තෙවැනි වරටත් ආසියානු දැල්පන්දු කිරුළ අපට අහිමි වෙයි

අවසන් දෙවතාවේදී සිංගප්පූරුව ඉදිරියේ ශූරතාව අහිමිකරගත් ශ්‍රී ලංකාව, මෙවර බලාපොරොත්තු නොවූ සටනක් හිමිවූ මැලේසියානු ක්‍රීඩිකාවන් හමුවේ අසාර්...

අවසන් දෙවතාවේදී සිංගප්පූරුව ඉදිරියේ ශූරතාව අහිමිකරගත් ශ්‍රී ලංකාව, මෙවර බලාපොරොත්තු නොවූ සටනක් හිමිවූ මැලේසියානු ක්‍රීඩිකාවන් හමුවේ අසාර්ථක වෙමින් නොකඩවා තෙවැනි වරටත් ආසියානු දැල්පන්දු කිරුළ ඊයේ (07දා) අහිමිකර ගත්තේය.

10 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය මෙවර තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති අතර, එහි අවසන් තරගය දක්වා ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මැලේසියාව හමුවේ ලකුණු 41 – 31ක් ලෙස පරාජයවීමට සිදුවිය.

මෙම තරගයේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකාවෙන් තරග ගිහිහුණු අතර, එහි පළමු කාර්තුව ලකුණු 11 – 05ක් ලෙස මැලේසියාව ජයගත්තේය. දෙවැනි කාර්තුවේදී යම් ප්‍රගතියක් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුව 08 -06ක් ලෙස ජයගත්තද, තෙවැනි හා අවසන් කාර්තුවේදී යළි තරගය තමන්වෙතට නතුකරගත් මැලේසියානු ක්‍රිඩිකාවෝ එම කාර්තු පිළිවෙළින් 11 - 10 හා 12 – 08 ක් ලෙස ජයගැනීමට සමත් වූහ.

වසර 31ක අතීතයක් ඇති ආසියානු දැල්පන්දු තරග ඉතිහාසයේ මැලේසියාව ශූරතාව දිනූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට ඔවුන් ශූරියන් ලෙස කිරුළු පලඳා තිබුණේ 1985 වසරේ පැවැති තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගාවලියේ පමණි.

මෙම තරගාවලියේ මූලික වටයේ %බී^ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට ඇෆ්ගනිස්තානය සමගින් තරග කිරීමට සූදානමින් සිටියත්, එම තරගයට ඇෆ්ගනිස්තානය සහභාගි නොවීම හේතුවෙන් නිතරග ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. ඉන් අනතුරුව ජපානයට එරෙහිව මුහුණදුන් දෙවැනි තරගයෙන් ලකුණු 67 – 14ක් ලෙස දැවැන්ත ජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

කෙසේ නමුත් මුහුණදුන් තෙවැනි තරගයෙන් මැලේසියාව හමුවේ 38 – 32 ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, මුහුණදුන් සිවුවැනි තරගයෙන් බෘනායි රාජ්‍ය ලකුණු 55 – 20ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත්විය. කෙසේ නමුත් මැලේසියාව හමුවේ පරාජය වීම හේතුවෙන් %බී^ කාණ්ඩයේ අනුශූරියන් ලෙස මූලික වටය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ඒ අනුව 'ඒ' කාණ්ඩයේ ශූරතාව දිනාගත්සිංගප්පූරුව සමගින් අවසන් පූර්ව වටයේදී තරග වැද ශ්‍රී ලංකාව අවසන් තරගය සුදුසුකම් ලබාගත් අතර, අනෙක් අවසන් පූර්ව තරගයෙන් තියුණු සටනකින් අනතුරුව හොංකොං ලකුණු 35 – 34 ක් ලෙස පරාජය කිරීමට මැලේසියාව සමත්විය.

ශ්‍රී ලංකාව අවසන් වසර 2009 වසරේ සිට මේ දක්වා ආසියානු දැල්පන්දු තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත. කෙසේ නමුත් 2009 වර්ෂය හැරෙන්නට 2012 හා 2014 වර්ෂවල සිංගප්පූරුව හමුවේද, මෙවර මැලේසියාව හමුවේද පරාජයවීමට සිදුවිය.

කෙසේ නමුත් තවමත් මෙම තරගාවලි ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාඇති රට ශ්‍රී ලංකාව වන අතර, ඔවුන් 1989, 1997, 2002 හා 2009 වර්ෂවල ශූරතා ජයගෙන ඇත. ඊට අමතරව මෙහි දෙවැනි වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන සිංගප්පූරුව 2005, 2012 හා 2014 වර්ෂවල ශූරතා ජයග්‍රහණය කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2713833614225082788

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item