GSP ප්ලස් හරහා සමලිංගිකත්වය වැනි කොන්දේසි ඉදිරිපත් කිරීම බලවත් අසාධාරණයක්

ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබාදීමට අදාළ යෝජනාව මේ වන විට යුරෝපා වෙළෙඳ කොමිසම විසින් යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කව...

ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබාදීමට අදාළ යෝජනාව මේ වන විට යුරෝපා වෙළෙඳ කොමිසම විසින් යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කවුන්සිලයට ඉදිරිපත්කර තිබේ. එම යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීමට අදාළව ශ්‍රී ලංකාව විවිධ කොන්දේසි සඳහා එකඟතාව පළ කළ යුතු බවට ඇතැම් පාර්ශ්ව සඳහන් කරයි. සමලිංගික විවාහ නීතිගත කළ යුතුයැයි යන්නද එවැනි යෝජනාවක් වූ බව ඔවුන් පෙන්වා දුන්නේය. ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා වන යෝජනාවක් බදාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත්ව ඇති අතර, ජනාධිපතිවරයා එයට විරුද්ධ වී ඇති බවට තොරතුරු වාර්තා විය. මෙවැනි තත්ත්වයක් යටතේ සමලිංගික විවාහ හා සම්බන්ධ සමාජ කරුණු මෙන්ම ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීම පිළිබදව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳව මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

සමලිංගිකත්වය හා ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතිය

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල් ගත් විට ලිංගිකත්වය එතරම් එළිමහනේ කතා කරන්නේ නෑ. ලිංගිකත්වය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක් වූවාට අපි ලිංගිකත්වය පිළිබඳව ලිංගික සදාචාරයක් පවත්වාගෙන යන සමාජයක්. උදාහරණයක් ලෙස ගත් විට අපේ වැඩිහිටි පරම්පරාව වුවත් තමන්ගේ භාර්යාවගේ අතින් අල්ලගෙන පාරේ යෑමට විශාල කැමැත්තක් නැති තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ලංකාවේ පුරවැසියා ලිංගිකත්වයට අකමැත්තක් තිබෙනවා කියලා. 

බටහිර රටවල්වල ලිංගිකත්වය සුලභයි. සඟවාගත් ලිංගිකත්වයක් ඔවුන්ට නෑ. ඒ සමාජයත් එයට අනුකූලව හැඩගැහිලා තිබෙනවා. නමුත් අපේ සමාජය තුළ පවතින්නේ එවැනි තත්ත්වයක් නෙවෙයි. ලිංගිකත්වය සදාචාරසම්පන්න ලෙස අත්විඳින තත්ත්වයක් තමයි අපේ සමාජය තුළ තිබෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තිබෙන සමාජයක එක්විටම සමලිංගික අයිතිවාසිකම් නීතිගත කිරීමට උත්සාහ කිරීමේදී අපේ සමාජයේ තිබෙන සංස්කෘතික හා සදාචාරසම්පන්න තත්ත්වයන් මෙයට එරෙහිව බලපානවා. 

ඉතින් සමලිංගිකත්වය වැනි දේවල් පිළිබඳව නීති ගෙන ඒමට කටයුතු කරන්නේ නම් එම නීති ගෙන එන්නන් අපේ රටේ, සමාජයේ තිබෙන සංස්කෘතික තත්ත්වයන් පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

සමලිංගිකත්වය තුළින් සමාජ ගැටලු ඇතිවිය හැකියි

සමලිංගික වේවා, විරුද්ධ ලිංගිකයන් අතර වේවා ඇතිවෙන සම්බන්ධතා වැරදි ආකාරයට භාවිත කළොත් එය සමාජයට අහිතකරයි. උදාහරණයක් ලෙස ගත්විට විරුද්ධ ලිංගික සබඳතා හොඳින් තිබුණත් අපේ තිබෙන අපරාධවල, ස්ත්‍රී දූෂණවල, ළමා අපචාරවල අඩුවීමක් සිදුවෙලා නෑ. වෙන්නේ දිනෙන් දිනම වර්ධනය වීමයි. ලිංගිකත්වය පිළිබඳව සමාජය තුළ කතිකාවතක්, සාකච්ඡාවක් අවශ්‍යවෙලා තිබෙනවා.

ඇතැම් රටවල් සමලිංගිකත්වය කියන කරුණ නීතිගත කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඇතැම් පුද්ගලයෙකුට තර්ක කරන්න පුළුවන් ඇතැම් රටවල මෙය නීතිගත කර තිබෙනවා, ඔවුන් තුළ කැමැත්තක් තිබෙනවා, ඉතින් මෙය මානව අයිතිවාසිකමක් ලෙස ගෙන ආ යුතුයි යනුවෙන්. නමුත් අපේ වගේ රටකට මෙවැනි දෙයක් කෙතරම් ගැළපේදැයි යන්න ප්‍රශ්නයක්.

මන්දයත් අපේ සමාජය මානසිකව එවැනි තත්ත්වයකට ළඟාවෙලා නෑ. ලාංකේය ජනතාවගේ තත්ත්වයන් එවැනි මට්ටමකට ළඟා වී නොමැති හෙයින් විවිධාකාරයේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගත්විට දැනට සංචාරක ව්‍යාපාරය හා තිබෙන සමලිංගික තත්ත්වය වැනි දේවල්වලට නීත්‍යානුකූලභාවය ලැබුණොත් එයින් වෙනත් සමාජයීය ගැටලු පවා ඇතිවිය හැකියි. විශේෂයෙන්ම සමලිංගික ක්‍රියාකාරිකයන් සමාජය තුළ වැඩි වීම හරහා විවිධ ලිංගික ලෙඩ රෝග ඇතිවෙන්නත් පුළුවන්. අවසානයේ එය සමාජ ප්‍රශ්නයක් බවට පවා පත්විය හැකියි.


ගණිකා වෘත්තිය, සමලිංගික විවාහ නීතිගත කිරීම ගැටලුවලට පිළියමක්ද? 

ලිංගිකව සිදුවන අපචාර, ස්ත්‍රී දූෂණ වැනි අපරාධ දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. මෙයට ප්‍රධාන හේතු ගණනාවක් පවතිනවා. මම මුලින් කතාකරපු ලිංගිකමය සදාචාරය අනවශ්‍ය ලෙස සමාජය තුළ පවත්වාගෙන යාම තුළ විවිධ ගැටලු ඇතිවෙනවා. එක්තරා අවස්ථාවකදී ලිංගිකමය කරුණු ඇතුළත් වෙබ් අඩවි තහනම් කළා. නමුත් අන්තර්ජාලය තුළ ලිංගිකත්වයට අදාළ කරුණු පිළිබඳව සොයා බැලීම එයින් අඩු වුණේ නෑ. දිගින් දිගටම එය වර්ධනය වීමක් තමයි වුණේ. 

තරුණ තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාවන්, අධ්‍යාපනික හා රැකියා ඇතුළු වෙනත් කරුණු හේතුවෙන් පසුපසට යෑමත් ගැටලුවක්. මෙවැනි කරුණු හේතුවෙන් ලිංගිකත්‍වය යන කරුණු පසුපසට දැමීමේ හැකියාවක් නෑ. ඒ හේතුවෙන් ලිංගික ආශාවන් සංතර්පණය කරගැනීම සඳහා විවිධ පුද්ගලයන් විවිධ අයුරින් කටයුතු කරනවා. මෙවැනි තත්ත්වයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. නමුත් සමාජය තුළ නැත්තේ මෙයයි. එහෙයින් මේ පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇතිකරමින් එවැනි ගැටලු විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැන සාකච්ඡා කළ යුතුයි.

එකපාරටම කවුරුහරි සඳහන් කළහොත් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා එතැනදීත් බරපතළ සමාජ අර්බුදයක් ඇතිවිය හැකි බවට සදාචාරවාදීන් දකින්න පුළුවන්. අපේ රට තුළ දැනටත් බරපතළ වශයෙන් මෙන්ම ඉතාමත්ම සැහැසි ආකාරයෙන් ලිංගික අපචාර සිදුවෙනවා. මේ පිළිබඳව අපගේ සදාචාරය, සංස්කෘතිය, නීතිය වැනි කැරුණු යටතේ සාකච්ඡා කළ යුතුයි. 

ජී.එස්.පී. ප්ලස් හා සමලිංගිකත්වය

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට සමලිංගිකත්වය වැනි අපේ සංස්කෘතියට පටහැනි කරුණු නීතිමය තත්ත්වයක් යටතේ ගෙන ඒමට යුරෝපා සංගමය කොන්දේසි ඉදිරිපත් කිරීම බලවත් අසාධාරණයක් ලෙසයි මම නම් දකින්නේ. එය බටහිර රටවල් අනවශ්‍ය ආකාරයට අපේ රටට මැදිහත්වීමක් ලෙස හා අපි බටහිර රටවල්වලට ඕනෑවට වඩා කීකරු අතවැසියන් බවට පත්වීම තමයි එතැනදී දකින්න පුළුවන්. ඊට වැඩිය අපේ අභිමානවත් රාජ්‍ය පාලනයක් තිබිය යුතුයි. 
ජි.එස්.පී ප්ලස් අවශ්‍යද නැත්ද කියන දේ වෙනම කතා කළ යුතුයි. නමුත් අපේ සමාජය තුළ බුද්ධිමතුන් හා උගතුන් සිටිනවා. ඔවුන් ජනමාධ්‍ය තුළ ඉදිරියට ඇවිත් එකට එක්ව සාකච්ඡා කර අපේ රටට අවශ්‍යනම් පමණක් එය ගෙන ආ යුතුයි. එහෙම නැතිව බටහිරට අවශ්‍ය නිසා, මුදල් අවශ්‍ය නිසා සමලිංගිකත්වය වැනි කරුණු නීතිගත කිරීම සාධාරණ නෑ. 

එසේම සහනයක් ලබාදීමට යුරෝපා සංගමය කොන්දේසි පැනවීම හරහා ඔවුන් තවමත් අප වැනි රටවල් දිහා බලන්නේ ගෝත්‍රික මනසකින් බවට පැහැදිලියි. එතැනින් අපි ඉවත්විය යුතුයි. යුරෝපීය සමාජය ඒ අයගේ සහනාධාර ලබාදීම සඳහා එවැනි කොන්දේසි පැනවීමට රටක් ලෙස අපි විරුද්ධ විය යුතුයි.

රාජතාන්ත්‍රික ලෙස විසඳා ගැනීම

පසුගිය කාලයේදී අපිට ජී.එස්.පී නැති කළා. එය නැතිවුණා කියලා රටක් ලෙස අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සාගින්දරේ හිටියෙ නැහැනේ. ජී.එස්.පී සහනය නැති වුණත් අපේ ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණය කර ගැනීමේ හැකියාව අපට තිබුණා. අපි ඕනැවට වැඩිය බටහිරින් යැපෙන්න යාම තුළ තමයි මේ ගැටලු පැනනගින්නේ. අපි රජයකින් බලාපොරොත්තු වන්නේ හොඳ කළමනාකරණයක්. එය හොඳ ආර්ථික කළමනාකරණයක් විය යුතුයි. හොඳ සමාජ කළමනාකරණයක් විය යුතයි. සමාජ ප්‍රතිපත්තීන් කළමනාකරණයක් විය යුතුයි. අපට නිසි කළමනාකරණයක් තිබේ නම් අනවශ්‍ය ආකාරයෙන් බටහිර සමාජය කොන්දේසි නොදමාවි.

මෙවැනි ගැටලුවලට විසඳුම් ලබාදීමේදී අපේ පාලකයන් අභිමානයකින් කටයුතු කළ යුතුයි. අපි වෙනත් අය කියන ලෙසට රට මෙහෙයවිය යුතු නෑ. අපට දැක්මක් තිබිය යුතුයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට රට පිළිබඳව හෝ රටේ තිබිය යුතු තත්ත්වයන් මොනවාද යන්න පිළිබඳව නිවැරදි දැක්මක් නෑ. එක් එක් පුද්ගලයාගේ දැක්මට අනුව රට පැවතිය යුතුයැයි ඒ ඒ දේශපාලනඥයාගේ දර්ශනය අනුව සිතනවා. ඒ නිසයි අපේ රට අවාසනාවන්ත තත්ත්වයට පත්ව තිබෙන්නේ.

ජනපති අකමැත්ත හා ආණ්ඩුවේ විවිධ මත 

ජනපතිවරයා මෙයට විරුද්ධ වී තිබෙනවා. ආණ්ඩුවේ පිරිසක් එය නීතිගත කරන්න හදනවා. විධායකය විරුද්ධ වෙද්දී ව්‍යවස්ථාදායකය එය සම්මත කරගන්න හදනවා. එහෙමනම් මෙතනම ගැටීමක් තිබෙනවා. පක්ෂ දෙකක් මෙහෙයවනු ලබන ආණ්ඩුවකට බොහෝ දුර ගමනක් නෑ. කොතැනකදී හෝ ගැටෙනවා. මේ කරුණින්ම එය ඔප්පු වී තිබෙනවා. 

ජනාධිපතිවරයා විරුද්ධ වෙනවා, ආණ්ඩුවේ එක් පක්ෂයක් එය සම්මත කර ගැනීමට උත්සාහ කරනවා. එය බරපතළ තත්ත්වයක්. ආණ්ඩුව කටයුතු කළයුතු වන්නේ මෙවැනි කරුණු සඳහා සියල්ල එකඟවීම හෝ එකඟ නොවීම මතයි. එවැනි තත්ත්වයක් පෙනෙන්නට නෑ කියන්නේ එය බරපතළ අර්බුදයක්.

-ada.lk




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 5751376940277624998

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item