යහපාලන නඩු අසන කඩුවෙල උසාවියේ පැටිකිරිය කොළඹ උසාවියේ දිග හැරුනේ මෙහෙමයි

මුදල් උපයාගත් ආකාරය තහවුරු කර ගත නොහැකි ලෙසින් CSN නාළිකාව ආරම්භ කර මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව...


මුදල් උපයාගත් ආකාරය තහවුරු කර ගත නොහැකි ලෙසින් CSN නාළිකාව ආරම්භ කර මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාව හා එදින තැබූ සටහන්වල මුල් ‍ලේඛන මහාධිකරණය භාරයට කැඳවීමට මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (17) නියෝග කළේ ය. යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනකුගේ ප්‍රතිශෝධන අයැදුම්පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේ ය. එසේම වගඋත්තරකරුවන් වන නීතිපතිවරයා, ‍පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂවරයා, බන්ධනාගාර කොමසාරිස්, ජනරාල් සහකාර ‍පොලිස් අධිකාරි සේරසිංහ, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඒකක 3 හි ස්ථානාධිපති ඒ. ආර්. සී. සී රණසිංහ යන අය ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කරන්නැයිද නියම කළේ ය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, නීතිඥ කාංචන රත්වත්තේ, මහත්වරුන් පෙනීසිටි අතර සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තිය යටතේ නීතියෙන් ක්‍රියාත්මක කරනු ලබන නිසි ආඥාවකින් මිස කිසිවකු බන්ධනාගාරගත නොකළයුතු බවයි. නමුත් කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇප ප්‍රතික්‍ෂේප නොකරම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර එසේ කරන්නේ කෙසේ දැයි නීතිඥවරයා විමසා සිටියේ ය.

එසේම මෙම ප්‍රතිශෝධන අයැදුම්පත්‍රයේ සඳහන්වන ආකාරයට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අත්තනෝමතික, නීති විරෝධී හා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවත් ය. එසේම නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කළේ ඉකුත් ජනවාරි 30 වැනිදා යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගත් දින අධිකරණ නිවාඩු දිනයක් බවත්, රාජකාරියේ යෙදී සිටියේ ‍පොලිස් නිලධාරීන් පමණක් බවත්ය. නඩු ගොනුවේ ලඝු ‍ලේඛන සටහන් ඇතුළත් කර ඇතත් යෝෂිත රාජපක්ෂ මහතා එදින අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ලඝු ‍ලේඛිකාවක් ‍ලේඛන සටහන් කර නොගත් බවද ඔහු සඳහන් කළේ ය. එබැවින් ඔහු ඉල්ලා සිටියේ මෙම නඩුවට අදාළ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ මුල් “බි” වාර්තාවත් මයුරා කුමාරි නම් සටහන් තබන්නිය ජනවාරි 29 දා සිට පෙබරවාරි 01 දා දක්වා තබා ඇති සටහන්වල මුල් ‍ලේඛනත් මහාධිකරණය භාරයට කැඳවන ලෙසයි.

මෙහිදී විනිසුරුවරයා කියා සිටියේ මෙම නඩුවේ මූලිකම හරය වී ඇත්තේ ඇප ලබා දීම බවත්, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය වලංගුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට දෙපාර්ශ්වයම ඉදිරිපත් කරන කරුණු සලකා බැලිය යුතු බවයි.

එසේම පසුගිය 11 දා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඇප නියෝගයක් කර තිබුණද විත්තියේ තර්කය අනුව ඇප ප්‍රතික්‍ෂේප නොකරම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කෙරුණු බව සඳහන් වේ. එම නිසා නීතිපතිවරයාට සවන් දී මේ පිළිබඳ නියෝගයක් ලබා දීමට තීරණය කළ බව විනිසුරුවරයා සඳහන් කර සිටියේ ය. එසේම බන්ධනාගාරගතව සිටින සී. එස්. එන්. අධ්‍යක්ෂ මණ්ඩලයේ කවිෂාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාද මහෙස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ දැඩි ලෙස පෙන්වා දී සිටියේ ය. එසේම ඇප පනතේ 14 (2) වගන්තිය වෙතද අවධානය යොමු කර සිටියේ ය.

ඉකුත් ජනවාරි 30 වන දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනු කරනු ලැබූ “බි” වාර්තාවේ සඳහන් කර තිබුණේ චෝදනා කිහිපයක් පමණි. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 454 වගන්ති ප්‍රකාරවත්, මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරවත් වරදක් සිදුකර ඇති බව පමණි.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම “බි” වාර්තාවේ කිසිදු තැනක මෙම එකඳු සැකකරුවකු 14 (2) වගන්තිය යටතේ දායක වෙලා තියෙන්නේ කුමන පදනමක් යටතේ ද යන්න සඳහන් වී නොමැති බවයි.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) ව්‍යවස්ථාවට අවධානය යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්වරයා විසින් එක්කෝ ඇප ලබා දීම හෝ ප්‍රතික්‍ෂේප කළ යුතුයි, නැතිනම් රිමාන්ඩ් කළ යුතුයි. නමුත් ඒ කිසිවක් කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා සිදු කර නොමැති බවට වැඩිදුරටත් ඒ මහතා අධිකරණයට කියා සිටියේ ය. එසේම මෙම ඇප ඉල්ලීමට අදාළව නොතිසි නිකුත් කරන ලෙසත්, මුල් නඩු වාර්තාව මහාධිකරණයට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේ ය.

එසේම රජය වෙනුවෙන් පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නලින් හේවාවසම් මහතා ප්‍රකාශ කර සිටියේ නීතිඥ ගාමිණී මාරපන මහතා ඉදිරිපත් කරන්නේ තර්කයක් පමණක් බවත්, එයම පමණක් සලකා බලා ඇප දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත නොහැකි බවත්, වගඋත්තරකරුවන්ටද කරුණු දක්වන අවස්ථාවක් ලබා දිය යුතු බවත්ය.

ඉකුත් 15 වැනිදා නීතිඥ අතුල ද සිල්වා මහතා විසින් යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රතිශෝධන ඇප අයැදුම්පතක් ගොනු කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ‍පොලිස්පතිවරයා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, සහකාර ‍පොලිස් අධිකාරි සේරසිංහ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 03 හි ප්‍ර. ‍පො. ප. ආර්. ඒ. සී. සී. රණසිංහ යන අය නම් කොට තිබුණි.

සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාව හා සටහන් වල මුල් ‍ලේඛන අධිකරණය භාරයට කැඳවන ලෙස නියෝග කොට වගඋත්තරකරුවන්ට ලබන 29 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කොට නඩුව එදිනට කැඳවීමට නියම කළේ ය.

වසර 23කට පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතීඥ ලෝගුව පැළඳ අධිකරණයට පිවිසීම විශේෂ සිදුවීමක් වූ අතර ආරක්ෂකයන් කැටුව මහින්ද රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත ඊයේ පෙරවරුවේ පැමිණ සිටියේ සුදු පැහැති ජාතික ඇඳුමිනි.

මහාධිකරණය තුළට පැමිණි හිටපු ජනාධිපතිවරයා එ් තුළ සිටි නීතිඥවරුන් සමග සුහද කතාබහක නිරත විය. එහිදී නීතිඥවරයකු විසින් නීතිඥවරුන් විසින් අඳිනු ලබන කළු පැහැති ලෝගුවක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදුන්නේය.

පසුව එය ඇඟලාගත් මහින්ද රාජපක්ෂ මහතා නඩු විභාගය ආරම්භ වීමට මත්තෙන් නීතිඥවරුන් අසුන්ගෙන සිටින ස්ථානයේ අසුන්ගෙන සිටිනු දකින්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ මහතා කළු ලෝගුවක් ඇඳ සිටිනු අධිකරණයේ සේවක පිරිසක් විසින් සිය අතැති ජංගම දුරකතන මගින් ඡායාරූප ගන්නා අයුරු දක්නට ලැබුණි.

මේ පිළිබඳ වහාම සොයාබැලීමට මහාධිකරණ පොලිස් මුරපොළේ නිලධාරීන් කටයුතු කරන අයුරු ද දක්නට ලැබුණි. ඇප පෙත්සම කැඳවීමෙන් අනතුරුව නැවත කළු ලෝගුව ගලවා දැමූ හිටපු ජනාධිපතිවරයා ජාතික ඇඳුමින් මහාධිකරණයෙන් පිටවී ගියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2118713852971738236

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item