මේ, නිදහසින් පසු බිහිවූ නරකම ආණ්‌ඩුව - මහාචාර්ය සුමනසිරි ලියනගේ
වැට් බදු වැඩිකිරීම සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා සිදුවී ඇතැයි සැලකෙන මහා පරිමාණ දූෂණය නිසා ආණ්‌ඩුවේ ජනතාවාදී ගමන උඩුයටිකුරු වී ඇතැයි...
https://www.sathhanda.com/2016/11/blog-post_80.html
වැට් බදු වැඩිකිරීම සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා සිදුවී ඇතැයි සැලකෙන මහා පරිමාණ දූෂණය නිසා ආණ්‌ඩුවේ ජනතාවාදී ගමන උඩුයටිකුරු වී ඇතැයි ආණ්‌ඩුවේම සමහරු පවසති. මෙවර අයවැය ඇස්‌තමේන්තු තුළින් හෙළිවන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්හි සිදුකර ඇති මුදල් කප්පාදුවත්, ජනපති, අගමැති ප්‍රතිපාදන වැඩිවීමත් ඒ උඩුයටිකුරු බව පෙන්වන සාධක දෙකක් ලෙස ඇතමුන් හඳුන්වති. සණස විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ සමග මේ සංවාදය ඒ පිළිබඳවය.
මේ ආණ්‌ඩුවේ ගතවූ වසර දෙකකට ආසන්න කාලය තුළ රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳීමට ආණ්‌ඩුවට නොහැකි වූ බවට ඇතමුන් චෝදනා කරනවා?
මේ ආණ්‌ඩුව වැඩ පටන් ගත්තේ ඔවුන් ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නැතිව. උදාහරණයක් විදිහට ඔවුන්ගේ ආර්ථික වර්ධනය පිළිබඳ වැඩපිළිවෙළ ගැන නිරන්තරයෙන්ම කියවුණේ දූෂණය නැතිකිරීමෙන් ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්ය කියන විදිහේ ඉතාම බොළඳ සරල තර්ක. මම හිතන්නෙ කලින් ආණ්‌ඩුවේ පැවතුනු දූෂණය, මර්දනය, ජාතික ප්‍රශ්නය සමනය කිරීමට තිබූ දුර්වලතා, සමහර විදේශ රටවල් සමග අනවශ්‍ය කෝන්තර ඇතිකරගැනීම වැනි දේවලට මැදිවෙලා හිටපු ජනතාව අර පිදුරු ගහක එල්ලෙනව වගේ මේ ආණ්‌ඩුව පත්කරගත්තට රට හදන්න මේ අයට විශාල සැලැස්‌මක් තියෙනව කියල අදහසින් ජනතාව මේ ආණ්‌ඩුව පත්කරගත්තෙ නෑ. නමුත් ජනතාව හිතුවා පසුගිය ආණ්‌ඩුවේ තිබුණු නාස්‌තිය හා දූෂණය නැති කිරීම හරහා අවම වශයෙන් ආර්ථික ක්‌ෂේත්‍රයෙන් කිසියම් සහනයක් දෙන්න මේ අයට පුළුවන් වෙයි කියල ජනතාව හිතුවා. නමුත් මේ ආණ්‌ඩුවේ අවුරුදු දෙකකට ආසන්න ඉතිහාස කාලයෙන් පෙන්වන්නේ මේ ආණ්‌ඩුවට රටේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් දිය නොහැකි බවයි. ආණ්‌ඩුව දෙන්න හදන හැම විසඳුමකින්ම වෙන්නෙ ජනතාව තව තවත් තෙරපුමකට, පීඩනයකට පත්වීමයි.
මේ බැඳුම්කර සිද්ධිය ඇතිවුණේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයටත් කලින්. දූෂණය අතින් පසුගිය ආණ්‌ඩුවෙයි මේ ආණ්‌ඩුවෙයි වෙනසක් නෑ. මේ ආණ්‌ඩුවෙත් දූෂණයට පුරුදු පුහුණු වුණු පහුගිය ආණ්‌ඩුවේ කොටස්‌කාරයෝ ඉන්නවා. මේ ආණ්‌ඩුව යන්නෙත් පහුගිය ආණ්‌ඩුව ගිය පාරෙම තමයි. බැඳුම්කර සිද්ධියෙන් එය පැහැදිලිව පෙනුණා.
ඊළඟ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල් කප්පාදු වීම් වගේම ජනපතිට, අගමැතිට වෙන් කළ මුදල් වැඩි වෙලා තිබෙනවා. මේවා පහුගිය ආණ්‌ඩුවටත් එල්ල වුණු චෝදනා?
රටක පුළුල් මහජන සුබසාධනයට අවශ්‍ය දෙකක් තමයි අධ්‍යාපනය හා සෞඛ්‍යය. නමුත් මේ අයවැය ඇස්‌තමේන්තුවලින් පෙනෙන්නෙ අධ්‍යාපනය සඳහා විද්වතුන් ඉල්ලා සිටි සියයට 6 දක්‌වා ක්‍රමානුකූලව නැංවීමක් නෙමෙයි පසුගිය අවුරුද්දේ වෙන් කළ මුදලටත් වඩා මුදල් කප්පාදුවක්. පහුගිය ආණ්‌ඩුවේ නම් අගමැතිගෙ ප්‍රතිපාදන එච්චර ලොකුවට තිබුණෙ නෑ. නමුත් ජනාධිපතිගෙ ප්‍රතිපාදන නම් ලොකුවට තිබුණා. මේ අලූත් අයවැය ඇස්‌තමේන්තු දෙස බලන විට පෙනෙන්නෙ මේ ආණ්‌ඩුවත් යන්නෙ ප්‍රධාන බලවතුන් දෙදෙනාට මුදල් ගොනුකරගන්නා විදිහට අයවැය සකස් කරගනිමින් බවයි.
මෙය සාධාරණීකරණය කරන්න සමහරු ගෙනෙන තර්කයක් තමයි රට හදන්න නම් සහන දෙන්න බෑ සහන දෙනව නම් රට හදන්න බෑ කියන එක?
මම ඉතාම සරල උදාහරණයක් කියන්නම්. මීට අවුරුදු හතළිහකට විතර පෙර මම අපොස විභාගෙ ලියන කාලේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 180 - 200 ක් විතර. ඒ කාලෙත් මේ රටේ නිදහස් අධ්‍යාපනය නඩත්තු වුණා. සෞඛ්‍ය සේවය මීට වඩා නිදහස්‌ව පැවතුනා. ඒවගේම විශ්‍රාම වැටුප් ක්‍රමයට අත නොතබා දිගටම පවත්වාගෙන ගියා. එදා ඒකපුද්ගල ආදායම ඩොලර් 180 - 200 කාලේ දුන්නු සහනයන් අද ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 වෙලත් දෙන්න බෑ කියල කියනව නම් ඒක එකඅතකින් මහා අපබ්‍රංසයක්. කෙනෙකුට අහන්න පුළුවන් එහෙමනම් ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 වීමෙන් ඇති පලේ මොකක්‌ද කියල. මේකෙන් පේනව සහන දීම සහ ආර්ථික වර්ධනය අතර කිසිම සම්බන්ධයක් නෑ කියල.
ලෝකෙ ජීවත්වීමට ඉතාමත් හොඳ රටවල් ලෙස සැලකෙන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්‌වීඩන් වැනි රටවල අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය වැනි සේවා විශාල වශයෙන් ජනතාවට සහන සලසමිනුයි පවත්වාගෙන යන්නෙ. එපමණකුත් නෙමෙයි, ඒ රටවල පුහුණුවෙන් අඩු අයට තමයි වැඩි පඩි දෙන්නෙ. වැඩි පඩි කියන්නෙ අනිත් අයට වඩා වැඩි පඩි නෙමෙයි. සාපේක්‌ෂව වැඩි පඩි. එයට හේතුව එතකොට ව්‍යාපාරිකයො වැඩි පරිශ්‍රමයක් දරනවා නුපුහුණු සේවකයො පුහුණු සේවකයන් කරන්න. ඒ නිසා සමාජ සුබසාධනය අඩුකළ රටවල් වැඩි ආර්ථික වර්ධනයක් ලබාගෙන තිබෙනව කියල කාටවත් කියන්න බෑ. අද සමාජ සුබසාධන දැඩි ලෙස කප්පාදු කරමින් යන ඇමරිකාව දැඩි අර්බුදයකට පත්වී තිබෙනවා. දැන් අවුරුදු විස්‌සක තිහක විතර කාලයක ඉඳලම අපේ රටේ ජනතාවත් පටි තදකරගෙන ඉන්නවා. පටි තද කළහම ආර්ථිකය දියුණුවෙනවා කියන්නෙ ලෝක බැංකු සංකල්පයක්.
2020 වනවිට රටේ ආර්ථිකය දියුණු වෙලා මේ සියලු පටි තදවීම් අවසන් වන බවට ආණ්‌ඩුව අනාවැකි කියනවා?
එහෙම තීරණය කරන්න කිසිම සාධාරණ හේතුවක් පෙනෙන්න නෑ. විවිධ චෝදනා එල්ල වුණත් පසුගිය ආණ්‌ඩුව සමයේ රටේ ආර්ථිකයේ ප්‍රසාරණයක් සිදුවුණා. ඒ ප්‍රසාරණයේ ප්‍රතිඵල ජනතාවට සාධාරණ ලෙස ලැබුණාද නැද්ද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සියල්ල මැද්දෙත් යම් යම් කුඩා සහන ජනතාවට ලැබුණා. නමුත් පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ ආර්ථිකයේ වර්ධන වේගය සියයට හතරකට ආසන්න ගණනකට පහතට වැටුණා. මේ වැට් බද්ද නිසා ලංකාවේ උද්ධමනය වැඩිවිය හැකි බවට පසුගියදා ලෝක බැංකුවත් ප්‍රකාශ කර තිබුණා. ආර්ථික වර්ධන වේගය, සේවා නියුක්‌ති අනුපාතය සහ උද්ධමනය යන ආර්ථිකයේ ප්‍රධාන සාධක තුන ගත්තත් අපට පෙනෙනව රටේ ආර්ථිකය පල්ලම් බහින බව.
පුද්ගලික ධන ආයෝජන මගින් මේ සියල්ල නිවැරදි කරගත හැකි බව අගමැතිතුමා ප්‍රකාශ කරනවා නේද?
ඉතාමත් පැහැදිලි ප්‍රතිඥාවක් ලෙස දුන්නු වොක්‌ස්‌වගන් කර්මාන්ත ශාලාව දැන් ආණ්‌ඩුවම කියනවා එන්නෙ නෑ කියල. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ කිසිම පැහැදිලි ආයෝජනයක් රට තුළ සිදුවුණු බවක් හෝ අලුතෙන් එන බවක් පෙනෙන්නට නෑ. එපමණක් නෙමෙයි සමහර දේශීය නිෂ්පාදන පවත්වාගෙන යැමත් දුෂ්කර වී තිබෙනවා. සමහර දේශීය නිෂ්පාදකයො තම ආයෝජනවලින් කොටසක් විදේශයන්ට දී තිබෙනව. 2015 ජනවාරි 8 දා සිට මේ වනවිට අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති විශේෂ ප්‍රකාශ හතර පහ අරගෙන බැලුවොත් ඒ දෙන පොරොන්දු දිශාවට රටේ ආර්ථිකය ගමන් කරන බවක් පෙනෙන්නෙ නෑ. ඒ වෙනුවට පෙනෙන්නෙ ණය බර හා වක්‍ර බදු තව වැඩිකරන, රැකියා උත්පාදනය අඩුකරන පල්ලම් බහින ආර්ථිකයක්. මෙයින් පෙනෙන්නෙ මේ රටේ ආර්ථිකය ඉදිරියට ගැනීමට මේ ආණ්‌ඩුවට කිසිම දර්ශනයක් නැති බවයි.
මේ ආණ්‌ඩුව හදල තියෙනව වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ පිටපතක්. ඒක හදල තියෙන්නෙ එට්‌කා ගිවිසුම සාධාරණීකරණය කරන්න. ආණ්‌ඩුව යන්නේ මෙවැනි ආර්ථිකයට කිසිම ශක්‌තිමත් පදනමක් නොදමන කරුණු උඩ.
ආණ්‌ඩුව ඇයි එවැනි ආර්ථික පිළිවෙතක් අනුගමනය කරන්නෙ?
එකක් මේ මේ දේවල් කරන්න කියල නොයෙක් රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවලින් ආණ්‌ඩුවට දෙන රෙකමදාරුව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීල තියෙනව සය වැදෑරුම් වැඩපිළිවෙළක්. මේ වැට් බද්ද පැනවීම ඉන් එකක්. පුද්ගලිකකරණය වැනි තව කරුණු ගණනාවක් එහි තිබෙනවා. ඒත් එක්‌කම මේ ආණ්‌ඩුව මහන්සිගන්නව ඉන්දියාව සතුටු කරන්න. ලංකාව ඉන්දියාවත් සමඟ අමනාප විය යුතුත් නෑ. අමනාප වීම හොඳත් නෑ. නමුත් වෙන රටක ජාතිකවාදී යෝජනාවන් ඉස්‌සරහට දාල අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් නොකළ යුතුයි. ආර්ථික වශයෙන් මේ ආණ්‌ඩුවට කිසි ප්‍රතිපත්තියක් නැත්තේ ආණ්‌ඩුව මේ වගේ පටු අරමුණු ඔස්‌සේ ගමන් කිරීමට උත්සාහ කරන නිසයි. මේ ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක වෙළෙඳ සංවිධානය දෙන වැරදි ආර්ථික උපදෙසA අනුව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න යැමත් තවත් හේතුවක්. වර්තමානයේ මහ බැංකුවේ අධිපතිවරයාගේ සිට ආණ්‌ඩුවේ සියලුම ආර්ථික උපදේශකයින් කිසිම විචාරයක් නැතිව ගිරවු වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිගැනීමත් මේ තත්ත්වයට හේතුවක්. මේනිසා මේ ආණ්‌ඩුව නිදහසින් පසු අපේ රටේ බිහිවූ නරකම ආණ්‌ඩුව බවට දැන් පත්වෙමින් තිබෙනවා.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
Related