පුපුරණ ද්‍රව්‍ය ලග තබා ගත් හිටපු කොටියාගේ සවිස්තරාත්මක තොරතුරු

යාපනය, චාවකච්ච්රි, මරවන්පුලම් ප්‍රදේශයේ නිවසක තිබි පෙරේදා (29) රාත්‍රියේ සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු අධිබල පුපුරණ ද්‍රව්‍ය තො...

යාපනය, චාවකච්ච්රි, මරවන්පුලම් ප්‍රදේශයේ නිවසක තිබි පෙරේදා (29) රාත්‍රියේ සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය එල්ටීටීඊ සාමාජිකයකු විසින් ඊට දින හතරකට කලින් එම නිවසට රැගෙන ආ ඒවා බව බුද්ධි අංශ විමර්ශනවල දී අනාවරණය වී ඇත. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ප්‍රභූ ඝාතනයක් සඳහා රැගෙන ආවාද යන සැකය ඔස්සේ මේ වන විට බුද්ධි අංශ සහ ‍පොලිසිය විමර්ශන අරඹා තිබේ.

මෙම නිවස තුළ තිබි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, කිලෝග්‍රෑම් හතරකට ආසන්න බරකින් යුත් ක්‍ලේමෝ බෝම්බ හතරක්, ක්‍ලේමෝ බෝම්බ පුපුරවා හැරීමට යොදාගන්නා බැටරි පැක් 02ක්, ෂොපින් බෑග් තුළ බහාලූ කිලෝග්‍රෑම් අට බැගින් වූ අධිබල ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය මලු තුනක්, මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල උණ්ඩ පනහ බැගින් වූ පෙට්ටි දෙකක් මෙහි දී සොයාගෙන ඇත.

මේවා අදාළ නිවසේ බිත්තියේ වූ රාක්කයක උඩ තිබි සොයාගෙන තිබේ. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය චාවකච්ච්ෙරි ‍පොලිසියට හමුවී ඇත්තේ එම පාර්සල් තම නිවසට රැගෙන ආ කොටි සාමාජිකයාගේ බිරිඳ ලබාදුන් ඔත්තුවකිනි.

සැමියා සමග ඇතිකරගත් ආරවුලකින් පසුව සිදු වූ පහරදීමක් මුල් කරගෙන ඇය ‍පොලිසියට මේ බව දැනුම් දී තිබේ. ඇය ‍පොලිසියට පවසා ඇත්තේ තම සැමියා කේරළ ගංජා වැනි දෙයක් පාර්සල් තුළ දමා නිවසේ සඟවා ඇති බවය.

ගංජා සොයා මෙම නිවසට ආ ‍පොලිසිය අදාළ පාර්සල් පරීක්ෂාවේ දී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. ඒ වන විට එම කාන්තාවගේ සැමියා නිවසින් පිටව ගොස් සිට ඇති අතර කාන්තාව හා දරුවන් වැඩිදුර විමර්ශන සඳහා ‍පොලිසියට රැගෙන ගොස් තිබේ.

ඉන් පසුව අදාළ සැකකරු සොයා කළ විමර්ශනයක දී ඔහු කිලිනොච්චිය අක්කරායන්කුලම්හි දී ඊයේ (30) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. කබ්රියල් එඩ්වඩ් ජුලියට් (33) නමැති මෙම සැකකරු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකි. මොහු යුද්ධය අවසන් අදියරේ දී හොර රහසේ හමුදා පාලන ප්‍රදේශයට පැන පුනරුත්ථාපනය නොවී සැඟවී ඇති බව හෙළි වී තිබේ.

එඩ්වඩ් නමැති මෙම කොටි සැකකරු මන්නාරමේ මුල් පදිංචිකරුවකු වන අතර ඉන් පසුව යාපනය මරවන්පුලම් මධ්‍යම ප්‍රදේශයේ වූ මෙම බෝම්බ සොයාගත් නිවසේ පදිංචියට පැමිණ ඇත.

මොහු සමග විවාහ වී සිටි ඔහුගේ බිරිඳගේ පළමු සැමියා 2013 වසරේ දී මියගොස් ඇත. යාපනය, මීසා‍ලේ පදිංචිව සිටි කාන්තාවක් වන ඇය අසනීප වී රෝහල්ගතව සිටිය දී මෙම කොටි සාමාජිකයා දැනහඳුනාගෙන විවාහ වී තිබේ. ඉන් පසුව බිරිඳගේ පියාට අයත් කුඩා ලොරියකින් වට්ටක්කා ඇතුළු එළවළු බෙදාහැරීමේ ව්‍යාපාරයක මොවුන් නිරත වී ඇත.

මෙම සැකකාර කොටි සාමාජිකයා හමුවීමට නිවස අසල වූ කෝවිල අසලට දිනපතා රාත්‍රී කාලයේ දී සැකකටයුතු පුද්ගලයන් පැමිණෙන බව ද හෙළි වී තිබේ. දැනට කෙරෙන විමර්ශනවලට අනුව බෝම්බ පාර්සල් මෙම නිවසට ගෙනැවිත් ඇත්තේ පසුගිය සිකුරාදා (25) රාත්‍රියත් සෙනසුරාදා (26) දිනයත් අතරතුරේදීය.

මේවා ගංජා යැයි සැක සිතා සැකකරුගේ බිරිඳ විසින් සැමියා සමග ඇති වූ ආරවුලකින් පසුව ‍පොලිසියට දුන් ඔත්තුවෙන් පසුව පෙරේදා (29) රාත්‍රී 9.30ට පමණ චාවකච්ච්ෙරි ‍පොලිසිය හා යාපනය කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් එක්ව නිවස වටලා පරීක්ෂා කර ඇත.

යුද්ධය අවසන් වූ පසුව මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හමු වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම බෝම්බ ඇඳුම් කට්ටලය මෙරට ප්‍රධාන පෙළේ සිංහල ජාතික පුවත්පතකින් ඔතා ආවරණය කර තිබූ අතර එම පුවත්පත 2008 වසරේ මුද්‍රිත එකකි. මෙය සිංහල පුවත්පතකින් ආවරණය කර තිබිම ද සැක සහිත බව බුද්ධි අංශ කියයි.

මෙම බෝම්බ ඇඳුම් කට්ටලය පැරණි එකක් නොවන බවත්, එහි වූ ක්‍ලේමෝ බෝම්බ හතරෙන් එකක් පමණක් මළ කා තිබුණ ද අනෙක් බෝම්බ ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන බවත් විමර්ශන කණ්ඩායම් කියයි. එමෙන්ම ටී.එන්.ටී. වැනි පුපුරණ ද්‍රව්‍ය කාලයක් තිස්සේ ගබඩා කර තිබුණ විට දියවන තත්ත්වයේ තිබුණ ද මේවා භාවිත කළ හැකි තත්ත්වයේ තිබෙන බව ආරක්ෂක අංශ පවසයි. ඒ අනුව මේවා මෑතක දී එහා මෙහා ගෙනගිය ඒවා ද යන සැකය පහල වී ඇත.

විවිධ අවස්ථාවල මැ‍ලේසියාව හා ඉන්දියාව වැනි රටවල්වල සිටින කොටි ක්‍රියාකාරින් හා බටහිර රටවල සිටින ඩයස්‍පෝරාවට සම්බන්ධ කොටි ප්‍රධානීන් උතුරේ නිද්‍රාශීලී කොටි සාමාජිකයන් යළි සක්‍රිය කරවන්නට උත්සාහ ගන්නා බවට බුද්ධි අංශ අනාවරණය කර තිබූ අතර මෙය එවැනි උත්සාහයක් ද යන්න පිළිබඳ සැක පහල වී ඇත. සැකකරුගේ ජංගම දුරකථන සිම්පත් ඔස්සේ මොහු ජාත්‍යන්තරය විසින් මෙහෙයවූවා ද යන්න සනාථ කරගත හැකි බව ඔත්තු සේවා පවසයි.

මෙය යුද සමයේ ගෙන ආ ඒවා විය හැකි බව ‍පොලිසිය ප්‍රකාශ කරයි. මෙම කොටි සාමාජිකයා පසුගිය සතියේ මෙම පාර්සලය ගෙන ආවේ උතුරේ ත්‍රස්ත ක්‍රියාවකට ද නැතිනම් දකුණට ගෙන ඒමට ද යන්න පිළිබඳව ද පුළුල්ව සොයා බැලීමට බුද්ධි අංශවල අවධානය යොමුව ඇත.

මෙකී කොටි සැකකරු එළවළු ප්‍රවාහනය කරන්නෙකු ලෙස කටයුතු කළ අයකු බැවින් දඹුල්ල හරහා ඕනෑම ප්‍රදේශයකට යාමට අවකාශ තිබුණ බව ද අනාවරණය වී තිබේ. මොහු දකුණට මේවා රැගෙන එන්නට සැලසුම් කළා ද යන්න පිළිබඳ විමර්ශනයක් ඇරඹී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ලබන 03 දා යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත හෙයින් මෙම සිද්ධියත් සමග යාපනයේ ආරක්ෂාව තරකිරීමට උපදෙස් ලැබි ඇත. මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන ‍පොලිස්පති නියමයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත.

මේ අතර ඊයේ සවස (30) මන්නාරම් ‍පොලිස් වසමේ ඉලුප්පාකඩවිල් ප්‍රදේශයේ පාළු ළිඳක තිබි ආර්.පී.ජී. වර්ගයේ ගිනි අවියක්, බෝම්බ කීපයක්, ජොනි බට්ටන් දහයක් පමණ සොයාගෙන තිබේ. පසුව මෙම බෝම්බ යුද හමුදාව විසින් නිශ්ක්‍රීය කළ බව ‍පොලිසිය පැවසීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා/එෆ්. අස්ලම්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3948496003077666551

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item