විග්නේෂ්වර්න් කොටියෙකු කළේ ආණ්ඩුවයි

පූස්පැටියෙකු ලෙස සිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා කොටියෙකු බවට බවට පත් කළේ වත්මන් ආණ්ඩුව විසින් බව පිවිතුරු හෙළ උ...


පූස්පැටියෙකු ලෙස සිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා කොටියෙකු බවට බවට පත් කළේ වත්මන් ආණ්ඩුව විසින් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (03දා) පැවසීය.
එහිදී සවිස්තරාත්මක කරුණු දැක්වීමක යෙදුනු ඔහු.

අළුත් ව්‍යවස්ථාව මායා චිත්‍රපටයේ රන්ජන් වගේ

පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සංධානයට වෙන් කර තිබුණු කාමරය මේ දිනවල අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමාට භාර දීලා.  එතුමා එතැන වාඩි වෙලා පූර්ණ කාලීනව අළුත් ව්‍යවස්ථාවේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා.  දෙමළ සංධානයේ කාර්යාලයේ සිට හැදෙන ව්‍යවස්ථාවේ හැඩ රුව අපට හිතා ගන්න පුළුවන්.  එය අනිවාර්රයෙන්ම ෆෙඩරල් නැතිනම් සංධීය ව්‍යවස්ථාවක්.  නමුත් මම 99% විශ්වාසයෙන් කියනවා ඒකේ ලංකාව හඳුන්වා තිබෙන්නේ ඒකීය රාජ්‍යයක් ලෙසයි.  ගති ලක්ෂණ වලින් ෆෙඩරල් නමුත් නමට ඒකීය ව්‍යවස්ථාවක් අපට ලැබෙන්නේ.
අළුත් ව්‍යවස්ථාව තේරුම් ගන්න රන්ජන් ඇමතිතුමා අපට ලොකු උපකාරයක් කරලා තිබෙනවා.  ඒ මායා චිත්‍රපටියේ කාන්තා චරිතයක් රඟපෑමෙන්.  මායා චිත්‍රපටියේ රන්ජන් ඉන්නේ සාරි හැට්ට ඇඳගෙන.  දිගු හවරියක් බැඳගෙන. තොල් රතු කරලා.  ඒ මදිවාට පොට්ටුවකුත් තියලා.  පෙනුමෙන් නම් ගැහැණියක් තමයි.  නමුත් මුළු රටම දන්නවා මේක මායාවක් විතරයි රඟපෑමක් විතරයි රන්ජන් ඇත්තටම ගැහැණියක් නොවේ කියලා.  අන්න ඒ වගේ අළුත් ව්‍යවස්ථාවේ ඒකීයභාවය මායාවක් රඟපෑමක් විතරයි. ඇත්තටම ඒකීයභාවයක් ඒකේ නෑ.

පකිස්තානය රිදවීම මාරාන්තික වරදක්

නොවැම්බර් 9 සහ 10 දෙදින තුල සාර්ක් රාජ්‍ය නායක හමුව පකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබුණා.  ඉන්දියාව පකිස්තානය ආක්‍රමණය කරලා ප්‍රහාරයක් එල්ල කරලා ඊට පස්සේ සාර්ක් සමුළුව වර්ජනය කරනවා කිව්වා.  සාර්ක් ප්‍රඥාප්තියට අනුව සාර්ක් සමුළුව පැවැත්වීමට නම් සියළුම සාමාජික රටවල් සහභාගි විය යුතුයි.  එහෙම නම් ඉන්දියාව එන්නේ නෑ කියන්නේ සමුළුව පැවැත්වෙන්නේ නෑ කියන එකයි.  නමුත් සමුළුව නොපැවැත්වෙන බව දනිමින් පකිස්තානය රිදවන්න තමන්ගේ බලය යොදා භූතානය සහ බංගලිදේශය ලවා තමන් සහභාගි නොවන බවට ප්‍රකාශ කෙරෙව්වා.
ඉන්දියාවේ ඊ ලඟ ඉලක්කය වුණේ ලංකාව.  සාර්ක් සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කරන මෙන් ඉන්දියාව විසින් ලංකාවේ විදේශ අමාත්‍යාංශයට දැවැන්ත බලපෑමක් කලා.  මේ බලපෑම ඉදිරියේ දණ නමලා තමන් සාර්ක් සමුළුව වර්ජනය කරන බවට ලංකාව පසුගිය සැප්තැම්බර් 30 දා ප්‍රකාශයක් නිකුත් කලා.  ඒ ප්‍රකාශ නිකුත් කරන විටත් සාර්ක් සමුළුව පැවැත්වෙන්නේ නෑ කියන එක ලංකාව හොඳටම දන්නවා.  ඊට පැය කිහිපයකට පස්සේ පකිස්තානය සමුළුව කල් දමන බවට නිල වශයෙන් නිවේදනය කලා.

ලංකාව ඉන්දියාවේ පැත්ත අරන් පකිස්තානය රිදවීම රාජ්‍ය තාන්ත්‍රික වරදක්.  1991 දී ඉන්දියාව මේ දේ මේ විධියටම ලංකාවට කලා.  ලංකාවේ පැවැත්වීමට තිබුණු සාර්ක් සමුළුව ඉන්දියාව වර්ජනය කිරීමෙන් කඩාකප්පල් කලා.  ලංකාව අසරණ වුණා.  ඒ අවස්ථාවේ පකිස්තාන අගමැති කලින් යොදා ගත් පරිදි ලංකාවට ඇවිත් ලංකාවට සහයෝගය ප්‍රකාශ කලා.  එදා ඉන්දියාව අපට පහර දෙන විට ලංකාව ආරක්ෂා කල පකිස්තානයට අද ඉන්දියාව පහර දෙන විට අපි මිතුරා අමතක කරලා සතුරාගේ පැත්ත ගන්නවා. පකිස්ථානයට මේ දවස්වල හිතෙනව ඇත්තේ කළ ගුණ පස්සෙන් එලවනවෝ කියලයි.

පසුගිය 37 වසරක යුද ශාපයට අපි ගොදුරු වුණේ ඉන්දියාව නිසා.  ත්‍රස්තවාදින් පුහුණු කරලා අවි ආයුද ලබා දීලා ලංකාවට එව්වේ ඉන්දියාව.  ජාත්‍යන්තර තලයේ දී කොටි ත්‍රස්තවාදින් රැක ගත්තේ ඉන්දියාව.  ඉන්දියාව කොටි ත්‍රස්තවාදය පෝෂණය කරන විට පකිස්තානය ඉතිහාසය පුරාම ලංකාවේ පැත්තේ සිට ගෙන ත්‍රස්තවාදය මර්දනය කරන්න උදව් කලා.  ඒ නිසාම පකිස්තාන තානාපතිවරයා පවා ත්‍රස්තවාදින්ගේ ගොදුරක් වුණා.  එහෙම උදව් කරපු මිතුරාට එරෙහිව සතුරා සමග සිට ගන්න අපි කෙතරම් ගුණ මකු ජාතියක් වෙන්න ඕනෑ ද?

1971 දී ඉන්දු පකිස්තාන යුද්ධය ඇරඹුණු අවස්ථාවේ එය විසඳීමට මැදිහත් වුණේ ලෝක බලවතුන් නොව පුංචි ලංකාවයි.  අපට එහෙම කරන්න පුළුවන් වුණේ දෙපාර්ශවයම පිලි ගන්නා එකම රට බවට ලංකාව පත් වීමයි.  අපේ අගමැතිනිය සිරිමාවෝ මැතිණිය සාම දූතිය ලෙස මුළු ලෝකයම බැබලුවා.  නමුත් දැන් දෙපාර්ශවය ගැටුමකට සූදානම් වන විටම ලංකාව පැත්තක් ගත් නිසා මැදිහත්කරුවාගේ ඓතිහාසික කාර්යභාරය ලංකාවට අහිමි වෙනවා.

අපි දැක්කා මේ ආණ්ඩුව මුලින්ම රණවිරුවන් අල්ලාගෙන ගොස් කූඩුවේ දමනවා.  දෙමව්පියන්ට සිය දරුවන් යුද්ධයට යැවීම මින් එපා කලා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නාවුක හමුදාපතිවරු තුන් දෙනෙක් කූඩුවෙ දාල යුද්ධයට නායකත්වය දෙන එක මිනිසුන්ට එපා කලා.  දැන් පකිස්ථානයටත් කන හරහා පහරක් ගහල ආයෙ ලංකාව අමාරුවෙ වැටුනහම සහයට එන එකත් එපා කලා.  දැන් ඊලග පාර කොටි නැගිට්ටොත් අනිවාර්යෙන්ම යුද්ධ කරන්න දරුවො එන්නෙත් නෑ. යුද්ධයට නායකත්වය දෙන්න යුධ නායකයොත් ඉදිරිපත් වෙන් නෑ. රාජ්‍ය තාන්ත්‍රිකව ලංකාවට සහය දෙන්න කිසිම රටක් ඉදිරිපත් වන්නෙත් නෑ. එතරම් අසරණ තත්වයකට ආණ්ඩුව අද අපේ රට පත්කරල තියෙනවා.

පුංචි ඡන්දයට පෙර ජනමත විමසුමක්

අපි පිළිනොගත්තත් ආණ්ඩුව මුලින් කිව්වා පුංචි ඡන්දය කල් දමන්නේ සීමා නිර්ණය ගැටළු නිසා කියලා.  සීමා නිර්ණ අභියාචනා කමිටුව කියනවා මේ මාසයේ අග සීමා නිර්ණය අවසන් කියලා.  දැන් ඔන්න නීතියේ හිල් 57ක් නිසා ඡන්දය පවත්වන්න වෙන්නේ නෑ කියලා මැතිවරණ කොමිසම කියනවා.  ඇත්තටම ආණ්ඩුවට ඕනෑ පුංචි ඡන්දය කල් දාන්න. මෙය බයහිර අවශ්‍යතාවය මත සිදුවන දෙයක්. මේ පූට්ටු ආණ්ඩුව බටහිර බලවතුන් හැදුවේ ශ්‍රිලනිප අයට ඇමති තනතුරු දෙන්න නොවේ.  රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය තුනෙන් දෙකේ විශේෂ බහුතරයත් ජනමත විචාරණයේ දී අවශ්‍ය 50% බහුතරයත් ලබා ගැනීමටයි.

අළුත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට කලින් පුංචි ඡන්දය තිබ්බොත් නිල් හංසයෝ සහ කොල හංසයෝ දෙපිල බෙදී මරා ගන්න ඉඩ තිබෙනවා.  පුංචි ඡන්දය මැර බලය රජ යන ඡන්දයක්.  පසුගිය පුංචි ඡන්දයේ දී තමයි භාරත ලක්ෂ්මන් මිය ගිහින් දුමින්ද සිල්වා මාරාන්තික තුවාල ලැබූ ගැටුම සිදු වුණේ.  එහෙම ගැටුම් වුණොත් එහි ප්‍රතිඵලයක් ලෙස හවුල් ආණ්ඩුව දෙදරා යන්න පුළුවන්.  එහෙම වුණොත් ෆෙඩරල් සිහිනය යලි බොඳ වෙනවා.  ඒ නිසා තමයි ජනමත විචාරණය පවත්වන තුරු පුංචි ඡන්දය කල් දමන්න බටහිර බලවතුන් ක්‍රියා කරන්නේ.

ඡන්දය කල් දැමීම ආණ්ඩුවට විශාල පාඩුවක් බව ආණ්ඩුව නොදන්නවා නොවෙයි.  ඉංග්‍රීසි කියමනක් තියෙනවා ආණ්ඩුවක ජනප්‍රියතාවය ශිතකරණයකින් ගත් අයිස් කැටයක් වගෙයි කියලා.  ඡන්ද කලින් තියන එකේ වාසිය ආණ්ඩුවට තියෙනව වගේම ඡන්ද කල් දැමීමේ වාසිය යන්නේ විපක්ෂයට. එහෙම තිබියදීත් ආණ්ඩුව මේක කල් දමන්නේ මේ ඡන්දයේ පාලනය ආණ්ඩුව සතුව නොමැති නිසියි.

බටහිර කාල සටහන අනුව ලබන නොවැම්බර් මාසයේ දී නව ව්‍යවස්ථාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරනවා.  ඊට පස්සේ ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධාන අනුව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවටත් පෙබරවාරි මාසයේ දී ජනමත විචාරණයකටත් ඉදිරිපත් කරන්න නියමිතයි.  මේ සියල්ල සිදු වන තුරු පුංචි ඡන්දය පවත්වන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.

කොටුව දුම්රිය පොල ඉදිරිපිටට ඔබත් එන්න

උතුරු  පලාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කරමින් ඔක්තෝම්බර් 5 වන දා සවස 3ට කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පිවිතුරු හෙළ උරුමයෙන් උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.
අද අත්අඩංගුවේ සිටින එවකට අපේ ආණ්ඩුවේ කටයුතු කල බෝහෝ මන්ත්‍රීවරුන්ට අත්අඩංගුවට ගැනීමේදී නැගුණු චෝදනාව තමයි චක්‍ර ලේඛනයේ සදහන් ප්‍රමාණයට වඩා වැඩිපුර එක් වාහනයක් හෝ දෙක්ක භාවිතා කිරීම. නමුත් උතුරේ මහ ඇමතිතුමන් තමන් යටතේ තිබෙන පලාතේ වාහන සහ නිලධාරීන් උද්ඝෝෂනය සදහා භාවිතා කිරීමෙන් රාජ්‍ය දේපල අව භාවිතා කර තිබෙනවා.

තිස්ස අත්තතානයක මහතා අත්අඩංගුවට ගන්නේ ජාතිවාදය ඇවිස්සූ බවට චෝදනා නගමින්.  සිංහලයන්ට උතුරේ පදිංචිවෙන් එපා කියමින් ව්‍යවස්ථාවෙන් සිංහලයන්ට ලබාදී ඇති අයිතිය උදුරාගැනීමට තැත් කිරීමෙන් උතුරේ මහ ඇමතිතුමන් ජාතිවාදය අවුස්සල තිබෙනවා.

ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරල තියෙන්නේ කුරාණය විවවේචනය කර ආගම් අතර ගැටුමක් ඇති කිරීමට උත්සහ කලා කියල. උතුරේ බුදු පිලිම ඉවත්කරන්නනට කියමින් බෞද්ධයන් හා අබෞද්ධයන් අතර ගැටුමක් ඇති කිරීමට විග්නේශ්වරන් මහත්තයා උත්සහ දරල තියෙනව.

එනිසා ඔහුට එරෙහිව එකක් නෙමේ චෝදනා තුනක්ම තිනෙවා. ඒ නිසා ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපි  ආණ්ඩුවට බල කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6190778141496382203

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item