ජොලී - බ්‍රැඩ් විවාහය දෙදරයි

ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී, තවත් ජනප්‍රිය නළුවෙකු හා සිය ස්වාමියා වූ බ්‍රැඩ් පිට්ගෙන් දික්කසාදය ඉල්ලා නඩු පවරා තිබේ. විදෙස් ම...

ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී, තවත් ජනප්‍රිය නළුවෙකු හා සිය ස්වාමියා වූ බ්‍රැඩ් පිට්ගෙන් දික්කසාදය ඉල්ලා නඩු පවරා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජොලී ඊයේ (19දා) දික්කසාද නඩුව ගොනුකර ඇති අතර, දෙදෙනාගේ පරස්පර විරෝධී වෙනස්කම් හා අදහස් දික්කසාදයට හේතුව ලෙස දක්වා ඇත. එමෙන්ම, ඇය දරුවන් හයදෙනාගේ භෞතික භාරකාරීත්වයද ඉල්ලා තිබේ.

දරුවන්ගේ මවුපිය කටයුතු කෙරෙහි බ්‍රැඩ් වැඩි නැඹුරුවක් දැක්වීම කෙරෙහි ජොලී අමනාපයෙන් සිටි බවත්, 41 වැනි වියෙහි පසුවන ජොලී මෙසේ දික්කසාදය ඉල්ලා සිටීමට එය ආසන්නතම හේතුව වන්නට ඇති බවත් මෙම යුවළට සමීප පිරිස් පවසා ඇත.

ඔවුන් දෙදෙනා එක්ව වාසය කිරීම 2004 වසරේ සිට සිදුවුවත්, ඔවුන් විවාහ දිවියට එළැඹුණේ 2014 අගෝස්තු මාසයේදීය.

මෙම දික්කසාදය සඳහා ජොලී තෝරාගෙන ඇත්තේ මෑතකදී ජොනී ඩෙප් සිය බිරිඳ වූ ඇම්බර් හර්ඩ්ගෙන් දික්කසාදය ලබාගැනීම සඳහා සේවය ලබාගත් නීතීඥවරිය බවද වාර්තා වෙයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බයි ද සී චිත්‍රපටයේ ප්‍රචාරණ අවස්ථාවක් සඳහා එක්ව සිටි අවස්ථාව හැර ජොලී හා බ්‍රැඩ් යුවළ එක්ව සිටි අවස්ථාවක් මාධ්‍යයේද වාර්තා නොවීය.

කෙසේ වෙතත්, දික්කසාදය ජොලීට අලුත් දෙයක් නොවන අතර මෙය ඇයගේ තෙවැනි දික්කසාදය බවද කියැවෙයි. ඇය මීට පෙර ජොනී ලී මිලර් සහ බිලී බොබ් තොර්න්ටන් සමගද විවාහ වී පසුව දික්කසාද වූ තැනැත්තියකි.

එමෙන්ම, 52 වැනි වියෙහි පසුවන බ්‍රැඩ් පිට්ද මීට පෙර විවාහයකින් දික්කසාදය ලැබූවෙකි. එවකට ජෙනිෆර් ඇනිස්ටන් සමග විවාහ වී සිටි බ්‍රැඩ් සිය විවාහයට තිත තැබූවේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේදී ජොලී සමග ඇතිකර ගත් හාදකමත් සමගිනි.

බ්‍රැඩ් හා ජොලී එක්ව බයි ද සී චිත්‍රපටය එළිදක්වා වසරක් ගතවීමටත් පෙර මෙම දික්කසාදය කරළියට පැමිණීමේද විශේෂත්වයක් ගනී. මන්දයත්, එම චිත්‍රපටයද අතෘප්තිකර විවාහ යුවළක් වටා ගෙතෙන බැවිනි. ජොලී විසින් අධ්‍යක්ෂණය කරමින් රංගනයේ යෙදෙන චිත්‍රපටයේ, බ්‍රැඩ් පිට්ද ප්‍රධාන චරියකට පණ පොවයි.

ජොලී සිය ප්‍රථම දරුවා මැඩොක්ස් දරුකමට හදාගනු ලැබුවේ වර්ෂ 2002 දීය. ඒ ඇයට බ්‍රැඩ් හමුවීමට වසර දෙකකට පෙරය. පසුව ඔවුන් දෙදෙනා දියණිය සහාරා දරුකමට හදාගනු ලැබුවේ ඉතියෝපියාවේ ළමා නිවාසයකිනි.

මේ වනවිට දරුවන්ගේ වාසගම් ජොලී-පිට් ලෙස වෙනස්කරනු ලැබූ අතර, 2006 වසරේදී පිට්ට දාව ජොලී සොයිලෝහ් ජොලී-පිට් බිහි කළේ නැම්බියාවේදීය. මාධ්‍යයෙන් බේරීම සඳහා ඔවුන් මෙසේ අප්‍රිකාවේදී සිය දරු ප්‍රසූතිය සිදුකර තිබුණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7488746997424068369

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item