සිංහලය ඛේදවාචකයක්‌ද?

"සිංහලයට තවත් කැපිල්ලක්‌" උසස්‌ පෙළ සිංහල වළ පල්ලට" යන මැයෙන් ප්‍රවීණ සිංහල ආචාර්ය සුනිල් ගුණවර්ධන මහතා විසින් 2016 ක්‌ වූ...

"සිංහලයට තවත් කැපිල්ලක්‌" උසස්‌ පෙළ සිංහල වළ පල්ලට" යන මැයෙන් ප්‍රවීණ සිංහල ආචාර්ය සුනිල් ගුණවර්ධන මහතා විසින් 2016 ක්‌ වූ ඔක්‌තෝබර් මස 11 වැනි අඟහරුවාදා "දිවයින" සංග්‍රහයට සපයන ලද ලිපියට ප්‍රතිචාරයක්‌ වශයෙන් මෙය ලියන්නට සිතුවෙමි. සුනිල් ගුණවර්ධන මහතාගේ ලිපියේa මාතෘකාව දුටු සැනෙකින් ම එය කියවා අවසන් වනතුරු මට ඉස්‌පාසුවක්‌ ඇති නොවීය. 

ජීවිතය රඟ මඬලකි. අපි සැවොම එහි නළුවන් වෙමු· යි විලියම් ෂේක්‌ස්‌පියර් පඬිවරයා වරෙක ප්‍රකාශ කළේය. එසේ නම් අපි සැවොම ජීවන රඟමඬලේ රංගනය කිරීමට පුහුණු විය යුත්තෝ වෙමු.

ශිෂ්‍ය කල ඒ සඳහා දරුවා පුහුණු කරන අධ්‍යක්‍ෂවරයා කවුද? ඒ නම් අනිකකු නොවේ. පාසලේ සිටින සිංහල සාහිත්‍ය ගුරුවරයාම ය. එහෙත් එකල සිටි වින්දනාත්මක සාහිත්‍ය ගුරුවරුන් අද සිටිත්ද? සුනිල් ගුණවර්ධන මහතාගේ ලිපියේ සඳහන් වන පරිදි උසස්‌ පෙළ සිංහලය වළ පල්ලටය.

සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස්‌ පෙළට පැමිණෙන්නෙ වයස අවුරුදු 17 - 18 අතර සුහුඹුල් දරුවන්ම ය. ඔවුන්ගේ අදහස්‌ හා හැඟීම් වසර ගණනාවක්‌ පාසල් කිහිපයක උගන්වා ඇති අපි දනිමු. ඒ ළපටි මනසක්‌ ඇති සුහුඹුල් දරුවන්ට මේ නව විෂය නිර්දේශය උසුලාගත නොහැකි බරකි. මානසික පීඩාවකි. ඒ මානසික පීඩාව පිළිබඳ වැටහීමක්‌ මේ විෂය නිර්දේශය සකස්‌ කර ඇති ආචාර්ය මහාචාර්යවරුනට නැත. ඒ ගැන වඩාත් හොඳින් දන්නා මේ සුහුඹුල් දරුවන් සමග දවස ගත කරන අපිම වීමු.

වර්ෂයකට දින 365 ක්‌ පමණ ඇතත් සාමාන්‍යයෙන් පාසල පවත්වන්නේ දින 180 ක්‌ පමණ ය. ඒ කාලය තුළ ද පෝය නිවාඩු හා රජයේ වෙනත් නිවාඩු ද අත්හළ පසු තවත් කාලය අඩු වෙයි. ඊට අමතරව පාසලේ ක්‍රීඩා උත්සව වෙනත් සංදර්ශන සඳහා ද කාලය වැඩිපුර නාස්‌ති වන බව අපි දනිමු. එවැනි තත්ත්වයක්‌ යටතේ සාමාන්‍ය පෙළ සමත්ව උසස්‌ පෙළට සපැමිණි අහිංසක දරුවන්ට පද්‍ය පංති 68 කින් සමන්විත පද්‍ය සංග්‍රහයක්‌ කුමටද? දැනට ක්‍රියාත්මක වන විෂය නිර්දේශයට අදාළ නූතන පද්‍ය සංග්‍රහයේ ඇත්තේ කවි පංති 22 කි. ඒ ප්‍රමාණය ද පාසල්වල අවසන් කෙරෙන්නේ පාසල අවසන් වූ පසු අතිරේක පංති ද පැවැත්වීමෙනි. තත්ත්වය මෙසේ තිබියදී වර්තමාන විෂය නිර්දේශයට ජී. බී. සේනානායකගෙන් පසු කවීන්ගේ කාව්‍ය නිර්මාණ 3 ක්‌ හෝ 5 ක්‌ නිර්දේශ කර තිබේ. 'එක්‌ කවියකුගෙන් කාව්‍ය නිර්මාණ පහක්‌ තෝරා ගැනීම හා සම්බන්ධ අදාළ මහාචාර්යවරයා පවසා ඇත්තේ එක්‌ කවියකුගේ නිර්මාණ තුනක්‌ හෝ පහක්‌' ඇතුළත් කළේ කවියා හඳුනා ගැනීමට ශිෂ්‍යයාට මග සැලසීමක්‌ වශයෙන් බවය. අප දන්නා ආකාරයට කළ යුතුව ඇත්තේ කවියාගේ පංචස්‌කන්ධ වර්තනයට ශිෂ්‍යයා පොළඹවා ගැනීම නොව, ශිෂ්‍යයාට රසවින්දනයේ මිහිර විඳගන්නට අවස්‌ථාව උදාකර දීමය. මේ විෂය නිර්දේශය තුළ එවැන්නක්‌ සිදුවී නැත.

ජී. බී. සේනානායකට ප්‍රථම සාර්ථක කවි ලියූ සාගර පලන්සූරිය, ඇස්‌. මහින්ද හිමි, රැපියල් තෙන්නකෝන්, කුමාරතුංග මුණිදාස, ආනන්ද රාජකරුණා නොසලකා හැරියේ කාගේ උවමනාවකටද? ඒ අයගේ කාව්‍ය සංග්‍රහයන්හි සාර්ථක කාව්‍ය නිර්මාණ නැතිද? නූතන කවියේ ගලා යැම ජී. බී. සේනානායකගෙන් පසු පමණක්‌ හැදැරිය හැකිද? අනුරාධා නිල්මිණි දක්‌වා පද්‍ය රචනා තෝරා ගැනීමට තරම් මේ සකසුවන් සමත් නොවීම කනගාටුවට හේතුවකි.

2009 වර්ෂයේ සංස්‌කරණය කළ කෙටි කතා සංග්‍රහයෙහි ඇත්තේ කෙටි කතා දොළහකි. එහෙත් දැනට අනුමත කෙටිකතා සංග්‍රහයෙහි කෙටි කතා 30 කට වැඩි ය. විනාඩි හතළිස්‌ පහක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ මේ එක්‌ කෙටිකතාවක්‌වත් ඉගැන්විය හැකිද? මහාචාර්යවරුනි, විශ්වවිද්‍යාලයේ නම් මේ කෙටිකතා පිළිබඳ දේශනා පැවැත්විය හැකිය. විශ්වවිද්‍යාල ඇත්තේ ඉගැන්වීමට නොවේ. ඉගෙන ගැනීම පිණිසම ය. ශාස්‌ත්‍ර ගවේෂණය සඳහාය. එහෙත් පාසල්වල මූලික දැනුම පවා නොලද දරුවන්ට කෙටිකතා ගැන දේශන පැවැත්වීම ප්‍රමාණවත් වේද? කෙටි කතාවක්‌ ඉගැන්වීAමට ප්‍රථම කෙටි කතාවක අන්තර්ගත විය යුතු මූලික ලක්‍ෂණ පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කළ යුතුය. ඒ සඳහා ඔවුනට සටහන් ලබා දිය යුතුය. මේ සියල්ලම සමග කෙටිකතා සංග්‍රහය සපුරා ඉගැන්වීමට අවුරුදු දෙක තබා තුනක්‌ ද ප්‍රමාණවත් නොවනු ඇත.

නිදහසින් පසු උසස්‌ පෙළ සඳහා නිර්දේශ කළ සෑම විෂයය නිර්දේශයකම අන්තර්ගත වූයේ එක්‌ නවකතාවක්‌ පමණි. අප ද පාසල් යන කාලයේ ගම්පෙරළිය නවකතාව නිර්දේශිතව තිබිණි. එය හොඳ සමාජ විග්‍රහත්මක නවකතාවක්‌ එදවස ඒ තුළින් ළමා මනසට ලැබුණු දේ බොහෝ ය.

එහෙත් අද ශිෂ්‍යයාට නවකතා අධ්‍යයනය සඳහා පරිවර්තන නවකතා දෙකක්‌ ද, ස්‌වතන්ත්‍ර නවකතාවක්‌ ද නිර්දේශ කර ඇත. වර්ෂ දෙක පුරාවට මළ ගිය ඇත්තේ උගන්වා හමාර කළ නොහැකි පාසල් ගුරුවරයාට පොත් තුනක්‌ ඉගැන්වීමට සිදුවීම කවර නම් ෙ€දයක්‌ ද? රටම පොදු විෂයය නිර්දේශයක්‌ සාදනු වෙනුවට එක්‌ එක්‌ පාසලට නවකතා තෝරා ගැනීමට සැලැස්‌වීම පිළිබඳ අපිට ඇත්තේ පාසල් ගුරුවරුන් වශයෙන් බලවත් කනගාටුවකි. අර්නස්‌ට්‌ මිලර් ගෙමිංවේගේ මහල්ලා සහ මුහුද සුප්‍රකට කෙටි නවකතාවකි. එය ඉගැන්වීමේදී බටහිර සාහිත්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ ශිෂ්‍යයාට ලබාදීමට පාසලේ විනාඩි 35 ක පමණ කාලච්ඡේදයක්‌ ප්‍රමාණවත් වේද? ලෙනාඩ් වුල්µaගේ බැද්දේගම ද ඉතා රසවත් නවකතාවකි. මේ දෙකටම වඩා කේ. ජයතිලකගේ චරිත තුනක්‌ ළමා සිත් ආකර්ෂණය කරවන සුළුය. මේ තුනෙන් එකක්‌ නිශ්චය කළේ නම් රටේම දරුවන්ට පොදු ඉගැන්වීමක්‌ කිරීමට පාසල් ගුරුවරයාට මානසික නිදහසක්‌ තිබිණි. අත්තනෝමතික හා හිතුවක්‌කාර ලෙස විෂය නිර්දේශයන් සංස්‌කරණය කිරීම ජාතික අපරාධයකි.

නාට්‍ය කෘති සම්බන්ධයෙන්ද කිව යුත්තේa එයම ය. මනමේ නාට්‍ය ඉගෙන ගැනීමෙන් එකල ශිෂ්‍යයා දේශීය ශෛලිගත නාට්‍ය කලාවේ මූලික ලක්‍ෂණ පිළිබඳ මනා අවබෝධයක්‌ ලබාගෙන උසස්‌ පෙළ සමත්ව සරසවි සපැමිණි පසු නාට්‍ය කලාව ප්‍රගුණ කළේය. එහෙත් අද මැක්‌බට්‌ නම් බටහිර නාට්‍යයක්‌ ද මැටි කරත්තය ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයද නිර්දේශිතය. මේ නාට්‍ය තුනම කාලාන්තරයක්‌ තිස්‌සේ සිංහල විෂය නිර්දේශයන් තුළ සාකච්ඡාවට බ\qන් කළ පැරණි නාට්‍ය අච්චුය. මේ නාට්‍ය අච්චුවලින් එපිටට සිංහල නාට්‍ය කලාව රැගෙන ආ සුගතපාල ද සිල්වාගේ හෝ දයානන්ද ගුණවර්ධනගේ කාලීන වටිනාකමකින් යුත් එක්‌ නාට්‍යයක්‌ පමණක්‌ නිර්දේශ කළේ නම් යුක්‌තිසහගත යෑයි අපි සිතන්නෙමු.

සංදේශ සාහිත්‍යය පසෙක තබා ගී කාව්‍යයක්‌ ලෙස ගුත්තිලය තෝරා ගැනීම පිළිබඳ අපි පුදුම නොවෙමු. එහෙත් ගුත්තිලයේ ද කවි 200 කට අධික සංඛ්‍යාවක්‌ නිsර්දේශ කිරීම ළමයාගේ මනසට බරක්‌ සේ මේ ආචාර්ය මහාචාර්යවරුනට නොතේරීම පිළිබඳව අපි පාසල් ගුරුවරුන් ලෙස කනගාටු වෙමු.

ඉන්දියානුවන්ට මහාභාරතය වැදගත් වන්නේ යම් සේද ශ්‍රී ලාංකික අපට ජාතක පොත ද ඒ තරමටම වැදගත් යෑයි සිතමු. ජාතක පොත උසස්‌ පෙළ සිංහල විෂයය නිර්දේශයෙන් ඉවත් කළ පාපකර්මයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අනාගතයේදී අත්විඳින්නට සිදුවනු ඇත. අප පාසල් යන සඳ ජාතක කතා රසවත්ව ඉගෙන ගතිමු. ඒ මගින් අපේ චින්තනය පුළුල්ව මනුෂ්‍යත්වය පිළිබඳ, සමාජය පිළිබඳ, ආගම දහම පිළිබඳ හොඳ අවබෝධයක්‌ ඒ ඔස්‌සේ අපට ලැබිණි. එහෙත් අද ජාතක පොත මතු නොවූ අපේ සම්භාව්‍ය බණ කතා සාහිත්‍යයේ මුදුන් මල්කඩ වන සද්ධර්මරත්නාවලිය ද නව විෂය නිර්දේශයෙන් කපා හරින්නට තරම් මේ උත්තම මහාචාර්යවරු සමත්ව සිටිති. ඔවුන් එසේ කරනුයේ කුමක්‌ පිණිස ද යන්න හෙළ බසට අදරැති පාසල් ගුරුවරුන් වන අපට තවමත් ප්‍රහේළිකාවකි.

විෂය නිර්දේශ කමිටුවේ සැමගේ එකඟතාව මත ගුත්තිල කාව්‍යයේ රසවත් කොටසක්‌ද, සිංහබාහු නාට්‍යය ද, චරිත තුනක්‌ නවකතාව ද, නූතන කවි පංති 20 ක්‌ ද, කෙටි කතා 12 ක්‌ද, ජාතක කතා, සද්ධර්මරත්නාවලියෙහි එන කතා ද, පූජාවලියෙන් උපුටා ගත් රසවත් කතා කිහිපයක්‌ ද අන්තර්ගතව තිබුණි. එය මහාචාර්ය විමල් පී. බලගල්ලෙ, ඡේ. බී. දිසානායක, සඳගෝමී කොපරහේවා යන විද්වතුන්ගේ පරීක්‍ෂාවට ද ලක්‌වූ බව පසුව දැන ගන්නට ලැබිණි. මුල් සංස්‌කරණය හිතුවක්‌කාර ලෙස වෙනස්‌ කර ජාතක පොත, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය ද ඉවත් කොට ගුරු සිසු දෙපිරිසගේම හිස මත මහ බරක්‌ සහිත විෂය නිර්දේශයක්‌ දැන් ජාතික අධ්‍යාපන ආයතනය තුළ සම්මතව පවතී.

පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් ජාතියේ දරුවන්ට පිදුරු කැවීම සාධාරණද? ථූපවංශය, දුටුගැමුණු චරිතය ඉහළින් වාර්තා කළ ග්‍රන්ථයකි. එවැනි ග්‍රන්ථයක්‌ උසස්‌ පෙළට නිර්දේශ කිරීම තුළ ජාතික සංහිඳියාවට කුමක්‌ වේද? දේශප්‍රේමි වෙස්‌ වළාගත් ජාතිවාදීන්ට නම් මේ ග්‍රන්ථය ආශිර්වාදයකි. එහෙත් ලංකාව ගිනි තිබ්බ ජාතිවාදය යළිත් හිස ඔසවන තැනක දෙමළ, සිංහල, මුස්‌ලිම්, බර්ගර්, මැලේ දරුවන්ට එක්‌සත්ව , එක්‌ සිත්ව අකුරු සරු කළ හැකිද? අධ්‍යාපන ඇමැතිතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමනි, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂතුමනි, උසස්‌ පෙළ සිංහල විෂය නිර්දේශ සංස්‌කරණයේ ෙ€දවාදකය පිළිබඳ ඔබ සැමගේ පූර්ණ අවධානය යොමු කරනු මැනව. මේ පිළිබඳ විද්වත් පරීක්‍ෂණයක්‌ පවත්වා හෙළ බසත්, හෙළ බසට පෙම්බැඳි ළමා පරපුරටත් සාධාරණය ඉටු කරනු මැනව!

-ශාස්‌ත්‍රපති මහේෂ් ක්‍රිශාන්ත 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. MAHA LOKUWATA JATHIYE MAMATHWAYA GANA SINHALAKAMA GANA KIYANA OBAWANI BADAGOSTHARA WADEEN API DAKA ATHTHEMU. OBATH EWANNEKI. THUPAWANSAYA, DUTUGAMUNU CHARITHAYA WANI POTH GANA OBATA ATHTHE DAN ENIYA SANHIDIYAWAK GANA KIYA ENJEO NADAYATA HADUNU PISSUWAMA VINA WENA KAWARAKDA? SINHALAYEK WEE IPADEE JATHYA GANA KATHA KARANNA LAJJAWENA OBAWANI UN KATAPIYAGENA HIDEEMA THAMAI HODA. ME RATE SANHIDIYAWA GANA KATHA KARANNE DOLER WALATA SAKKU PURAWA GANNA OLAMOTTALAYAN VINA WENA KAUDA? EKA EKATA KADEYANNE NATHIWA HABAWATAMA SINHALAYAN WENUWEN PENEE INNA BALANNA.

    ReplyDelete

emo-but-icon

Related

විශේෂාංග 1837063596019417210

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item