කළා. මම තීරණයක් ගන්නටත් පෙර කුරුණෑගල අපේ නායකයින් ටී.බි. ඒකනායක, සාලින්ද, ජොන්ස්ටන් වගේ ඇමැතිවරු මුල්වෙලා ප්‍රකාශයක් නිකුත් කළා මම කුරුණෑගලින් ඉල්ලනවා කියලා.

ගිරුවායේ ඉඳලා කුරුණෑගලට යන එකත් ඓතිහාසිකයි. මොකද රුහුණත් රාජධානියක්. ඒ වගේම රාජධානි 4ක් තිබුණු ප්‍රදේශයකට තමයි කුරුණෑගල අයිති වෙන්නේ.

ඒ වගේම හම්බන්තොටට බොහෝ සමාන දේශගුණයක් තමයි කුරුණෑගල සමහර ප්‍රදේශවලත් තියෙන්නේ. කුරුණෑගල ප්‍රදේශයේ මම විශාල සංවර්ධනයකුත් කර තිබෙනවා. කුලියාපිටිය නගරයට ඔබට ගිහින් බලන්න පුළුවන්.

මේ දිනවල ඔබ මැතිවරණ වේදිකාවේ කියන කාරණයක් තමයි රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 25,000ක් කරන බව. ඒ වගේම ඔබ තවත් ‍පොරොන්දු ජනතාවට ලබා දෙන බව පවසනවා. ඔබ ජනාධිපති වෙලා සිටි වසර 10 තුළ ඇයි මේ දේවල් කරන්න බැරිවුණේ?

මාගේ වසර 10ක පාලන කාලය තුළ තරම් මේ රටේ රාජ්‍ය සේවකයින්ට සෞභාග්‍යය කැන්දවූ ඉතිහාසයක් තියෙනවද? එදා මම රට භාර ගන්නකොට රාජ්‍ය සේවකයින් හිටියේ ලක්ෂ 3යි. මම එය ලක්ෂ 15ක් දක්වා වැඩි කළා. එදා තිබූ සොච්චම් වැටුප අද තිබෙන ගානට වැඩි කළේ මමයි. අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට මම වැඩි කළ මුදල මේ අයට තාම දීගන්න පුළුවන් වුණාද? මම හැමදාම මේ රටේ රාජ්‍ය සේවය ආරක්ෂා කළා.

එක්සත් ජාතික පක්ෂය විකුණා දැමූ රාජ්‍ය සම්පත් මම නැවත රජයට ගත්තා. එයාර් ලංකා, සතොස, රක්ෂණ, ගෑස්, වතු සමාගම් ඇතුළු ආයතන හැට අටක් තුට්ටු දෙකට විකුණුවා. මම ඒවා නැවත අරගෙන එම ආයතනවල දියුණුවට අවශ්‍ය අංගසම්පූර්ණ ගොඩනැගිලි, නවීන පහසුකම් ලබාදෙමින් උගත්, තරුණ තරුණියන්ට ඒවායේ රැකියා දොරටු විවර කර දුන්නා.

හිටපු ජනාධිපතිවරයා ලෙස ඔබට අවශ්‍ය සියලු ආරක්ෂාව ලබාදී ඇති බව ආණ්ඩුව පවසා තිබෙනවා. නමුත් ඔබගේ ආරක්ෂාව මදි බවට ඔබගේ පාර්ශ්වය දිගින් දිගටම කරුණු පවසනවා. ඔබට මරණීය තර්ජනත් එල්ල වන බවට වැඩිපුර කතා කරනවා. මෙය මැතිවරණය ජයග්‍රහණය කිරීමට භාවිත කරන එක තුරුම්පුවක්ද?
අද මම ඉන්නේ දැඩි අනාරක්ෂිත බවක බව රටම දන්නවා. ත්‍රස්තවාදීන් නැති කිරීම නිසා මමත්, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ සියලු දෙනාටම මේ තර්ජනය තිබෙනවා. මෙහෙම තිබියදී මට ලබාදී ඇති ආරක්ෂක රථවල අඩුවක් තිබෙනවා. මම දැන් දිනපතා රැස්වීම්වලට යනවා. ජනතාව විශාල උත්සාහයක් ගන්නවා මට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න. කොහොම වුණත් මොන තර්ජනය තිබුණත් මම රටේ ජනතාවගේ ඉල්ලීම වෙනුවෙන් ආරම්භ කළ මේ පියවර පස්සට ඇද දමන්නට කිසිවෙකුටත් බැහැ. මොන ආරක්ෂාව නැති වුණත් රටේ ජනතාව මට ලබාදෙන ආරක්ෂාව ගැන මම ඉතා සතුටු වෙනවා. 

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම පිළිබඳව මෙවර මැතිවරණයෙන් ඔබගේ පාර්ශ්වය වැඩිපුර කතා කරනවා. මිනිසුන්ගේ ඡන්දය ගන්න කළ හොරකම් වහගන්න යුද්ධය ගැන නැවත කතා කරනවා කියලා මේ නිසාම ඔබටත් ඔබගේ පාර්ශ්වයටත් ඇඟිල්ල දිගුවෙනවා?

ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන අපිට කතා කරන්න අයිතියක් නැද්ද? අද දකුණේ කෑගහන අයට නිදහසේ බියක් සැකයක් නැතිව උතුරට යන්න හැකිවී තිබෙන්නේ අපි ත්‍රස්තවාදයෙන් රට මුදවාගත් නිසා නොවේද?
එදා අපේ ගම්වලට මළමිනී ආපු හැටි මතක නැද්ද? බස් රථයේ, දුම්රියේ, වගේම ප්‍රධාන නගරවල බෝම්බ පිපිරුණා. පාසල් මුර කළා. මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා ඝාතනය කළා. උදේට ගෙදරින් ගිය තාත්ත අම්මා හවසට ගෙදර එයිද කියලා දරුවෝ හිටියේ දෙගිඩියාවක. මම මේ අතීතය මතක් කරනවා නොවෙයි. මේවා කියන්න වෙන්නේ අද අපේ අයට මේවා අමතක වෙලා නිසයි.

ත්‍රස්තවාදය පරාජය කිරීම මතක් කරලා ඡන්දය ගන්න අපිට අවශ්‍ය නැහැ. නමුත් අපි රට වෙනුවෙන් කළ කාර්යයන්වලදී එය ප්‍රධානයි. මම අදටත් විශාල සැනසීමක් ලබන කාරණාවක් තමයි ත්‍රස්තවාදයෙන් රට බේරගන්න හැකියාව ලැබිම ගැන. විශේෂයෙන් අපේ තරුණ තරුණියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ලැබිම ගැන.

ඔබගේ රජය පැවැති කා‍ලේ මංමාවත් ඉදිකරමින් රටේ මහා සංවර්ධනයක් ඇති කළ බව බොහෝ දෙනා පිළිගන්නවා. නමුත් ඒ සංවර්ධනයට මුවාවෙලා ඔබගේ රජය ජනතා මුදල් කොල්ලකා ඇති බවට වාර්තා පවා ආණ්ඩුව රටට ප්‍රසිද්ධ කළා. සමහර සංඛ්‍යා‍ලේඛන පවා ඉදිරිපත් කළා. 

පුද්ගලයෙක් විනාශ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධාන එක තමයි මරා දැමීම. අනෙක් ක්‍රමය චරිත ඝාතනය. මේ අය අද කරන්නේ දිගින් දිගටම චරිත ඝාතනය කිරීමයි. හැබැයි මතක තියාගන්න ඕනේ 1956 සිටම මේ වාමාංශික නායකයන්ගේ ප්‍රතිරූපය විනාශ කර දැමුවා. බණ්ඩාරනායක මහතාගේ වගේම මැතිනියගේ පවා චරිත ඝාතනය කළානේ. එපමණක් නොවේ ධර්මපාලතුමාගේ ප්‍රතිරූපයත් විනාශ කළේ හොරා කියන වචනය පාවිච්චි කරලයි. මේ හොරා කියන වචනය මට අලුත් දෙයක් නොවෙයි. මේ කුමන්ත්‍රණයේ ආරම්භයේ සිටම මේ වචනය පාවිච්චි කරමින් තමයි මාව විනාශ කරන්න හැදුවේ. 

අපි කළ සංවර්ධනය මෙයාලට කරගන්න බැරිවුණු නිසයි මෙහෙම චෝදනා කරන්නේ. අපි ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තියට ළංවෙන්නවත් මෙයාලට හැකිවුණාද? අපි සියලු දේ කළේ ජනතාව අතරේ මුදල් ගැවසෙන ආකාරයටයි. හැම ගමකටම සංවර්ධනය රැගෙන ගියා. ගමේ පාර, පාලම, රෝහල, පාසල හදනකොට ඒ කොන්ත්‍රාත්තු ලබාදුන්නේ ගමේ කොන්ත්‍රාත්කරුවන්ටයි. එයින් ගමේ ඉන්න මේසන්බාස්ට, වඩුබාස්ට අත්උදව්කරුවන්ට මුදල් ලැබුණා. සෘජු හා වක්‍ර රැකියා මොනතරම් මේ සංවර්ධන ව්‍යාපාර හරහා රටේ ඇතිවුණාද? අපි අධිවේගී මාර්ග කීපයක් හැදුවා. අපි නාස්ති කළා, දූෂණය කළා කියන අය අද මේ මැතිවරණ කාලයේ එහාට මෙහාට කරදරයක් නැතිව යන්නේ අපි පාරවල් මෙහෙම හදපු නිසා නොවේද?

රටේ අනාගත පරපුර වෙනුවෙන් ඔබ බොහෝ සංවර්ධනයන් රට තුළ කළත් ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද ඔබෙන් ගිලිහුණා නේද?

එයට හේතුව තමයි තරුණයන්ට එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ අත්දැකීම් නැතිකම. ටයර් සෑයවල්වල තරුණයෝ මැරුණු හැටි, බටලන්ද වධකාගාරය, රැකියාවලින් දොට්ට දැමීම, පහරදීම්, නූතන තරුණයා දන්නේ නැහැ. ඒ නිසයි තරුණයා වෙනසක් කරන්න ඡන්දය දුන්නේ. 94 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිනේ රට පාලනය කළේ. මම හිතනවා පසුගිය මාස 6ක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ පාලනය මොන වගේද කියලා තරුණයෝ වටහා ගන්න ඇති කියලා. හෙට දවසෙත් මේ යහපාලනය කියලා එකතු වෙලා ඉන්නෙත් එකම කට්ටියක්. එදා බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය අය සහ මෙරට තරුණ තරුණියන් හැට දාහක් මරා දැමීමට දායක වූ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් තමයි මේ යහපාලන පෙරමුණ කියලා අලුත් විදිහට කතා කරන්නේ. හැබැයි ඒ අයගේ සැඟවුණු ඉතිහාසය අප අමතක කළ යුතු නෑ.

පානුක රාජපක්ෂ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 2755734059203858073

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item