45 පැන්නත් 'නොමියෙන' 71 අප්‍රේල් කැරැල්ල මහ නඩුවේ විත්තිකරුවන් 41 පැටිකිරිය මෙන්න! ‍

ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ලංකීය සම්ප්‍රදායික දේශපාලන ගමන්මඟ වෙනස්කල තීරණාත්මක සන්ධිස්ථාන ලෙස හැඳි...

ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ලංකීය සම්ප්‍රදායික දේශපාලන ගමන්මඟ වෙනස්කල තීරණාත්මක සන්ධිස්ථාන ලෙස හැඳින්විය හැකි කැරළි දෙකකට නායකත්වය දුන්නේය. ජවිපෙ උපත 1965 මැයි 14 වෙසක් පොහෝ දින අක්මීමනදී සිදුවූ අතර ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් 5වැනිදා රටපුරා පොලිස් ස්ථාන 92කට එකවර පහරදීමෙන්ද, 2වැනි කැරැල්ල 1986 සිට 1990 දක්වාද සිදුවූ අතර එම කැරළි 2කටම නායකත්වය දුන්නේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරය. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය ලබාගැනීමට දැරූ ප්‍රථම උත්සාහය 1971 අප්‍රේල් 05 කැරැල්ලවූ අතර එය සිදුවී 2016 අප්‍රේල් 5වැනිදාට වසර 45කි. 

අප්‍රේල් කැරැල්ලේදී පහර දුන් පොලිස් ස්ථාන 92ක අතරින් 57ක් විනාශකල අතර දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම සහ වරකාපොල යන පොලිස් ස්ථාන 5 යටත්කර ගත්තේය. තවත් පොලිස් ස්ථාන 43ක් තාවකාලිකව ඉවත් කරගෙන තිබිණි. මෙම ප්‍රහාර වලදී පොලිස් නිලධාරින් 37ක් සහ හමුදා නිලධාරින් 26ක් කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්විය. කැරළිකරුවන් විසින් මරාදමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 41කි. ශ්‍රිලනිප, කොප, ලසසප පක්ෂ ඇතුලත් සමගි පෙරමුණ ආණ්ඩුව මගින් ප්‍රකාශකල දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරළිකරුවන් සංඛ්‍යාව 1,200කි. එහෙත් මරාදමන ලද කැරළිකරුවන් සංඛ්‍යාව 5,000කට ආසන්නය. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 18,000කට පමණ වූ අතර ඉන් 4,200ක් පමණ පොදු දේශපාලන සමාව යටතේ භාරවූ අය වෙති. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 සැප්තැම්බර් මස අවසානවූ අතර එහිදී එජාප ආණ්ඩුව මගින් ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන්වූ පිරිස 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී භාරවූ සහ අත්අඩංගුවට ගෙන පුනුරුත්ථාපනය කරන ලද සංඛ්‍යාව 11,650කි. 

හැටේ දශකය මුල්භාගයේදී ලෝක වාමාංශික ව්‍යාපාරය තුළ හටගත් මහා කුණාටුව ලාංකීය වමේ ව්‍යාපාරය කෙරෙහිද ගැඹුරු බලපෑමක් ඇති කළේය. එය 1948 නිදහසින් පසු තරුණයින්ගේ දේශපාලන හැඩගැස්ම මුළුමනින් කණපිට පෙරළීමට සමත්විය. සන්නද්ධ අරගලයකින් පවතින පාලනක‍්‍රමය පෙරළා දැමීමට කැපවූ කොමියුනිස්ට් පක්ෂවලට චීනය නායකත්වය දුන් අතර පාර්ලිමේන්තුව තුළින් සමාජවාදයට යෑමට යෝජනා කල ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට සෝවියට් සංගමය නායකත්වය දුන්නේය. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ මෙම මතවාදී සහ දේශපාලන රේඛාව ඔස්සේ දෙපිළකට බෙදිණි.

නිර්ධන පන්තීය මාක්ස්වාදී විප්ලවකාරි දේශපාලන පක්ෂයක් ලෙස හැදින්වූ ජවිපෙ ජනප‍්‍රිය පන්ති 5 මගින් දේශපාලන අධ්‍යාපනය ලබාදුන් අතර සාමාජිකයන් සීඝ‍්‍ර වශයෙන් බදවා ගන්නා ලදී. එම පන්ති අතර ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ ලංකාවේ විප්ලවය ගතයුතු මඟ යනුවෙන් දේශන ඇතුළත් විය.පන්ති 5ට අමතරව ආයුධ පුහුණුවද ඇතුළත් අධ්‍යාපන කඳවුරක් සාමාජිකයින් 30ක් සදහා අක්මීමනදී ප‍්‍රථමවරට ආරම්භ වූයේ 1968දීය. පසුව එය රටපුරා පැවැත්විණි. විජේවීර විසින්ම 1966/69 කාලය තුළ වැඩබිම් 80කදී දේශපාලන පන්ති පවත්වන ලදී. වසර 1969 අවසානය වන විට ජවිපෙට සාමාජිකයින් සහ හිතවතුන් 3,000ක පමණ පිරිසක් එකතුකර ගැනීමට හැකිවිය. මෙම අධ්‍යාපන කඳවුරු ජවිපෙ සාමාජිකයින් තුළ දැවැන්ත පිබිදීමක් ඇතිවිය. එමගින් විප්ලවවාදී අදහස් ඇති අක‍්‍රීයව සිටි තරුණ පරපුර සියළු කුලෑටිකම් පසෙකලා කඩියන් මෙන් ක‍්‍රියාකාරි විය. ජවිපෙ වේගවත් ව්‍යාප්තිය හමුවේ ඇදී ආ දක්ෂ නවකයින් සහ අදක්ෂ පැරණි නායකයින් අතර ප්‍රතිරෝධතාද ඉස්මතු විය. 

අපේ‍්‍රල් කැරැල්ල තීන්දුකලේ 1971 අපේ‍්‍රල් 2වැනිදා ගංගොඩවිල සරසවියේ සංඝාරාමයට රැස්වු දේශපාලන මණ්ඩලයේ 9 දෙනෙකුගේ තීරණයෙනි. එය 6ට 3ක් වශයෙන් බෙදුණු තීරණයකි. පියතිලක, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, සුසිල් වික්‍රම අප්‍රේල් 5 පහරදීමේ තීන්දුවට පක්ෂවත් සනත්, කරුණාරත්න, ලොකු අතුල එයට එරෙහිවද ඡන්දය දුන්හ. එම තීන්දුව ගැනීමට පෙර එයට සහභාගිවූ කිහිප දෙනෙක් එක්වී සටන් කිරීමට තීන්දුවක් නොගන්නේනම් අපේ‍්‍රල් 4වැනිදා රාත‍්‍රී 10ට එකවර පොලිස් ස්ථානවලට පහරදීමට රහසිගත තීන්දුවක් අරගෙන තිබූ බව පසුව හෙළිවිය.ඒ අනුව තවදුරටත් පහරදීම ප්‍රමාද වන්නේ නම් 1971 අප්‍රේල් 4වැනිදා රාත්‍රී 10.00ට පොලිස් ස්ථානවලට එකවර පහරදීමය. ඒ අනුව එම තීරණය දින කිහිපයකට පෙර රටපුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙමින් තිබිණි. අප්‍රේල් 5වැනිදා උදේ වැල්ලවාය පොලිසියට පහර දෙන්නේ වැරදි විදුලි පණිවිඩයකින් ‍නොව මෙම අලුතින් ගත් තීරණය ඔවුන්ට සන්නිවේදනය කර නොතිබීමෙනි. එහෙත් 1971 අප්‍රේල් 5වැනිදා රාත්‍රී පහරදීමට ගත් තීරණය අනිකුත් සියළු ස්ථානවලට ගොස් තිබිණි. 

අප්‍රේල් 3 වැනිදා සවස බටපොල අතුලගේ නිවසේදී ලාල් සෝමසිරිට කැරැල්ලේ දෙවනි නායක සනත් නියම කළේ අම්පාර උහනට ගොස් මොණරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි වහාම හමුවී පහරදෙන්නේ අප්‍රේල් 4වැනිදා රාත්‍රී 10 නොව අප්‍රේල් 5වැනිදා රාත්‍රී 11.30ට වෙලාව වෙනස් වී ඇති බවය. පණිවිඩය ලබාදීමට අප්‍රේල් 4වැනිදා හිමිදිරි පාන්දරම නුවර හරහා අම්පාරට යෑමට ගිය ලාල් සෝමසිරිට නුවර බස් නැවතුම්පොලේදී නිශ්ශංක ප්‍රේමරත්න හමුවිය. එවිට වේලාව දවල් 12.30 විය. ප්‍රේමරත්න විසින් සෝමසිරිට එහිදී කියා සිටියේ වහාම යළිත් විද්දෝදය සරසවියට ගොස් පියතිලක හමුවන ලෙසට පියතිලක දන්වා ඇති බවත් තමා වහාම මොණරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවීමට ගොස් පහර දෙනේනේ 4 රාත්‍රී නොව 5වැනිදා රාත්‍රී බවට දැනුම් දෙන බවත්ය. කැරැල්ලට සහභාගි නොවී එදිනම සැඟවුණු ප්‍රේමරත්න එම පණිවිඩය මොණරාගල නායකයාට දැනුම් දුන්නේ නැත. 1971 අප්‍රේල් 4 රාත්‍රී වැල්ලවාය පොලිස් ස්ථානයට එල්ලකල ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි. 

අප්‍රේල් කැරැල්ලේ පරික්ෂණ කොමිෂන් සභා 4ක් මගින් 1972 අගෝස්තු 10 සිට 1976 නොවැම්බර් 4 දක්වා 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරික්ෂණ 140ක් පවත්වන ලදී. එයට චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. ඉන් 3,014 කොමිෂන් සභා හමුවට ගෙන ආ අතර 894 දෙනෙකු අත්අඩංගුවට ගතනොහැකි විය. මහ නඩුවේදී 41 දෙනෙකුට එරෙහිව නඩු පැවරිණි. අත්හිටවූ සිරදඬුවම් මත නිදහස් කල සංඛ්‍යාව 2,492කි. බරපතල සිරදඬුවම් ලැබූ කැරළිකරුවන් ගණන 390කි. ජවිපෙ නායක විජේවීර ඇතුළු 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. නිදොස් ‍කොට යැවූ කැරළිකරුවන් ගණන 104කි. 

මෙම කැරළි දෙකේදීම ඇතැම් නායකයෝ සිය වගකීම් පැහැරහැරියද කැරළිකරුවෝ සත්‍ය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළහ. අනේකවිධ දුක් පීඩාවන්ට මුහුණ දුන්හ. දඩුවම් ලැබූහ. දිවි පිදූහ.පාලකයින් විසින් තරුණයන්ගේ එම නිර්භීත සහ සාහසික උත්සාහයන් අනුකම්පා විරහිතව තලා පොඩිපට්ටම් කර දැමීය. අප්‍රේල් මහ නඩුවේ තීන්දුව 1974 දෙසැම්බර් 20වැනිදා ලබාදුන් අතර විත්තිකරුවන් 41 දෙනාගෙන් 4ක් නිදහස්වූ අතර සුසිල් සිරිවර්ධන, එස්.ඩී බණ්ඩාරනායක සහ ටී.ඩී. සිල්වාට අත්හිටවු සිරදඬුවම් නියම විය. විජේවීර දිවි ඇති තෙක් හිරේය. 28දෙනෙකු බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම විය. විජේවීර ඇතුළු සිරදඬුවම් විදමින් සිටි 71 අප්‍රේල් කැරළිකරුවන් 125 දෙනෙක් ජනාධිපති සමාව යටතේ 1977 නොවැම්බර් 2වැනිදා නිදහස් කරන ලදී. ජවිපෙ 1971 කැරැල්ල මහ නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙකු සිටි අතර ඔවුන්ගේ විස්තර, අප්‍රේල් 5 කැරළි දිනයේදී ඔවුහු ක්‍රියාත්මකවූ ආකාරය සහ වර්තමාන ජීවන තත්ත්වය පහත පරිදිය. 

මහ නඩුවේ 1වැනි විත්තිකාරයාවූ සමරරත්න විතානආරච්චිගේ පියතිලක දෙමටගොඩ ගාමිණී විද්‍යාලයේ සහ කොළඹ නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලත් අතර පියා නැව්වලට බඩු බාහිර ආදිය සපයන්නෙකි. චීන පිළේ ප‍්‍රාදේශීය නායකයින්වූ පියතිලක සහ ලොකු අතුල, විජේවීර සමඟ එක්වන්නේ 1965 අවසානයේදීය. ශිෂ්‍ය අංශය භාරව සිටි පියතිලක 1971 අප්‍රේල් 5 කැරැල්ලේ සටන් තීන්දුව ගැනීමට 1971 අප්‍රේල් 2වැනිදා ගංගොඩවිල සංඝාරාමයේදී රැස්වූ 9දෙනාගේ නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරීය. යාපනය සිරගෙදරින් විජේවීර මුදවා ගැනීම සඳහා එක්වන බව කියමින් අප්‍රේල් 5වැනිදා අළුයම 1.00ට කොළඹින් විලච්චියේ අනෝමදස්සී හිමි සමඟ අනුරාධපුරයට ගියේය. පසුව පුලියන්කුලම කැලෑවට ගොස් හිස මුඩුකොට සිවුරක් දමා මහණ වෙස්ගෙන අනෝමදස්සි හිමි සමඟ පුලියන්කුලමේ වැලිමලු විහාරයේ සැඟවිණි. පසුව කොළඹ ප්‍රදේශයේ කඩයක සැඟවී සිටියදී 1971 ජුලි මස අත්අඩංගුවට ගන්නා ලදී. නිදහස ලැබීමෙන් පසු සිය ව්‍යාපාර කරගෙන ගිය පියතිලක දේශපාලනයෙන් සමුගත් අතර පෙම්රජ දහන චිත්‍රපටයේ නිෂ්පාදකද විය. දෙදරු පියෙකුවූ ඔහු 1995දී සාහසිකයෙකුගේ පිහිපහරකට ලක්ව අකල් මරණයකට ගොදුරු විය. 

බෝපගේ ලයනල් නොහොත් ලයියා 2 විත්තිකරු වූ අතර ඔහුගේ පියා වැලිගම සුළු ව්‍යාපාරිකයෙකුවූ වල්ලිවල ජෙරමියෙස්ය. දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ 1944දී උපන් බෝපගේ මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වශයෙන් සිටියදී 1968දී සරත් විජේසිංහ මගින් විජේවීර හදුනාගත්තේය. කොළඹ සටන් මෙහෙයවීම භාරගත් ලයනල් බෝපගේ පානදුර පරත්ත සරික්කාමුල්ලේ පිහිටි කඩවැද්දුවේ සුමංගල හිමිගේ පන්සලේදී ජයදේව උයන්ගොඩ සමඟ සැඟව සිටියදී බෝපගේ අප්‍රේල් 19වැනිදා පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. සිරගෙදර සිටින සමයේදී ඉංජිනේරු උපාධියට ලියා සමත් විය. වසර 12ක දිගුකාලීන සිරදඬුවම්වලට යටත් කලද පසුව 1977දී නිදහස් විමෙන් පසු ජවිපෙ ගොඩනැගීම සඳහා දායක විය. ගාල්ල දිසා සංවර්ධන මැතිවරණයට 1981දී ඉදිරිපත්වී එහි සභිකයෙක් ද විය. විමුක්ති ගී ගායිකාවක් වශයෙන් කටයුතු කල කතෝලික සභාවේ තිඹිරිගස්යාය පල්ලියේ කන්‍යා සොහොයුරියක්වූ චිත්‍රා මුදලිගේ(ඇය විමල් ප්‍රනාන්දුගේ බිරිඳගේ නැගෙනිය වේ. සමඟ අවාහවු බෝපගේ 1980 සිට 1983 ජුලි 29වැනිදා ජවිපෙ තහනම් වන විට ප්‍රධාන ‍ලේකම් වශයෙන් සිටි අතර පසුව අක්‍රීයවී 1984 මුල්භාගයේ ඉවත්විය. පසුව පළල් වාම සංවාද වලදී ජවිපෙට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝපගේව ජවිපෙ විරෝධී පිරිස් විසින් පාවිච්චි කරන ලදී. සර්වෝදයේදද කලක් සේවය කල අතර ජවිපෙ 2වැනි කැරැල්ලේ ජීවිත තර්ජන හමුවේ විදේශගතවූ බෝපගේ සිය දරු පවුල සමඟ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.

උයන්ගොඩ මහරදාගේ ජේමිස් නොහොත් ඌ මහත්තයා නොහොත් සෙනෙවිරත්න 3 විත්තිකරුවූ අතර 1969දී පේරාදෙණිය සරසවියේ පළමු වසරේ සිටියදී ලොකු අතුල මගින් විජේවීර හඳුනාගෙන පක්ෂයට බැදිණි. අප්‍රේල් 5 කොළඹ ප්‍රහාරවල වගකීමක් දැරුවද ඒවා ක්‍රියාවට නැගීමට නොහැකිවූ අතර 1971 අගෝස්තු 2වැනිදා ‍බ්‍රිටිෂ් කවුන්සිලයට යෑමේදී කොල්ලුපිටියේදී පොලිස් අත්අඩංගුවට පත්විය. වර්තමානයේ කොළඹ සරසවියේ මහාචාර්යවරයෙක් වන ජයදේව උයන්ගොඩ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ විද්වතෙකු ලෙසින් ප්‍රකටය. ලබන මස බ්‍රිතාන්‍යයේ පදිංචියට යෑමට අපේක්ෂිතය.

සිව්වන විත්තිකරුවූ බුසබදුගේ අනුර රංජිත් කුරුකුලසූරිය අම්බලන්ගොඩ පෝරමේ උපන් අතර ගාල්ල ශාන්ත ඇලෝෂියස් සහ අම්බලන්ගොඩ ධර්මාශෝකේ අධ්‍යාපනය ලැබීය. පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක්වූ අතර සුනන්දගේ බලපෑම මත ව්‍යාපාරයට 1969 මුලදි එක්විය. අප්‍රේල් 5 ප්‍රහාරයේදී නුවර භාරව සිටි රංජිත් එදින රාත්‍රී 11ට නුවර දුම්රියපොල අසළට ගියද කිසිවෙකු නැති බැවින් පසු බැස්සේය. එහෙත් ජයතිස්සගේ නායකත්වයෙන් කඩුගන්නාව පොලිසියට ප්‍රහාරයක් එල්ලවිණි. රංජිත් අප්‍රේල් 6 වැනිදා පන්විලදී බසයෙන් යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වන අතර අප්‍රේල් 12 දක්වා වත්තේගම පොලිසියේද මාස එකාමාරක් නුවර පොලිසියේද රඳවාගෙන බෝගම්බරට ගෙන යන ලදි. කැරැල්ලෙන් පසු දේශපාලනයෙන් සමුගත් ඔහු විවාහ වූයේ කළු ලකීගේ නැගෙනිය වූ මානෙල් සමඟය. සංචාරක ව්‍යාපාරයේ නිරතවන රංජිත් අව්‍යාජ මිනිසෙකු වශයෙන් ප්‍රකටය. 

වඩුගේ මිත්‍රසිරි සුනන්ද දේශප්‍රිය නොහොත් අශෝක 5වැනි විත්තිකරුවූ අතර අම්බලන්ගොඩ පදිංචිකරුවෙකි. ධර්මාශෝක ආදි ශිෂ්‍යයෙකි. සිව්දරු පවුලක දෙවැන්නාවූ සුනන්දගේ නැගනිය කමණිද ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. පියා කෙන්තොට විදුහල්පතිවරයෙකු විය. ජවිපෙ 2වැනි නායක සනත් හරහා ජවිපෙට එක්වූ සුනන්ද බදුල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළේය. සුනන්ද දේශප්‍රිය අප්‍රේල් 5 රාත්‍රී හපුතලේ තේ වත්තක ඇදිරි නීතියට කොටුවී සිටි බැවින් ප්‍රහාරයට සහභාගිවීමට නොහැකි විය. එහෙත් බදුල්ලේ කණ්ඩායම වැලිමඩ පොලිසියට පහරදී තිබිණි. පසුව සුනන්ද කැරළිකරුවන් සමඟ උඩුපුස්සැල්ලාව හරහා වලපනේට ගොස් සැඟව සිටි අතර අප්‍රේල් 23වැනිදා අම්බලන්ගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය. ජනතා සංගමයේද මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකුවූ සුනන්ද මර්ජ් ආයතනයේ ප්‍රකාශනයක්වූ යුක්තිය සතිපතා පුවත්පතේ හිටපු කතුවරයාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසකට නායකත්වය දෙන ඔහු අවාහවූ 71 කැරැල්ලට සම්බන්ධවූ කුරුණෑගල රෝහලේ රසායනාගාරයේ සේවය කල රත්නායකගේ නැගණියවූ බණ්ඩාර මැණිකේ සමඟය. වර්තමානයේ ස්විස්ර්ලන්තය කේන්ද්‍ර කරගනිමින් මානව හිමිකම් ක්‍රියාකාරකම්වල නියැලේ. 

විජේමුනි දේවගේ නිමලසිරි ජයසිංහ නොහොත් ලොකු අතුල 6වැනි විත්තිකරු වශයෙන් රජයේ සාක්ෂිකරුවෙකු විය. කඩවත ගෝනහේනේ උපන් ඔහු 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාය. පියා ලංගම රියදුරු පුහුණු උපදේශකයෙකි. කිරිල්ලවල සහ ගම්පහ රාහුල විදුහල්වලින්ද, මරදානේ ස්ටැෆඩ් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූ අතර 1965දී පියතිලක මගින් ජවිපෙට බැදිණි. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ විජේවීර ඇතුළු ඉහළම නායකයින් 4 දෙනාගෙන් එක් අයෙකුවු අතර ආයුධ අංශය භාරව සිටියේය. ලොකු අතුල අප්‍රේල් 5වැනිදා රාත්‍රී කෑගල්ල පොලිසියට පහරදීමට ගියද පැවති තත්ත්වය අනුව පසුව එය අවලංගු කොට අප්‍රේල් 29වැනිදා බලපත්තාවට එක්වී විල්පත්තුවට පසු බැස්සේය. අවාහ වූයේ කැරැල්ලේ ක්‍රියාකාරිනියකවූ ධම්මිකා සමඟ වන අතර ඇය 12වැනි විත්තිකරුවූ ටී.ඩී. සිල්වාගේ වැඩිමහල් දියණියයි. මහජන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිට 1994 පාර්ලිමේන්තුවට පත්වු ලොකු අතුල කලක් චන්ද්‍රිකා රජයේ විදුලිබල නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන්ද කටයුතු කල ලොකු අතුල 2014 නොවැම්බර් 29දා ජීවිතයෙන් සමුගත්තේය.

මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල 7වැනි විත්තිකරුවූ අතර ගාල්ලේ අක්මීමන උපන්නේය. තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වූ ඔහු ගාල්ල ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. සිග්මා කම්හලේ සිටියදී වැඩවර්ජනයට සහභාගිවිමෙන් රැකියාව අහිමිවූ ඔහු 1967 අගභාගයේදී ජවිපෙට බැදී ආයුධ අංශයේ කටයුතු කල අතර බෝම්බ නිෂ්පාදනයේදී අතක් අහිමි විය. අයිවන් ප්‍රතිකාර ගනිමින් සිටියදී 1971 අප්‍රේල් 4වැනිදා අත්අඩංගුවට ගෙන පැලියගොඩ පොලිසියට ගෙන එන ලදී. නිදහසින් පසුව සමසමාජයට බැදි ගාල්ල අතුරු මැතිවරණයටද තරඟ කල අයිවන් රාවය සඟරාවේ සහ පුවත්පතේ සමාරම්භක කර්තෘවරයාය. ප්‍රකට ලේඛකයෙකි. චන්ද්‍රිකා රජය 1994 බලයට පත්කිරීම සඳහා පුරෝගාමි සේවාවක් කල ඔහු පසුව ඇය පිළිබඳව චෞර රැජින නමින් ග්‍රන්ථයක්ද ප්‍රකාශයට පත් කළේය. වර්තමානයේ රාවයේ උපදේශක කර්තෘවරයාය.

අටවැනි විත්තිකරුවු මහරගේ දොන් නෙවිල් නිමලරත්න නොහොත් නිමල් මහරගේ නුගේගොඩ ගංගොඩවිල උපන් අතර නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයෙන් සහ හොරණ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. ඩී.ඒ. ගුණසේකර මගින් ජවිපෙට එක්වූ ඔහු ප්‍රහාරයේදී කෝට්ටේ කණ්ඩායමේ නායකයා විය. අප්‍රේල් ප්‍රහාරය ක්‍රියාවට නැගීමට නොහැකිවීමෙන් පසු නිමල් මහරගේ හොරණ දොඩං‍ගොඩ නිවසක සැඟවී සිටියදී 1971 ජුලි 17වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විය. අවාහ වුයේ කැරැල්ලේ සිටි කාන්තා නායිකාවක්වූ විදුදය උපාධි අපේක්ෂිකා චන්ද්‍ර ජයන්ති පෙරේරා සමඟය. ඇයද 1971 මැයි 18 අත්අඩංගුවට පත්වි 1977දි නිදහස් විය. මහරගේ පසුව එස්.බී දිසානායක ඇමතිවරයා යටතේ සමෘද්ධි අමාත්‍යාංශයේද සේවය කළේය. 

මහ නඩුවේ 9වැනි විත්තිකරුවූ සෝමසිරි කුමානායක ඇල්පිටියේ උපන්නෙකි. 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් වූ ඔහු ජවිපෙට එක්වූයේ 1967 පේරාදෙණියේ උපාධි අපේක්ෂකයෙකු වශයෙන් සිටියදීය. පියා වත්තක කංකානම්වරයෙකි. ජනතා විමුක්ති පුවත්පතේ මුල් කලාප තුනම කළේ ඔහු විසිනි. අප්‍රේල් 5 රාත්‍රී 11.30ට 30 දෙනෙකු සමඟ ගොස් කඩවත පොලිසියට ප්‍රහාරය එල්ල ‍කළේය. එහිදී මාබෝලේ එච්. මිල්ටන් මිය ගියේය. රහස් පොලිසියේ ජෙගදාසන්ගේ නිවසටම ගොස් 1971 අ‍ගෝස්තු 8වැනිදා කුමානායක භාරවිය. සමාව අයැදීම නිසා වසර 3ක සිර දඬුවමකින් පසු 1975 ජනවාරි 10 නිදහස් විය. 1976දී අවාහ වූයේ ලොකු අතුලගේ නැගණියවු බ්‍රියට්‍රිස් සමඟය. තිදරු පියෙකි.

වසන්ත ද සිල්වා කනගරත්න 10වැනි විත්තිකරුවූ අතර ගාල්ල ඉමදූව උපන්නෙකි. මව කොළඹ නගර සභාවේ වින්නඹු සේවිකාවකි. ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජවිපෙට බැදුනේ ප්‍රේමපාල මගිනි. කැරැල්ලේදී දකුණු කොළඹ වැල්ලවත්තේ සිට මොරටුව දක්වා නායකයාවූ ඔහු අප්‍රේල් 4වැනිදා රාත්‍රී 9.30ට ගාල්ල ඉමදු‍වේ සිය ආච්චිගේ නිවසට ගොස් අප්‍රේල් 26 දක්වා එහි ගතකල අතර අප්‍රේල් 30වැනිදා ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බසයෙන් යෑමේදී අසුවී කොන්දොස්තර විසින් පානදුර පොලිසියට භාරදෙන ලදී. වසන්ත කනගරත්න බිල්ලෙකු බවට පත් කරමින් පොලිස් නිල ඇදුමක් අන්දවා පසුව පොලිස් කොස්තාපල්වරු පිරිසක් සමඟ ඔහු යාපනයේ හැමන්හිල් බන්ධනාගාරයට ගෙන ගියේය. බන්ධනාගාරයේ තාප්පය උඩ සිටි වසන්ත කනකරත්න ගෙන ආ සැකකරුවන්ගේ ව්‍යාජ නම් වෙනුවට සත්‍ය නාමයන් පොලිසියට ලබාදෙමින් කැරළිකරුවන් පාවාදුන්නේය. මහ නඩුවේදී ආණ්ඩුවට පක්ෂව සාක්ෂි දුන් අතර පසුව සර්වෝදයට සම්බන්ධ විය. රත්මලානේ පදිංචිව සිටියදී ජීවිතයෙන් සමුගත්තේය. 

මහ නඩුවේ 11වැනි විත්තිකරුවූ ඩේවිඩ් අබේවික්‍රම(ඩී.ඒ) ගුණසේකර 43 හැවිරිදි අත්දැකීම් සහිත කලක් සමසමාජයේ සිටි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. හයිඩ් පාර්ක්හි 1970 අගොස්තු ජවිපෙ රැස්වීමේ මුලසුන දැරීය. අප්‍රේල් 5වැනිදා නියමිත කාර්යභාරයක් ඔහුට නොවූ අතර දඩිබිඩි කැරැල්ලට ඔහුගේ මනාපයක්ද නොතිබිණි. කට්ටි පනිමින් සිටියදී මැයි 3 වැනිදා වැල්ලවත්ත රෙදිමෝල අසළදී පොලිස් අත්අඩංගුවට පත්විය. පළමුවෙන්ම නිදහස්වූ විත්තිකරු වශයෙන් 1974 නොවැම්බර් 20වැනිදා නිදහස් විය. සක්‍රීය දේශපාලනයේ නොයෙදුනු අතර 2014දී ජාඇලදී දිවියෙන් සමුගත්තේය. 

දේවහන්දි(ටී.ඩී) දිනිඳුමිත්‍ර සිල්වා 12වැනි විත්තිකරු වූ අතර ප්‍රහාරයේ වේලාව සනත් විසින් ඔහුට දැනුම්දුන්නේ අප්‍රේල් 4 සවස 2ට බාලතම්පෝගේ නිවසේදීය. කුමානායක අප්‍රේල් 5 ප්‍රහාරයට ටී.ඩී සිල්වා කැඳවාගෙන යෑමට එඩේරමුල්ලේ නිවසට නොපැමිණි බැවින් අම්බලන්ගොඩ කහවේ අප්‍රේල් 18 තෙක් ගතකර මැයි 16වැනිදා කොළඹ දිසාපතිට ඔහු භාරවිය. නිදහසින් පසුව සක්‍රිය දේශපාලනයට යොමු නොවූවද සිය බෑනාවූ ලොකු අතුල සමගින් අවස්ථාවට උචිත පරිදි දේශපාලනයේ නිරත විය. දැනට ජීවතුන් අතර නොමැත. 

දහතුන්වැනි විත්තිකරුවූ පටබැඳිගේ දොන් නන්දසිරි(රෝහණ) විජේවිරට 1971 අපේ‍්‍රල් 5වැනිදාවන විට වයස අවුරුදු 28කි. තංගල්ලේ දිළිඳු පවුලක 1943 ජුලි 14වැනිදා උපන් විජේවීර ගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකි. කෝට්ටේගොඩ ගොඩඋඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1959දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුල්වූ විජේවිර පසුව කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහගේ අනුග‍්‍රහය මත ශිෂ්‍යත්වයක් ලැබ 1960 සැප්තැම්බර් 25වැනිදා රුසියාවේ මහජන මිත‍්‍රත්ත්ව සරසවියට (පසුව ප‍්‍රැට්රික් ලූලූම්බා සරසවිය) වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇතුල් විය. මහ නඩුවේදී වැරදිකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවද සෙසු අය සමඟ 1977දි නිදහස් විය. ජවිපෙ කැරළි දෙකේම නායකයාවූ විජේවිර 1989 නොවැම්බර් 13 වැනිදා අළුයම 1.13ට ඝාතනය වනවිට සයදරු පියෙකුවූ අතර 46වැනි වියේ පසුවිය. 

වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර 14වැනි විත්තිකරුවූ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලින් 1964දී උසස් පෙළ සමත් විය. අම්බලන්ගොඩ පොලිසියට පහරදිමට මාදම්පේ පන්සලේ කණ්ඩායමට එක්වූ ඔහු පසුව බටපොල කඳවුරේ සනත්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය. ඔහු 23 වැනිදා සිංහරාජ කැලයට පසු බැසීමෙන් අනතුරුව මැයි 6වැනිදා ආරකඩේ ග්‍රාමසේකට භාරවිය. නිදහසින් පසුවද එජාප විරෝධියෙකුවූ සිසිල් වාම ක්‍රියාකාරිකයෙකු වශයෙන් පෙනී සිටියෙකි. රන් භාණ්ඩ නිෂ්පාදකයෙකු වශයෙන් කටයුතු කල අතර 2006දී ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ පුත්‍රයෙකුද ජවිපෙ දෙවැනි පරපුර නියෝජනය කරමින් වාම දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකි. 

මහ නඩුවේ 15වැනි විත්තිකරුවු හෙට්ටිආරච්චිගේ කුලරත්න බණ්ඩා පියසිරි නොහොත් හෙක්ටර් නොහොත් ගුණරත්න බංඩා නොහොත් ආර්.ඒ. ගුණරත්න වර්ත‍මානයේ භාවනායෝගියෙකුවූ පියසිරි කුලරත්නය. ධර්මාලෝක විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී මිල්ටන් මගින් 1968දී ජවිපෙට එක්විය. ජවිපෙ ශිෂ්‍ය අංශයේ දෙවැනි නායකයාය. කැරළිකරුවන් 5වැනිදා රාත්‍රී විසිර ගොස් තිබූ බැවින් එහි නායකයෙකු වූ පියසිරි අප්‍රේල් 6වැනිදා කොටහේනේ නවාතැනට එන විට එය වටලා බණ්ඩාරනායක මැතිණියට ප්‍රහාරයක් එල්ල කිරිමට සිටි සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබිණි. නුවර පාර භාරව සිටි ප්‍රේමසිරි සමඟ ගම්පහ බැලුම්මහර හන්දියේදී ‍අප්‍රේල් 16වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබූවද නිදහස් විය. පසුව 1971 ජුනි 18වැනිදා උදෑසන මරදාන කාර්මික විද්‍යාලයේදී අත්අඩංගුවට ගන්නා ලදී. පියසිරිගේ බිරිඳ සුජාතාවු අතර ඔහු, නයනානන්ද විජේතිලක සහ සුනිල් රත්නසිරිගේ විවාහයන් සිදුවූයේ සිරගෙදර සිටියදි 1976 දෙසැම්බර් 30වැනිදාය. 

සුනිල් රත්තසිරි ද සිල්වා 16වැනි විත්තිකරුවා වූ අතර ඔහුට නියමිතව තිබුණේ තුම්මුල්ල හන්දියේ නිවසේදී 25 දෙනෙකු සමඟ ගොස් හමුදාපති සේපල ආටිගලව අත්අඩංගුවට ගැනීමය. ඔස්මන්ගේ පණිවිඩයක් අනුව අප්‍රේල් 5 රාත්‍රී 6ට පිරිස එය සිදු නොකර විසිර ගිය අතර ඔහු මහරගම නිවසක සිට මැයි 2වැනිදා දිවුලපිටිය ගාන්ධිගේ කඳවුරට එක්විය. අම්බන්ගොඩ නිවසට යළි මැයි 16වැනිදා ගිය සුනිල් රත්නසිරි මැයි 18වැනිදා අම්බන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සුනිල් 1968 ජවිපෙට එක්වූයේ විදුදය සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකු වශයෙන් සිටියදිය. කලක් නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක කලමණාකරුවෙකු ලෙස සේවය කල අතර වර්තමානයේද ප්‍රගතිශීලි ව්‍යාපාරයේ සක්‍රිය ක්‍රියාකාරිකයෙකි.

විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු 17වැනි විත්තිකරුවූ අතර ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරිමේ ආයතනයේ පර්යේෂණ සහකරුවෙකු විය. පියා රජයේ ලිපිකරුවෙකුවූ අතර විරාජ්ට සොහොයුරු සොහොයුරියන් 7 දෙනෙකු විය. ආයුධ විදේශ රටවලින් ලබාගැනීම සඳහා දූත මෙහෙවරක යෙදුනද එය සාර්ථක නොවීය කලක් කුමාර් රූපසිංහගේ ගිණි පුපුර කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකි. වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වේ. මහමරක්කල විජේපාල සිල්වා නොහොත් සුමිත් රාජපක්ෂ 18වැනි විත්තිකරුවූ අතර වරාය සේවය කළේය. බෙන්තොට මුහන්දිරම්ගේ නිහාල් ආනන්ද පෙරේරා 19වැනි විත්තිකරුවූ අතර වර්තමානයේ ලෙසකෝ රජ්‍යයේ ගණකාධිකාරිවරයෙකු වශයෙන් සේවය කරයි. සැමුවෙල් ඩයස්(එස්.ඩී) බණ්ඩාරනායක 20වැනි විත්තිකරුවූ අතර ශ්‍රිලනිප ජේෂ්ඨතම සාමාජිකයෙකුවූ 1952දී ගම්පහින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරි පත්විය. ඔහු පරාජයට පත්වූයේ 1970 මැතිවරණයේදී පමණි. ජවිපෙ කටයුතු වලට විජේවීරගේ ඉල්ලීම මත උදව් කල අයෙකි. ශ්‍රිලනිප හිටපු මහලේකම්වරයෙකු සහ තරුණ සංවිධානයේ හිටපු සභාපතිවරයෙකුවූ අතර වසර 2කට ප්‍රථම ජීවිතයෙන් සමුගත්තේය. 

වික්‍රමආරච්චි ඔස්මන්ඩ් ද සිල්වා 21 වැනි විත්තිකරුවූ අතර ඔහුගේ මව පක්ෂයේ අම්මා ලෙස සැලකෙන 2007 අප්‍රේල් 12වැනිදා ජීවිතයෙන් සමුගත් සීලවතී ද සිල්වාය. ලංගම සේවය කල ඔහු වනාතමුල්ලේ පදිංචිකරුවෙකුවූ අතර අප්‍රේල් 4 වැනිදා සවස පැමිණි උයන්ගොඩ ඔහුට කියා සිටියේ කොළඹ පහරදෙන තීරණය අතහරින ලෙසය. අප්‍රේල් 5වැනිදා රාත්‍රී වන තෙක් වනාතමුල්ල ප්‍රජා මණ්ඩලය අසළ කණ්ඩායමක් සමඟ පණිවිඩයක් ලැබෙන තෙක් ඔහු සීරුවෙන් සිට පසුව විසිර ගියේය. ඔස්මන් ජවිපෙ හිතවතෙකු වශයෙන් වර්තමානය දක්වාම කටයුතු කරයි. ජයකොඩි පතිරනනැහැලාගේ ප්‍රේමදාස ධනපාල 22වැනි විත්තිකරුවූ අතර නිදහසින් පසු ශ්‍රිලනිපයට උදව් කල අයෙකි. අවසාන කාලයේ සිහි විකල්ව සිටි අතර දියේ ගිලී මරමුවට පත්විය. 23වැනි විත්තිකරුවූ ලක්ෂ්මන් ගුණරත්න මහදූවගේ නොහොත් තඩි ලක්ෂ්මන් ඇල්පිටියේ සටන්වලට සහභාගිවූ අතර කලක් විජේවිරගේ ආරක්ෂකයෙකු විය. දැනට ප්‍රංශයේ ජීවත්ව සිටින ඔහු අවාහ වී සිටින්නේ මහින්ද විජේසේකරගේ සොහොයුරියක් සමඟය. සුසිල් සිරිවර්ධන 24වැනි විත්තිකරුවූ අතර මතුගමදී 1938දී උපන්නේය. සුසිල් නිදහසින් පසු නිදහස් මතධාරියෙකු වශයෙන් කටයුතු කල අතර ප්‍රේමදාස රජයේ නිවාස අධිකාරියේ සභාපති වශයෙන්ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කළේය. 

මහින්දපාල විජේසේකර 25වැනි විත්තිකරු වූ අතර 1971 මාර්තු 19වැනිදා රක්වානේදී උයන්ගොඩ සමඟ ජවිපෙ පන්තියක් පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී බන්ධනාගාරයේ රඳවා තබන ලදී. උයන්ගොඩ පැන යෑමට සමත් විය. පසුකලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරයෙකු වශයෙන් සිටියදී දෙමළ බෙදුම්වාදීන්ගේ බෝම්බයකට හසුව වර්තමානයේද සිටින්නේ ගිලන්වය. නන්එදිරි කෙලී මැගිලියන් සේනානායක 26වැනි විත්තිකරුවූ අතර කැරැල්ලේ නායක විජේවීර 1971 මාර්තු 13වැනිදා පස්වරුවේදී අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මඩකලපු බන්ධනාගාරයට දමා මාර්තු 15වැනිදා උදෑසන 7.30ට කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගෙනඑනු ලැබුවේ පොලිස් අධිකාරි රංජිත් සේනානායක විසිනි. ජවිපෙ 1977 පසු ගොඩනැගීමට සුවිශේෂි කැපකිරීමක් කල කෙලී ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් 1978දී ඉවත් කරන ලදී. පසුව ජවිපෙ විරෝධියෙකු බවට පත්වූ අතර වර්තමානයේ බංගලාදේශයේ රැකියාවක නිරත වේ. 27වැනි විත්තිකරුවූ පානියන් දේවගේ තේමිස් සිල්වා නොහොත් බටපොළ අතුල 1968දී ජවිපෙට පූර්ණකාලීනව එක්විය. අප්‍රේල් 5වැනිදා මීටියගොඩ පොලිසියට පහරදීමට යද්දී පසුබැස ගිය අතර පසුව අප්‍රේල් 27වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විය. නිදහසින් පසුව උග්‍ර ජවිපෙ විරෝධියෙකුවූ අතර 88/89 කාලයේදී දේශපාලනයෙන් නිෂ්ක්‍රීය විය. බිරිඳ චිත්‍රා සමඟ කිරිවත්තුඩුවේ වර්තමානයේ පදිංචිව සිටී. 28වැනි විත්තිකරුවූ ඇලඩින් සුබසිංහ නිදහසින් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල අතර වර්තමානයේ බලපිටිය, ඇල්පිටිය යන උසාවිවල සේවය කරන නීතිඥයෙකි. 

ලක්ෂ්මන් චන්ද්‍රෙස්න ප්‍රනාන්දු නොහොත් කළු ලකි 29වැනි විත්තිකරුවූ අතර කෝට්ටේ කණ්ඩායමේ නායකයෙකු විය. විජේවීර 1965 මුණ ගැසීමෙන් පසු ජවිපෙ සමඟ එක්වූ ඔහු අප්‍රේල් 5 කොළඹ පොලිසිවලට පහරදීමට තිබූ ප්‍රහාරය අසාර්ථකවීමෙන් පසු පසු බැස්සේය. නිදහසින් පසු ගෝනවල සුනිල් සමඟ සමීප සම්බන්ධතාවයකින් කටයුතු කල ඔහු එජාපයට හිතවත්ව විනිසුරුන්ගේ නිවසට ගල් ගැසිමේ සිද්ධියට නායකත්වය දීමෙන් ආන්දෝලනාත්මක චරිතයක් විය. 30වන විත්තිකරුවූ ලක්ෂ්මන් ජයම්පතී මුණසිංහ නොහොත් පොඩි ලකී නිදහසින් පසු දේශපාලනයෙන් ඉවත්ව ගණකාධිකාරිවරයෙක් වශයෙන් සේවය කළේය. දැනට නුවර පදිංචිය. කාරියවසම් ගෝනපිනුවල ගමගේ මෙරිල් ජයසිරි 31වැනි විත්තිකරුවූ අතර ගොනපීනුවල පදිංචි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. 1971 අගොස්තු 8වැනිදා මිත්‍රයෙකුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර නිදහසින් පසු දේශපාලනයේ නියැලුනේ නැත. එන්. ප්‍රේමරත්න නොහොත් චුක්කි 32වැනි විත්තිකරුවූ අතර 1968දී ජවිපෙට එක්විය. කටුනායක ගුවන්තොටුපොල ප්‍රහාරයට එක්වීමට සිටියද අනපේක්ෂිත ඇදිරිනීතිය නිසා පසුබැස ගිය අතර ජූනි මසදී අනුරාධපුරයට ගොස් විල්පත්තුවේ සිටි කණ්ඩායමට එක්විය. වර්තමානයේ ඉංජිනේරුවරයෙකි. 

ජවිපෙ දෙවැනි නායකයාවූ විජේසේන ජී. විතාරණ නොහොත් සනත් 33වැනි විත්තිකරුය. විදුහල්පතිවරයෙකු වූ හික්කඩුවේ පදිංචි ඔහු කැරැල්ලේදීම මරණයට පත්විය. සිංහරාජයට පසු බසින විට යට්ටපාත හරහා නෙළුව කන්ද අසළ හිතවංශගේ බාප්පාගේ නිවසට යෑමේදී බටුවන්ගල ගම්වැසියන් ඔහු අල්ලාගෙන උඩුගම පොලිසියට බාර දුන්නේය. ඔවුන්ටම කියා වලවල් කපාගෙන සනත් ඇතුළු තිදෙනාම වෙඩිතබා මරා එය වලටම දැමීය. මාතර දිස්ත්‍රික් නායකයාවු 34වැනි විත්තිකරු සුසිල් වික්‍රම මාතර කොටුවේ තිබූ හමුදා ගැමුණු කඳවුරට පහරදීමට ගිය ප්‍රහාරයේදී අත තිබූ බෝම්බයට හමුදා භටයින් තැබු වෙඩිල්ලක් වැදීමෙන් බෝම්බය පිපිරී මරුමුවට පත්විය. 35වැනි විත්තිකරුවූ සරත් විජේසිංහ කෑගල්ල දිස්ත්‍රික් නායකයාවූ අතර කැරැල්ල පවතින අවස්ථාවේදී කැරළිකරුවකුගේ අතින් අත්වැරදීමකින් තැබූ වෙඩිල්ලක් නිසා මරුමුවට පත්විය. මාබෝලේ එච්. මිල්ටන් 36වැනි විත්තිකරුවූ අතර 1971 අපේ‍්‍රල් 5වැනිදා කඩවත පොලිසියට පහරදීමෙන් මිය ගියේය. අප්‍රේල් කැරැල්ලේ ප්‍රධාන නායකයින් 5දෙනාගෙන් අයෙකුවූ අක්මීමන ඩබ්ලිව් ටී. කරුණාරත්න 37වැනි විත්තිකරුය. කැරැල්ලෙන් පසු පළාගොස් සිටියදී රත්නපුරයේ තිරිවාණකැටිය ප්‍රදේශයේදී රහස් පොලිසියේ ඇන්ටන් ජෙගනාදන් විසින් අත්අඩංගුවට ගත් ඔහු වසර 8ක සිරදඬුවමකින් පසු නිදහස ලැබීය. 

මහ නඩුවේ 38වැනි විත්තිකරු වූ ප්‍රේමපාල හේවාබටගේට 1964දී සරසවි ප්‍රවේශයට ඉගෙන ගනිමින් සිටියදී විජේවීර හමුවිය. කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව සිටි ප්‍රේමපාලට වඩා මාස 11කින් විජේවීර වැඩිමහල් විය. හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්වීමේ ප්‍රධානියෙකුවූ ප්‍රේමපාල වැලිසර නාවික සහ හෝමාගම හමුදා කඳවුරුවල සාමාජිකයින්ටද පන්ති පැවැත්වූවෙකි. කැරැල්ලේ පරාජයෙන් පසු 1971 අප්‍රේල් 8වැනිදා මාතලේ ලෙනදොර කඳවුරට එක්වූ ඔහු විල්පත්තුව ඇතුළු රටපුරා සැඟවී සිටි ජවිපෙ සාමාජිකයින් සම්බන්ධීකරණය කරමින් සිටියදී 1972 නොවැම්බර් මස 3වැනිදා ගාමිණී බාස්ගේ ඔත්තුවක් අනුව ගෙලිඔයේදී අත්අඩංගුවට පත්විය. මහ නඩුවේදී වසර 5ක සිර දඬුවමක් ලැබූ අතර පසුව 1977දී සියළු සිරකරුවන් සමඟ නිදහස් විය. නිදහසින් පසු ජනතා සංගමයේ නියමුවෙකුද විය. ප්‍රේමපාල අවාහවී සිටියේ ජවිපෙට සම්බන්ධවී සිටි විජිතා සමඟය. තිදරු පියෙකි. ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ 2011 දක්වා නායකයෙකු වශයෙන්ද කටයුතු කළේය. 

නයනන්ද විජේකුලතිලක 39වැනි විත්තිකරුවූ අතර චිත්‍ර ශිල්පියෙකි. නිදහසින් පසු නව සම සමාජයේ ක්‍රියාකාරිකයෙකුවූ අතර පසුව ඉන් ඉවත්වී නිදහස් මත දරණ වාම ක්‍රියාකාරිකයෙකු විය. බිරිඳ ශෂීය. 40 වැනි විත්තිකරුවූ ඩී.ජී. විමලගුණ මාතර උපන් අතර මහනඩුවේ චෝදනා රහිතව නිදහස් කරන ලදී. ජවිපෙට ලැදිව සිටි ඔහු අවසාන කාලයේදී මාතරදී ඉතා දුක්ඛිත අන්දමින් මියගොස් තිබිණි. ධර්මසේකර කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකුව සිට දිගටම ජවිපෙ සමඟ එක්වී සිටි ජේ.ඒ. පී. ජයකොඩි මහ නඩුවේ 41වැනි විත්තිකරුය. බෝල සමරේ සමඟ කුරුණෑගල පොලිසියට කල ප්‍රහාරයේදී සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සටන්වලදී සක්‍රීයව එක්වී සිටි ජයකොඩි 1990 ජීවිතයෙන් සමු ගත්තේය. 

අප්‍රේල් කැරැල්ලේ ඇතැම් ප්‍රධාන නායකයින් අප්‍රේල් 5වැනිදා සිය වගකීම් නිවැරදිව ඉටු ‍නොකලද කැරළි ගැසූ තරුණයෝ නොවැ‍හැරෙන රණකාමයෙන්ද, පරිත්‍යාගශීලිත්වයෙන්ද නිර්භයවද ජීවිතය පරදුවට තබමින් සටන් කළහ.ජවිපෙ 71 කැරැල්ලෙන් පසු පක්ෂයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරීමේ පලමු සැසිය පැවැත්වූයේ 1976 නොවැම්බර් 16 සහ 17 යන දෙදින තුළය. ලේකම්ධූරයට උපතිස්ස ගමනායක පත්වූ අතර හිරගෙදර සිටි විජේවීර සභාපති තනතුරට පත්විය. මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව 1977 මැතිවරණයේදී අනුරාධපුර බටහිර, හොරොව්පතාන, හක්මන සහ තංගල්ල ආසන 4ට ජවිපෙ වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයින් ඉදිරිපත් කරන ලදී. විජේවීරගේ නිදහසින් පසු ජවිපෙ ප‍්‍රථම මංගල සමුළුව 1979 ඔක්තෝබර් 18සිට සිව් දිනක් මුළුල්ලේ කුරුණෑගල ගල්ගමුවේ ඕමාරගොල්ලේදී පැවැත්විණි. ජවිපෙ 1983 ජුලි 31වැනිදා රජය මගින් තහනම් කිරීමට පෙර අවසන් මධ්‍යම කාරක රුස්වීම පැවැත්වූයේ 1983ජුලි 21වැනිදා සිට සිව්දිනක් තංගල්ල විතාරන්දෙණිය විජිත රණවීරගේ නිවසේ පැවති පක්ෂ පාසැලේදීය. 



ජවිපෙ 52 වසරක ඉතිහාසය තුළ ප‍්‍රථම ප්‍රථම කැරැල්ල නිමාවට පත්වූයේ 1971 අපේ‍්‍රල් 5වැනිදා දිවයින පුරා පොලිස් ස්ථාන 92කට පහරදීමෙනි. එහි 2වැනි කැරැල්ල නිමාවට පත්වූයේ පරාජයත් සමඟ 1990 සැප්තැම්බර් මසදීය. රෝහණ විජේවීර විවරකල මංපෙත් ඔස්සේ ඉන්දියානු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයටත්, දෙමළ බෙදුම්වාදයටත් එරෙහිව යළි නිවැරදි මගට අවතීරණවීම 45 අප්‍රේල් සැමරුම පවත්වන මොහොතේ අප්‍රේල් කැරළිකරුවන්ට කලහැකි ඉහළම උපහාරය වේ. බොහෝ ජාතික ප‍්‍රශ්න කල්තියා අවබෝධ කරගැනීමට සමත්වු රෝහණ විජේවීරගේ දෘෂ්ඨිය සහ දේශපාලනයද එයයි. අප්‍රේල් 5 කැරැල්ලට දැන් වසර 45ක් ගෙවී ගියද ඉතිහාසයට පාඩම් උගත හැක්කේ එය නිවැරදි දේශපාලන කියවීමක් බවට පත්කර ගැනීමෙනි.

-ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7447063407670952149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item