‘මේ එල්මෝ ප්‍රනාන්දුයි’ ඒ හඬ නිහඬවෙයි
කලක් අතිශයින් ජනප්‍රියවූ පිලිපීනයේ වෙරිටාස් සහ බ්‍රිතාන්‍යයේ බී.බී.සී සන්දේශයේ කොළඹ වාර්තාකරු වශයෙන් කටයුුතු කල දෙටු ප්‍රවීණ ගුවන්විදුලි ...

http://www.sathhanda.com/2016/08/blog-post_46.html
කලක් අතිශයින් ජනප්‍රියවූ පිලිපීනයේ වෙරිටාස් සහ බ්‍රිතාන්‍යයේ බී.බී.සී සන්දේශයේ කොළඹ වාර්තාකරු වශයෙන් කටයුුතු කල දෙටු ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදි එල්මෝ ප්‍රනාන්දු 2016 අගෝස්තු 11වැනිදා අළුයම අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අවසන් කටයුතු අගෝස්තු 11වැනිදා පස්වරු 4ට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේදී සිදුකෙරේ. හලාවතදී 1941 නොවැම්බර් 9වැනිදා උපන් තිදරු පියෙකුවූ එල්මෝට මිය යනවිට මුණුබුරු මිනිබිරියන් 6 දෙනෙකි. වසර 2014 ඔහු රෝගාතුර වනවිට වසර 48ක් වෘත්තීය ක්‍රියාකාරි ජනමාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතුකර තිබිණි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට 1968දී එක්වූ එල්මෝ ප්‍රනාන්දු පසුව එහි වාර්තාකරුවෙකු, වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම ජනප්‍රිය නිවේදකයෙකුද විය. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයවූ 1973 සිට 1977 දක්වා සභාපති තනතුර දැරූ කීර්තිමත් සිවිල් සේවකයෙකුවූ රිජ්වේ තිලකරත්න පාලන සමයේදී ස්වදේශීය සහ වෙළෙඳ සේවයන් සිංහල සේවය වශයෙන් ඒකාබද්ධ කිරීමෙන් පසු එල්මෝට ගුවන් විදුලියෙන් නව මංපෙත් විවර විය. එවකට සිංහල සේවයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් එච්. එම්. ගුණසේකර කටයුතු කල අතර මුල්පෙලේ සිටි මාධ්‍යවේදීන් වූයේ අමරබන්දු රූපසිංහ, බර්ටි ගලහිටියාව, නිව්ටන් ගුණරත්න, ඩී.එස් දයාරත්න, ප්‍රේමකීර්ති ද අල්විස් සහ දයා අල්විස් ඇතුළු කිහිප දෙනෙකි. භක්තිමත් කතෝලිකයෙකුවූ එල්මෝ හොද එජාප පාක්ෂිකයෙකු වූවද ඒ දෙක සිය වෘත්තීය සමඟ කිසිදා පටලවා නොගත්තේය.

පසුව 1993දී බ්‍රිතාන්‍ය බී.බී.සී ගුවන්විදුලියේ සංදේශය වැඩසටහනේ කොළඹ වාර්තාකරු වශයෙන් විශ්‍රාමයන තෙක් වසර 20ක් හෙතෙම ක්‍රියා කළේය. බී.බී.සී සංදේශයේ ඔහුගේ දීර්ඝ ප්‍රවෘත්තිය අවසානයේ ඔහුකල ‘බී.බී.සී. ලෝක සේවයේ සංදේශයට එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට’ යනුවෙන් කල සඳහන ගුවන් තරංග අතර සදාකාලිකව ඔහු සනිටුහන් කල සන්නාමය විය. එල්මෝටම ආවේනිකවූ භාෂා ශෛලය, ප්‍රපාතවත් හඬ, ප්‍රවෘත්තිය පෙළගස්සවා ඇති ආකාරය ඔහුගේ සඟරාමය ප්‍රවෘත්ති වැඩසටහන් වල විශේෂත්වය විය. මාධ්‍ය කේෂේත්‍රයට පැමිණි නවක මාධ්‍යවේදීන්ට පමණක් නොව තරුණ මාධ්‍යවේදින්ටද සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් ඔවුනට නිරන්තරයෙන් මඟපෙන්වීම් කල එල්මෝ ප්‍රනාන්දු ගුරු මුෂ්ඨියකින් තොරව අතහිත දුන් සැබෑ නිහතමානි මිනිසෙකු විය. ලියුම්කරු ප්‍රථමවරට ඔහු 1984දී දැන හඳුනාගත් අතර අවසානවරට රෝගීව සිටි ඔහු බැලීම සඳහා බත්තරමුල්ල පැලවත්ත අරුප්පිටියේ නිවසට ගියේ 2015 නොවැම්බර් 9 වැනිදා දයා ලංකාපුරයන් සමඟිනි. එදින වරුවක්ම ඔහු සමඟ අතීත ආවර්ජනයේ නියැලෙමින් අපිි ගතකළෙමු.

එල්මෝ ප්‍රනාන්දු සිය කලා ජීවිතය ඇරඹුවේ ඔහු උපන් හලාවත අවට ප්‍රදේශවල වේදිකාගතවූ පාස්කු නාට්‍යයන්හි රඟපෑමෙන් සහ නිවේදන කටයුතු කිරීමෙනි. එල්මෝගේ බිරිඳ මෞලි මැලේ ජාතික කාන්තාවක්වූ අතර දරුවන් වූ එකම පුතු රංග, දියණියන් දෙදෙනා වූ දිල්හානි සහ එරංගි ගෙන් සෙනෙහස සහ සත්කාරය අවසාන කාලයේ ඔහුට නොඅඩුවම ලැබුණි. එල්මෝ ඉතා සාර්ථක සහ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගතකල අයෙකි. ජීවත්ව සිටියදී එල්මෝ කල ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරිණි.
ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com
Related