ජනපති ප්‍රේමදාස හෙලිකොප්ටරයේ තේ බොන වෙලාව මට විශාල අභියෝගයක් වුණා - නව ගුවන් හමුදාපති

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපති ධුරයට එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල 2015 ජුනි 15 දා පත්වීමත් සමග එයාර් වයිස් මාර්ෂල් කපිල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපති ධුරයට එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල 2015 ජුනි 15 දා පත්වීමත් සමග එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදා මූලස්ථානයේ පැත්තට විසි වී ගියේය. ඔහු දැරූ ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයද ඔහුට අහිමි විය. ඒ ගුවන් හමුදාපති ධුරය අරබයා ඔවුන් දෙන්නා අතර ඇති වූ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසය. ඉක්බිතිව ගගන් බුලත්සිංහල යටතේ ගුවන් හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් වූයේ එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහය. මේ අතරේ ඉකුත් සතියේ ගුවන් හමුදාපතිවරයා සේවා දිගුවක් නොලබා විශ්‍රාම ලැබුවේ නොසිතූ මොහොතකය. ඉක්බිතිව 16 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස සේනාවිධායක හා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් එයාර් මාර්ෂල් කපිල ජයම්පති පත් කරනු ලැබිය. ඒ සමග මාණ්ඩලික ප්‍රධානි රනිල් ගුරුසිංහ ගුවන් හමුදාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය. ගුවන් හමුදාවේ උද්ගත වූ මෙම තත්ත්වය ගැන අපි නව ගුවන් හමුදාපතිවරයාගෙන් විමසුවෙමු.

ගුවන් හමුදා මූලස්ථානයේ පැත්තට විසි වී හුන් ඔබ අවසානයේදී ගුවන් හමුදාපති ධුරයට පත්වීම ගැන මොකද හිතන්නේ?
මම හැමදාමත් විශ්වාස කළා ස්වභාව ධර්මයෙන් මට යුක්තිය ඉටුවේවි කියලා.

පසුගිය කාලයේ ඔබ ඉතා අප්‍රසන්න සිද්ධීන්වලට මුහුණ දුන්නා නේද?
ඔව්. නමුත් කවදා හරි මම දැනගෙන සිටියා. මගේ නම පිරිසිදු වෙනවා කියලා. වුණු දේ වෙලා ඉවරයි. දැන් ඒවා අතීත සිද්ධීන්. නැවත ඒ ගැන අපි කතා කළ යුතු නෑ. අපි සියලු දේ අමතක කරමු.

ඔබ ගුවන් හමුදාපති ධුරයට පත්වීමත් සමග ගුවන් හමුදාවේ දෙවැනියා ඉල්ලා අස්වුණේ ඇයි?
ඒ ගැන මා කනගාටු වෙනවා. ඊට එහා ඒ ගැන අපි කතා නොකර ඉමු.

ඔබේ නම කපිල ජයම්පති විතරද?
නෑ මගේ සම්පූර්ණ නම කපිල වීදිය බණ්ඩාර ජයම්පති.

තාත්තා:- සෙනරත් සිරිමාන්න ජයම්පති. ඔහු ඉංජිනේරුවෙක්.

අම්මා:- සුමනාවතී ජයම්පති. ඇය ගෘහණියක්.

සහෝදර සහෝදරියන්
මගේ අක්කා සන්ධ්‍යා කුමාරි. අයියා අසේල ජයම්පති. මල්ලි සම්පත් ජයම්පති. මම පවු‍ලේ තෙවැනියා.

ඔබේ ගම-
කොළොන්නාව. නමුත් මම ඉපදුනේ අම්පාරේ. ඒ කාලයේ තාත්තා වැඩ කළේ ගල්ඔය ව්‍යාපාරේ ඉංජිනේරුවෙකු ලෙසයි. ඒ නිසා අපේ පවු‍ලේ අය සිටියේ අම්පාරේ.

නාලන්දා විදුහ‍ලේ අකුරු කළ ගුවන් හමුදාපතිවරයෙක් විශ්‍රාම ලැබූ පසු අලුතෙන් පත්වූ ගුවන් හමුදාපතිත් නාලන්දේ.
හැට හය වසරක ගුවන් හමුදා ඉතිහාසයේ නාලන්දාවේ දැනට පත් වූයේ ගුවන් හමුදාපතිවරු දෙන්නයි. මුල්ම කෙනා විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල. ඊළඟට මම.

ඔහුත් ඔබත් එකම පන්තියේද සිටියේ?
නෑ. ඔහු මට වඩා වැඩිමල්. නමුත් අපි දෙන්නා සමකාලීනයෝ.

කවුද ඔබේ සමකාලීනයෝ වූ ප්‍රකට චරිත?
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හිටියේ මගේ පන්තියේ. අනෙක් කෙනා තමයි බ්‍රිගේඩියර් රුවන් කුලතුංග. යුද හමුදාවේ යුද සේවා ‍ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම, යුද හමුදාවේ විශ්‍රාමික මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වැනි අය ඉස්කෝලෙ මගේ සමකාලීනයෝ.

ඔබ ගුවන් හමුදාවට බැඳෙන්න කල්පනා කළේ ඇයි?
ඔබ විශ්වාස කරන එකක් නෑ. මගේ මුල්ම සිහිනය තිබුණේ ගුවන් හමුදාවට බැඳෙන්න නොවේ. නාවික හමුදාවට බැඳෙන්නයි.

ඒ හීනය සැබෑ නොවුණේ ඇයි?
මට නාවික හමුදාවට බැඳෙන්න ඕනේ කියලා තාත්තාට කීවාම ඔහු මට නාවිකයෙකුගේ වෘත්තිය ජීවිතය සඳහන් නවකතා ‍පොතක් ගෙනත් දුන්නා. ඒක කියවලා නාවිකයෙකු මුහුදේ ගත කරන දුෂ්කර ජීවිතය ගැන මම කල්පනා කළා. මේක නම් මට හරියන වැඩක් නොවේ කියලා. ඊට පස්සේ මම තාත්තාට කීවා එහෙනම් මම ගුවන් හමුදාවට යන්නම් කියලා. ඔහු ඒකට කැමති වුණා.

ඔබ ගුවන් හමුදාවට බැඳුණේ?
නිලධාරී බඳවා ගැනීම් පාඨමාලා අංක 10 යටතේ එක්දහස් නමසිය අසූ දෙකේ තමයි මම ගුවන් හමුදාවට බැඳුණේ. ඒ කාලයේ කැඩේට් නිලධාරින් දහ දෙනයි බඳවා ගත්තේ. ඒකට අයැදුම්පත් දාහත් දහසක් ලැබිලා තිබුණා. දාහත් දහසින් දහයක් තෝරන විට මත් ඊට ඇතුළත් වුණා. ඒ කාලයේ අපේ ආධුනිකයන් බඳවා ගැනීමේ නිලධාරී ලෙස සිටියේ ගෲප් කපිතාන් තිලක් පනන්වලයි. මම ගුවන් හමුදාපති තනතුරට පත් වුණා කියලා දැනගත් විගස විසි වසරකට පමණ පසුව ඔහු මට ඕස්ට්‍රේලියාවේ සිට කතා කරලා මට සුබ පැතුවා.

අඩු වයසින් වැඩ පෙන්වපු ඔබ ගුවන් හමුදාවේ සුවිශේෂී චරිතයක්ද?
ඔව්. ගුවන් නියමුවන් බඳවා ගැනීමේ පාඨමාලා අංක 21 සිටි හොඳම කැඩේට් නිලධාරියා වුණේ මමයි. සාමාන්‍යයෙන් ගුවන් මෙහෙයුම් සඳහා යොදා ගත්තේ නියමුවෙකු ලෙස පත් වූ පසුවයි. නමුත් ආධුනික කැඩේට් නියමු නිලධාරියෙකු ලෙස මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් පදවාගෙන නියමුවන් දෙන්නාගෙන් එක් අයෙක් මම. ඒ වගේම ගුවන් හමුදා ඉතිහාසයේ ළාබාලම ගුවන් පුහුණු උපදේශකවරයා වුණෙත් මම. දැනට ගුවන් හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම සිටින නියමුවා ඇතුළු සියලුම නියමුවෝ මගේ ශිෂ්‍යයෝ. ඒ වගේම වැඩිම වීර පදක්කම් ගණනක් ලැබූ ළාබාලම ගුවන් නියමුවා වුණේ මමයි.

මොකක්ද ඔබ කැමැති ආසම යානාව?
බෙල් 212 හෙලිකොප්ටරය. දැන් වගේ ඒ කා‍ලේ අපට එම්.අයි. 24 වගේ ප්‍රහාරක හෙලිකොප්ටර් තිබුණේ නෑ. බෙල් 212 හෙලිකොප්ටර්වලින් තමයි ත්‍රස්තවාදින්ට පහර දුන්නේ.

යුද හමුදා සෙබළුන්ට ලැබුණෙත් වීර වික්‍රම විභූෂණ පදක්කම් (wwv) ගුවන් හමුදාවට ලැබෙන්නේ නැති තරම්. ඔබේ නිල ඇඳුමේ ඉහළින්ම පැළඳගෙන සිටින වීර වික්‍රම විභූෂණ පදක්කම ඔබට ලැබුණේ කොහොමද?
1996 මුලතිව් කඳවුර බේරා ගැනීමේ මෙහෙයුමේදී කළ වීර වික්‍රමාන්විත දස්කම්වලටයි එය මට ලැබුණේ.

මොකද එදා වුණේ?
මුලතිව් කඳවුරේ සිටි සෙබළුන් බේරා ගැනීමට විශේෂ බළකා සෙබළු රැගෙන යාම අපට පැවැූූූූූරී තිබුණා. මම සෙබළු රැගෙන පදවාගෙන ගිය හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට තිබුණේ ත්‍රස්තවාදින් සිටින ප්‍රදේශයට. මගේ ජීවිතය නොතකා ඒ දේ මම කළා. හෙලිකොප්ටරය ගොඩබැස්සන විට මම දැක්කා මුහුදු වැලි තවරාගෙන වෙරළේ සැඟවී සිටින ත්‍රස්තවාදින් හෙලිකොප්ටරයට වෙඩි තියන්න උත්සාහ කරනවා. නමුත් හෙලිකොප්ටරයේ අවර පෙත්ත කැරකැවෙන විට ඇතිවෙන සුළඟ නිසා වැලි ඇවිස්සුණා. ත්‍රස්තවාදින්ට වෙඩි තියන්න නැගිටින්න අමාරුයි. මම කොහොම හරි අවදානම නොතකා විශේෂ බළකා සෙබළු මුලතිව්වලට රැගෙන ගියා. විශේෂ බළකායේ කර්නල් ෆස්ලි ලාෆිර් මැරුණෙත් එම මෙහෙයුමෙන්. සතුරු ප්‍රහාර මැද ඔහුගේ සිරුර හෙලිකොප්ටරයට දාගන්න එදා ගුවන් හමුදාව පුදුම කැප කිරීමක් කළේ.

ඔබට රණ වික්‍රම පදක්කම ලැබුණේ කොහොමද?
ඒක හරි අපූරු කතාවක්. වවුනියාවේ ඉන්න කා‍ලේ මට ජෙනරාල් කොබ්බෑකඩුව ළඟින් ඇසුරු කරන්න ඉඩ ලැබුණා. ඉරිදා දවසක ඔහු මට කතා කරලා කීවා නයෙක් ගහලා අමාරු සෙබළෙක් සිලාවතුර කෑම්ප් එකේ ඉන්නවා. එයා අරන් එන්න පුළුවන්ද කියලා. ඉරිදා කියන්නේ හෙලිකොප්ටර් සර්විස් කරන දවසක්. ඒ නිසා අපි ඉන්නේ විවේකයෙන්.
නමුත් මේ සිද්ධිය නිසා මම ඉක්මනට ගිහින් හෙලිකොප්ටරය ගත්තා. ඒ වේලාවේ තල්අඩි කෑම්ප් එකේ කර්නල් සිරි පිරිස් කතා කරලා කීවා එන ගමන් ඔහුත් නග්ග ගන්න කියලා. මම හෙලිකොප්ටරය පදවාගෙන මඩු පාරට ඉහළින් යනකොට දැක්කා ත්‍රස්තවාදීන් විශාල පිරිසක් වාහන පෙළකින් යනවා. මම ජෙනරාල් කොබ්බෑකඩුවට කතා කරලා කීවා. මම සර්ගේ වැඩේට යන ගමන් වෙන වැඩක් සෙට් වුණා ගහන්නද කියලා. ඔහුත් කීවා ගහන්න කියලා. මම හෙලිකොප්ටරය පහත් කරලා කොටි වාහන පෙළට පහර දුන්නා. ඊට පස්සේ තල්අඩි කෑම්ප් එකට ගොඩ බාලා කීවා කොටි වාහන පෙළක් යනවා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන්න කියලා ඉලක්ක දුන්නා. පසුව මට දැන ගන්න ලැබුණා මේ ප්‍රහාරය නිසා කොටි
හතළිහක් විතර මැරුණා කියලා.

නයා ගහපු සෙබළාට මොකද වුණේ?
ඔහු ගන්න හෙලිකොප්ටරය සිලාවතුර කෑම්ප් එකට ලෑන්ඩ් කළා. ඒ වේලාවේ ඔහු නෑ ගමනක් යනවා වගේ යස අගේට ඇවිදගෙන ඇවිත් හෙලිකොප්ටරයට නැග්ගා. මම හිතන්නේ ඔහුට දෂ්ට කරලා තිබුණ් නයෙක් නොවේ. වෙන සර්පයෙක් වෙන්නැති.

ඔබට වෙඩි වැදුණේ කොහොමද?
මම මැරිලා ඉපදුණා. ඒ දිනේ තමයි 1986 පෙබරවාරි 05 වැනිදා. එදා එස්.ටී.එෆ්.සෙබළු පිරිසක් චෙන්කලඩි මහඔය පාරේ කෑම්ප් එකක් පටන් ගන්න ගියා. එම සෙබළුන් ගමන් කළ ආරක්ෂිත රථ පෙළට අණ දුන්නේ එස්.එස්.පී. එන්.කේ. ඉලංගකෝන් (පසුව ‍පොලිස්පති) මම ඔවුන්ට ආරක්ෂාව දෙමින් පහතින් පියාසර කරමින් ගියා. මගේ සහයක නියමුවා රනිල් ගුරුසිංහ. වෙඩිකරුවන් දෙන්නා වූයේ පෙරේරා හා ජයකොඩි. මම හෙලිකොප්ටරය පදවාගෙන යන විට එකවරම වින්ස්ක්‍රීන් එක කඩාගෙන ආපු වෙඩිල්ලක් මගේ ඔළුවට වැදී ‍ලේ ගලන්න ගත්තා.

ඒ වේලාවේ හෙලිකොප්ටරයට මොකද වුණේ?
මම ප්‍රථමාධාර පෙට්ටිය ඇදලා ගෝස් කෑල්ලකින් තුවාල තද කර ගන්නවාත් සමග රනිල්ට කීවා හෙලිකොප්ටරය භාර ගන්න කියලා. එතැන් පටන් මම සිටියේ මරණ මංචකයේ. අවුරුදු හතර පහේ සිට වෙඩි වදින මොහොත දක්වාම ජීවිතයේ හැම විශේෂ සිද්ධියක්ම චිත්‍රපටයක් වගේ සුළු මොහොතින් ඇස් පනා පිට දිග හැරුණා.
ඊට පස්සේ මම සිහිය නැති වුණා. සිහිය එන විට මම හිටියේ මඩකලපුව රෝහ‍ලේ. එම රෝහ‍ලේ සිට රත්මලාන ගුවන්තොටුපළට ගෙනා ගුවන් යානය පැදවූයේ බළගණ නායක ඔලිවර් රණසිංහ (පසුව ගුවන් හමුදාපති) එතැන් සිට ඩොනල්ඩ් පෙරේරා (පසුව ගුවන් හමුදාපති) හා තිබ්බටුමුණේ යන නියමුවන් දෙන්නා පැද වූ හෙලිකොප්ටර් යානාවකින් මාව ජයවර්ධනපුර රෝහලට රැගෙන ආවා. එම රෝහලට හෙලිකොප්ටරයකින් රැගෙන ආ මුල්ම රෝගියා වූයේ මමයි. ඒ කාලයේ රෝහලට හෙලිපෑඩ් එකක් තිබුණේ නැති නිසා ළඟ පාත තමයි එය ගොඩ බැස්ස වූයේ. ඉස්පිරිතා‍ලේ ඉන්න කා‍ලේ මම සැලසුම් කළා හදිසි රෝගියෙකු හෙලිකොප්ටරයකින් රැගෙන ආවොත් එය ගොඩ බාන්න හෙලිපෑඩ් එකක් හදන්න. ඒ කාලයේ රෝහ‍ලේ 15 වැනි වාට්ටුව වෙන් කළේ හමුදාවේ තුවාලකරුවන් වෙනුවෙන්. ඊට ඇතුළු කෙරුණු තුවාල ලැබූ මුල්ම නිලධාරියා වුණෙත් මම.

ඔබ අති විශේෂ ප්‍රභූන් ගමන් කළ හෙලිකොප්ටර් පදවා තිබෙනවාද?
ඇයි නැත්තේ. ආර්. ප්‍රේමදාස ජනපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගමන් කළ හෙලිකොප්ටර්වල ප්‍රධාන නියමුවා ලෙස මා රාජකාරි කරන තිබෙනවා.

ආර්. ප්‍රේමදාස ජනපතිවරයා සමග ගමන් කිරීමේදී ඔබ මුහුණ දුන් සුවිශේෂී අත්දැකීම් මොනවාද?
එවැනි රසවත් කතා රැසක් තිබෙනවා. නමුත් එතුමා එක්ක ගමන් කිරීමේදී මා දැඩි අභියෝගයනට මුහුණ දෙනවා.

මොකක්ද ඒ?
එතුමා හෙලිකොප්ටරයේ යන විට තේ බොනවා. එතුමාගේ සහයකයන් වූ රණසිංහ හෝ මොහිදින් තමයි එතුමාට තේ පිළිගන්වන්නේ. සුදෝ සුදු ඇඳුමක් ඇඳගෙන එතුමා ගුවනේදි තේ බොන අවස්ථාවල හෙලිකොප්ටරය සමබරව පදවාගෙන යාම තරම් අභියෝගයකට මා මුහුණදීලා නෑ. පිළිවෙළට පිරිසිදුවට ඉන්න ජනපතිතුමාගේ ඇඟට තේ වැටුණොත් කියන බිය මා තුළ තිබුණා.

ප්‍රේමදාස ජනපතිවරයා කෙබඳු චරිතයක්ද?
ජනපතිවරයකු වුවත් එතුමා සෑම සුළු දෙයක් ගැන පවා සොයා බැලුවා. දවසක් මම එතුමා සමග අනුරාධපුරයට ගියා. නැවත එනකොට එතුමා කීවා. ඔහුගේ අඹන්‍පොළ වත්තට හෙලිකොප්ටරය බස්සන්න කියලා. සාමාන්‍යයෙන් එතුමා කෑම කනකොට, තේ බොන විට ගුවන් නියමුවා විදියට මමත් ඔහුත් සමග කෑම මේසයට වාඩි වෙන්න ඕනේ. අපි රෑට නවතිනවා නම් එතුමා පෞද්ගලිකවම අපේ පහසුකම් ගැන සොයා බැලුවා. එතුමාගේ හැටි එහෙමයි. ඔහු කවදාවත් සැලෙන චරිතයක් නොවේ. 89 ජනපතිවරණ සමයේ දකුණේ තදින් භීෂණය තිබුණා. නමුත් එතුම හැම ඡන්ද රැස්වීමකට ගියා. දවසක් මම එතුමා සමග හක්මණ ප්‍රදේශයට ගිහින් හෙලිකොප්ටරය ගොඩ බැස්සුවා. රැස්වීම තියන තැන මිනිස් පුළුටක් නෑ. ජවිපේ භීෂණයට බිය වෙලා ජනතාව ආවේ නෑ. නමුත් එතුමා හෙලිකොප්ටරයේ සිටම මෙගා ෆෝන් එකකින් කතා කළා. ටික වෙලාවක් යන විට එතුමාගේ කතා අහන්න ගෙවල්වල දොරවල් ඇරුණා. කවුරු සිටියත් නැතත් එතුමාගේ අවම කතාවට වැයවන කාලය මිනිත්තු පනහයි.

ජනපතිවරණ සමයේ ඔබ ඔහු සමග ගුවන් ගමන් යන විට බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්නාද?
ඇයි නැත්තේ. ඒ කාලයේ එතුමා අගමැතිනෙ. මම එතුමාට රැස්වීමකට යන්න හෙලිකොප්ටරය පහත් කරනවාත් සමග සන්නද්ධ ජවිපේ පිරිසක් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මම වහාම හෙලිකොප්ටරය ගුවනට පදවලා එතුමාගේ ජීවිතය බේරා ගත්තා.

ආර්.ප්‍රේමදාස කියන තරම් සෘජු චරිතයක්ද?
හ‍පෝ ඔව්. එතුමාගේ ආසම වාහන රෙන්ජ් රොවර් ජීප් එක. සාමාන්‍යයෙන් එතුමා උත්සව භූමියක සිට හෙලිපෑඩ් එකට යන්නේ වාහනය පදවාගෙනයි. මොකද ඔහුට කොළඹදී ආරක්ෂක හේතූන් මත වාහන පදින්න අවස්ථාවක් නැති නිසා. දවසක් එතුමා වාහනය පදවනවා. මම ඉස්සර සීට් එකේ. පාරේ යන කොට දෙතුන් වතාවක්ම වාහනය වළවල්වල වැටුණා. ජනපතිතුමා වාහනයේ පිටුපස සිටි නිලධාරියෙකුට කීවා එයාට අපි කියන භාෂාව තේරෙන්නේ නෑ පාර හැදුවේ නැති නිසා මාරු කරලා යවන්න කියලා.
තවත් දවසක ඇඟලුම් කම්හලක් විවෘත කිරීමේ උත්සවයකට ජනපතිතුමා ගියා. මම හෙලිකොප්ටරය බස්සන්න හදනකොට එතුමා කීවා හෙලිකොප්ටරය පහත් කරලා ගාමන්ට් එක වටේ රවුමක් යමු කියලා. මම රවුමක් කරකවලා හෙලිකොප්ටරය ගොඩ බැස්සුවා. ඊට පස්සේ සහයක නියමුවා ආචාර කරලා එතුමාට බහින්න දොර ඇරියත් එතුමා බැස්සේ නෑ. ඒ වේලාවේ බුලත් හුරුළු මල් මාලා රැගෙන මැති ඇමැතිවරු නිලධාරින් රැසක් හෙලිකොප්ටරය ළඟට ආවා.ආවත් එතුමා බිමට බැස්සේ නෑ.
එක පාරට එතුමා සැරෙන් කීවා “ගාමන්ට් ඒකේ මට පේන පැත්තේ විතරද තීන්ත ගෑවේ අනෙක් පැත්තෙත් තීන්ත ගාලා තියන්න හරියට හවස තුනට විවෘත කරන්න එනවා කියලා.” ඊට පස්සේ එතුමා මට කීවා “කපිල අපි යමු” කියලා.
එතුමා සමග ගිය සෑම ගමනක වාගේම මට විශේෂ මතකයක් තියෙනවා. දවසක් මම එතුමා සමග කතරගම ගිහින් කොළඹ එමින් සිටියා. ගාලු නගරය උඩින් යන විට ඔහු එකවරම කීවා නගර සභාවට හෙලිකොප්ටරය බස්සන්න කියලා මම ජනපතිතුමාට කීවා “සර් ආරක්ෂාවක් නෑ මෙතැන බස්සන්න බෑ කියලා. එනමුත් එතුමා කීවා ගොඩබස්සන්න කියලා. මටත් කරන්න දෙයක් නෑ. මමත් හෙලිකොප්ටරය ගොඩ බැස්සුවා. ඒ සමග එතුමා හෙලිකොප්ටරයෙන් බැහැලා නගරසභාව දෙසට ගියා. එතුමාට දැන් ආරක්ෂාවකුත් නැහැ. මම මගේ ළඟ තිබු පිස්තෝලයත් අරගෙන ජනපතිතුමා පස්සෙන් දිවුවා. නගර සභාව තුළට යන විට නිලධාරින් කවුරුත් නෑ. කන්න තේ බොන්න ගිහින්. එතුමා දොස් කියලා ආපසු ආවා. ඒ සිද්ධියෙන් රජයේ නිලධාරින්ට පණිවුයක් දුන්නා. ජනාධිපතිතුමා රජයේ කන්තෝරු වලට නොහිතපු වේලවක එන්න පුළුවන් කියලා.

ඔබ අන්තිමට හෙලිකොප්ටර් පැදවූයේ කවදාද?
ගිය අවුරුද්දෙත් මම හෙලිකොප්ටර් පැදවූවා. මොකද මම තමයි ගුවන් හමුදාවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම හෙලිකොප්ටර් නියමුවා. මේ නිසා ඒ කා‍ලේ හෙලිකොප්ටර් පරික්ෂා කිරීම සඳහා මා නිරන්තරයෙන් හෙලිකොප්ටර් පැදවූවා.

කවදාද යළි හෙලිකොප්ටර් පදවන්නේ?
ලැබුණු මුල්ම අවස්ථාවේදීම මම හෙලිකොප්ටර් පදවනවා. හෙලිකොප්ටර් පැදවීම කියන්නේ මගේ පැෂන් එක.

මිහිරි ෆොන්සේකා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 1361992320555602650

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item