ජනප්‍රිය නළුවො දහදෙනෙක් අතර හිටියත් මා ජනප්‍රිය බව මම දන්නවා - ජනිත් වික්‍රමගේ

ජනිත් වික්‍රමගේ ගේ නම කියූ සැණින් අපි කාටත් මතක් වෙන්නෙ කටකාර දඟකාර විසේකාර චරිතයක්. මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘ප්‍රවේගය’ චිත්‍රපට...


ජනිත් වික්‍රමගේ ගේ නම කියූ සැණින් අපි කාටත් මතක් වෙන්නෙ කටකාර දඟකාර විසේකාර චරිතයක්. මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘ප්‍රවේගය’ චිත්‍රපටයෙත් ඔහු නිරූපණය කරන්නේ තමන්ගෙ යාළුවා වෙනුවෙන් ජීවිතය වුණත් දෙන්න සූදානම් චරිතයක්. හැබැයි ඒ වුණාට මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ සතියේ දිනවල රාත්‍රී 8.30ට විකාශය වෙන ‘සඳ දියවර’ ටෙලි නාට‍්‍යයෙ අහිංසක පෙම්වතාගේ චරිතයට පණ පොවන්නෙත් ජනිත් ම තමයි.

එකපාරටම අහිංසක පෙම්වතා වුණු ජනිත් වික්‍රමගේ සමඟ  කළ රසවත් කතා බහයි මේ.

ඇත්තට ම කොහොමද ජනිත් එකපාරටම අහිසංක පෙම්වතෙක් බවට පත්වුණේ?

මට පහුගිය කාලෙ ගොඩක් ලැබුණේ දඩබ්බර සහ දඟ චරිත. ජනිත් කිව්ව ගමන් කාටවත් අහිංසක කෙනෙක් මැවෙන්නෙ නෑ. ‘සඳදියවර’ නාට්‍යයෙ අනුරාධ චරිතෙ සමඟ තමයි මම අහිංසක පෙම්වතෙක් වුණේ. ඒ චරිතයට ප්‍රේක්ෂකයොත් ගොඩක් ආදරෙයි. මම ඒ චරිතෙත් එක්ක රූගත කිරීම් අවසන් වෙනකන්ම ජීවත් වුණා. අනුරාධගෙ චරිතය මම ගොඩක් ආශාවෙන් රඟපෑවේ.

ඒ කියන්නෙ ඔබ සැබෑ ජීවිතයෙදිත් අහිංසක පෙම්වතාගෙ චරිතයට කැමැතියි කියල ද? කියන්නෙ.

මම සැබෑ ජීවිතයෙදිත් ගොඩක් අවංක කෙනෙක්. ඒ වගේ ම මම මගේ නිදහසට හරි කැමැතියි. (වැරදි දේවල් කරන්න නෙවෙයි) මම තනිවෙලා ඉන්න ගොඩක් කැමැති කෙනෙක්.

ජනිත් මගේ ප්‍රශ්නයට උත්තරය ආවෙ නෑ. මම ඇහුවෙ ඔබ සැබෑ ජීවිතයෙදිත් අහිංසක පෙම්වතෙක් වෙන්න කැමැතිද කියල.

මම කොහොමත් අහිංසකයි තමයි. මම ගොඩක් විශ්වාස කරන එකක් තමයි මම ආදරය කරන කෙනා, විවාහ වෙන කෙනා මගේ අම්ම වගේ ගුණාංග තියෙන කෙනෙක් වෙන්න ඕන කියන එක.

එතකොට ඔබ කැමැති කෙනාගෙ ගුණාංග මොනවාද?

මේ සමාජෙ තියෙන පුහු දේවල්වලට රැවටෙන්නෙ නැති, පොළවෙ පය ගහලා ජීවත්වෙන‍ කෙනෙක් වෙන්න ම ඕන.

ජනිත් මේ දවස්වල මොනවද කරන්නෙ?

මගේ ‘මිනිස්ටාර්’ වේදිකා නාට්‍යය මේ දිනවල වේදිකාගත කරනවා. සෑම ඉරිදම හිරු TV එකේ ‘දාන්න පහක්’ වැඩසටහන කරනවා. මේ දිනවල චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍ය දෙකක් ගැන කතා කරමින් යනවා.

‘ප්‍රවේගය’ ඔබේ චරිතය ගැන කතා කළොත්?

‘ප්‍රවේග‍ෙය’ මගේ චරිතයෙ නමත් ජනිත් ඒ චරිතයෙ ලොකු පරාස වලට යන්න තිබුණේ නෑ. හේමාල්ගෙ හොඳ මිතුරෙකු ලෙස තමන්ගෙ යාළුවා වෙනුවෙන් පණ වුණත් දෙන්න සූදානම් අවංක තරුණයෙකුගෙ චරිතයක් ඒක.

චරිතයක් විදිහට වඩා මට චිත්‍රපටයක් විදිහට ‘ප්‍රවේගය’ සුවිශේෂයි. මම රඟපාපු 04වැනි චිත්‍රපටය තමයි මෙය. ‘ප්‍රවේගය’ කියන්නෙ ලොකු වියදමක් දරලා හදපු චිත්‍රපටයක්. ඒ වගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබීම භාග්‍යයක්.

ජනිත් වික්‍රමගේ ආනන්ද වික්‍රමගේ ගේ පුතා නොවුණා නම් නළුවෙක් වෙයිද?

ආ... ඒක හරියටම කියන්න දන්නෙ නෑ. ඊට හේතුව තමයි මම නළුවෙක් වෙන්න හේතුව මම පොඩි කාලෙ ඉඳල දැකපු දේවල් කියල මම විශ්වාස කරනවා. අම්මයි, තාත්තටයි තිබුණ පිළිගැනීම, මටත් තිබුණා නම් කියල මට ඒ කාලෙ හිතුණා. ඒ දේවල්වලට මම ආශා කළා. ඒ විතරක් නෙවෙයි මම පොඩි කාලෙ ඉඳල චිත්‍රපටි බලන්නත් කැමැතියි. ඒ චිත්‍රපටි නිසා මම නළුවෙක් වුණාද අම්මයි තාත්තයි නිසා මම නළුවෙක් වුණාද කියල මම හරියටම දන්නෙ නෑ.

ඔබ බැරිවෙලාවත් රංගන ශිල්පියෙක් නොවුණා නම්?

එහෙනම් අනිවාර්යයෙන් ම ව්‍යාපාරිකයෙක් වෙයි. නැතිනම් ක්‍රිකට් පැත්තෙන් මම ඉස්සරහට යයි.

ඔබ පෞද්ගලික අංශයෙ විශාල වැටුපක් ගත හැකි රැකියාවක් අත්ඇරල වෘත්තීය නළුවෙක් වුණ කෙනෙක්. ඇත්තට ම රංගනයෙන් ලැබෙන මුදලින් ජීවත් වෙන්න පුළුවන් ද?

පුළුවන්. ඔය ප්‍රශ්නය අසන්නෙම කලාකාරයෙකු ලෙස ඔවුන්ට යන විශාල වියදම නිසානෙ. අද වෙනකම් දෙයියනේ කියල මට ලැබෙන මුදල හොඳටම ඇති ජීවත් වෙන්න. අපි හොඳ නළුවො වෙනවා නම් අපට ලැබෙන මුදලත් ඇති. මට තිබෙන ඉල්ලුම අනුව තමයි මට ලැබෙන මුදල තීරණය වෙන්නෙ.

ජනිත් ද සංකේත් ද වැඩිය දක්ෂ?

මල්ලි එක පැත්තකින් දක්ෂයි. නිකන් බොරු කියන්න ඕන නෑනෙ මල්ලි තමයි මට වඩා දක්ෂ කියල. මල්ලි එක අංශයකට දක්ෂයි. මම එක අංශයකට දක්ෂයි. හැබැයි මම විශ්වාස කරනවා මට වඩා දෙයක් මල්ලිට කරන්න පුළුවන් කියල රූප ස්වභාවයත් එක්ක. හැබැයි අපි දෙන්න මොඩල් දෙකක්.

ජනිත්ගෙ සම වයසෙ රංගන ශිල්පියො හොඳ ම නළුවා ජනප්‍රිය නළුවා වෙනකොට ඇත්තට ම අවංකවම මොකද හිතෙන්නෙ?

මට එහෙම කිසිම අහිතක් හිතෙන්නෙ නෑ. මට පුළුවන් හැම සම්මාන උළෙලකටම මම සහභාගී වෙනවා. මම චරිත කරන්නෙ හොඳම නළුව ජනප්‍රිය නළු වෙන්න නෙවෙයි. මම දන්නව මට එළියෙ තියෙන ජනප්‍රියතාවය. ජනප්‍රිය නළුවො දහදෙනා අතර හිටියත් නැතත් මම දන්නව මම කෙතරම් ජනප්‍රිය ද කියල. ඒ නිසා සම්මාන වෙනුවෙන් ලොකුවට මැරීගෙන වැඩ කරන්න මට වුවමනාවක් නෑ. මට වුවමනායි තව හොඳ චරිත ටිකක් කරන්න. ඒ, ආශාවත් එක්ක මම ජීවත් වෙනවා. මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්න ඕන සම්මාන පොඩි කාලෙ ඉඳල ඕනවටත් වඩා ලැබිල තියෙනවා.

‘දාන්න පහක්...’ කොහොමද ප්‍රතිචාර....

ඇත්තටම සන්තෝෂයි. සති අන්තයෙ විකාශය වෙන ඒ වගේ වැඩසටහන් අතර උඩින් ම තියෙන්නෙ ‘දාන්න පහක්’. ‘හිරු’ එකෙන් ඔය වැඩසටහන මෙහෙයවන්න මට දෙන කොට මම භාරගන්න කැමැති වුණේ නෑ. මට නිවේදකයගේ භූමිකාව බෑ කියල. එයාල මට කීවේ ඔයා සාමාන්‍යයෙන් කරන විදිහට කරගෙන යන්න කියල. ඉතින් ඒ විදිහට තමයි මම දාන්න පහක් කරගෙන ගියේ. කරගෙන යන්නෙ.

ජනිත් ටිකක් රූලට වැඩ කරන කෙනෙක් කියල ආරංචියි?

මෙහෙමයි. මම කවදාවත් රූගතකරන තැන්වලට පරක්කු වෙලා යන කෙනෙක් නෙවෙයි. කවදාවත් එනව කියල එන්නෙ නැතිව ඉන්න කෙනෙක් නෙවෙයි. මම පිළිවෙළට වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ පිළිවෙළට වැඩ කරන්න මම කැමැතියි. වෘත්තිය මට්ටම බාල්දු කරන්න මම කැමැති නෑ. වෘත්තීය මට්ටම රැකෙනවට බොහොම ආස කෙනෙක් මම. මට ලැබෙන්න ඕන වටිනාකම ලැබෙන්න ඕන. ඕකට තමයි ඔය රූලට වැඩ කරනව කියල කියන්නෙ.

මානෙල් වානගුරු කියන රංගන ශිල්පිනිය ගැන දරන්නෙ මොන වගේ මතයක් ද?

මම ආසයි අම්මා දිගටම චිත්‍රපට නිළියක් වෙලා හිටිය නම්. හේතුව තමයි ඒ කාලෙදි එයාට තිබුණ ස්ථාවරත්වය සහ ජනප්‍රියත්වය. මට හිතෙනව පුංචි තිරයට අම්මා නොආව නම් හොඳයි කියල. අම්ම විතරක් නෙවෙයි, ශ්‍රියානි අමරසේන, ටෝනි රණසිංහ, ක්ලිටස් මෙන්ඩිස් වගේ අය. ඒ අයට සිනමාව තුළ තිබුණෙ දැවැන්ත ප්‍රතිරූප. ඒ ප්‍රතිරූප වලට තමයි මිනිස්සු තවම ආදරේ. ඒ ප්‍රතිරූපයට මාත් ආදරෙයි.

ආනන්ද වික්‍රමගේ කියන රංගන ශිල්පියා ගැන ඔබේ අදහස?

මම කැමැතියි තාත්තා වේදිකා නළුවෙක් විදිහට දකින්න. හැබැයි පහුගිය කාලෙ තාත්තා අතිශය ජනප්‍රිය වුණේ ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට.

අවසන් වශයෙන් සංකේත් වික්‍රමගේ ගැන මොකද ඔබ හිතන්නෙ?

මම තමයි මල්ලි ගැන හුඟක් අවධානයෙන් බලාගෙන ඉන්න කෙනා අයිය කෙනෙක් විදිහට. මල්ලිගෙ රූපයෙන් හා පෞරුෂයෙන් තාම හොඳ ප්‍රයෝජනයක් ගන්නව කියල මම හිතන්නෙ නෑ. මම හිතනව ඔහු තව මහන්සිවෙලා වැඩ කරන්න ඕන කියල. ඔහු ටෙලි නාට්‍යවල කරන චරිත, ගැන මට සන්තෝෂයි. මම ආසයි ඔහු චිත්‍රපට නළුවෙක් වෙනව දකින්න.

විජිත උදය කුමාර




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8479030087194221155

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item