මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය පිටුපස රහස හෙළිවෙයි
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය පිටුපස රහස හෙළිවී ඇති අතර, එය බැකෝ සමන් නම් පුද්ගලයාට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ බව පොලීසිය...

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය පිටුපස රහස හෙළිවී ඇති අතර, එය බැකෝ සමන් නම් පුද්ගලයාට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ බව පොලීසිය විමර්ශන මගින් තහවුරු කරගෙන තිබේ. අනුර විදානගමගේ (කජ්ජා) සහ ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කර ඇති අතර, අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් අධික ණය බරකින් පෙළීම හේතුවෙන් බැකෝ සමන්ගේ කොන්ත්‍රාත්තුවක් මත මෙය කළ බවයි.
පසුගිය පෙබරවාරි 18 වන දින මිද්දෙණිය ප්‍රදේශයේදී කජ්ජා නැමැත්තා නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර, එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මිය ගියහ. මෙම සිද්ධිය පිළිබඳ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී, වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (5) දිනයේදී වෙඩික්කරු, ඝාතනයට ආධාර අනුබලදුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවටගත් වෙඩික්කරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, ඩුබායිහි සිටින බැකෝ සමන් නැමැත්තාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරි 10, 11 හා 12 යන දිනවලදී කජ්ජා ඝාතනය කිරීමට උත්සාහ දැරූවද එය අසාර්ථක වූ බවයි. අනතුරුව බැකෝ සමන්ගේ සමීපතමයෙක් වන ඩුබායිහි සැඟව සිටින ළහිරු නැමැත්තාගේ උපදෙස් මත කජ්ජා ඝාතනය කිරීමට පසුගිය පෙබරවාරි 18 වන දින යතුරුපැදිකරුවකු සමග පිටව ගිය බව ද වෙඩික්කරු පාපොච්ඡාරණය කර තිබේ.
යතුරුපැදිකරුව ළහිරු නැමැත්තා විසින් දුරකථනයෙන් මෙහෙයවා ඇති අතර, කජ්ජා එනතුරු ඔවුන් ඝාතනය සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසල රැඳී සිට ඇති බව පොලීසිය පවසයි. පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉදිරියට යෑමේදී මුහුණට මුහුණ හමු වූ කජ්ජා, සිය දරු දෙදෙනා සමග යතුරුපැදියෙන් ගමන් ගන්නා අයුරු දැක යතුරුපැදිය හරවාගෙන හඹාවිත් වෙඩි තැබීම සිදුකළ බව වෙඩික්කරු පොලීසිය හමුවේ පවසා තිබේ.
වෙඩික්කරු පවසා ඇත්තේ තමන් දරු දෙදෙනා දැක වෙඩි තැබීමට නොහැකි බව පැවසූවද, යතුරුපැදිකරුගේ බලකිරීම මත එය සිදුකළ බවයි. තමා යතුරුපැදියේ හිඳගෙන ගිනිඅවිය උකුල මත තබාගෙනම වෙඩි තබා පලාගිය බව ඔහු පාපොච්ඡාරණය කර තිබේ. වෘත්තියෙන් පෑස්සුම් ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති වෙඩික්කරු, අපරාධකරුවන් භාවිත කර ගිනිඅවිවල දෝෂ ඇති වූ විට ඒවා අලුත්වැඩියාකිරීම් ද සිදුකර ඇති බව පොලීසිය පවසයි. පොලිසිය සැකපළකරන්නේ මොහු පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවකු බවට සැකපළකරන බවය
Related