වැරදි ලිංගික හැසිරීම් නිසා ඇතිවන ගොනෝරියා

වැරදි ලිංගික සබඳතා හේතුවෙන් ඇතිවන බෝවන රෝගයක් ලෙස “ගොනෝරියා” රෝගය හඳුන්වා දිය හැක. බැක්ටීරියා හේතුවෙන් මෙම රෝගය ඇතිවේ. මෙම රෝගය කාන්තාවන් හ...

වැරදි ලිංගික සබඳතා හේතුවෙන් ඇතිවන බෝවන රෝගයක් ලෙස “ගොනෝරියා” රෝගය හඳුන්වා දිය හැක. බැක්ටීරියා හේතුවෙන් මෙම රෝගය ඇතිවේ. මෙම රෝගය කාන්තාවන් හා පුරුෂයන් යන දෙපාර්ශ්වයටම ඇති වන අතර එම දෙකොටසම දැකිය හැකි රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ.

පුරුෂයින්ගේ දැකිය හැකි රෝග ලක්ෂණ

* මූත්‍රා නාළයෙන් සුදු පැහැති දියරයක් ගැලීම.
* මූත්‍රා දැවිල්ල.
* මූඛ සංසර්ගයේ යෙදීම නිසා උගුරේ දැවිල්ල හට ගැනීම.
* උගුර ඉදිමීම (කුද්දෙටි ඇතිවීම) මෙයත් මුඛ සංසර්ගය නිසා සිදුවේ.
කාන්තාවන්ගේ දැකිය හැකි රෝග ලක්ෂණ
* මූත්‍රා මාර්ගයෙන් සුදු පැහැ දියරයක් ගැලීම.
* ඇතැම් විට මෙය ලා කහ පැහැති දියරයක් සේ දිස්වීම.
* මූත්‍රා දැවිල්ලක් ඇතිවීම.
* ප්‍රදාහයන් ඇතිවීම.

කාන්තා පාර්ශ්වයේ මෙම රෝගය ඇතිවීම නිසා නොයෙකුත් ආකාරයේ දරුණු විය හැකි රෝගාබාධයන්ට ද මුහුණ දීමට සිදුවේ. එනම් බොහෝ විටම ගර්භාෂයේ ආසාදන තත්ත්වයන් ඇතිවිය හැක. ගැබ්ගෙල තුළින් ශ්‍රාවයන් පිටතට පැමිණිය හැක. ප්‍රධානතම ගැටලුවක් ලෙස කාන්තාවන්ගේ ගර්භාෂයේ, පැලෝපීය නාළ හා ඩිම්බ කෝෂ ද ආසාදනය විය හැක. මීට අමතරව දිගින් දිගටම පවතින උදරයේ වේදනාවන් දැකිය හැක. මූත්‍රා දැවිල්ලට අමතරව මුඛ්‍ය ආශ්‍රිතව ලිංගික සම්බන්ධතා පැවැත්වීම නිසා උගුරේ දැවිල්ලක් හෝ කසන ස්වභාවයක් ඇතිවිය හැක. තවද ගුද මාර්ගයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වුවහොත් එම ප්‍රදේශයේ කැසීමට හෝ දියරයක් පිටවීමට හැකිය.

මෙහිදී රෝග විනිශ්චය ඉතාමත් වැදගත් වේ. මෙහිදී පිටවන දියරය පරීක්ෂා කර බැක්ටීරියාව හඳුනාගෙන ඊට ඖෂධ ලබා දීම ඉතාමත් සුදුසුම ක්‍රමයයි. මෙහිදී ඇතැම්විට “කැන්ඩිඩා” යන රෝගයද ඇතිවිය හැක. මෙවැනි අවස්ථාවලදී එම රෝග දෙකටම සරිලන ආකාරයේ ඖෂධ ලබාදෙනු ලැබේ.

ඉතාමත් කලාතුරකින් ගොනෝරියා රෝගය හේතුවෙන් කාන්තාවන් වඳභාවයට පත්විය හැක. යම් හෙයකින් ගර්භණී අවදියේදී යම් කාන්තාවකට ගොනෝරියා රෝගය වැලඳී ඇත්නම් ප්‍රසූතියේ දී එය දරුවාට ආසාදනය විය හැක. එවිට දරුවා ඉපදී දවස් දෙකකින් පමණ ඇස් රතුවී, දියර හා කබ ගැලීමට පටන් ගනු ඇත. මෙවැනි අවස්ථාවකදී ඉතාමත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත් වේ.

ඇතැම් විටදී පැලෝපීය නාළ “ගොනෝරියාව“ හේතුවෙන් අවහිර වී තිබිය හැක. මෙම හේතුව නිසා ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම උවද සිදුවිය හැක. එබැවින් මෙවැනි සංකූලතා ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වේ.

පුරුෂ පාර්ශ්වයට ඇතිවන බලපෑම

පුරුෂයින්ට වැඩි වාර ගණනක් මූත්‍රා පිට කිරීමට සිදුවේ. ඊට අමතරව පුරුෂ ලිඟුව මිරිකීමේදී කහ පැහැති දියරයක් පිටවිය හැක. මෙවැනි අවස්ථාවලදී පරීක්ෂණ සිදු කිරීම මගින් රෝග විනිශ්චය කරගත හැකි වේ. මෙහිදී රුධිර පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් වේ. මන්ද ගොනෝරියා වැනි වෙනත් ලිංගාශ්‍රිත රෝගයක් ඇතිවීම හේතුවෙන් එච්.අයි.වී ((HIV)) ඒඩ්ස් රෝගය වැලඳීම නව ගුණයකින් ඉහළ යෑමට ඇති සම්භාවිතාවක් ඇත. එබැවින් එච්.අයි.වී ((HIV)) ඒඩ්ස් පරීක්ෂණයක් කිරීම ඉතාමත් වැදගත් වේ. තවද එකවර ලිංගාශ්‍රිත රෝග කිහිපයක් වැලඳිය හැක.

ගොනෝරියා රෝගය පුරුෂයින්ට වැලඳීම නිසා පුරස්ථි ග්‍රන්ථයේ ආසාදන, වෘෂණ කෝෂ ආසාදන ආදී රෝගයන්ද ඇතිවිය හැක. ඊට අමතරව වෘෂණ කෝෂවල සැරව ගෙඩි, වෘෂණ නාළවල අවහිරතා හේතුවෙන් වඳ භාවයට උවද පත්විය හැක. තදබල රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළද ඇතැම් අවස්ථාවලදී මෙම රෝගය ශරීරය තුළම තිබි බෝවීමට ඉඩ ඇත.

සාමාන්‍යයෙන් මෙම රෝගය අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා වැලඳෙන බව සැමටම නොරහසකි. එබැවින් මෙලෙස අනාරක්ෂිත ලිංගික සබඳතාවකට පසුව රුධිර පරීක්ෂණයක් කිරීම සුදුසුම ක්‍රමයයි.
ප්‍රතිකාර

මෙම ගොනෝරියා රෝගයට පරීක්ෂණ වලින් පසුව ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලැබේ. ඇතැම් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වනවා. එම නිසා සුදුසුම ප්‍රතිකාරය දිය යුතුය. මෙහිදී ඉතාමත් සුබ ආරංචිය වන්නේ කල්ගතවීමකින් තොරවම මෙම රෝගය නිට්ටාවටම සුව කළ හැකි බවයි.

විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ | අධ්‍යක්ෂ:- ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය
සටහන:- දුලානි ජයතිස්ස



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 8585286447272707666

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item