වික්‍රමසිංහ - විජේවර්ධන පවුල් සංගමය ඇතුලේ නැවත ඇතිවූ බරපතළ ගැටුම නිසා වාර්තා එළිදකීද ?
රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විවාහ වූයේ ලේක්හවුස් ආයතයේ නිර්මාතෘවරයා වූ ඩී.ආර්. විජේවර්ධන මහතාගේ දියණිය වන නා...

https://www.sathhanda.com/2015/08/wickramasinghe-wijewardane-family-politics.html

මෙම පවුල් සංගමයේ ගැටුම් ඉතිහාසය පුරාම පැවති අතර මෙවර ඇතිවී තිබෙන බරපතල ගැටුමට පදනම වැටෙනුයේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුය. වර්තමානයේ තම සමීපතම හිතවතා වන අකිල විරාජ් කාරියවසම් මහතාට වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යධූරයක් ලබාදී රුවන් විජේවර්ධන මහතාට රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම මෙම ගැටුමේ ආරම්භයයි. බැලූ බැල්මටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධූරය ඉතා බලගතු පදවියක් ලෙස පෙනුනද මෙයට සමාන ධූරයන් හෙබවූ ලලිත් ඇතුලත්මුදලි, රංජන් විජේරත්න සහ අනුරුද්ධ රත්වත්ත යන් මහත්වරුන් එම ධූරයන් හොබවන කළ එයට තිබූ කිසිදු බලතලයක් වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධූරය සතුව නොමැත.
සැබවින්ම රුවන් විජේවර්ධන මහතා යටතට වැටෙන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විෂය පථයට වර්තමානයේදී අයත් වනුයේ අනෝමා ෆොන්සේකා මහත්මිය සභාපති පදවිය දරණ රණවිරු සේවා අධිකාරිය සහ බටලන්ද ආරක්ෂක සේවා විද්‍යාලය ඇතුලු කුඩා ආයතන හතරක් පමණි. ආරක්ෂක අමාත්‍යංශය තුළ කාර්යාලයක්වත් රුවන් විජේවර්ධන මහතාට නොමැත. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව විජේවර්ධන මහතා උතුරේ හමුදා කඳවුරු රැසක සංචාරය කළ අතර ඒ සඳහා සැළකියයුතු මාධ්‍ය ප්‍රචාරයක්ද ලැබිණි. නමුත් එක්වනම ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් විජේවර්ධන මහතාගේ විෂය පථය කුඩා ආයතන හතරකට සීමා කෙරිණි.
අකිල විරාජ් කාරියවසම් මහතාට අධ්‍යාපන අමාත්‍යධූරය ලබා දීමට එජාප ප්‍රධානීන් බොහෝ දෙනෙකු විරුද්ධ වී ඇති අතර ඒ අතර එජාප යොවුන් පෙරමුණේ නායකත්වය හොබවන රුවන් විජේවර්ධන මහතාද විය. එම අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා විසින් විජේවර්ධන මහතා අස්වසා ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධූරය යනු පෙර ලෙසම බලවත් ඇමති පදවියක් බවත් විජේවර්ධන මහතාගේ පුර්වගාමීන් වන ඇතුලත්මුදලි, විජේරත්න සහ රත්වත්ත මහත්වරුන් මෙන් කටයුතු කරමින් විජේවර්ධන මහතාටද ජාතිකව වැදගත් වන ප්‍රතිරූපයක් වර්ධනය කරගනිමින් මීළඟ එජාප නායකයා වීමට සුදුසුකම් ලැබීමට හැකි බව පවසමිනි.
![]() |
ඩී ආර් විජේවර්ධන මහතා |
මේ සාකච්චාවෙන් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වූ විජේවර්ධන මහත්වරුන්ගේ කෝපය බොහෝ දුරට නිවුණු අතර ඔවුන්ගේ කෝපයට ලක්වුනේ ෆොන්සේකා මහතා සහ ජනාධිපතිවරයාය. දවස් ගතවී ගියත් විජේවර්ධන මහතාට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පදවිය නොලැබුණු අතර එය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙතය. මේ ගැන නැවතත් වික්‍රමසිංහ මහතාගෙන් ඔවුන් විමසූ අතර ඔහුගේ පිළිතුර වූයේ එයද ශ්‍රීලනිපය රැකගැනීම වෙනුවෙන් වූ ජනාධිපතිවරයාගේ තීරණයක් බවයි. එසේම වැඩිදුරත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් රුවන් විජේවර්ධන මහතාට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පදවිය ලබාදීමට බලවත් උත්සාහයක් ගත්තත් එය ව්‍යවර්ථ වූ බවයි.
මේ අතර දිනපතා සහ ඉරිදා ලංකාදීප, අද , දේශය, ටයිම්ස්, සහ ඩේලි මිරර් පුවත්වල ජනාධිපතිවරයාට සියුම් ලෙස පහරවදින පුවත් පලවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තරමක් කලබලවී මේ ගැන සොයා බලා ඇති අතර හිතවත් කර්තෘවරයකුගෙන් ඔහුට දැනගැනීමට ලැබී ඇත්තේ ඉහත සිදුවීම් නිසා රංජිත් සහ රුවන් විජේවර්ධන මහත්වරුන් ජනාධිපතිවරයා සමග දැඩි කෝපයෙන් පසුවීම මෙයට හේතුව බවයි. මේ සිදුවීම් සියල්ල රංජිත් විජේවර්ධන මහතා විසින් එම කර්තෘවරයා වෙත අනාවරණය කර තිබිණි.
මේ පුවත අසා මෛත්‍රිපාල සිරිසේන මහතා මවිතයට පත්වී ඇත. මක්නිසාද යත් රුවන් විජේවර්ධන මහතාගේ බලතල කප්පාදු කිරීම ගැන සත්‍යය දන්නා තැනැත්තා ඔහුම බැවිනි. සිහි බුද්ධිය ඇති කිසිදු ජනාධිපතිවරයකු බලවත් පුවත්පත් ආයතනයක හෝ කවර හෝ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු නිකරුනේ අමනාප කරගැනීමට කැමති නැත. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම රංජිත් විජේවර්ධන මහතා අමතා සත්‍යය ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව ඔහු විසින් ජනාධිපතිවරයා ලෙස රුවන් විජේවර්ධන මහතාගේ බලතල කප්පාදු කිරීම සිදුකර ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුවය. එසේම විජේවර්ධන මහතා වෙත සිවිල් ගුවන්සේවා අමාත්‍ය පදවිය හෝ වෙනත් කිසිදු අමාත්‍ය පදවියක් ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක ඉල්ලා නොමැත. මේ අසා රංජිත් විජේවර්ධන මහතා වික්‍රමසිංහ මහතා පිළිබඳව බලවත් පිළිකුලකින් සහ කෝපයකින් යුතුව ජනාධිපතිවරයා සමග අදහස් ප්‍රකාශකර ඇත. මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් පැවසූ දේ සත්‍යයක් වුවද ඒ දෙස දේශපාලනිකව බලනවා මිස වික්‍රමසිංහ - විජේවර්ධන පවුල් ආරවුලක් ඇතිකර නොගන්නා ලෙසය. තම දේශපාලන පක්ෂපාතිත්වය කුමක් වුවද සාමාන්‍යයෙන් මහත්මා ගතිගුණ ඇති පුවත්පත් හිමිකරුවෙකු ලෙස සැලකෙන විජේවර්ධන මහතා මෙම සංවාදයෙන් පසු වික්‍රමසිංහ මහතා සමග ආරවුලක් ඇතිකර ගැනීමට ගොස් නොමැති අතර එලෙස නොකරණ ලෙසට තම තරුණ පුත්‍රයාටද අවවාද කර ඇත.
එසේම ජනාධිපතිවරයා විසින් තමන් සහ රංජිත් විජේවර්ධන මහතා අතර ඇතිවූ සංවාදය පිළිබඳව කේලමක් ලෙස නොව වගකිවයුතු දේශපාලනඥයකු ලෙස ෆොන්සේකා මහතා දැනුවත් කර ඇති අතර ඔහු ෆොන්සේකා මහතාටද පවසා ඇත්තේ මෙය සිතේ තබාගෙන පුද්ගලයන් හඳුනාගෙන කටයුතු කරනවා මිස වික්‍රමසිංහ මහතා සමග කිසිදු ආරවුලකට නොයන ලෙසය. නමුත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපය රංජිත් විජේවර්ධන මහතාගේ ක්‍රියාකලාපයට වඩා හාත්පසින්ම වෙනස් විය. ෆොන්සේකා මහතා කර ඇත්තේ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ ක්‍රියාවකට තමන් සම්බන්ධ කිරීමට වික්‍රමසිංහ මහතා ක්‍රියාකිරීම නිසා බලවත් ලෙස කෝපයට පත්ව තමන්ට බෙහෙවින් හුරු පුරුදු හමුදා භාෂාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් බැන වැදීමයි. මේ බැන වැදීමෙන් පසු එය අසා සිටි වික්‍රමසිංහ මහතා අසල සිටි මලික් සමරවික්‍රම මහතාට පවසා ඇත්තේ “ මලික්, එහෙම කුණුහරප නම් ඉපදුණාට පස්සෙ අහගත්තමයි” කියාය. දේශපාලනිකව සහ සදාචාරාත්මකව ෆොන්සේකා මහතාගේ බස් වහර අපට අනුමත කළ නොහැකි වුවද ෆොන්සේකා මහතා කිසි ලෙසකින් සම්බන්ධ නොවූ සිද්ධියකට ඔහු සම්බන්ධ කළ වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයද අපට අනුමත කළ නොහැක.
එසේම මෙම සංවාදයට පෙර සහ වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස බැන වැදීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා රංජිත් විජේවර්ධන මහතා අමතා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ සිද්ධියකට තමන් සම්බන්ධ කිරීම පිළිබඳව වික්‍රමසිංහ මහතාට බලවත් ලෙස දෝෂාරෝපණය කරමින් විජේවර්ධන මහතා වෙත සත්‍යය පැහැදිළි කර ඇත. ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනාගත එජාප නායකත්වයට පත් කරනුයේ සජිත් ප්‍රේමදාස මහතාවත් රුවන් විජේවර්ධන මහතාවත් නොව තමන්ගේම වර්ගයේ පුද්ගලයකු වන අකිල විරාජ් කාරියවසම් මහතා බවය.
මෙය සනාථ කෙරෙන බරපතළ අර්බූදය ආරම්භවන්නේ ගම්පහ එජාප නාමයෝජනා ලැයිස්තුව සකස්වීමේ මුලික අදියර සමගිනි. වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත සකස් කෙරුණු ගම්පහ මුල් එජාප නාමයෝජනා ලැයිස්තුවට රුවන් විජේවර්ධන මහතාද, ගියවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වුනු සැලකිය යුතු කතෝලික සහ සම්ප්‍රදායික එජාප චන්ද පදනමක් හිමි ජෝශප් මයිකල් පෙරේරා මහතාද, සැලකියයුතු බෞද්ධ චන්ද පදනමක් හිමි කරූ ජයසුරිය මහතාද, 2010 මහා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වදිමින් මනාප 59,318 ක් සහ 47.42% ක මනාප ප්‍රතිශතයක් ගනිමින් තලතා අතුකෝරළ මහත්මියට පමණක් මනාප පන්දහසකින් පමණ දෙවැනිවූ රංජන් රාමනායක මහතාද ඇතුළත් විය. එසේම තම පියා වූ දොස්තර ජයලත් ජයවර්ධනට සම්ප්‍රදායිකව හිමිවන චන්ද පදනමේ උරුමය සමග 2014 පළාත්සභා මැතිවරණයේ දී දේශපාලනයට පිවිස පළාත්සභාවට තේරී පත්වූ කාවින්ද ජයවර්ධන මහතාගේ නමද විය. එයට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහය ලබන අර්ජුන රණතුංග මහතාගේද, පසුගිය මහා මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරීපත්වූ අතුරලියේ රතන හිමියන්ගේ නිබඳ සහයද ලබන, යම් බෞද්ධ චන්ද පදනමක් හිමි නිරෝෂා අතුකෝරළ මහත්මියගේද, අධික ලෙස මුදල් වියදම් කළහැකි අපේක්ෂකයකු වන චතුර සේනාරත්න මහතාගේද නම් තිබුනේද මෙම ලයිස්තුවේය.
රනිල් ඔහුගේ මව සහ පියා සමග |
මෙම තත්වය විජේවර්ධන මහත්වරුන්ගේ බලවත් කෝපයට හේතුවූ අතර ඔවුන්ගේ බලවත් විරෝධය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවිය. එවිට වික්‍රමසිංහ මහතා කදිම ක්‍රියාවක් කරමින් එක ගලෙන් කුරුල්ලන් තුන්දෙනෙක් මරාගත්තේය. ඒ කරූ ජයසූරිය මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කරමිනි. ජයසූරිය මහතාගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම, ජයසූරිය මහතාගේ කෝපය විජේවර්ධන මහත්වරුන් වෙත එල්ලකිරීම සහ විජේවර්ධන මහත්වරුන්ගේ කෝපය මද පමණින් හෝ සංසිඳවීම එම කුරුල්ලන් තුන්දෙනාය.
වෙනත් යමක් කරකියාගත නොහැකි තත්වයට පත්වූ රුවන් විජේවර්ධන මහතාට සිදුවූයේ නාම යෝජනා අත්සන් කිරීමටය. නමුත් රංජිත් විජේවර්ධන මහතා නිකම් සිටියේ නැත. ඔහු තම පුවත්පත් කර්තෘන්ට උපදෙස් දුන්නේ තමන් සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයකු නිසා තම පුවත්පත් එජාප හිතවාදී ස්වභාවයකින් පවත්වා ගනිමින් සියුම් ලෙස කටයුතු කරන ලෙසට තමන් විසින් දෙනලද මූලික උපදෙසෙහි වෙනසක් නොමැති වුනත් රනිල් වික්‍රමසිංහ මහතා අනවශ්‍ය ලෙස පිම්බීම ඉන් කිසිසේත් අදහස් නොකෙරෙන බවත්ය. නමුත් විජේවර්ධන මහතා තම දැන්වීම් සහ මුද්‍රණ කළමනාකරුවන් අමතා ඍජුවම ප්‍රකාශ කර ඇත්තේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් හෝ මුද්‍රණ කටයුත්තක් සඳහා එජාපය වෙත පෙර ලෙස දැවැන්ත වට්ටම් මුදල් හෝ ණය පහසුකම් ලබාදීම නොකරණ ලෙසටය. එහිදී විජේවර්ධන මහතා හාස්‍යයෙන් යුතුව පවසා ඇත්තේ බැඳුම්කර සිද්ධියෙන් එජාප නායක කාරක ආදීන් කිහිප දෙනෙකු දින කිහිපයකින් බිලියනපතියන් වී ඇති නිසා එසේ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
පසුගිය දිනවල දිනපතා ලංකාදීප සහ ඉරිදා ලංකාදීප ඇතුලු විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත්කෙරෙන පුවත්පත් කිහිපයක පලවූ පුවත් කිහිපයක් නිසා වික්‍රමසිංහ මහතා දැඩි ලෙස කෝපයට පත්ව ඇත. දෙමළ සන්ධානය විසින් පොළිස් සහ ඉඩම් බලතල සහිතව ෆෙඩරල් පාලනයක් ඉල්ලීම දිනපතා ලංකාදීප පුවත්පතේ මුල් පුවත ලෙස පලවීම, අකුරැස්සේ දී බීමත් පාක්ෂිකයකු විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඟිලිවල එල්ලීම නිසා ඇතිවූ සිද්ධිය පිළිබඳව සත්‍ය තත්වය සහ ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා විසින් සහ එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා විසින් කළ පැහැදිළි කිරීම එම පුවත්පතේ පලවීම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් විසින් “අනාගතයට සහතිකයක්” යනුවෙන් සකස්කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එතුමන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා මැතිවරණ ප්‍රකාශය එතුමන් විසින් අනුමත කිරීම. එහි මුද්‍රිත මුල් පිටපත එජනිස නායකයන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිලිගැන්වීමේදී “හොඳ වැඩක්” සහ “ජයවේවා” කියමින් එතුමා එය පිළිගැනීම සහ එජනිස නායකයන්ට කැවුම් කිරිබත් වලින් සංග්‍රහ කිරීම පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවීම වැනි දේ එයට හේතුවී තිබිණි.
ඒ අනුව ඉන්පසු දිනක සන්ධ්‍යාවේ රනිල් වික්‍රමසිංහ මහතා රංජිත් විජේවර්ධන මහතා අමතා ඇත. වික්‍රමසිංහ මහතා තදින්ම අවධාරණය කර ඇත්තේ ලංකාදීප සහ ඉරිදා ලංකාදීප පුවත්පත් වල ඉහත සඳහන් කළ ආකාරයේ පුවත් නිසා තම මැතිවරණ ව්‍යාපාරය බිඳවැටෙන බවත් එබැවින් මහා මැතිවරණය අවසන් වනතෙක් ලංකාදීප සහ විශේෂයෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පත් වල කර්තෘවරුන් තාවකාලිකව ඉවත්කර තමන් විසින් නම් කරණ ලද පුද්ගලයන් දෙදෙනෙකු ඒ සඳහා පත්කළ යුතු බවයි. මෙයින් විජේවර්ධන මහතා වෙත වූ වික්‍රමසිංහ මහතා පිලිබඳ පිළිකුල සහ කෝපය දෙගුණ තෙගුණ වී ඇත. විජේවර්ධන මහතා පවසා ඇත්තේ තමන් කරණුයේ ව්‍යාපාරයක් බවත්, කතෘවරුන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් සහ තමා එජාප පාක්ෂිකයකු වුනත් අන්ත නින්දිත ලෙස මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන තැනකට යමින් පුවත්පත් වල අලෙවිය සහ තම කීර්ති නාමය විනාශ කරගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්ය.
මින් අතිශයින් කෝපයට පත් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ විජේවර්ධන මහතාගේ කීර්තිය පිලිබඳව දිගු විස්තරයක් එකල විජේවර්ධන මහතා විසින් පාලනය කෙරුණු ලේක්හවුස් ආයතනයේ ගණුදෙනු විමර්ශනය සඳහා රජය විසින් පත් කළ කොමිෂන්සභා වාර්තාවේ අන්තර්ගත බවත්, එහි පිටපතක් තමන් සතුව ඇති බවත්, එහි පිටපත් තමන් විසින් මාධ්‍ය වෙත ලබා දුන්නොත් එහි සඳහන් වන රංජිත් විජේවර්ධන මහතාගේ කීර්තිය රටටටම දැක බලාගත හැකිවන බවත්ය.
මේ කියන කොමිෂන් සභා වාර්තාවෙන් විදේශ විනිමය වංචාවන් ඇතුලු වරදවල් කිහිපයකට රංජිත් විජේවර්ධන මහතා වරදකරු කොට තිබිණි. ඩී.ආර්. විජේවර්ධන මහතාගේ අභාවයෙන් පසු ලේක්හවුස් ආයතනයේ මහ බලවතා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. මක්නිසාදයත් එවකට රංජිත් විජේවර්ධන මහතා අධ්‍යාපනය ලබන ලාබාල වියේ පසුවූ බැවිනි. තම ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය අවසන් කර පැමිණි තරුණ විජේවර්ධන මහතා ලේක්හවුස් අධිපති ධුරයට පත්වූ බැවින් එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට සිදුවූයේ තම ධුරයට සමුදීමටය. විචාරකයන් පවසන්නේ එම හේතුවෙන් තමන්ට හිතවත් සේවකයන් මගින් තරුණ විජේවර්ධන මහතා නොමග යවමින් මෙම අකටයුතුකම් සඳහා ඔහුව යොමුකිරීමට කටයුතු කළේත්, පසුව එම සේවකයන් මගින් එම සියලු තොරතුරු ලබාගෙන තරුණ විජේවර්ධන මහතාට සිර දඬුවම් ලබා දීම සඳහා එම තොරතුරු තම පැරණි සමසමාජ හිතවතාවූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා වෙත ලබාදුන්නෙත් එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින්ම බවයි. ඔවුන්ට අනුව විජේවර්ධන මහතා සිරගතවූ පසු නැවත ලේක්හවුස් ආයතනයේ අධිපතිත්වයට පත්වීම එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ අභිලාශය විය.
කෙසේ වෙතත් සැබෑ ක්‍රිස්තියානුවෙකු සතුවිය යුතු හෘද සාක්ෂියට පටහැනිවෙමින් තම සහෝදරයා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් කරනලද මෙම ක්‍රියාව අතිඋතුම් ලක්ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමන්ගේ දැඩි පිළිකුලට හේතුවී ඇති අතර එතුමන් විසින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙත කරුණු දැක්වීමේ ප්‍රතිපලය ලෙස තරුණ විජේවර්ධන මහතාට සිර දඬුවම් හිමිවීම වැළකුණු බව ඔවුහු වැඩිදුරටත් පවසති.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේක්හවුස් කොමිෂන් සභා කථාවෙන් බලවත් ලෙස කිපුණු රංජිත් විජේවර්ධන මහතා පවසා ඇත්තේ පැරණි කොමිෂන් සභා වාර්තාවන් තවත් ඇති බවත් ඒවා දැන් නැවත කරලියට පැමිණ ඇති නිසා ඒවා ප්‍රසිද්ධ කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ලෙස නින්දිත ලෙස මහින්ද රාජපක්ෂ මහතාට මඩගසන ලෙස පුවත් පල කිරීමට තමන් සූදානම් නැති බවත්, තවදුරටත් බලපෑම් කිරීමට ආවොත් මෙම මහා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ලබාගත් අනාගත ප්‍රතිපලය පෙන්වන සමීක්ෂණ වාර්තා අවශ්‍ය පුද්ගලයන් වෙත කල් තබාම තමන් විසින් ලබාදෙන බවත්ය. එසේම විජේවර්ධන මහතා වික්‍රමසිංහ මහතාට අභියෝග කර ඇත්තේ හැකිනම් තම පුවත්පත් ආයතනයට දැන්වීම් ලබාදීම නවතා මැතිවරණය මෙහෙයවන ලෙසය. මින් පසු වික්‍රමසිංහ මහතා දුරකථනය විසන්ධි කර ඇත.
සාමාන්‍යයෙන් පුවත්පත් ඇතුලු මාධ්‍ය හිමිකරුවන් විසින් සුදුසුකම් ලද සමීක්ෂක කණ්ඩායම් මගින් ඉතා රහසිගතව මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ සමය පුරාවට අඛණ්ඩව සමීක්ෂණ සිදුකරවන අතර ඒ අනුව තම මාධ්‍ය ආයතනයේ පුවත් වාර්තා කරණය හසුරවනු ලබයි. මෙම සමීක්ෂණ වාර්තා බොහෝ දුරට නිවැරදි සහ අවසන් ප්‍රතිපලයට සමපාත වෙයි.
අසංක මොණරවිල විසිනි.
Related