හිලරි ක්ලින්ටන්ට අබිරහස් රෝගයක්?

බැරක් ඔබාමාගෙන් පසු ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා පත්වීමට හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිව තිබෙන ද්වන්ධ සටන දිනෙන් දින වඩාත් උ...

බැරක් ඔබාමාගෙන් පසු ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා පත්වීමට හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිව තිබෙන ද්වන්ධ සටන දිනෙන් දින වඩාත් උණුසුම් වෙමින් පවතින අතර මෑතකාලයේ ඇමෙරිකානු ජනාධිපතිවරණයක දක්නට නොලැබුණු ආකාරයෙන් අතිශය පෞද්ගලික කාරණා පවා එකිනෙකාට එරෙහිව දමා ගසා ගන්නා මට්ටමට වැටී ඇති බවද පෙනී යයි.

පසුගිය කාලයේ එවැනි ප්‍රහාර ගණනාවක් එකිනෙකා වෙත එල්ලකරගත් අයුරු මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය. මේ වන විට දැඩිආන්දෝලනයක් ඇති කරමින් කතාබහටලක්ව ඇති කාරණාවක් වී ඇත්තේ හිලරි ක්ලින්ටන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කසුකුසුවකි. සී.එන්.එන්.බි.බි.සී., ෆොක්ස් නිව්ස් වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ පවා සාකච්ඡා කෙරෙන මට්ටමට දැන් මෙය ‘වැදගත්’ කාරණාවක් වී ඇති බව පෙනේ.

හිලරි ක්ලින්ටන් යනු බරපතළඅසනීප කිහිපයකින් පෙලෙමින් සිටින අයෙකු බවටත්, ඒ නිසාම ඇය කිසිසේත් ඇමෙරිකානු ජනාධිපති පදවියට සුදුසු කෙනෙකු නොවන බවටත් යම් සැකයක් ඇති කරන්නට මෙම ආරංචි පතුරුවන්නන් කටයුතු කරමින් සිටින බව දැකගත හැකි වෙයි. ක්ලින්ටන් වරින් වර සෑදෙන (සාමාන්‍ය කතාබහේදී අප ‘ෆිට් එක’ යනුවෙන් හඳුන්වන) කම්පන තත්ත්වයක් (Seizures) නිසා පීඩා විඳින බවටත්, මතක ශක්තිය අඩු වීමේ (dementia නම්) රෝගයට ගොදුරුවෙමින් සිටින බවටත්, එසේම දිගු කලෙක සිට අභිරහස් කැස්සකින් විඳවමින් සිටින බවටත් යම් යම් සැක සංකා ජනතාව තුළ ඇති කරන්නට මොවුහු කටයුතු කරමින් සිටිති. ඇය පාර්කින්සන් රෝගයට ගොදුරුව සිටින බවටද සමහරු කටකතා පතුරුවති.

ඉහත කී කම්පන තත්ත්වය සහ කැස්ස පිළිබඳ පෙන්වා දීම සඳහා ඇතැම් සැක කටයුතු විඩියෝ දර්ශන පවා ඉරිපත් කරන්නට මෙම චෝදනා නගන්නවුන් පියවර ගෙන ඇති අතර මේ වන විට මෙම වීඩියෝ දර්ශන ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් ඇති බවද වාර්තා වෙයි.

හිලරි ක්ලින්ටන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙම සැක සංකාවන්ගේ ආරම්භය ලෙස සැලකෙන්නේ 2012 වසරේ ඇය මුහුණදුන් සිදුවීමකි. එවකට ඇය සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම්වරිය ලෙස කටයුතු කරමිනි. එම වසරේ දෙසැම්බර් මාසයේ හදිසියේ හටගත් සිහිමඳ තත්ත්වයකින් සහ ඒ හා බැඳුණු ව්‍යාකූලත්වයකින් හිලරි රෝගාතුර වූවාය. මේ හේතුවෙන් ඇය දින ගණනාවක් රෝහල්ගත කර ප්‍රතිකාර කරන්නට ද සිදුවිය. එහිදී වෛද්‍යවරුන් නිගමනය කළේ ඇගේ මොළයේ
තැනක ‍ලේ කැටියක සිරවීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති ව තිබෙන බවයි. කෙසේ වෙතත් මෙයින් ඇගේ ස්නායු ක්‍රියාකාරීත්වයට කිසිදු හානියක් සිදුව නැති බවත්, ඒ නිසා ඇයට නැවත මුළුමණින්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකියාව ඇති බවත් වෛද්‍යවරුන් සඳහන් කළ බවද එකල ප්‍රකාශයට පත් විණි.

වෛද්‍යවරුන් එසේ ප්‍රකාශ කළද එදා පටන් අද දක්වාම වරින් වර ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ සැක මතු කරන වාර්තා විශේෂයෙන් වබේ අඩවි, බ්ලොග් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය තුළ කතාබහටලක් වන්නට පටන් ගත්තේය. 2012 සිද්ධිය නිසා හිලරිගේ මොළයට සහ ස්නායු ක්‍රියාකාරිත්වයට බලපෑමක් සිදුව ඇති බවටත්, ඒ නිසා වරින් වර ඇය එහි අතුරු විපාකවලින් පීඩා විඳිමින් සිටින බවටත් ඔවුහු සැක මතු කරන්නට වූහ. හිලරි පීඩා විඳින කම්පන තත්ත්වයන් පිළිබඳ කටකතාද මතු වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

කෙසේ වෙතත්, හිලරි ක්ලින්ටන්ගේ පාර්ශ්වයේ අය චෝදනා කරන්නේ මේවා ඇගේ දේශපාලන ප්‍රතිවාදීන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් බවයි. මේ අතර, මෙම ආරංචි සහ කටකතා වේගයෙන් පැතිරයද්දී, දිගු කලෙක සිට හිලරිගේ වෛද්‍යවරිය ලෙස කටයුතු කරන ලීසා බර්ඩැක් නිවේදනයක් මගින් තහවුරු කරමින් කියා සිටියේ හිලරි ක්ලින්ටන් මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා සිටින බවයි.

හිලරිගේ අසනීප තත්ත්වය පිළිබඳව මතු වූ කතාබහට මෑතකම නිමිත්තක් බවට පත්වූයේ ඇය ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස නිල වශයෙන් පත් වූ මහා සම්මේලනය අවස්ථාවේ ගත් විඩියෝ දර්ශන පෙළකි. හිලරි සම්මේලනය අමතා කතා කිරීමෙන් සුළු මොහොතකට පසුව පවා ඇය කම්පන තත්ත්වයකට පත් වූ බවට සැකයක් ඇති කරන්නට මෙම වීඩියෝ දර්ශන ඇසුරෙන් පෙර කී පාර්ශ්ව කටයුතු කළෝය. ඔවුන් පවසන්නේ ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ මෙම දර්ශණ නරඹා නිගමනයකට පැමිණිය හැකි බවයි.

කෙසේ හෝ වේවා දැන් මේ කාරණාව පිළිබඳව ආන්දෝලනය වඩාත් උග්‍ර වන්නට පටන් ගෙන ඇත්තේ හිලරිගේ ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ආරංචි, ඕපදූප සහ කටකතා සිය ජනාධිපතිවරණ සටන වෙනුවෙන්ද යොදාගන්නට පටන්ගෙන තිබිම නිසාය. පසුගිය දිනවල ඔහු නිතර සිය දේශපාලන කතාවලදී හිලරිගේ මානසික සහ කායික ශක්තිය පිළිබඳව ප්‍රශ්ණ කරන්නට පටන්ගෙන තිබේ.

මේ අතර ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් චෝදනා කරන්නේ පසුගිය කාලයේ ඔහුගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටීමට පටන් ගැනීමත් සමග ඔහු හිලරි සම්බන්ධයෙන් පළවෙන මෙම පදනමක් නැති කටකතා සහ ඕපාදූප සිය වාසියට යොදාගන්නට ක්‍රියා කරමින් සිටින බවයි. ට්‍රම්ප්ගේ හැසිරීම් සහ ඔහුගේ ඇතැම් ප්‍රතිපත්තිවල පැවති අස්ථාවර, පරස්පර විරෝධී තත්ත්වයන් නිසා දැන් ටික දිනෙක සිට ඔහුගේ ජනප්‍රියත්වය, හිලරි ක්ලින්ටන්ට සාපේක්ෂව වේගයෙන් පහත වැටෙමින් තිබේ. ඇතැම් සමීක්ෂණ ආයතන සිදුකළ ජනමත සමීක්ෂණ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ නොවැම්බරයේ පැවත්වෙන ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් ඉතා පහසුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරනු ඇති බවයි.

පසුගිය කාලයේ ඇතැම් දේශපාලන විචාරකයින්, ට්‍රම්ප්ගේ ද මානසික තත්ත්වය පවා ප්‍රශ්න කරන මට්ටටම පැමිණි බව රහසක් නොවේ. දැන් ට්‍රම්ප් පාර්ශ්වයද පෙරළා හිලරිගේ මානසික සහ ශාරීරික තත්ත්වය ප්‍රශ්න කරන්නට පටන්ගෙන ඇති අතර ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනක් මෙවැනි ග්‍රාම්‍ය අඩියකට ඇද වැටීම ගැන බොහෝ නිරීක්ෂයින් කණගාටුව පළකරන්නටද පටන්ගෙන තිබේ.

කිත්සිරි මල්වත්ත



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7389089209991603080

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item