'සිකා' අවදානම ඉහළට

පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව යන ආසියාතික රටවල් ඇතුළු ලොව පුරා රටවල් 72 ක මේ වන විට සිකා වෛරස්‌ උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන අතර අසල්වැස...


පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව යන ආසියාතික රටවල් ඇතුළු ලොව පුරා රටවල් 72 ක මේ වන විට සිකා වෛරස්‌ උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන අතර අසල්වැසි ඉන්දියාවේ චිකුන්ගුන්යා උණ රෝගය පැතිර යන බව වාර්තාවී තිබේ.


සිකා හා චිකුන්ගුන්යා යන රෝග දෙකම පතුරුවනු ලබන්නේ ඩෙංගු රෝගය පතුරුවන "ඊඩිස්‌ ඊජිප්ටයි" මදුරු විශේෂය විසිනි. මෙම මදුරු විශේෂය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී සිටීම නිසා එම රෝග දෙක මෙරටද පැතිර යැමේ අවදානම ඉහළ මට්‌ටමක පවතී.

දැනට වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් පවතින ඩෙංගු උණ රෝගය තවමත් පාලනය කර ගත නොහැකිව ඇත්තේ එක්‌කෝ බලධාරීන් විසින් මහජනතාවට ග්‍රහණය වන අයුරින් ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් නොකිරීමයි. නැතහොත් දැඩි නීති රීති හරහා ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව පියවර නොගැනීම බව අනුමාන කළ හැකිය. මන්ද කියුබාව වැනි රටවල් එසේ ජනතාව නිසි අයුරින් රෝගය පිළිබඳවත් එය පැතිරීම වළක්‌වා ගැනීම පිළිබඳවත් දැනුවත් කර එයින්ද නොනැවතී ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව ක්‍ෂණික දඩ (ස්‌පොට්‌ µයින්) අය කිරීම හා සිරදඬුවම් වැනිවූ දැඩි ක්‍රියා මාර්ග ගැනීම හරහා පිටරටින් ඩෙංගු රෝගය තුරන් කර පෙන්වා ඇති නිසාය.

එහෙත් කොතරම් මදුරු මර්දන සති ක්‍රියාත්මක කළද මෙරට ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන වැඩි වීමක්‌ මිස අඩුවීමක්‌ දක්‌නට නොලැබෙනුයේ මෙරට පවතින ලිහිල් නීති රීති නිසා බව බැලූ බැල්මට පෙනී යයි.

මෙවැනි වාතාවරණයක්‌ තුළ සිකා හා චිකුන්ගුන්යා වැනි රෝගද මෙරට පැතිරීමට පටන් ගතහොත් එයින් රටට ඇති විය හැකි පාඩුව සුළු පටු නොවේ. එනම් ඩෙංගුවලට අමතරව සිකා හා චිකුන්ගුන්යා රෝග මර්දනය හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් වෙන් කිරීමටත් එම රෝගීන්ට අදාළ රුධිර පරීක්‍ෂණ සඳහා මුදල් වැය කිරීමටත් රජයට සිදුවේ. මේ නිසා කළ හැකි එකම දේ නම් සිකා හා චිකුන්ගුන්යා රෝග පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කර එය මෙරට පැතිරීම වළක්‌වාලීමයි.

සිකා හා චිකුන්ගුන්යා රෝග පැතිර යනුයේ ඩෙංගු රෝගය පතුරුවන මදුරු විශේෂය හරහා බව අප මුලින් සඳහන් කළෙමු. එම රෝගවල රෝග ලක්‍ෂණද බොහෝදුරට ඩෙංගු රෝග ලක්‍ෂණ හා සමාන වන අතර සිකා රෝගය පමණක්‌ ගැබිනි මවුවරුන්ට වැළඳුණු විට දැඩි සංකූලතා ඇති කරන රෝගයකි.

දැනටමත් බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකින් සිකා රෝගය වැළඳුණු ගැබිනි මවුවරුන් විසින් ප්‍රසූත කරන ලද දරුවන් හිස කුඩාවීමේ තත්ත්වයක්‌ (මයිත්‍රොසෙපලි) පෙළෙන බව සොයාගෙන තිබේ.

සිකා රෝගය ලිංගිකවද කෙනෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන බව අනාවරණයවී ඇති අතර පිරිමින්ගේ ශුක්‍ර තරලය තුළ සිකා වෛරසය සති 8-9 ත් අතර කාලයක්‌ පවතින බව හෙළිවී තිබේ.

සිකා හා චිකුන්ගුන්යා රෝගවල රෝග ලක්‍ෂණ හා එම රෝග පැතිරෙන ආකාරයත් රෝග පැතිර යැම වැළැක්‌වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් විමසා බැලීම වැදගත්වේ.

සිකා හා චිකුන්ගුන්යා රෝගයන් පතුරුවන ඩෙංගු මදුරු විශේෂය වන "ඊඩ්ස්‌ ඊජිප්ටයි" නමැති ගැහැණු මදුරුවන් දිවා කාලයේ දෂ්ට කරන අතර මිනිස්‌ වාසස්‌ථාන ඇතුළත හා පිටත වාසය කරනු ලබයි. මෙම මදුරුවා අඳුරු ප්‍රදේශවල වාසය කිරීමට පෙළඹී ඇති නිසා පාසල් ළමුන් මෙන්ම වැඩබිම්වල සේවකයින් අතර ඩෙංගු රෝගය පැතිරීමද මෑතකදී සිට වර්ධනය වී තිබේ.

මෙම මදුරු විශේෂය උදැසන, දිවා හා සවස්‌ කාලවල දෂ්ට කිරීම සිදුකරන අතර සිකා හා චිකුන්ගුන්යා රෝගයක්‌ද කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවනුයේ එම මදුරුවන් රෝගී පුද්ගලයකුගෙන් රුධිරය උරා බොන විට එම වෛරසය මදුරුවා තුළට ඇතුළුවී පසුව ඔවුන් දෂ්ට කිරීමෙන් රෝගය නිරෝගී පුද්ගලයන්ටද වැළඳීමෙනි.

සිකා රෝගයෙහි මෙන්ම චිකුන්ගුන්යා රෝගයෙහි රෝග ලක්‍ෂණයන් ඩෙංගු උණ රෝගයේ රෝග ලක්‍ෂණවලට සමාන වේ. එහෙත් සිකා රෝගයෙහි ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගවල මෙන් නොව රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනුයේ රෝගී වෛරසය ශරීරගත වූවන්ගෙන් සියයට 20 ක්‌ වැනි සුළු ප්‍රතිශතයක්‌ වන අතර රෝගයට ගොදුරු වූවන්ගෙන් සියයට 80 ක්‌ම කිසිදු රෝග ලක්‍ෂණයක්‌ පෙන්නුම් නොකරන බව වෛද්‍ය මතයයි.

සිකා රෝගයේ මෙන්ම චිකුන්ගුන්යා රෝගයේ ප්‍රධානතම රෝග ලක්‍ෂණයන් වනුයේ දින කිහිපයක්‌ පවතින තද උණ සමෙහි කුෂ්ට ගතිය ඇස්‌ රතු වීම, මස්‌ පිඩු හා හන්දි වේදනාව, තෙහෙට්‌ටුව කකුල් ඉදිමීම, ඇස්‌ අවට වේදනාව හිසරදයයි. මෙම රෝග ලක්‍ෂණ මුලින් සුළු වශයෙන් හට ගෙන දින 2 ත් 7 ත් අතර කාලයක්‌ පැවැතිය හැකිය.

සිකා මෙන්ම චිකුන්ගුන්යා රෝගය වැළඳුණු අයට මස්‌ පිඩුවල වේදනාව හැරෙන්නට දරුණු සංකුලතා ඇති නොවන අතර එම රෝගවලට ගොදුරු වූවන් මිය යැමද විරලය. සාමාන්‍යයෙන් මෙම රෝගයන්ට ලබාදෙන විශේෂිත එන්නතක්‌ හෝ ප්‍රතිකාර නොමැති අතර විවේක ගැනීම, දියර ආහාර බහුලව භාවිත කිරීම රෝගියා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන්ය. වෛද්‍යවරුන් විසින් උණ හා වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් අඩංගු ඖෂධ නියම කරනු ලබයි. සිකා රෝගය වැළඳුණු අයට රෝගී සමය තුළදී ඇස්‌ප්‍රීන් හෝ එන්.එස්‌. ඒඩ්ස්‌ කාණ්‌ඩයේ ඖෂධ ලබා දීම සිදු නොකළ යුතු අතර රෝගය දරුණු වූ විට පමණක්‌ වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතු බව වෛද්‍යවරු පවසති.

සිකා රෝගය පී.සී.ආර්. පරීක්‍ෂාව හා ලේ සාම්පල්වලින් වෛරස වෙන් කර ගැනීම මගින් තහවුරු කර ගත හැකි අතර මෙම පරීක්‍ෂණ පහසුකම් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා දවසේ පැය 24 පුරාම ලබා ගැනීමේ හැකියාව පවතී.

දැනට ශ්‍රී ලංකාව තුළ සිකා රෝගය පැතිර යාමක්‌ දක්‌නට නොලැබෙන නිසා ඩෙංගු රෝගීන්ගේ රුධිර සාම්පල සිකා රෝග පරීක්‍ෂාවටද ලක්‌ කෙරෙන බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

සිකා මෙන්ම චිකුන්ගුන්යා රෝගයන් මෙරට පැතිරීම වළක්‌වා ගැනීම සඳහා ගත හැකි ප්‍රධානතම ක්‍රියා මාර්ගය වනුයේ සෑම අයෙකුම තම නිවස හා ගෙවත්ත මදුරුවන් බෝ නොවන අයුරින් පිරිසිදුව පවත්වා ගැනීමයි. සිකා හා චිකුන්ගුන්යා මෙන්ම ඩෙංගු රෝගය පතුරුවන මදුරු විශේෂය වැඩි වශයෙන් බෝවන පිරිසිදු වැසි ජලය එක්‌රැස්‌ වන හිස්‌ ටින්, පොල් කටු, ප්ලාස්‌ටික්‌ බඳුන් වැනි මාධ්‍යයන් විනාශ කිරීම මදුරුවන් දෂ්ට කිරීම වළක්‌වා ගැනීම සඳහා නින්දට යන විට මදුරු දැල් භාවිත කිරීම, ශරීරයේ වැඩි ප්‍රමාණයක්‌ ආවරණය වන පරිදි ඇඳුම් වර්ග (අත්දිග ෂර්ට්‌, දිග කලිසම්) පැළඳීම, එළිමහනේ සිටින විට මදුරු විකර්ෂක ආලේපන ගැල්වීම හරහා එම රෝගයන් පැතිරීම වළක්‌වා ගත හැකිය.

සිකා රෝගය වැළඳුණු විට ගැබිනි මවුවරුන්ට දැඩි සංකුලතා හට ගැනීමත් ඒ හරහා ඔවුන් "ප්‍රසූත කරන දරුවන්ගේ හිස්‌ කුඩා වීමත් නිසා දැනට සිකා රෝගය පැතිර යන රටවල සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

එමෙන්ම සිකා රෝගය පැතිර පවතින රටකට ගොස්‌ පැමිණි අයෙකුට මෙරටදී උණ රෝගය වැළඳුණහොත් සති දෙකක්‌ ඇතුළත ඒ පිළිබඳව ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් උණ රෝගයක්‌ නොවැළඳුණද සිකා රෝගය පැතිර පවතින රටක සංචාරය කර පැමිණි පසු ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළට සෞඛ්‍ය බලධාරීන් හා ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් එම රෝගය මෙරට පැතිර යැමට වළක්‌වා ගැනීමේදී වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අවසානයේ කිව යුතුව ඇත්තේ කෙතරම් මදුරු මර්දන සති ක්‍රියාත්මක කළද නිසි පසු විපරම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවීම මදුරුවන් මර්දනය කිරීමේදී එය සාර්ථකව සිදුකිරීමට බාධාවක්‌ වී ඇති බවයි. ඩෙංගු රෝගය පැතිරීම ප්‍රමාණවත් අයුරින් පාලනය කර ගත නොහැකිව තිබියදී සිකා හා චිකුන්ගුන්යා රෝගද මෙරට පැතිර ගියහොත් එම රෝගද ඩෙංගු මෙන්ම සදාකාලිකව පැතිරෙන රෝග බවට පත්වීමේ අවදානමක්‌ පවතී.

එම අවදානම මග හැරවීමට නම් ජනතාවගේද සහභාගීත්වයෙන් ක්‍රියාශීලී ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්‌ රට පුරා ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීමද වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 8177249394445043394

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item