කෘෂිකර්මයට එරෙහිව ආණ්ඩුවේ ගමන ගැන අපට දුකයි

2001 දී එක්සත් ජාතික පක්ෂය බලයට ආපු වෙලාවේ මට මතකයි ඔවුන් කිව්වා කෘෂිකර්මය, වාරිමාර්ගවලට මින් පස්සේ සල්ලි වියදම් කරන්නේ නැහැ කියලා. මේ අය...

2001 දී එක්සත් ජාතික පක්ෂය බලයට ආපු වෙලාවේ මට මතකයි ඔවුන් කිව්වා කෘෂිකර්මය, වාරිමාර්ගවලට මින් පස්සේ සල්ලි වියදම් කරන්නේ නැහැ කියලා. මේ අය පාර්ලිමේන්තුව තුළත්, පිටත් කිව්වා වාරිමාර්ග සඳහා මුදල් වෙන් නොකළ යුතුයි කියලා. මොකද කුඹුරු ගොඩකරලා කර්මාන්ත, ගොඩනැගිලි හැදිය යුතුයි. ඒ ප්‍රතිපත්තිය ජනතාව ප්‍රතික්‍ෂේප කළා. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේම අයත් හවුල් කරගෙන මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමයි අපට තියෙන ලොකුම දුක කියන එක මම තමුන්නාන්සේලාට කිව යුතුයි. ඒකට අපිට සම්මාදන් වෙන්නට සිදුවීම ගැන අපිට දුකයි. මොකද අද ප්‍රතික්‍ෂේප කළ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ ඩී. ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (27) පැවති ගොවි අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මහා ගොවි සම්මේලනය අමතමිනි. එම සංවිධානය ජාතික සංවිධායක පද්මසිරි ගාර්දියවසම් මහතා සහ කොළොන්න ආසනයේ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක ගයාන් මේනුක දිසානායක මහතා මෙම සම්මේලනය සංවිධානය කර තිබිණි.

මෙහිදී කොළොන්න ආසනයේ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක ගයාන් මේනුක දිසානායක මහතා විසින් ගොවි සම්මේලනය පැවැත්වීම වෙනුවෙන් සිහිවටනයක් හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සිදු කරන ලදී. ඇඹිලිපිටිය ඩී. ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණශාලාව ඇතුළත හා පිටත විශාල පිරිසක් රැඳී සිටිනු දක්නට ලැබුණි. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

බලන්න අද ඇති වී තියෙන තත්ත්වය. ඇයි ඒකට හේතු වුණේ? අපි ස්වං‍පෝෂිත වුණේ අපි ‍පොහොර දුන්න හින්දා. මොකද කළේ මේ ‍පොහොරවල වස විස තියෙනවා කියලා මේක කප්පාදු කරලා දැම්මා. දැන් කියනවා අපි නිකන්නේ දෙන්නේ කියලා. දැන් සල්ලි දෙනවානේ, 25,000 ක් ‍පොඩි වැඩක්ද. මම ඇහුවා යන වියදම. මම ඉතිරිවෙන ගාණ පමණක් කියන්නම්. හෙක්ටයාරයකට ලාභය තියෙන්නේ රුපියල් 317 යි. මේක තමයි වෙන්නේ. අනෙක් පැත්තෙන් මේ සල්ලි නේද දෙන්නේ. මේ සල්ලි දෙනවයි කියන එක නිකන්නේ දෙන්නේ. ඔබතුමාලා මට කියන්නකෝ දැන් වී ටික විකුණගන්නත් බැහැ. වී ටිකට හම්බවුණ ගාණෙන් කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ගෙදර ලෙඩෙක් වෙනවා, බඩගින්නේ දරුවෝ අඬනකොට ඔබට දෙන 25,000 ඔබ ‍පොහොර ගන්නවද, ඔබ දරුවට කන්න දෙනවද? මේ මානුෂිකත්වය බලන්න එපැයි. බොන කෙනෙක් නම් ඒක වෙන එකකට යොදවයි. ඇත්ත කතාව ඒකනේ. රෝහලට ගියාම බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ.

මොකද රෝහ‍ලේ බෙහෙත් නැහැ. අද ඕනෑ රෝහලකට ගියාම කියනවා තුණ්ඩු කෑල්ලක් දීලා කඩෙන් අරන් එන්න කියලා. ඒක තමයි දැන් තත්ත්වය. පසුගිය අපේ ආණ්ඩුව සමයේ දී අපි ජනතාවට දුන් සහන ක්‍රමක්‍රමයෙන් කප්පාදු කරගෙන යනවා.

කරුණාකරලා, කියන්නේ මේ ආණ්ඩුවට අනුන්ට බොරුවට වැරදි කිය කියා ඉන්නේ නැතිව අවුරුදු එකහමාරක් ගිහිල්ලා තියෙනවා. දැන් මේ ‍පොහොර ටික දෙනවා, මේ සල්ලි ඕනෑ නෑ. ජනතාවට ‍පොහොරයි අවශ්‍ය. ගොවියාට ‍පොහොර ටික දෙන්න. දීපු සහනාධාරය කපන්නේ ඇයි? එදා අපිව රැවටුණා. අපි කිව්වම ‍පොහොර 300 කියලා නෑ 350 ට දෙනවා කිව්වා. වී වලට මිල නියම කළා නම් ඒක වැඩිපුර දෙනවයි කිව්වා. රබර්වලට මිලක් කිව්වම ඒක වැඩිපුර දෙනවයි කිව්වා. තේවලට මිලක් කිව්වම අපි 90 ක් දෙනවයි කිව්වා. අනූව ගන්න ඡන්දය දුන් උදවියට අද පනහත් නැහැ. මේක තමයි ඇත්ත කතාව. මේ ආණ්ඩුව කෘෂිකර්මය පැත්තකට වීසිකරලා. මේක පැත්තකට අයින් කරලා මේක ඕනෑ නෑ කියලා කියනවා. කෘෂිකර්මයත් එක්ක අපේ සංස්කෘතිය අවුරුදු 2500 ක් වැඩි ප්‍රමාණයක් අපේ රට තුළ ඇති වූ සංස්කෘතියක් තියෙනවා. සභ්‍යත්වයක් තියෙනවා. සාහිත්‍යයත් තියෙනවා. මේ හැම දෙයක්ම ඇතිවෙලා තියෙන්නේ මේ කෘෂිකර්මයත් එක්ක. ඒ කෘෂිකර්මය අපෙන් ඈත් කරන තරමට අපේ රටේ අපේ සංස්කෘතිය අපෙන් ඈත් කරනවා.

අපි මිනිසුන්ගේ කකුලෙන් අදිනවා කියනවා. අපි කකුලෙන් අදින්නේ නැහැ, කාගෙවත්. නමුත් අපි ඇත්ත කියනවා. ජනතාව දිහා බලලා, ආණ්ඩුව වැඩ කරන්න. මේ ප්‍රශ්න දිහා බලලා ආණ්ඩුව වැඩ කරන්න. විපක්ෂයට හැම වෙලාවෙම බැණ බැණ චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. විපක්ෂයත් බණින්නේ මහින්ද රාජපක්ෂට විතරයි. රාජපක්ෂ, රාජපක්ෂ, නෑ මම විතරක් ‍නෙවෙයි එදා හිටිය කැබිනට් එකම බැණුම් අහන්න ඕනෑ, බණිනවා නම්, නේද වාසු, අපි ඔක්කෝම බැණුම් අහන්න එපායැ නේද? මේක මම විතරක් කරපු එකක් ‍නෙවෙයි.

මේ හැම දෙයක්ම මහින්ද රාජපක්ෂ කරපුවා ‍නෙවෙයි. මුළු කැබිනට් එකම සිරිසේනත් එක්කම, එයත් වගකියන්න ඕනෑ. එයාට නැවත කියන්න බැහැ මේක මහින්ද, මහින්ද, මහින්ද කියලා. දැන් බලනකොට මම විතරයි කැබිනට් එකේ ඉඳලා තියෙන්නේ. ඒක නිසා තමන්ගේ වගකීමෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. හොඳ නරක දෙකම භුක්ති විඳින්න ඕනෑ එයාලා. ජනතාවට බැංකුවලින් ණය දුන්නා. කෘෂි පාරවල් හැදුවා. ඕනෑ පාරක යන්නකෝ දැන්, මුළු රටේම ගිහිල්ලා එන්න. යාපනයට යන්න. උතුරේ ඕනෑ තැනකට යන්න. මේ තත්ත්වය තමයි හැමතැනම. අපි රටක් දියුණු කළ යුතුයි. අපිට රට ආපස්සට ගෙනියන්න කියන්න එපා. රටට ආණ්ඩුවක් දුන්නේ ඉස්සරහට යන්න. පස්සට දුවන්න ‍නෙවෙයි, පස්සට අදින්න ‍නෙවෙයි. හැමදාම හිඟන්නගෙ තුවාලය වගේ යුද්ධය, යුද්ධය, යුද්ධය ප්‍රභාකරන් අපිට කරන්න දෙන්නේ නැතිලු. ප්‍රභාකරන් කරන්න දෙන්නේ නැතිනම් ප්‍රභාකරන් නැති කළ යුතුයි.

ඉන්න කෙනකුට හොඳින් ඉන්න දෙන්න එපායැ. ඉතින් අපි ප්‍රභාකරන් නැති කළා. ඇත්ත. අපි ත්‍රස්තවාදය නැති කළේ. ඒ නැතිකරලා, රට ඉදිරියට ගෙනියන්න, අපි ඉතිරි ටික කළා. උතුරේ ජනතාවට නිදහස ලබා දුන්නා. උතුරේ ඉඳලා මෙහාට එවපු මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව ආපසු ගියා, ඔවුන්ගේ ගෙවල්වලට. මෙහෙම යවන්න පුළුවන්කම අපට ලැබුණා. අපි එහාට වැඩියෙන් සල්ලි වියදම් කරයි කියලා, මට චෝදනා කළා කට්ටිය. යුද්ධය නිසා පස්සට වැටුණු ප්‍රදේශයක් උතුරු නැගෙනහිර. ඉතින් උතුර නැගෙනහිර රටේ ආර්ථිකයේ අනෙක් පැති හා උඩට ගෙන ආ යුතුයි. ඒක තමයි අපි සමබරව මේක කළේ. වැඩිපුර එහාට සල්ලි දැම්මා. දමලා ඒකත් ගෙනාවා උඩට. විදුලිය දුන්නා, පාරවල් හැදුවා, ගොවිජනතාවට සහන දුන්නා. අද මට කිලිනොච්චියෙන් කතා කරලා කියනවා, අද අපේ වී ටික විකුණගන්න බැහැ කියලා. එවැනි තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2033369969282349634

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item