වාමාංශික පුස්සන් දිවා රෑ රනිල්ට ලියන සහතික ගැන වචනයක්...

“අපේ නූතන ජීවිත ලස්සන කරන්න රනිල්ට ඡන්දය දෙන්න” යනුවෙන් වරෙක මගේ වාමාංශික මිත්‍රයෙක් ඔහුගේ ෆේස්බුක් කොමෙන්ටුවක සටහන් කර තිබිණි. ඔහු වාමාංශි...

“අපේ නූතන ජීවිත ලස්සන කරන්න රනිල්ට ඡන්දය දෙන්න” යනුවෙන් වරෙක මගේ වාමාංශික මිත්‍රයෙක් ඔහුගේ ෆේස්බුක් කොමෙන්ටුවක සටහන් කර තිබිණි. ඔහු වාමාංශිකයෙක් වීමෙන් නොනැවතී පශ්චාත් නූතනවාදය ගැනද කතා කරන හා කියවා ඇති අයෙක් වීමද විශේෂත්වයකි. තවත් සමාජවාදියකු යැයි කියාගන්නා පුද්ගලයෙකු පසුගියදා වෙබ් අඩවියක ලියා තිබුණේ මෙවර ජවිපෙට පවා ඡන්දය දීමෙන් වැලකී එජාපය දිනවිය යුතු බවකි. රනිල්ගේ මිනීමරු සාම වැඩපිලිවෙල ජාතික ගැටලූවට හොඳම විස`දුම බව පිළිගන්නා මේ අපූරු වාමාංශිකයා එජාපය සාපේක්ෂව ශුද්ධ වශයෙන් ධනවාදී බවත්, එජාපය බලයට පත්කර ගැනීමෙන් පසු තමන්ට ජාතිවාදයෙන් තෙම්පරාදු නොවූ ධනවාදයක් සමඟ සටන් කළ හැකි බවත් පවසයි. මේසා නිවට එන්ජී ඕ වාමාංශිකයන් දකින විට වාම නැඹුරුවක් සහිත පුද්ගලයකු වන මටද විටෙක මා ගැන ඇතිවන්නේ දැඩි ලැජ්ජාවකි. එසේ වුවද මේ අන්දමට උග්‍ර වාමාංශිකයන් හා කසිකබල් පශ්චාත් නූතනවාදීන්, පාදඩ ධනවාදී රනිල් වෙනුවෙන් සහතික ලිවීම කිසිසේත්ම අලූත් ප්‍රවණතාවක් නොවේ. එය කාලයක සිට පවතින ප්‍රවණතාවකි. ඔවුන්ගේ මේ පරස්පර හා විගඩම්කාරී හැසිරීම වෙනම විග්‍රහ කළ හැකි කාරණයක් වුවත්, මේ පිළිබඳ ඔවුන් කියන්නේ මෙවැනි කතාවකි.

ඔවුන්ට අනුව මහින්ද යනු ආසියාතික අගතීන් සහිත ජාතිවාදී වැඩවසම් නායකයෙකි. නමුත් රනිල් යනු ජාතිවාදයෙන් තොර ඉදිරිගාමී ලිබරල් ධනේශ්වර නායකයෙකි. ඔහු කිසිසේත්ම සමාජවාදියකු නොවුනද පසුගාමී ආසියාතික අගතීන්ට වඩා ලිබරල් ධනවාදය ඉදිරිගාමී හා සමාජවාදයට ආසන්න එකකි. ඒ නිසා වඩා ප්‍රගතිශීලී හා නූතනවාදී ක්‍රියාමාර්ගය වන්නේ රනිල්ට සහය දීමය. 

මේ වාමාංශිකයන් නානා මාදිලියේ වචන පටලවමින් විවිධ ස්වරූපයෙන් කියන ඕනෑම කතාවක මූලික සාරාංශය මෙවැන්නකි. තමන්ගේ මනෝ ලෝක තුළ පමණක් ක්‍රියාත්මක වන සමාජ සංවර්ධන සිද්ධාන්තවලට අනුව ඔවුන් ප්‍රශ්නය විග්‍රහ කර ගන්නේ එසේය. මේ අපූරු විග්‍රහයට අනුව නූතන දියුණු ධනේශ්වරය ආගම්වාදයෙන් හා ජාතිවාදයෙන් තොර එකක් බවද ඔවුහු විශ්වාස කරති. අනෙක් අතින් ඊනියා ලිබරල් ශිෂ්ඨත්වයේ අශිෂ්ට ඇතුළාන්තයද ඔවුන්ට මෙහිදී අමතකය. ඔවුන්ගේ සමාජ සංවර්ධන තර්කය මොන තරම් පුස්සක්ද යන්න පෙන්වා දිය හැකි බොහෝ කාරණා ඇතත් මේ ලිපියෙන් මා අපේක්ෂා කළේ එවැන්නක් නොවේ. මෙහි අරමුණ වන්නේ වැඩවසම්වාදය හෝ ලිබරල්වාදය ගැන ඔවුන්ගේ තර්කවලට අනුවම කල්පනා කළත් රනිල් වික්‍රමසිංහ ඔවුන් කියන ආකාරයේ වීරයෙකු නොවන්නේ කෙසේද යන්න පෙන්වාදීමය. 

කියන කතා
මේ පිරිස සෘජුව හෝ වක්‍රව පවසන ආකාරයට රනිල් නියම ලිබරල් ධනේශ්වර නායකයෙකි. ආර්ථික කළමණාකරණය ගැන හොඳ හැකියාවක් ඇති උගතෙකි. දූෂිත හා අයථා ක්‍රියාවලින් තොර පිරිසිදු මහත්මයෙකි. බාල දේශපාලන සෙල්ලම්වලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන දක්ෂ දේශපාලඥයෙකි. ඔහු ජාතිවාදයෙන් තොරය. සුළු ජාතීන්ගේ අයිතීන්ට ගරු කරයි. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඒ නිසාම අන්තර් ජාතික ප්‍රජාව සමඟ සහයෝගයෙන් නව සියවසට ගැලපෙන ඉදිරි ගමනක් යාමට නම් අපට රනිල් වැනි නායකයකු වුවමනාය. මේ ආදී වශයෙන් ඔවුන් රනිල් ගැන කියන කතා බොහෝය. එවැනි අදහස් දරන විකල්ප ගෝත්‍රිකයන් පිරිසක් මෙවර තම සියලු වෙස් මුහුනු ගලවා තබා රනිල් දිනවීම වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටිති. මොවුන්ගේ මේ කතාවල වලංගුභාවය වටහා ගැනීමට නම් ඒවා රනිල්ගේ සැබෑ දේශපාලන ජීවිතය සමඟ ගලපා බැලිය යුතුය. එවිට අපට දැකගත හැකි වන්නේ කුමක්ද?

ඇත්ත කතාව
රනිල් තම දේශපාලනය ආරම්භ කරනුයේ 1977 සිට දාහත් වසරක් මේ රට පාලනය කළ මෙරට ඉතිහාසයේ බිහිවූ දූෂිතම හා මර්දනකාරීම ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙනි. රාජ්‍ය දුරාචාරය, කළු සල්ලි හා මැර බලය ආදී දෑ මෙරට දේශපාලනයේ නිත්‍ය අංගෝපාංග බවට පත්කළ ජේ.ආර් ජයවර්ධන නැමති විනාශකාරී නායකයා නෑ කමින් පමණක් නොව දේශපාලන වශයෙන්ද රනිල්ට බොහෝ සමීප පුද්ගලයෙකි. ඒ අනුව 17 වසරක සාපයේ සාමූහික වගකීම රනිල්ට අදාල වනවා සේම ඔහු පෞද්ගලිකවද ඒ පාලනයට අදාල අයථා ක්‍රියා සඳහා නොමඳව දායක වූ අයෙකි. ඔහු එකල විශ්ව විද්‍යාලවල ඇතිවූ අරගල පාලනය කිරීම සඳහා මැදිහත් වූ අයෙක් වන අතර ඒ සඳහා බාහිර මැර පිරිස් යොදාගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි. ජයවර්ධන ආණ්ඩුවේ නිල මැරයා වූ ගෝනවල සුනිල්, රනිල්ගේ සමීප හිතවතකු වූ අතර ස්ත්‍රී දූෂණය නිසා ලත් සිර දඬුවමින් ගෝනවල සුනිල් නිදහස් කර ගැනීම සඳහා තම මාමා පොළඹවාගෙන තිබුණේද රනිල් විසිනි. එසේම ඔහු ඇමති බලතල අයථා ලෙස භාවිතා කරමින් බටලන්දේ වධකාගාරයක් පවත්වා ගෙන ගිය අතර ඊට අදාලව පසු කළෙක පත්කළ බටලන්ද කොමිසම මඟින් රනිල්ගේ ප්‍රජා අයිතියද අහෝසි කොට තිබේ. බටලන්ද කොමිසමේ වාර්තාව යනු රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල තරම ගැන වාමාංශිකයන්ට බොහෝ කරුණු උගත හැකි වැදගත් ලියවිල්ලකි.

විශම මිනිසා
අනෙක් අතට රනිල් යනු බෙහෙවින් අසමතුලිත හා බිදුණු පෞර්ෂයක් ඇති පුද්ගලයෙකි. නිල උගත්කම් ඔහුට තිබුණද පියවි සිහිය අතින් ඔහු මන්ද මානසික තත්ත්වයක පසුවන්නෙක් වැනිය. 2005 ජනාධිපතිවරණයේදී ඔහු රටේම විහිළුවට ලක්වූයේ මැතිවරණ වේදිකාවලදී දිගින් දිගටම තම කතාවල එන අති සරල තොරතුරු පටලවා ගැනීම හේතුවෙනි. රනිල්ගේ බොහෝ හැසිරීම් අන්‍යයන් තුළ හාස්‍යය ඉපදවීමට සමත්ය. ඔහුගේ ලිංගික රුචිකත්වය කෙබන්දක්ද යන්න ප්‍රසිද්ධ රහසක් වන අතර ඔහු විවාහ වූයේද කලවයස ඉකුත් වූ පසුවය. එම විවාහය බොහෝ විට නාමමාත්‍රික එකක් වීමට ඉඩ ඇති අතර දරුවන් ලැබීමේ වාසනාවද ඔහුට හිමිව නැත. මේ නිසාම දරුවන් දෙමාපියන් අතර, සැමියන් හා බිරින්දෑවරුන් අතර ඇති මිනිස් සම්බන්ධතාවල ගැඹුර හෝ එහි ඇති සූක්ෂමතාවන්ට රනිල්ගේ මනස අසංවේදීය. බටලන්ද වදකාගාරයේදී සිරකරුවන්ට පමුුණුවන සාහසික වද හිංසා ඇසෙන පෙනෙන සීමාවක තම නිවස පිහිටුවා ගැනීමට රනිල් පෙළඹෙන්නට ඇත්තේ කුමක් නිසාද? මේවා හුදු ඔහුගේ පෞද්ගලික ජීවිතයට අදාල කාරණා යැයි යමකු කිව හැකි වුවද පෞද්ගලික ජීවිතයේ විශමතා දේශපාලනය කෙරේද දරුණු ලෙස බලපාන බව අප විසින් අමතක කළ යුතු නොවේ. තමන්ගේ සිරුර තමන් විසින්ම කපා ගනිමින් ඒ ලේ දැක සතුටුවන මත්ලෝලියකු සේ ඉතා පහසුවෙන් මේ රට පිළිබඳ අතිශය සාහසික තීන්දු ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකිවීම පිටුපස ඇති සියුම් කාරණා මොනවාදැයි මෙහිදී අවධානයට ගත යුතුව තිබේ.

ආර්ථික කළමණාකරණය
මීළඟට ආර්ථික කළමණාකරණය අතින් රනිල් සැලකිය හැක්කේ කිසිම ආකාරයක දක්ෂ ලිබරල් නායකයකු ලෙස නොව සෑම අතින්ම අතිශය අදක්ෂ හා බෙහෙවින් විනාශකාරී නායකයෙකු වශයෙනි. 2002- 2004 යුගයේදී ඔහු පෙරට ගත් ආර්ථික වැඩපිළිවෙල යනු තමන්ගේ මව ගණිකා මඩමකට විකුණා ඒ මුදලින් සූදු කෙලින පවුකාර පුත්‍රයෙකු ගැන අතිශෝක්ති කතාවක් අපට සිහිගන්වන්නකි. කිසිදු ලිබරල් සිද්ධාන්තයකට අනුව හෝ සාධාරණීකරණය කළ නොහැකි ආකාරයේ ස්වයං විනාශකාරී වසල පෞද්ගලීකරණ ප්‍රතිපත්තියක් රනිල් අනුගමනය කළ අතර ඒ ප්‍රතිපත්තිය තුළ පවා ඔහු හැසිරෙන ලද්දේ සාර්ථක පුද්ගලයෙකු ලෙස නොව සියල්ල පටලවා ගත් අසාර්ථක පුද්ගලයෙකු වශයෙනි. රනිල්ගේ අසංස්කෘතික විශම මනසද මේ හැසිරීමට පිටුබලය සපයා තිබූ අතර දූෂණ අක්‍රමිකතා ආදියද මේ සියලූ අවුල් මැද නිරුපද්‍රිතව සිදුවී තිබිණි. ජනවාරි අට වෙනිදායින් පසු ගෙවී ගිය හයමාසයක කාලයද ඔහුගේ මෙම අසාර්ථකත්වයේ කදිම පිළිඹිබුවක් වන අතර මීට අදාල නිශ්චිත තොරතුරු මා විසින් ලියන ලද වෙනත් ලිපිවල ඇතුළත් කර තිබේ.

ජාතිවාදය
රනිල්ට කළ හැකි මීළඟ ලොකුම විහිළුව වන්නේ රනිල් ජාතිවාදයෙන් තොර යැයි වාම නිවටයන් කියන කතාවය. රනිල් යනු මෙරට වැඩිපුරම ජාතිවාදය පෝශණය කළ පක්ෂයේ වත්මන් නායකයා වනවා පමණක් නොව පෞද්ගලිකව ඊට සැපයූ දායකත්වය අතින් සියලූ එජාප නායකයන් ඉක්මවා සිටින්නෙකි. මෙරට ජාතිවාදයේ සාහසිකම ප්‍රකාශණය වූ දෙමළ බෙදුම්වාදයට හා සාහසිකම ප්‍රකාශනයක් වීමට නියමිත මුස්ලිම් අන්තවාදය සමඟ රනිල්ට ඇත්තේ නොබිඳිය හැකි සහජීවන සම්බන්ධයකි. ඔහු මේ මොහොතේ ඊළාම් සිතියම සහිතව උතුරේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවන්නේ මැතිවරණය නිමාවන තුරු හෝ තම ජාතිවාදී හෙළුව සඟවා ගැනීමට ඔහුට නොහැකි නිසාය. රනිල්ටම හරියන වාමාංශික ඇබිත්ත පිරිසක් ඔහුට සිටින බැවින්, ජාතිවාදී පදනමින් රට බෙදීම ජාතිවාදයක් ලෙස නොදකින මේ නිවට වාමාංශිකයෝ ඊට එරෙහි වීම ජාතිවාදය වැපිරීමක් බව පවසති. රනිල් යනු ජාතිවාදයට හා බෙදුම්වාදයට පමණක් නොව ඒ මත පදනම් වූ ත්‍රස්තවාදයට පවා අසීමිත වරප්‍රසාද හා රාජ්‍ය අනුග්‍රහය සැපයූ අයකු වන අතර ඒ සා නිවට ලෙස ත්‍රස්ත සංවිධානයක් ඉදිරියේ රට දණ ගැස්වූ නායකයකු ලෝකයේ තව සිටී දැයි සොයා බැලිය යුතුය. මේ පිළිබඳ නිශ්චිත තොරතුරු යම් ප්‍රමාණයක් රනිල්ගේ 2002-2004 සාමය ගැන මා විසින් රචිත පහත ලිපියේ ඇතුළත් කර තිබේ. 

තවත් කරුණු
රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යනු හතරට නැමීම සහ දණ ගැසීමට සීමා වන ඒවා වෙයි. රනිල් තම දේශපාලන උපාය ඥානයේ තරම අපට පෙන්වා දෙන්නේ දිගින් දිගටම මැතිවරණ විසිනමයක් පරාජයට පත්ව තම පාක්ෂිකයන්ගේ හා එජාප හිතවාදී බලවේගවල වැඩිම වෛරයට පාත්‍රවූ නායකයා වශයෙන් ඉතිහාසයට එක්වෙමිනි. ඔහුගේ උපාය ඥානයෙන් ඔහු ලත් එකම ප්‍රයෝජනය වන්නේ සියලූ කැරලි මැද පවා මෙතෙක් කල් පක්ෂ නායකත්වය බේරාගැනීමට ඔහු සමත් වීමය. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ තරම පසුගිය මාස හය තුළම අප ඉදිරියේ වැගිරෙන්නට පටන්ගෙන ඇත්තේ ජනබලයකින් තොර පළමු පික්පොකට් අගමැතිවරයා සහ මෙරට ලොකුම මූල්‍ය වංචාව පිළිබඳ තවත් වාර්තා දෙකක් ලංකා ඉතිහාසයට එකතු කරමිනි. යහපාලනයේ කොන්දේසි කඩකළ තවත් සිදුවීම් දහස්ගණනක් මේ මාස හය තුළ වාර්තා කිරීමට රනිල් සමත්ව ඇත්තේ මහ මැතිවරණය පසුවන තුරු ව්‍යාජ ලෙස හෝ යහපාලනය රඟදැක්වීමට තමන්ට ඇති නොහැකියාව මැනවින් විදහා දක්වමිනි. මා මෙහි සඳහන් කරන මූලික කාරණාවලට අදාල නිශ්චිත සිදුවීම් මොනවාදැයි මේ ලිපියේ ඉදිරිපත් කර නැතත් ඒ නිශ්චිත සිදුවීම් තොරතුරු දෙස බලන අයෙකුට තත්ත්වය මා මෙහි සංක්ෂිප්තව කියන තරමටත් වඩා බෙහෙවින් බරපතල බව පෙනීයනු නොඅනුමානය. 

ඇබිත්තයන්ගේ ඛේදවාචකය
ඒ අනුව රනිල්ගේ භූමිකාව සාධාරණීකරණය කිරීමට ලිබරල්වාදයෙන් තියා කිසිදු වාදයකින් තර්ක සොයාගැනීම කළ හැක්කක් නොවේ. ඔහු කිසිම ආකාරයක දියුණු ලිබරල් නායකයෙක් නොව පවත්නා පාදඩ දේශපාලනයේ සියලූ කැලිකසල යහමින් සිරුරේ තවරාගත් ලුම්පන් සූදුකාරයකු වැනි ඉතා දුප්පත් අසාර්ථක නායකයෙකි. විශම හා අසංස්කෘතික මනසින් යුත් මේ පුද්ගලයාට රට පිළිබඳ ඕනෑම විනාශකාරී තීන්දුවක් ගැනීම ඉතා ලේසියෙන් කළ හැකිය. ජාතිවාදයෙන් පමණක් නොව ඒ මත පදනම් වූ මිනීමරු ත්‍රස්තවාදයෙන්ද හොඳහැටි තෙම්පරාදු වී ඇති මේ නායකයාගේ මනස කිසිදු සාහසික ක්‍රියාවක් හමුවේ පවා ප්‍රතික්‍රියා නොදක්වන්නකි. සටන් විරාමයක නාමයෙන් ත්‍රස්ත කල්ලියක් හමුවේ මුළු රටම දණගස්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ දින දින ගලා යන ලේ ගංගාව දෙස තෘප්තියෙන් බලා සිටිය හැකි මිනිසකුගේ විකෘති ඇතුළාන්තය අප විසින් වටහා ගත යුත්තේ කෙසේද?

අද රනිල් වික්‍රමසිංහව ලී ක්වාන් යූ කෙනෙකු කිරීමට උත්සාහ ගන්නා ඔහුගේ වාමාංශික ඇබිත්තයන්ගෙන් මේවාට පිළිතුරු බලාපොරොත්තු වීම කළ යුත්තක් නොවේ. ඒ වාමාංශිකයන්ගේ ඛේදවාචකය වෙනම විග්‍රහ කරගත යුතු ප්‍රශ්නයකි. රටේ වාසනාව වන්නේ මේ ඇබිත්තයන්ට කිසිදු ජනබලයක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වීරයාව විසිනම වතාවක් පරාජය කොට, බලය ගත් අවස්ථාවල පවා ඔහුගේ ගමන අතරමග අඩාල කිරීමට මේ රටට ආදරය කරන බලවේග සමත් වීමය. කලක සිට ජනතා විමුක්ති පෙරමුණද තම අතීතයට පිටුපා රනිල්ට ඇබිත්තකම් කිරීමේ රාජකාරිය බාරගෙන තිබේ. ඔවුන්ටද ඒ පිළිබඳ කෘතගුණ සැලකීමට මෙවර මැතිවරණය ඉවහල් කරගත යුතු බව අවසාන වශයෙන් සටහන් කරමි.

ඉසුරු ප්‍රසංග



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 2258293495124299260

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item