පොලිස් බුද්ධි අංශ ස්ථානාධිපති කෝටි 4 කොල්ලය මෙහෙයවලා
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ නිපැයුම් ස්ථානයකට කඩා වැදී රුපියල් කෝටි හතරක් පම...

https://www.sathhanda.com/2016/09/4.html
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ නිපැයුම් ස්ථානයකට කඩා වැදී රුපියල් කෝටි හතරක් පමණ වටිනා රන් භාණ්ඩ කිලෝ 3ක් පැහැරගත් කොල්ල කල්ලිය මෙහෙයවා ඇත්තේ පොලිස් බුද්ධි අංශයක ස්ථානාධිපතිවරයෙක් බව හෙළි වී ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයට අනුයුක්ත එම පොලිස් නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයෙක් බව හඳුනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශ ඒකකයේ ඔහු ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉකුත් සෙනසුරාදා දහවල් 2.30ට පමණ සිට දෙදෙනකුගෙන් සමන්විත කොල්ලකල්ලියක් එම රන් භාණ්ඩ කොල්ලකා තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් බව කියමින් සිව් මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ පිහිටි රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයට කොල්ලකල්ලිය ඇතුළු වී ඇතැයි පොලීසිය කියයි.
එම අවස්ථාවේදී එහි රන් වැඩකරුවන් ලෙස ඉන්දියානුවන් 7 දෙනකුද, මෙරට මුස්ලිම් වැසියෙක්ද සිට ඇත. ඔවුන්ගෙන් දෙදෙනකුට අත්විලංගු දමා සෙසු අයගේ දෑත් ප්ලාස්ටික් පටිවලින් ගැට ගසා තිබේ. අනතුරුව අත් විලංගු ඉවත්කර ඒ අයගේ දෑත් ප්ලාස්ටික් පටිවලින් සිරකර රන් තොගය කොල්ලකා පලා ගොස් ඇත.
මෙම කොල්ලකල්ලිය මාර්ගයේ ඇති ආරක්ෂක කැමරාවකද සටහන් වී ඇතැයි පොලීසිය කියයි. ඒ ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කිරීමේදී සැකකාර පොලිස් නිලධාරියා හඳුනාගැනීමට හැකි වී තිබේ. එම පොලිස් නිලධාරියා ඇතුළු කොල්ල කල්ලිය අත්අඩංගුවට ගෙන රන් භාණ්ඩ තොගය සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් දියත්කර ඇත.
ගයාන් කුමාර වීරසිංහ
Related