ජනතාවට සත්ය වසන් කල විදුලියේ අර්බූදය

රට හමුවේ ඇතිවන ඔනෑම අර්බූදයක් දේශපාලන හා ආත්මාර්තකාමී උවමනා එපාකම් වෙනුවෙන් අවභාවිතාවීමේ අවාසනාවන්ත තත්වය නිසා අදාල වගකිවයුත්තන් ගැලවී‍යා...

රට හමුවේ ඇතිවන ඔනෑම අර්බූදයක් දේශපාලන හා ආත්මාර්තකාමී උවමනා එපාකම් වෙනුවෙන් අවභාවිතාවීමේ අවාසනාවන්ත තත්වය නිසා අදාල වගකිවයුත්තන් ගැලවී‍යාම සහ නිසි විසදුම් නොමැති වීම , විදුලියේ අර්බූදකාරිත්වය වෙනුවෙන් ද එලෙසම බලපැවැත්වීම දක්නට ඇත.


ඒ අනුව, විදුලියේ අර්බුදය සම්භන්ධයෙන් අදාල දේශපාලන බලවතුන් සහ බලධාරීන් විසින් ජනතාව සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති වාර්තා වල තාක්ෂනික විග්‍රහයන් අසත්‍ය සහ නොමග යවන සුළු වන අතර, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වාර්ථා තුලින්ද, සත්‍ය සහ සැබෑ විසදුම් ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කල නොහැකි ලෙස අදාල කටයුතු සිදුවෙමින් ඇත. 

මෙහි අවසාන විග්‍රහයට අනුව, ජාතික විදුලිය සම්ප්‍රේශණ ජාලයේ අනතුරුදායක බව, දෝෂ සහගත බව සහ විශ්වාසනීයත්වය බිද වැටීම යනු හදිසියේ නිර්මාණය වූ‍ දෙයක් නොව කාලාන්තරයන් තිස්සේ බලපැවැත්වූ නොසලකා හැරීම්, අවභාවිතාවන්, අන්තනෝමතිකත්වය සහ දූෂණ -අක්‍රමිකතාවල ප්‍රථිපලයකි. 

එබැවින්, මෙම අර්බූදයට හේතු සෙවීම සදහා, එයට වගකිව යුතු හිටපු පාලකයන්ට සහ බලධාරීන්ට පවරාලීම මගින් , හොරාගේ අම්මාගෙන් නොව, හොරාගෙන්ම පේන ඇසීමක් සිදුවෙමින් ඇත.


එබැවින්, විදුලියේ අර්බූදයට අදාල වන සියලු කරුණු කාරණා අන්තර්ගත මෙම විග්‍රහය විචක්චණශීලීව විමසා අදාල නිවැරදිකිරීම් බලගැන්වීම මගින් , ජනතාවට ආරක්ෂිතව, ස්ථායි සහ අඛණ්ඩ විදුලිය සැපයුමක් ලාභදායි ලෙස ලබාදීම සිදුවෙතැයි අපේක්ෂා කරණු ලැබේ.

විදුලිය අර්බූදයහි තාක්ෂනික ගැටළුව.

මෑත අතීතයේ,මාස 6ක් වැනි කෙටි කාල සීමාවක් තුල බරපතල විදුලි අනතුරු සහ විදුලිය බිදවැටීම් සිදුවූ අතර, ඒ සියල්ලට ම අදාල වූ පොදු දෝෂය , 

1 විදුලිය සම්ප්‍රේශණ පද්ධතිය මෙහෙයවීම සහ ආරක්ෂණය නිසි පරිදි සිදු නොවීම.

2 සම්ප්‍රේශණ නඩත්තුව, පරික්ෂාව සහ අලුත්වැඩියාවන් නිසි කලට සිදු නොවීම, 

බවට සක්සුදක් සේ පැහැදිලිවම සනාථ වේ. 

එහෙත් අදාල විදුලිය අනතුරු සහ බිදවැටීම් සම්භන්ධයෙන් බලධාරීන් විසින් ජනතාවට ඉදිරිපත් කල බොරුව විමසා බැලීමේදී බලවතුන්ගේ සහ බලධාරීන්ගේ අවංක භාවය පිලිබදව බරපතල ගැලුවක්ද පැන නගී. 

1.  විදුලිය සම්ප්‍රේශණ ආරක්ෂණය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට පැහැදිලිවම හෙලිදරව් වූ සිදුවීමක් නිසා හමුදා සමාජිකයන් තුනකට ජීවිත අහිමි උනේ ගාල්ල ගිංතොට හිදීය. එසේ අධිසැර විදුලි කම්බියක් කැඩී වැටීම සහ එවැනි අවස්ථාවක ස්වයංක්‍රියව විදුලිය විසන්ධි කරණ සම්ප්‍රේශණ ආරක්ෂණය ක්‍රියාත්මක නොවී තිබීම බරපතල කාරණයක් විය.

විදුලි සම්ප්‍රේශණ මාර්ග වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්, කලින් කලට සිදුකල යුතු විදුලිය මාර්ග පරික්ෂාව, නඩත්තුව සහ අලුත්වැඩියාවන් නිසි පරිදි සිදු නොවන බවද සහ සම්ප්‍රේශණ ආරක්ෂණ පද්ධතියේ අක්‍රීය සහ දෝශ සහගත බවද ඉහත සිදුවීම මගින් පැහැදිලිවම අනාවරණය විය. 

සම්ප්‍රේශණ මාර්ගයේ කම්බිය කැඩි යාම සමඟ එක් කලාවක් ඇනහිට වීටද, කැඩුනු කම්බි වලින් විදුලිය පොලොවට ගැලීම, රැහැන් මගට අතු ඉති වැටීම වැනි අනතුරු දායක ක්‍රියාවක් බලගැන්වෙන විට ක්‍රියාත්මක විය යුතු ආරක්ෂණ උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වන බවට වගබලා නොගැනීම සම්භන්ධයෙන් “වගකීමට” හෝ මිය ගිය තරුණ ජීවිත වෙනුවෙන් “වගවීමට” බලධාරියකු නොමැතිවම අදාල සිදුවීම යටපත් කර දැමීය.

මෙම අනතුරුදායක බව සම්භන්ධයෙන් බලධාරීන් හෝ රටේ ජනතාව හො ජනමාධ්‍යය හෝ ප්‍රමානවත් අවධානයක් නොයොදවන ලදි. එබැවින්, ශ්‍රි ලංකාව පුරා පැතිර ඇති විදුලිය සම්ප්‍රේශණ මාර්ගවල ඇති අනාරක්ෂිත හා අවධානම් සහගත බව හෙලිදරව් වු , එම සිදුවීම ලේනුන් පිට දමා ගැලවීමට ත්, බොරුවෙන් ජනතාව රැවටීමටත්, විද්‍යාලෝකය නොලත් ලංවීම ඉංජිනේරු බලවතුන් ට අවස්ථාව හිමි විය.

2. 2015 සැප්තැම්බර් 27 දින විදුලිය සම්ප්‍රේශණ මාර්ග දෝෂයක් නිසා මහා පරිමාන විදුලිය බිදවැටීමක් සිදුවූ අතර , විදුලිය ඉල්ලුම සහ සැපයුම අතර ඇතිවන වෙනස්කම් පාලනය කිරීම සහ විදුලිය සම්ප්‍රේශණ පද්ධතිය හි ඉල්ලුම සැපයීමට නොහැකි ලෙස සැපයුම බිදවැටෙන විට ක්ෂනිකව, ක්‍රමානූකූලව බැර කපා හැරෙණ ආරක්ෂක ක්‍රමවේදය නිසි ලෙස ( පද්ධතියේ වත්මන් ස්වභාවයට ගැලපෙන ලෙස ) අටවා තැබීම සිදුව නොමැතිබව මෙම සිදුවීම හරහා හෙලිදරව් වේ.

එහෙත්, එය නොරොච්චෝලේ විදුලිය බලාගාරය අක්‍රීය වීම නිසා අනෙකුත් බලාගාර ද අක්‍රිය වූ‍ බවට හේතු දක්වා අදාල වරද, නොරොච්චොලේ පිට දමා පහසුවෙන් ම සිද්ධිය යටපත් කර දැමීමට ලංවිම බලධාරීන්ට හැකිවිය. 

සංප්‍රේශන පද්ධති පාලනයේ සහ ආරක්ෂණයේ දෝෂ සහගත බව නිසා , බලාගාර අධි බැරවී අදාල විදුලිය ජනන යන්ත්‍ර වලට හානී වීමට යෙදෙන විට, එය මැඩපැවත්වීම පිනිස අදාල බලාගාර ස්වයංක්‍රියව විසන්ධි වීම අත්‍යාවශ්‍ය දෙයකි. ඒ අනුව අන් බලාගාර මෙන්ම නොරොච්චොලේ බලාගාරයද විසන්ධි වීම යනු, එහි ජනන යන්ත්‍ර වල ස්වයංක්‍රීය ආරක්ෂණ විධි විධාන උපරිමයෙන් හා නිසි පරිදි , ක්‍රියාත්මක වන බවට තහවුරු වීමකි.

එසේනම්, එදින රටේ සමස්ථ විදුලිය සැපයුම පැය ගනනකට අහිමි වූ සිදුවීමට අදාල දෝෂයද , වගකිවයුත්තන්ද නොරොච්චෝලේට මුවා වී සත්‍ය වසන් කිරීම යන,රටේ ජනතාව රැවටීම, සාපාරාධි අපරාධයක් වන්න සේම , බලපවත්වන ලද විදුලිය සම්ප්‍රේශණ දෝෂ අනාවරණය කර , පිලියම් නොකිරීම යනු වගකීම් පැහැර හැරීමක්ද වේ. 

නොරොච්චෝලේ විවේචනය යනු දේශපාලනිකව ඉතා වටිනාමකත් ඇති කාරණයක් බැවින්, බලධාරීන්ගේ බොරුවට දේශපාලන අධිකාරියේ නොමසුරු අධාරය, අනුග්‍රහය සහ වරප්‍රසාද හිමි වීම සිදුවෙමින් ඇත. නමුත් ඒ තුලින් සත්‍ය වසන් කිරීම යනු බරපතල ජනතා ද්‍රෝහී ක්‍රියාවකි.

3.  ‍2016 පෙබරවාරී මස 25 දින නැවත මුළු රටේම විදුලිය බිදවැටිමට ලක්වූ අතර, එය ලක්ෂපාන ජලවිදුලිය සංකීර්ණය හා කොලොන්නාව ලැබුම්පොල හා සම්භන්ධ සම්ප්‍රේශණ මාර්ගය අකුනු සැරයකට ලක්වීම,එම නිසා සම්ප්‍රේශණ මාර්ගය භූගත වීම, සහ එම නිසා එම සම්ප්‍රේශණ මාර්ගය පද්ධතියෙන් ඉවත් වීම සිදුවීම, ප්‍රධාන හේතුව වශයෙන් ගරු විදුලි බල ඇමති තුමා 2016 මාර්තු 23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවේ දැක්වේ. 

විදුලිය සම්ප්‍රේශණ මාර්ග අනිවාර්යෙන්ම අකුනු සැරවල බලපෑමට ලක්වේ. ඒ නිසාම අකුණකදී‍ විදුලිය මාර්ගයට එන විදුලිය පොලොවට යැවීම සදහා වන ආරක්ෂක උපකරණ ( Surge Arrestors ) සවිකර පවතී. අදාල අකුණු පහරහි විදුලිය පොලොවට යැවීම පිනිස, කෙටි කාලයකට සම්ප්‍රේශණ මාර්ගය Surge Arrestors හරහා පොලොවට සම්භන්ධ වීම සිදුවිය යුත්තකී. එලෙස එම උපකරණ, නිසි ලෙසට ක්‍රියාකරණ බවටද වගබලා ගැනීම ( කාලීන පරීක්ෂාවන් සහ නඩත්තුව ) අනිවාර්යෙන් සිදුවිය යුත්තකි. 

ඒ අනුව, බලධාරීන් කිවූ ලෙසට , එම විදුලිය විසන්ධිවීමට අදාල ප්‍රධාන හේතුව “අකුණු පහර” වීමට නම් අදාල අකුණු සැරය භුගත කරණ Surge Arrestors අක්‍රීය වීම හෝ පුපුරා යෑම සිදුව තිබිය යුතුය. 

එවැනි අනතුරක් වාර්ථා නොවීම මගින් සනාථ වන කරුණක් නම්, අකුනු පහර ප්‍රධාන හේතුව නොවන බව ත් සහ අකුනු පහර හෝ වෙනයම් හේතුවක් නිසා සම්ප්‍රේශණ මාර්ගයේ ක්ෂනිකව ඇතිවූ අසමතුලිත තාවය කලමණාකරණය කර ගැනීමට සම්ප්‍රේශණ ආරක්ෂණ ක්‍රමවේදය අසමත් වීම, විදුලිය බිදවැටීමට අදාල ප්‍රධාන හේතුව වූ බවය. 

සම්ප්‍රේශණ පද්ධති පාලනයේ දෝෂ සහගත බව සහ සම්ප්‍රේශණ ආරක්ෂණය නිසි පරිදි බලගන්වා තිබී නොමැති බව නිසා වන දෝෂ නිවාරණය ( අදාල ආරක්ෂණ උපාංග නිසි ලෙස ක්‍රියාත්මක නොවන දෝෂ සහගත බව සහ අදාල ඇටවුම් ( settings ) නිසි පරිදි පිහිටුවා නොමැති වීම) සදහා පිලියම් යෙදීමට බලධාරීන් කටයුතු කරනු දක්නට නොලැබිනි.

4. නැවත 2016 මාර්තු 13 දින බියගම විදුලි ලැබුම්පොලේ ඇති සුවිශාල ට්‍රාන්ස්පොමරයකට සම්භන්ධ ස්වයංක්‍රිය On Load Tap Changer උපාංගයක් පුපුරා යමින් මුලු රටේම විදුලිය අඩපන වීමට යෙදුනු අතර, එහි පීඩාව අතිශය දරුණු විය. 

විදුලිය ලැබීම් වොල්ටියතාවය හි වෙනස් වීමකදී , නියමකරණ ලද සැපයුම් වොල්ටීයතාවය ම ස්වයංක්‍රීයව පැවත්වාගැනීම පිනිස විදුලිය ට්‍රාන්ස්පොමරයට සම්භන්ධ මෙම On Load Tap Changer උපාංගය භාවිතා වේ.එය ක්‍රියාත්මක වීමේදි අභ්‍යන්තරව හට ගන්නා විද්‍යත් චාපය මර්ධනය පිනිස වන ආරක්ෂක පිලියම් වලින් යුතු වන අතර, අනිවාර්ය පරික්ෂාවන්, නඩත්තු කාර්ය සහ අලුත්වැඩියාවන් සදහා වන නියමයන්ද පවතී.

නමුත්, 1998 වසරේ පමන සිට අදාල පරික්ෂාවන්, නඩත්තු සහ අලුත්වැඩියා කාර්යන් සිදුවී නොමැති බවට වාර්ථා වේ. ඒ අනුව, ජාතික සම්ප්‍රේශණ ජාලයේ ට්‍රාන්ස්පෝමර ඇතුළු වටිනා පිරියතට අදාල සේවා තත්ව පරීක්ෂන වාර්ථා සැකසීම, අධ්‍යයනය සහ දෝශ වලට පිලියම් යෙදීම අඩපනවීමේ ප්‍රථිපලයක් ලෙස මෙම මහා පරිමාන බිදවැටීම් සිදුව ඇත.

මෙවැනි නඩත්තු සම්භන්ධ ප්‍රගති වාර්ථා ලංවිම සාමාන්‍යාධිකාරි දක්වා ඉදිරිපත්වීම සිදුවිය යුත්තේ, 1969 අංක 17 දරණ විදුලිය පනතට අනුව අදාල රාජකාරිය සම්භන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන නිලධාරියා ඔහු වන බැවිනි. 

ඒ අනුව අතිශය සංවේදී හා අනතුරුදායක පිරියත සම්භන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීමේ, බරපතල රාජකාරි පැහැර හැරීම සම්භන්ධයෙන් 1998 වසරේ සිට රාජකාරි කරණ ලද සියළු ලංවීම සාමාන්‍යාධිකාරි වරුන්ද වගකිව යුතුව ඇත.

තවද, මෙම විදුලිය බිදවැටීම් හරහා ජනතාවට හා රටේ ආර්ථිකයට ඇති වූ‍ පාඩූව හා පීඩාව අති මහත්ය. එහෙත් මෙවැනි ජාතික අපරාධයකට අදාලව වගවීමක් නොමැති කම නිසා තව දුරටත් වගකීම් විරහිතව කටයුතු සිදුවීම සහ ඒ සදහා අනුබලය සැපයීම සිදුවෙමින් ඇත.

5. මෙවැනි On Load Tap Changer පිපිරී යාමේ අනතුරක් මින් පෙර දැක නැති බවට මාධ්‍ය වෙත කී, විද්වතුන් ලෙස හදුන්වන බලධාරීන් විසින් එම සිදුවීම අත්දැකීමෙන් පසුව හෝ සිදුකරණ ලද බුද්ධිමය මෙහෙවර ප්‍රශ්ණ කරමින් නැවත කොටුගොඩ උපපොලේ ට්‍රාන්ස්පෝමරයක පිපිරියාම සිදු උනේ දෛවයේ සරදමක් හෝ සොභාවික හරණයේ සිදුවීමක් ලෙසටය.

එහෙත් , මෙම බියගම උපපොලේ ටැප් චේන්චරය නඩත්තු කල ප්‍රවීන තාක්ෂනික නිලධාරීන් විසින් අනාවරණය කරගත් දෝෂයක් මත, එය අලුත්වැඩියා කරනු ලැබ පවතී. ( අදාල ඡායාරූපයක් ද මේ සමග ඇත. )

බියගම ලැබුම්පොලට සාපේක්ෂව කොටුගොඩ උපපොලේ ස්ථානීය සහ තාක්ෂණික උපයෝගිතාව අවම වීම නිසා මහා පරිමාන විදුලිය බිදවැටීමක් කොටුගොඩ පිපිරීම හරහා බලනොපැවැත්වූ නමුත්, එමගින් දෙන ලද පනිවුඩය සුවිශේශි වේ.

එනම්, විදුලිය සම්ප්‍රේශණ පද්ධති පාලනය විධිමත් කිරීම, සම්ප්‍රේශණ ආරක්ෂණ ක්‍රමවේදයට අදාල උපකරණ නිසි ලෙස බලගැන්වීම, සම්ප්‍රේශණ මාර්ග, පිරියත නඩත්තු සහ අලුත්වැඩියාවන් සිදුකිරීම වහාම සිදුකල යුතු බවය.

විදුලිය අර්බූදය හා සබැදි ,කළමණාකරණ ගැටලුව

ශ්‍රි ලංකාවේ විදුලිය සම්ප්‍රේශණ ජාලය අනාරක්ෂිත වීම සදහා , ලංවීම යේ දූශිත ඉහල නිලධාරීන්ගේ අක්‍රමිකතාවන්ද , ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්ය පෙරදැරි අත්තනොමතිකත්වයද සහ ඵලදායි නොවූ , නාස්තිකාර ආයතනික සංවිධාන රටාව ද සහ ඒ හා සබැදුනු අවිධිමත් කළමණාකරණය ද හේතු වී ඇති සනාථ කිරීම ඇති සාක්ෂි, සිදුවීම් සහ සාධක අපමනය.

ප්‍රායෝගික ශිල්පීය කුසලතාවය ඉතා ඉහලින් භාවිතාවිය යුතුව පවතින ආයතනයක් වන ලංවීම තුල ඊට එරෙහිව, ලංවිම පාලනාධිකාරයේ දූෂිත අභිලාශ බලගැන්වීම වෙනුවෙන් කරණ අකටයුතු සහ විනාශය සුළුපටු නොවේ. 

ලංවීම ඉහල නිලධාරීන්ට ලාභාංශ සහ ප්‍රථිලාභ හිමිවන ලංකා ට්‍රාන්ස්පෝමර සමාගම ඇතුළු අභ්‍යන්තර සමාගම් වලින්ද , ලංවීම ඉහල නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන කොන්ත්‍රාත් සේවා සමාගම් වලින්ද, වැඩි වැඩියෙන් සේවා සපයා ගැනීම වෙනුවෙන්, ලංවිම කාර්යයන් කොන්ත්‍රාත්කරණය හි අනිටු විපාකයක් ලෙසට මෙම විදුලි සම්ප්‍රේශණ අර්බූදය ඇති වූ බවට වන හේතු සාධක අපමනය. 

ට්‍රාන්ස්පෝමර දූෂණ- අක්‍රමිකතා.....

ලංවීම සතු වටනා වත්කමක් වන ට්‍රාන්ස්පෝමර කලමණාකරණය, රැකබලා ගැනීම, නඩත්තුව සහ අලුත්වැඩියාව වෙනුවෙන් ලාභදායි ලෙස සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරමින් තිබූ‍ ලංවීම ට්‍රාන්ස්පෝමර අංශය වසා දමනු ලැබු,, ලංවීම බලධාරීන් විසින් ට්‍රාන්ස්පෝමර ඩීල් මාෆියාව බලගන්වමින් ට්‍රාන්ස්පෝමර මිලදී ගැනීම සහ අලුත්වැඩියාව අතරමැදි සමාගමක් වූ ලංකා ට්‍රාන්ස්පෝමර සමාගමට පවරා දෙන ලදි. 

දූෂිත ඉහල නිලධාරින් විසින් වංචනිකව නිල බලය අවභාවිතා කරමින් ට්‍රාන්ස්පෝමර සමාගමට අධික ලාභ උපයාදී, ලංභංශ අත්කර ගන්නා විට, ලංවීම ය අධික පාඩූ ලබන ආයතනයක් බවට පත් විය. ඉතා වටිනා සහ බහුලව භාවිතාවන ට්‍රාන්ස්පෝමර වලට අදාල දූෂිත ට්‍රාන්ස්පෝමර ඩීල් මාෆියාව යටතේ විනාශ වන සහ අවභාවිතාවන ලංවීම මුදල් කන්දරාව ( ජාතික ධනය ) අති විශාලය. 

ලංවිම වෙත අලුත් ට්‍රාන්ස්පොමර විකිනීම සදහා අවස්ථාව උදාකරගනු පිනිස, ලංවීම වෙතින් අලුත්වැඩියාව සදහා ට්‍රාන්ස්පොමර භාර ගැනීම සිදු නොකර ඒවා විනාශයට යොමු කිරීමට හිටපු සාමාන්‍යාධිකාරී‍වරයකු කටයුතු කරණු ලැබිය. එයට එරෙහිව, සුළු දෝශ සහිත ට්‍රාන්ස්පොමර අලුත්වැඩියා කර යලි ප්‍රයෝජනයට ගතහැකි බව ප්‍රායෝගිකව සනාථකල ඇල්පිටිය විදුලි අධිකාරි වරයාගෙන් එම දුෂිත බලධාරීන් පලිගත්තේ, ඔහුට එරෙහිව සාපරාධි ලෙස අසත්‍ය චෝදනා නිර්මාණය කිරීමේනි. 

ඒ අනුව, ලංවීම තුලින් බිහිවන පරිනත තාක්ෂණික ශිල්පීන්ගේ දිරිගන්වනු නොව ඔවුන් අධෛරමත් කිරීම සහ කලකරවීම පමනක් ඔවුන් බලවතුන්ගේ දූෂිත අරමුණු වලට බාධාවක් වන විට ඔවුන්ට හිංසා පීඩා කිරීමට හෝ පසුබට නොවන අමානුෂිකතාවක්ද ලංවිම තුල බලපවත්වමින් ඇත.

අලාබහානී වූ ට්‍රාන්ස්පෝමරයකට අදාලව එම විදුලි අධිකාරී වරයාට විරුද්ධව ඉදිරිපත්කල චෝදනාව අසත්‍ය බව එම ට්‍රාන්ස්පොමරයේ හානිවල දිශාව අනුව තහවුරු වන විට , එම ට්‍රාන්ස්පෝමරය ලංකා ට්‍රාන්ස්පෝමර සමාගමට යවා පූර්ණ හානියට පත්කර සාක්ෂි විනාශ කරවණ ලදි. 

එසේ පලිගැනීම සදහා සාපාරාධි වැරදි ( දණ්ඩ නිතී සංග්‍රහයේ සාපරාධි වැරදි ලෙස හදුන්වා ඇති ) ක්‍රියා කල දූෂිත උසස් ප්‍රධාන ඉංජිනේරු ට දඩුවම් දෙනු වෙනුවට,ලංවිම දකුණු පලාතේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙස උසස් විම් ලබා දී ඇත්තේ, අදාල හිටපු සාමාන්‍යාධිකාරි වරයාටද, ට්‍රාන්ස්පෝමර ඩීල් මාෆියාවේ දේශපාලන අනුග්‍රහයෙන් ලංවිම වෙත දේශපාලන පත්විම් ලැබෙන පසුබිම යටතේය. 

මෙවැනි පසුබිමක් යටතේ බියගමදී සහ කොටුගොඩ දී හානියට පත් On Load Tap Changer වලට අදාල ට්‍රාන්ස්පොමර අලුත්වැඩියා කර යලි ප්‍රයෝජනයට ගනීද , අලුතින් මිලදී ගැනීමට ක්‍රියා කරයි ද , නැතහොත් සත්‍ය වසන් කිරීම සදහා විනාශ කර දමයි ද යන සැකය ඇත. 

එබැවින් අදාල ට්‍රාන්ස්පෝමර ( සාක්ෂි ) ආරක්ෂා කිරීම, එම ස්ථාන වල ආරක්ෂක රාජකාරි පැවරී ඇති ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වගකීම වනු ඇත.

ලංවීම තාක්ෂණ ශිල්පීන් යටතේ ලංවීම ට්‍රාන්ස්පෝමර සහ සංප්‍රේශණ පිරියත අලුත්වැඩියාව ඇණහිටුවා ඇති නමුත් , ඒ සදහා අවශ්‍ය වන අමතර කොටස් විශාල ප්‍රමානයක් ලංවීම ගබඩා තුල ඇති බවද, තවත් කොටසත් හදුනාගැනීමට කෙනෙකු නොමැතිව “ථලදායිතාවය ” සංකල්පය නමින් අපහරනයට යොමු කර ඇති බවද දැනගන්නට ඇත. 

අවිධිමත් ආයතනික සංවිධාන රටාව....

ලංවිම ට්‍රාන්ස්පෝමර අංශය අහෝසී කිරීම සමගින්, ඒ සදහා සිටි පරිනත තාක්ෂන ශිල්පින් විසිර යෑම සිදු උනත් නඩත්තුව නාමයෙන් සුවිශේෂ වරප්‍රසාද ලබන න්‍යායික දැනුමැති ඉංජිනේරු නාමධාරී පාලකයින් සදහා කාර්යාල සහ උසස් තනතුරු නිරතුරුව බිහිවන්නට විය. 

ඒ අනුව, සංප්‍රේශණ නඩත්තුව ද කැබලි වෙමින්, සම්ප්‍රේශණ අංශය භාර අතිරේක සාමාන්‍යාධිකාරී යටතේ සහ කොටස් හතරට කැඩූ බෙදාහැරීම් කලාප වෙනුවෙන් සංප්‍රේශණ නඩත්තු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී‍වරු පත්විය. ශ්‍රි ලංකාවේ භුමිය බෙදාහැරීම් අංශ හතරකට බෙදීමේදී ඒ සෑම කලාපයකටම කොලඹ හෝ තදාසන්න ප්‍රදේශය අයත් වන ලෙස අපූරූ කොටස් කිරීමක් සිදුකලේ, ඒ සෑම කලාප වලට පත්කරණ අතිරේක සාමාන්‍යාධිකාරී‍වරු න්ටද , නඩත්තු ඇතුළු විවිධ උප විශයන්ට අයත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුන්ට ද, කොළඹ සහ තදාසන්නයෙන් කාර්යාල , නිලනිවාස ආදී පහසුකම් ලබා දීමට වේ. 

මේ නිසා, අදාල සෑම කලාපයකටම අයත් නඩත්තු තාක්ෂණ නිලධාරීන්ට සහ ශිල්පීන්ට රාජකාරි සදහා රටේ දුර බැහැර ප්‍රදේශවලට ගමන් සිදුව ඇත්තේ කොළඹ සහ තදාසන්නයේ සිට වේ. මේ අනුව රාජකාරි කාලයට වඩා වැඩි කාලයක් ගමන් කිරීම සදහා වැය කිරීමෙන් නැති නාස්ති වන ශිල්පීය කාලය සහ වටිනාකම අති විශාලය.

ජාතික විදුලිය සම්ප්‍රේශණ පද්ධතිය පාලනය සදහා පද්ධති පාලන මධ්‍යස්ථානයක්ද, සම්ප්‍රේශණ ආරක්ෂණය බලගැන්වීමේ අංශ ද ස්ථාපිතව ඇත. මීට අමතරව, ඒ ඒ පලාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරු යටතට පත්ව ඇති සංප්‍රේශණ කොටස නඩත්තුව සදහා පත්කර ඇති ප්‍රධාන ඉංජිනේරුවන් සදහා කාර්යාලයන් ද පලාත් මට්ටමෙන් ස්ථාපිතව ඇත. 

මෙසේ, වායූ සමනය කර ඇති කාර්යාල, සුඛොපභෝගී වාහන , නිල නිවාස සහ විශාල වැටුප් සහ දීමනාවන්ට හිමිකම් කියන න්‍යායික දැනුම සපිරි ඉංජිනේරු වෘත්තිකයන් රාශියක් සංප්‍රේශණ නඩත්තුවට සිටියදී, රටේ විදුලි සංප්‍රේශණ ජාලය අනතුරු දායක තත්වයක පැවතීම ඉතා කණගාටුදායක තත්වයකි.

එබැවින් තාක්ෂනික ථලදායිතාවයෙන් බැහැරව වෙනත් නාස්තිකාර සහ දූෂිත අරමුනු පෙරදැරිව ක්‍රියාත්මක වන, ලංවීම ආයතනික සංවිධාන ව්‍යුහය තව දුරටත් ඒ ආකාරයට ම බලගැන්විමට ඉඩ දීම “යහපාලනය” ට තරම් නොවේ.

වගවීම වෙනුවට සත්‍ය වල දැමීම....

ලංවීම මෙම අභාග්‍යසම්පන්න තත්වයට පත්කලවුන් ම මෙම අර්බූදයට අදාල විසදුම් සේවිමට පත්කර ඇත. සිදුකල අපරාධයට වගවීමක් නොමැතිව, යෙහෙන් වැජබෙන වුන්ට යලිත් ලංවිම හි වගකීම් පැවරීමෙන් , පවත්නා විදුලිය සම්භන්ධ සැබෑ අර්බූදයට සැබෑ පිලියම් ලැබෙනු ඇතැයි කෙනෙකු විශ්වාස කරන්නේ නම් එය බරපතල මුලාවකි.

ලංවිම දූෂිත ට්‍රාන්ස්පෝමර ඩීල් මාෆියාව ට අධාර අනුබලය සැපයූ, වත්මන් විදුලිය අර්බූදයට වගවිය යුතු ආලපාලූ, ඩීල් දේශපාලකයන් තම පෞද්ගලික අභිලාශයන් සහ දේශපාලන න්‍යාය පත්‍රයට අදාලව සුපුරුදු ලෙසටම බොරු කියමින් ජනතාව මුලා කරනු දක්නට ඇත.

සැබෑ ප්‍රශ්නය වසන් කිරීම අරමුණ පෙරදැරිව නොරාච්චෝලේ විදුලි බලාගරය වෙතද, පෞද්ගලික තාප බලාගාර වෙතද පහර දීම සදහා අවස්ථාවාදීන් විසින් ඉදිරිපත් කරණ කරුණු බොහෝමයක් අසත්‍ය හා නොමග යවන සුළු ඒවා වේ. එමගින්, දේශපාලනිකව මුලාවූ ජනතාව පහසුවෙන් අන්දවමින් විදුලිය අර්බූදයේ සත්‍ය පහසුවෙන් වල දමනු ඇත. 

අත්තනෝමතික බව මත ඇතිකරණ සේවක ප්‍රශ්න පිළිබදව හෝ , දුෂණ- වංචා පැමිනිලි සම්න්ධයෙන් හෝ ඔනෑම ප්‍රශ්නයනදී, ජනාධිපතිට හෝ අධිකරණයට හෝ ඔනෑම වගකිව යුතු ආයතනයක් වෙත අසත්‍ය වාර්ථා කිරීම සහ කූට ලේඛණය නැමති සාපරාධි වරද කිරීමට පසුබට නොවන ලංවීම පාලනාධිකාරිය ට එරෙහිව රටේ නීතීය ද අනර්මන්‍ය ව සිටී.

ඒ අනුව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක නීතියක් මේ රටේ නැති කල , නාමිකව ක්‍රියාත්මක කොමිෂන් සභා සහ අණ පනත් වෙනුවෙන්ද වැය කරණ ජනතා මුදල් වලට සරිලන ප්‍රථිලාභයක් රටේ ජනතාවට ලැබෙනවාදැයි ගැටලුවකි.

අදාල විදුලිය ඇණහිටීම මගින් ජනතාවට, කර්මාන්ත වලට සහ රටේ ආර්ථිකයට සිදුවූ සුවිශාල පාඩුව සම්භන්ධයෙන් වගවීම ක් සිදුනොවන පසු බිමක් තුල, යලි යලි මෙවැනි බිදවැටීම් සිදුවීම අනිවාර්ය වනු ඇත. 

ප්‍රසන්න වෙල්ලන්ගිරිය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 8450317976138527511

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item