රටම මහින්දට

රටම මහින්දට යන තේමාව යටතේ කඩුවෙල පිවිතුරු හෙළ උරුමය සංවිධායක ශිරන්ත ජයලත් විසින් සංවිධානය කරන ලද ජන හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ...

රටම මහින්දට යන තේමාව යටතේ කඩුවෙල පිවිතුරු හෙළ උරුමය සංවිධායක ශිරන්ත ජයලත් විසින් සංවිධානය කරන ලද ජන හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග  සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමිල්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය කලපළුවාවේදී ඊයේ දින (23 ) පස්වරුවේ පැවැත්විනි.

එදා බලය වෙනුවෙන් තරගෙට බොරු කී හැටි

මේ ආණ්ඩුව බලයට එන්න තිබ්බ ජනපතිවරණය හරියට සිංහල අළුත් අවුරුද්දේ හොදම පචයා තේරීමේ තරගය වගේ. ආණ්ඩුවේ උදවිය තරගෙට බොරු කිව්වේ. ජනාධිපතිතුමන් ඇමරිකාවේ බකිම්හැම් මාළිගාවෙන් ගෙනාපු රත්තරන් අශ්වයෝ ගැන කිව්වා. අපි කවුරුත් දැන උන්නේ එංගලන්තයේ බකිම් හැම් මාළිගාව ගැනයි. නමුත් සිරිසේන ජනපතිතුමන් නම් කිව්වේ රාජපක්ෂ පුතාලට ඇමරිකාවේ බකිම්හැම් මාළිගාවෙන් රත්තරන් අශ්වයෝ ගෙනා බවයි. බැරක් ඔබාමා ජනපතිතුමන් කට ඇරගෙන බලං හිටියා සිරිසේන ජනපතිතුමන් දිනන කන්. මොකද එතුමන් ඇමරිකාව පුරා දෙපාරක් රවුම් ගහල ජනපති උනාට ඇමරිකාවේ බකිම්හැම් මාලිගාව තියෙන තැන ඔබාමා ජනපතිතුමන් දන් නෑ. ඉතින් ඔබාමා ජනපතිතුමන් හිතුවා සිරිසේන දින්නොත්, රත්තරන් අශ්වයෝ ගෙනාපු තැන හොයාගත්තොත් ඇමරිකාවේ ජනපති වෙලත් මං නොදන්න බකිම්හැම් මාළිගාව මට බලාගන්න පුළුවන් වේවි කියලා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ ලැම්බෝගිනි, ඩොල්ර් බිලියන 18 ක මහින්ද මහත්තයගේ ගිණුම් ගැන කිව්වා. රජ පවුලේ හෙළි කොප්ටර් ගැන කිව්වා. අද වෙනකොට මිත්‍රවරුණි මේ සියල්ලම පට්ට පල් බොරු වෙලා ඉවරයි. 

එදා මෙගා ඩීල් ගැන කතා කරපු මෙගා පෝලිම් ඇමති පාච රණවක කියනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙගා ඩීල් නිසා එදා කල සෑම ව්‍යාපෘතියකම 90% කොමිස් කියලා. ඒක ඇත්ත කියල හිතලා සිරිසේන මහත්තයා එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලියලා තියෙනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැය කල මුදලින්ම මම ඒ වගේ සය ගුණයක සංවර්ධනයක් කරනවා. 10% නම් ඇත්ත වියදම. 90% තියෙන්නේ කොමිස්නම් කොමිස් නතර කලොත් ඒ සල්ලි වලින්ම දහගුණයක් වැඩ කරන්න පුළුවන්. ඔන්න මේ ගොල්ලො දැන් වැඩේ පටන් අරන්. අපි උතුරු අධිවේගී මාර්ගය හදන්න පටන් අරන් තිබ්බා. 2014 මුල්ගල තියලා වැඩ පටන් ගත්තා. මේ ආණ්ඩුව බලයට ආවා විතරයි ව්‍යාපෘතිය නතර කළා. කොමිස් වැඩියි දුෂණය වැඩියි කියලා. ඔන්න ටෙන්ඩර් කැදවලා ලගදි ටෙන්ඩරය දීලා වැඩ පටන් ගත්තා. කඩවත මීරිගම කිමි. 37 යි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. අපි දුන්නේ රුපියල් බිලියන 146ට. අපිට චෝදනා කලේ ඒකේ 90% ම කොමිස් කියලනේ. එහෙනම් මේ ආණ්ඩුවෙන් කොමිස් අයින් කරලා මේක දෙන්න ඕනේ කීයටද? රුපියල් බිලියන 14.6 ට විතර. නමුත් මේ ආණ්ඩුව දීලා තියෙන්නේ කීයටද? රුපියල් බිලියන 158 යි. බිලියන 12ක්ම වැඩියි. මොකක්ද මේ කියන්නේ. එක්කෝ අපේ කාලේ 90% ක්ම කොමිස්නම් දැන් ඒක 99% වෙන්න ඕන. එහෙම නැත්නම් තමන් කිව්වේ පට්ට පල් බොරු කියලා මේ ආණ්ඩුවත් පිළි අරගෙන ඉවරයි. අද මෙගා ඩීල් ගැන කතා කරපු කට්ටියගෙ කටේ පිට්ටු. මෙගාඩීල් තියා සිගිති ඩීල් එකක් වත් ඔප්පු කරගන්න බැරුව තියෙනවා. අපිව ගෙනියනවා, උදේ ඉදන් රෑ වෙනකම් ප්‍රශ්න කරනවා, එළියට දානවා. අද වෙනකම් මේ ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙගාඩීල් ගැන කියපු කතා ඔප්පු කරගන්න බැරිවෙලා.

හොරු පල්හොරු ගැටෙද්දී ජනපති නිහඩයි

අද ආණ්ඩුව ඇතුලේ අර්බුද? ජනපති අගමැති තුමන්ලා රූකඩ නැටවීමක ඉන්නේ. ජනපති එක්ක අගමැතිට ඩෝන් ගියාම මහාචාර්ය විජේසූරිය දම්මලා බන්නනවා ජනපතිතුමන්ට. ජනපතිතුමාත් නිකන් ඉන්නෑ. එතුමන් වහාම සටනට කැඳවනවා අසාද් සාලිව. සාලි ගිහින් බනිනවා අගමැතිතුමාට. විජේසුරිය මහත්තයා ජනාධිපති හොරා කියනවා. අසාද්සාලි මහත්තයා අගමැති හොරා කියනවා. රූපවාහිනියෙන් මේක දකින අපි මොක්කද හිතන්න ඕන. දෙන්නම හොරු කියන එක තමයි. මේ ගිය සතියේ ඇමති මණ්ඩලේ ඇමතිවරු දෙන්නෙක් ගහගන්න ගියා. රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමන් රාවුෆ් හකීම් ඇමතිතුමන්ට ඇගිල්ල දික්කරලා කිව්වා තෝ හොරෙක් කියලා. රවුෆ් හකීම් ඇමතිතුමන් ඇගිල්ල දික්කරලා රිෂාඩ්ට කියනවා තෝ පල් හොරෙක් කියලා. එකෙක් හොරෙක් අනික් එකා පල් හොරෙක්. මුලසුනේ ඉන්න ජනපතිතුමන් මොකද කරන්නේ. කට ඇරගෙන බලන් ඉන්නවා. ඒක නතර කරන්න ගියොත් මොකද වෙන්නේ. අර දෙන්නම එකතු වෙලා කියනවා උඹ කට වහගනින් උඹ තමයි ලොකුම හොරා. ඔස්ට්‍රේලියාවේ පරීක්ෂණ තියෙන්නේ අපිට නොවෙයි උඹටයි කියලා එතුමන්ට කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා ජනපතිතුමන් හික්මීයා වගේ ඇහෙන් නෑ වගේ බලාගෙන ඉන්නවා. 

එජාපය හොරු සමග හෙළුවෙන්

ජේෂ්ඨ නීතිඥයෙක් වෙච්ච එස් එල් ගුණසේකර මැතිතුමන් දවසක් මාත් එක්ක කියනවා අනික් අය කන්නේ අතින්. ඒනිසා අත ඉඹලා බැළුවම ඉදුල් ගද එනවා. එමගින් හොරා කෑවා කියලා දැනගන්න පුළුවන්. නමුත් යූ ඇන් පී කාරයෝ කන්නේ හැදි ගෑරුප්පු වලින් . ඒකෙ ඉන්න අය හැදි ගෑරුප්පු පැත්තකින් තිබ්බට පස්සේ අත ඉඹලනම් හොරා කෑවා කියලං හොයා ගන්න බෑ කියලා. ඒ නිසා එජාපයේ උදවිය හිතාගෙන හිටියේ හැදි ගෑරුප්පු ක්‍රමයට ඉංග්‍රීසි ක්‍රමයට මේ රටම මේක හංගන්න දහසක් බොරු මහ බැංකු අධිපතිගේ බෑනා ඇලෝසියස්ගේ සමාගමේ ලාභය රුපියල් බිලියන 10ක්. තවත් විදිහකට කියනවනම් කෝටි 1000ක්. තමුන්නාසේලා ජීවිත කාලෙම හම්බකලත් කෝටියක් හොයාගන්න පුළුවන්ද? නමුත් ඒ ගොල්ලෝ කෝටියේ ඒවා 1000ක් එකම එක දවසක හම්බ කරනවා අගමැතිතුමන්ට පින්සිදු වෙන්න. මේකේ එයාගෙ ලාභය කෝටි 1000 ක් උනාට ආණ්ඩුවේ පාඩුව කෝටි 1000ක් නෙමෙයි. මේ ගනුදෙනුවේ ප්‍රතිථලයක් විදිහට ආණ්ඩුව ණයට ගන්න පොලී අනුපාතිකය 2.5 % වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට දැන් වැඩි පොළියට ණයට ගන්න වෙලා තියෙනවා. ඒ නිසාමේ ණය බර අද රටට දරන්න වෙලා තියෙනවා. මේ ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂ ආණ්ඩුව ණයට ගත්නිසා නොවෙයි. මහ බැංකු බැදුම්කර වංචාවෙන් ආණ්ඩුවේ ණය පොලිය ඉහල ගිය හින්දයි. අද ඒකත් අපේ ගිණුමට දාන්න හදනවා. ආණ්ඩුව ණය වලට ගෙවන පොළිය වැඩි වෙන කොට රටේම පොලිය වැඩි වෙනවා. ඒ නිසා තමයි අද ලීසින් වලට ගෙවන පොළිය වෙනදට වඩා වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි නිවාස ණය සඳහා ගෙවන්න ඕන ගාන වැඩි වෙලා තියෙන්නේ. 

ආණ්ඩුවේ ගිණුම් බලන විගණකාධිපති ඉතාම පැහැදිලිව ලිඛිතව දීලා තියෙනවා මහ බැංකු බැදුම්කර වංචාවෙන් රටට හානියක් පාඩුවක් උනාය කියලා. ලබන සතියේ අපේ පාර්ලිමේන්තුවේ කෝප් වාර්ථාව නිකුත් වෙන්න නියමිතයි. නමුත් මේ කෝප් කමිටුවේ ඉන්න කොළ පාට මහත්වරුනම් තාමත් හොරා රකින්න හදනවා. විගණකාධිපතිට තර්ජනය කරනවා කෝප් කමිටුව ඇතුලේ. තෝ අපිව කෑවා කියලා. ඒ නිදා අද එජාපය හොරු සමග හෙළුවෙන් කියන එක ලබන සතියේ කෝප් වාර්ථාව ආවහම රටම දැන ගන්නවා. අද හොරු අල්ලන්න ආපු අය කම්බ හොරු වෙලා විතරක් නෙමෙයි. මේ රට විනාශ කරලා ඉවරයි. 

එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඇමති පුතාලා මැරයෝ විදිහට හැසිරුණානම් අද කලබ් කුඩු කරන්නේ ජනපති පුත් දහම් සිරිසේනයි. ඒ විතරක් නෙවෙයි එදා වංචා දූෂණ චෝදනා ඇමතිවරුන්ට එල්ල උනානම් අද ඒක එල්ල වෙන්නේ ජනපතිටයි අගමැතිටයි. ඔස්ට්‍රේලියාවේ සමාගමකින් පගාව ගත්තා කියලා එරට පත්තර කියන්නේ අපේ රටේ ජනාධිපතිගෙ නම. ඒ වගේම කෝප් කමිටුව ඉසසරහට ඇවිල්ලා අර්ජුන් මහේන්ද්‍රන් මොකක්ද කිව්වේ. අනේ මට කරන්න දෙයක් නෑ. රටේ අගමැතිතුමන් කිව්ව දෙයයි කලේ කියලයි. ගිය පාර අර්පුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කියපු කතාව පාර්ලිමේන්තුවට එළිවෙන එක වලක්වන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා හදිස්සියේම. දැන් දෙවනි වටයට ඇවිදින් ඒ වාර්ථාව හදලා ඉවරයි. වාර්ථාවේ ඒවා ලියන්න එපා කියලා යු ඇන්පී මන්ත්‍රීවරුන් රන්ඩු වෙනවා. හැබැයි වාර්ථා දෙකක්විදිහට ඉදිරි සති දෙක ඇතුලත මේක පාර්ලිමේන්තුවට ඒන්න නියමිතයි. එදා පුංචි හරි හොරකමක් මැරකමක් තිබුණානම් අද ඒක දහස් ගුණයකින් වැඩි වෙලා. නමුත් එදා තිබුණු සංවර්ධනයනම් අද නතර වෙලා. එදා තිබුණු ජාතික ආරක්ෂාව අද බිංදුවට වැටිලා.

තිස්ස කිව්වේ ඇත්තද?බොරුද? 

දැන් තිස්ස අත්තනායක මන්ත්‍රීතුමන් ආයෙත් අත්අඩංගුවේ. 2015 ජනවාරි මාසේ තමයි එතුමන්ව මුලින්ම අත් අඩංගුවට ගත්තේ. මුසාමිල් මන්ත්‍රීතුමයි මායි කතා උනා තිස්ස අත්තනායක මැතිතුමන්ගේ දෙවෙනි වටය පටන් ගත්තා. අපිටත් යලිත් මැගසිං බන්ධනාගාරයේදී හමුවෙන්න වෙයි නේද කියලා. අපි ඒකට ලෑස්තියි. දෙවෙනි වටෙත් යන්න ලෑස්තියි. හැබැයි මහත්වරුනි අපි කියනවා තුන්වෙනි වටයේදි ඔය අපිව ඇතුලට දාන සැබෑ කම්බ හොරුන්ව ඇතුලට දාන්න අපි ආණ්ඩු බලය ලබාගන්නත් ලෑස්තියි. මේ ආණ්ඩුවේ දැන් දින නියමවෙලා ඉවරයි. 

අද උතුර කොටිය අත්පත්කරගනිමින් ඉන්නවා. එදා තිස්ස අත්තනායක මහත්තයා ගෙනල්ලා පෙන්නුවා ගිවිසුමක්. ඒ ගිවිසුම බොරුවක් කියලයි එතුමන්ව ඇතුලට දැම්මේ. නමුත් අද ඒ ගිවිසුමේ කරුණු එකිනෙක සිදු වෙනවා. කොටි ත්‍රස්තයන්ට සමාව ලැබෙන් නැද්ද? රණවිරුවන් අත්අඩංගුවට ගන්නැද්ද? හමුදා කදවුරු එකිනෙක ඉවත් කරන්නැද්ද? පෙඩරල් ව්‍යවස්ථාව අද හැදෙන් නැද්ද? එතුමන් ගිවිසුමෙන් ඉදිරිපත් කරපු සියල්ල ඇත්ත වෙද්දි තමයි කූඨ ලේඛන හැදුවා කියලා අද තිස්ස අත්තනායක මැතිතුමන්ව ඇතුලට දාලා තියෙන්නේ. 

මෙතුමට නගලා තියෙනවා තවත් චෝදනාවක්. ඒ තමයි තිස්ස අත්තනායක මැතිතුමා ජනතාව අතර ජනවාර්ගික සහ ආගමික වෛරයක් ඇතිකිරීමට උත්සහ කලා කියලා. හැබැයි එතුමගේ මේ ගිවිසුම පිළිබඳ කතාව අහලා කොතනකවත් ජනවාර්ගික හෝ ආගමික ගැටුමක් ඇතිවුණු බවට කිසිම තොරතුරක් නෑ. හැබැයි අපිට මතකයි උතුරු පළාත් මහා අමාත්‍ය විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ පවත්වපු පිබිදෙව් දෙමලුනි කියන උද්ඝෝෂණයේ ප්‍රතිපලයක් විදිහට කිලිනොච්චියේ බුදු පිලිම කුඩු උනා. අසිරිමලේ පන්සලේ හාමුදුරුවන්ට තර්ජන එල්ල උනා. වවුනියාවේ කොක්කෙලිය ගම්මානයේ සිටිය රණවිරුවන් එලවන්න අන්තවාදීන් තර්ජනය කලා. කිලිනොච්චියේ සතොස ආයතනයේ වැඩ කරන සිංහල සේවකයන්ට පහර දුන්නා. එතකොට ජාතිවාදය වපුරලා තියෙන්නේ තිස්ස අත්තනායකද? විග්නේෂ්වරම්ද? අද තිස්ස අත්තනායක මහත්තයා ඇතුලේ . විග්නේශ්වරම් තවමත් ජාතිවාදය වපුරමින් එලියේ. ඒ නිසා තමයි කේරල ගංජා කාරයන්ට හයිය එන්නේ සිලාවතුරේදී නාවික හමුදාවේ රණවිරුවන්ව පැහැරගෙන ගිහින් අමානුෂිකව පහර දීලා තමුන්ගෙ තැන්වල බලහත්කාරයෙන් රදවාගෙන ඉන්න. අද චුන්නාගම් වලදී පොලීසියේ බුද්ධි අංශ නිළධාරීන්ටත් අමානුෂික ප්‍රහාර එල්ල වෙනවා. 

එදා උතුර කොටියට. අද රටම කොටියට

2009 මැයි මාසේ අතරතුරේ වෙඩි හඬ නිහඩ කලාට පස්සේ 2015 ජනවාරි මාසේ මේ පරගැති නිවට ආණ්ඩුවට මේ රට බාරදෙන තුරු උතුරේ මෙවැනි සිදුවීම් වාර්ථා උනේ නෑ. දකුණේ සිංහල දෙමළ මුස්ලිම් සමගියෙන් ජීවත් වෙන විදිහටනම උතුරේත් සිංහල දෙමළ මුස්ලිම් අය සමගියෙන් හිටියා. අද ඒ සමගිය විනාශ කර තියෙනවා. පිරබාහරන් වෙර දැරුවේ උතුරු නැගෙනහිර දෙමළ ඊලම හදාගන්නයි. අද මේ රටේ සිදුවෙන සිදුවීම් දිහා බලද්දි මුළු රටටම කොටි අල්ලලා කියලා අපිට හිතෙනවා. එහෙම නැත්නම් රණවිරුවන් සිරගෙට ගනිමින් කොටියා එළියට එන්නේ කොහොමද? රණ විරුවන් ඇස් ඉස් මස් ලේ දන් දී දිනු බිම අකුල ගෙන හමුදා කඳවුරු ඉවත් කරන්නේ කොහොමද? රටටම කොටියට බාර දෙන ෆෙඩරල් කෙටුම්පත් හැදෙන්නේ කොහොමද? 

අද අපේ රට දැවැන්ත අදුරක. එදා ලක්ෂ 62 ඡන්දය දෙන්න ඇති . එදා ඔවුන්ට වැරදුනා. ඒ ජනතාව අද තේරුම් අරගෙන තමන්ට වැරදුනා කියලා. නමුත් ඒ ජනතාවට ඡන්දය දෙන්න අවස්ථාවක් නෑ ජන මතය රටට කියන්නට. මේ ආණ්ඩුව කොච්චර බයද කියනවනම් සමුපකාර ඡන්දයත් කල් දාලා. ඡන්ද පරදින මේ ආණ්ඩුව ඡන්ද තියන් නෑ. අපි ට සිදු වෙනවා ඡන්දය ගන්න. ලබන වසරේ ජනමත විමසුමක්, උතුරු මැදට නැගෙන හිරට සබරගමුවට පලාත් සභා ඡන්දය තියන්න නියමිතයි. පුංචි ඡන්දයත් තියන්න නියමිතයි. මේ එක ඡන්දයක්වත් තියන් නෑ. ජනපති තුමන් කියනවා 2020 වෙනකන් ආණ්ඩුව හොල්ලන්න බැරිලු. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියටනම් 2019 ඔක්තෝම්බර් 26 ට කලින් ජනපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඕන. මේ ගොල්ලෝ ජනපතිවරණයත් කල් දමා ගන්නයි දැන් හදන්නේ. 

ඒ නිසා අපි පාරට බැහැලා සටන් කරලා මේ ආණ්ඩුව ගෙදර යවලයි මහින්ද රාජපක්ෂ යුගය යලි උදාකරන්නට ඕනේ. මේ රටේ ජනතාවට වැරදුනා. ලී ක්වාන් යූ වගේ නායකයන්ගෙන් සිංගප්පූරුව වසර තිස් ගානක් එතුමන්ගෙන් වැඩ ගත්තා. මහතීර් මොහොමඩ් වැනි අගමැතිවරු මැලේසියාවේ බිහිවුනාම වසර තිස් ගානක් එතුමන්ගෙන් වැඩ ගත්තා. නමුත් මේ රටේ ජනතාව යුගයේ අසහාය නායකයා වසර දහස් ගණනකින් බිහුවූ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව වසර 10න් ගෙදර යැව්වා. වැරදුනු ජනතාව දැන් ඒ වැරැද්ද නිවැරදි කරගන්න ලෑස්තියි. නමුත් ඒකට අපිට ඡන්දයක් ඕනෑ. ආණ්ඩුව මේ ඡන්දය දෙන් නැතිනම් පාරට බැහැලා සටන් කරලා අපේ අත් පා ඇස් කන් පූජා කරලා ලේ විලක් මැදින් හරි ජනතාවගේ ඡන්ද අයිතිය යලි දිනාගෙන මහින්ද රාජපක්ෂ යුගය යලි මේරටට උදා කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6573912319955118831

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item