බුදු හාමුදුරුවො මෝඩයෙක් ද?
සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම එ ජා පක්‍ෂයේ ප්‍රතිපත්තියයි. එහෙම වන්නේ එ ජා ප බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් නිසා. බටහිර ජාත්‍යන්තරවාදය...
https://www.sathhanda.com/2016/12/blog-post_718.html
සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම එ ජා පක්‍ෂයේ ප්‍රතිපත්තියයි. එහෙම වන්නේ එ ජා ප බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් නිසා. බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් හැටියට එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. බටහිර ජාත්‍යන්තරවාදයට ක්‍රිස්තියානි නොවන සංස්කෘතීන් විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් වැනසීමට, නැත්නම් දුර්වල කිරීමට අවශ්‍යයයි. ජේ ආර් ජයවර්ධන සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඊනියා විවෘත ආර්ථිකය යොදා ගත්තා. ඒ දෙමළ ජාතිවාදයට අමතරවයි. අද ජේ ආර්ගේ බෑණා රනිල් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ජඩමාධ්‍ය, සිවල් සමාජය, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදිය ද යොදා ගන්නවා.
අද තරම් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර වදින යුගයක් 1956න් පසු ඇති වී නැහැ. බටහිර දැනුම අද සෑම ක්‍ෂෙත්‍රයක් පුරා ම ආධිපත්‍යය දරනවා. බටහිර දැනුම ආධිපත්‍යය ලබා ගන්නේ දේශපාලනයෙන්. අනෙක් අතට බටහිර ජාත්‍යන්තරවාදයට අධිපතිවාදී දේශපාලනයක් ලබා දීමට බටහිර දැනුම ක්‍රියා කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වුවත් එය අද ලෝකයේ ආධිපත්‍යය දරනවා. බටහිර විද්‍යාවේ ආරක්‍ෂකයකු වන කැනඩාවේ වසන චන්ද්‍රසිරි ධර්මවර්ධන දැන් ලංකාවේ සිටින බව ආරංචි වුනා. එසේ නම් ඔහු ආපසු කැනඩාවට යෑමට කලින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන තේමාවෙන් මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස මා ආරාධනය කරනවා. අවශ්‍ය නම් ඔහුට කාලෝ ෆොන්සේකාගේ හා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ටියුඩර් වීරසිංහගේ ආධාරය ලබාගන්න පුළුවන්.
ටියුඩර් වීරසිංහගේ නම මෙහි දී සඳහන් වන්නේ ඔහු පසුගිය දිනෙක දෙරණ නොපෙනෙන මානය වැඩ සටහනේ දී කී කරුණු දෙකක් සම්බන්ධයෙන්. මෙහි එක් කරුණක් සාකච්ඡා වෙනවා. අනෙක් කරුණ පසුවට. මට අවුරුදු දෙකකට වතාවක්වත් වැඩසටහනක් දෙන්නේ දෙරණ පමණයි. මා නරඹන්නේත් දෙරණ පමණයි. මෙය දෙරණ ගැන කෙරෙන විවේචනයක් වුවත් මගේ ආරංචිවලට අනුව අනෙක් රූපවාහිනී නාළිකාවලටත් මෙය පොදුයි. විශේෂයෙන් ම අපේ මුදලින් නඩත්තු වෙන ජාතික යැයි කියාගන්නා රූපවාහිනියට. ජනමාධ්‍යවේදීන් සාමාන්‍යයෙන් මහා පඬියන්. අප වැනි අල්පශ්‍රැතයන් මෙන් නොව බොහෝ ඇසූ පිරූ තැන් ඇතියවුන්. ඉහත කී් වැඩසටහනේ නිවේදක ද එසේ ඇසූ පිරු තැන් ඇති අයකු විය යුතුයි. දෙවියන් ඉන්නවා ද නැද්ද දේව පූජා ආදිය ගැන ද පසුගිය වැඩ සටහනෙන් සාකච්ඡා කෙරෙන බව ඔහු කියා සිටියා. ටියුඩර් වීරසිංහ මේ වැඩ සටහනෙහි දී ගම්‍යාර්ථයෙන් කියා සිටියේ බුදු හාමුදුරුවන් මෝඩයකු බවයි. එය දෙරණ ප්‍රතිපත්තිය ද කියා දැන ගැනීමට නැහැ. එහෙත් නිවේදක එය අනුමත කළ බවක් පේන්න තිබුණා.
ටියුඩර් වීරසිංහගේ තර්කය ඉතා සරළයි. එහෙත් ඔහු එය කීවේ පණ්ඩිතමානීව බටහිර දැනුම වමාරමින්. ඔවුන් දන්නේ බටහිරයන් කියන දෙයින් කොටසක්. බටහිරයන්ට අනුව ලෝකය රේඛීය ව විකාශය වෙනවා. අද ලෝකයට ඔවුන් නූතන ලෝකය කියා කියනවා (සමහර පඬියන්ට අනුව අද තියෙන්නෙ පශ්චාත් නූතනත්වයක්) . නූතනත්වයට පෙර තිබුනේ පූර්ව නූතනත්වය. මිනිසුන්ගේ දැනුම ද රේඛීය ව විකාශය වෙනවා. පූර්ව නූතනත්වයේ දැනුම ප්‍රාථමිකයි. එය විශ්වාස මත ගොඩ නැගෙනවා. මිනිස් විකාශයේ බිළිඳු අවධියේ දී මිනිසුන්ට ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි ව ඔවුන් දෙවියන් ආදීන් ගැන විශ්වාස කළා. එය වැරදියි. ඒ මෝඩ කමට, ඊනියා විද්‍යාත්මක දැනුමක් නොමැති කමට ගොඩනගා ගත් විශ්වාස. ටියුඩර් වීරසිංහ දෙවියන් ගැන සඳහන් කරන්නේ මිනිසුන් ඉතා ප්‍රාථමික අවධියක ඇති කරගත් විශ්වාසයක් ලෙසයි. බුදුන් වහන්සේ දෙවියන් ගැන දේශනා කර තිබෙනවා. ඒ බව සාකච්ඡාවට සහභාගි වූ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ද කියැවුනා. ටියුඩර් වීරසිංහ තම පඬි වදන් කියා පෑවේ ඒ අනුශාසනාවෙන් පසුව.
දැන් මෙයින් ගම්‍යවන්නේ කුමක් ද? බුදුන් වහන්සේ දෙවියන් ගැන දේශනා කර තිබෙනවා. දෙවියන් ගැන ඇත්තේ විශ්වාසයක්. මේ විශ්වාසය මිනිසුන් ගොඩනගා ගත්තේ නොදැනුම නිසා. ඊනියා විද්‍යාව හා දැනුම නොතිබූ නිසා. එසේ නම් බුදුන් වහන්සේටත් තිබී ඇත්තේ නොදැනුමක්, විශ්වාසයක් පමණයි. ටියුඩර් වීරසිංහට අනුව බුදුන් වහන්සේට තිබී ඇත්තේත් මෝඩකමක් නො වේ ද? ටියුඩර් වීරසිංහ රුසියාවේ අධ්‍යාපනය ලැබූවෙක්. ඔහු ලංකාවේ විශ්වවිිද්‍යාලයකට ඇතුල් නොවීමට හේතුවක් තිබෙන්න ඇති. අප දන්නේ නැහැ. එහෙත් ටියුඩර් වීරසිංහ ලබා ඇති අධ්‍යාපනය ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඔහු තමා බෞද්ධයකු නොවන බව පිළිගන්නවා. බෞද්ධයන් නොවන්නන්ට බුදුන් වහන්සේගේ නොදැනුම, ඊනියා විශ්වාස ගැන මෙසේ ප්‍රසිද්ධියේ පොහෝ දිනෙක කීමට ඉඩ ලැබීමෙන් ම පෙනෙන්නේ අද සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බෞද්ධ දැනුම ඉතා අසරණ තැනකට වැටී ඇති බව. මෙරට කිසිම ජනමාධ්‍යයක් නත්තල් දිනයේ දී දෙවියන් වහන්සේ ඇත් ද, දෙවියන් වහන්සේට මිනිසකු ලෙස කන්‍යා උත්පත්තියක් ලැබීමට හැකි ද ආදිය ගැන සාකච්ඡා කිරීමට ඉඩ දේවි ද?
බටහිරයන් නොදන්නා දෙයක් තමයි ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම. ඔවුන් දන්නේ පංචෙන්ද්‍රිය ඇසුරෙන් දැනුම ලබා ගැනීම පමණයි. මේ කරුණු මා නොපෙනෙන මානය 1, 2, 3 ලිපිවල සාකච්ඡා කර තිබෙනවා. ගැලීලියොලා නිවුටන්ලා ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට නොහැකී වූ පුද්ගලයන්. තමන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට නොහැකි බැවින් බටහිරයන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි වියුක්ත කතන්දර ගොතන්න පටන්ගත්තා. විද්‍යා ප්‍රවාද කියන්නේ මේ පට්ටපල් බොරු වියුක්ත කතන්දරවලටයි. බටහිරයන් ඊනියා පූර්ව නූතනත්වය කියන යුගයේදීත් මිනිසුන් කතන්දර ගොතා තියෙනවා කියා කියන්න පුළුවන්. දෙවියන් යන සංකල්පය එසේ ගෙතූ කතාවක් කියලා කාට හරි කියන්න පුළුවන්. යම් සංසිද්ධියක් තේරුම් ගැනීමට කියමින් බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පට්ටපල් බොරු කතන්දර ගෙතීම පමණයි.
බටහිරයන්ට අනුව දැනුම රේඛීය ව විකාශය වෙනවා. අද දැනුම එදා දැනුමට වඩා උසස්.. එදා දෙවියන් ගැන කතාකෙළේ නොදන්නාකමට, මෝඩකමට. අද එදා වගේ නොවෙයි. බටහිර විද්‍යාව තිබෙනවා. ඒත් මේ කතන්දරයත් ඇතුළු සියලු කතා බටහිරයන් ගොතන්නෙ රේඛීය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. රේඛීය කතාවෙ දෙවියන් වහන්සෙ ඇතුව හරි නැතුව හරි ආරම්භයක් තියෙනවා. ඊනියා පූර්ව නූතනත්වයක් ගැන කතාවෙන්නෙ දැනමේ බිළිඳු අවධියක් ගැන කියැවෙන්නේ මේ ආරම්භයක් තියෙන රේඛීය චින්තනයෙ. එය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙ ඇතිවෙන්නක්. ටියුඩර් වීරසිංහ ක්‍රිස්තියානි චින්තනයක පදනම් වෙමින් බුදුහාමුදුරුවන්ගෙ නොදැනුම්කම ගැන කියවනවා.
අපට සිංහල බෞද්ධයන්ට, දෙවියන් යනු විශ්වාසයක්, කතන්දරයක් නොව ප්‍රත්‍යක්‍ෂ දැනුමක්. එය මගේ ප්‍රත්‍යක්‍ෂය නොවන්න පුළුවන්. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂ දැනුම ලබාගන්නා ජීවමාන පුද්ගලයන් මගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක්. ආධ්‍යාත්මක උසස් තත්වයන්ට පැමිණෙන අයට කතන්දර ගොතන්නෙ නැතිව ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගන්න පුළුවන්. ප්‍රත්‍යක්‍ෂ දැනුමත් බොරු. ඒත් ප්‍රත්‍යක්‍ෂ දැනුම කතන්දර දැනුමට වඩා හොඳ බව චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂය අසමසමයි. උන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කෙළේ නිවනයි. ඒ ගැන පසුව කතාකරමු. ඒත් එකක් කියන්න ඕන. ඒ ප්‍රත්‍යක්‍ෂය උසස් පෙළ සමත් වී හෝ නොවී හෝ විශ්වවිද්‍යාලයකට ඇතුල් වී අවුරුදු විස්සක පමණ පාසල් හා සරසවි ආකෘතික අධ්‍යාපනයකින් ලබාගන්නා ආචාර්ය උපාධියක් වගේ ලබාගන්න බැහැ. ඒකට අසංඛ්‍යෙය කල්ප ලක්‍ෂ ගණනාවක් පෙරුම් පූරන්න ඕන. ඒත් දෙවියන් සමග සන්නිවේදනය කිරීමට හැකි ආධ්‍යාත්මක ශක්තිය නම් ටික කලෙකින් ලබාගන්න පුළුවන්. ඒකටත් අවුරුදු විස්සක් පමණ යාවි. ඒත් එයට ආචාර්ය උපාධියක් ලබාගන්නව වගේ නොවෙයි, පිනක් වාසනාවක් තියෙන්න ඕන.
මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 16
Related