ශ්‍රී ල.නි.ප. සංවිධායකකම අද ලුණුවලටත් වඩා ලාභයි - ඩලස්ගේ සාකච්චාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මීට වසරකට පෙර පැවැති මහ ඡන්දයේදී යළි පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මාතර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාප...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මීට වසරකට පෙර පැවැති මහ ඡන්දයේදී යළි පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මාතර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාප ඡන්ද ලාභියා ලෙසය. වර්තමාන දේශපාලන කතිකාව තුළ මතවාදීව හා ප්‍රායෝගිකව කැපී පෙනෙන චරිතයක්‌ වන ඩලස්‌ ශ්‍රී ලනිපයේ මහින්දවාදී කුලකය නියෝජනය කරන්නේ අභ්‍යන්තරික හා බාහිර අභියෝග රැසක්‌ මධ්‍යයේය. ඒකාබද්ධ විපක්‍ෂය බරපතළ ලෙස දේශපාලන කප්පාදුවකට ලක්‌ව ඇති මේ මොහොතේ අපි ඔහු හා කතා කළේ මේ හැල හැප්පීම් ඔස්‌සේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන්නටය.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් පක්‍ෂයක්‌ හදනවාය කියන කතාව පරණ කතාවක්‌. ඒත් හැමදාම ඒ ගැන විවිධ අදහස්‌ පළවුණා. මේ කතාවේ වර්තමාන ස්‌වරුපය මොන වගේද?

පිළිතුර - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එම පක්‍ෂයේ සිටින ප්‍රවීණ දේශපාලනඥයන් ක්‍රියාකාරී නායකයන් ඇදල එළියට දානකොට ඒ අයට වෙනත් සංවිධානයක්‌ පිහිටුවා ගැනීම හැර වෙනත් විකල්පයක්‌ නැහැනේ.

ප්‍රශ්නය - ඔබ කියන්නේ වෙනම පක්‍ෂයක්‌ සෑදීම සඳහා උත්තේජනයක්‌ නිල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින්ම සපයනවා කියන එකද.....

පිළිතුර - වෙන මොකක්‌ද.. ශ්‍රීලනිපය කියල මේ පෙනී සිටින කණ්‌ඩායම කරගෙන යන මේ දේශපාලන දඩයම අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විකල්පයක්‌ නැහැ.

ප්‍රශ්නය - හරි... මොකක්‌ද දැන් ඒ විකල්පයේ, අලුත් පක්‍ෂයක්‌ සෑදීමේ කටයුත්තේ අලුත්ම තත්ත්වය. ඇයි තවම ප්‍රමාද.....

පිළිතුර - ඒකාබද්ධ විපක්‍ෂයේ ක්‍රියාකාරී නායකයෝ බර ගාණක්‌ මේ වන විටත් ආසන සංවිධායක ධුරවලින් නෙරපලා තියෙනවා. ඊට පෙර පක්‍ෂ සාමාජිකත්වය පවා අත් හිටෙව්වා. නිලතලවලින් එලෙව්වා. නිලතල පැහැර ගැනීම් කළා. මේ පසුබිම තුළ අපි දැනට සාකච්ඡා කරගෙන යනවා ඊළඟට මොකද කරන්නේ කියලා. ඊළඟට අපි ගන්න පියවර කඩිමුඩියේ ගන්නේ නෑ. හොඳට සාකච්ඡා කරලා පක්‍ෂයේ සාමාජිකයෝ, ක්‍රියාකාරී නායකයෝ එක්‌ව සාකච්ඡා කරලා අපි පැහැදිලි තීන්දුවක්‌ ගන්නවා. මට හිතෙනවා, 19 දා ශ්‍රී ලනිප නායකයත් එජාප නායකයත් දෙන්නම එකතුවෙලා මාතරදී පවත්වන උත්සවයත් අපේ ගමනට ලොකු රුකුලක්‌ වේවි.

ප්‍රශ්නය - මොකක්‌ද මාතර තියෙන උත්සවය කිව්වේ?

පිළිතුර - ඇයි 19 වැනිදා මාතර තියෙනවානේ මේ හවුල් ආණ්‌ඩුවට වසරක්‌ සපිරීම සමරන ලොකු උත්සවයක්‌. ඒක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි ගමනට දැඩි බලපෑමක්‌ ඇති කරන, ඉතාමත්ම තීරණාත්මක අහිතකර බලපෑමක්‌ ඇති කරන උත්සවයක්‌.

මොකද.... මේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බණ්‌ඩාරනායක මහත්තයා බිහි කරන්නේ 1951 දී එක්‌සත් ජාතික පක්‍ෂයට විකල්පයක්‌ විදියටයි. මීට අවුරුදු 60 කට ඉස්‌සෙල්ලා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වෙලා ඇවිල්ලා බණ්‌ඩාරනායක මහත්තයා ලොකු කතාවක්‌ කළා. ඒක ඓතිහාසික දේශපාලන විග්‍රහයක්‌. ඇයි අපේ රටට එක්‌සත් ජාතික පක්‍ෂයට විකල්පයක්‌ වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්‌ අවශ්‍ය වන්නේ කියලා එතුමා ඒ කතාවෙන් කියනවා. ඒවා අද ඉන්න ඔය දේශපාලනඥයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවල නෑ. මම මේ ඉන්න නායකයන්ට කියනවා ඔක්‌කොටම ඉස්‌සරවෙලා බණ්‌ඩාරනායක මහත්තයාගේ අන්න ඒ කතාව කියවන්න කියලා.

ප්‍රශ්නය - හොඳයි....... දැන් කුරුණෑගල පවත්වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහා සම්මේලන උත්සවය ගැනත් සමාජයේ ලොකු කතාබහක්‌ පවතිනවා. ඊට සහභාගි වනවාද නැද්ද කියල ඒකාබද්ධ විපක්‍ෂයේ තවමත් හරි තීන්දුවක්‌ නෑ. නායකයෝ එක එක කතා කියනවා. මොකක්‌ද හරි. ඔබේ නායකයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය ඊට යනවද ...... නැද්ද......

පිළිතුර - පක්‍ෂ සම්මේලනයට සති දෙකක්‌ තිබියදී, එළිපත්ත උඩ ඉඳගෙන පක්‍ෂයේ විශාල ඡන්ද පදනමක්‌ තියන නායකයෝ, අපේ ක්‍රියාකාරී සංවිධායකයෝ බුරුතු පිටින් පක්‍ෂයෙන් නෙරපනවා නම් ඉන් මොකක්‌ද ඔය කියන පක්‍ෂ නායකයෝ බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වන්නේ පැමිණීම නොවෙයි. නොපැමිණීමයි.

ප්‍රශ්නය - පළාත් සභා ප්‍රාදේශීය සභා මට්‌ටම්වලින් පවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ ක්‍රියාකාරීන්, හිටපු මන්ත්‍රීවරු මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ප්‍රබලව කියනවා වෙනම සම්මේලනයක්‌ පවත්වන්න. මේ කුරුණෑගල සම්මේලනය වර්ජනය කරන්න. ඇයි තවම මහින්ද මහත්තය නිහඬ....

පිළිතුර- නිහඬ නෑ. අද අපි කතා කරන්නේ සංවත්සරයට සති දෙකකට කලින්. මහින්ද මහත්තයා තමයි මේ රටේ අද ඉන්න හොඳම ශ්‍රී ලංකාකාරය. හොඳම නායකයා. එයා පොළොන්නරුවේ සංවත්සරයටත් ගියා. එහෙම ඉන්න අතරේ තමයි ශ්‍රී ලනිප නායකයෝ බුරුතු පිටින් එළියට දමමින් දේශපාලන දඩයම් කරමින් රාජපක්‍ෂ පවුලෙන් පළිගනිමින් පක්‍ෂය ඇතුළේ ලොකු ආරවුලක්‌ ඇති කරන්නේ. අපි මේ තත්ත්වයන් හොඳින් අධ්‍යයනය කරනවා. කොහේද නිහඬ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරනවා. එහෙමයි කියල අපි කාටවත් තවම ආරාධනයක්‌වත් කරල නෑ කුරුණෑගල සම්මේලනයට එන්න කියලා.

ප්‍රශ්නය - ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. ආරාධනා කළා කියලා.

පිළිතුර - ඊට අපේ ජනාධිපතිතුමා (හිටපු) මාධ්‍ය හමුවේ පිළිතුරු දුන්නා. එතුමා එක එක වෙලාවට එක එක දේවල් කියල නෑ. එතුමත් හොඳ අවබෝධයකින්aaa හොඳ නිරීක්‍ෂණයකින් ඉන්නවා. සැබෑ ශ්‍රී ලංකා කාරයන්ව දඩයම් කරමින් වත්මන් නායකත්වය එජාපයේ උවමනාව ඉටු කරමින් මේ ගෙනයන ක්‍රියාකලාපය ගැන.

ප්‍රශ්නය - ඔබ කියනවා ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ව ක්‍රියාකාරීන්ව බුරුතු පිටින් එළියට දැම්මා කියලා. නමුත් මහින්දානන්ද, ඩලස්‌ අලහප්පෙරුම කියන ඔබ නිරුපද්‍රිතව පක්‍ෂයේ ඉන්නවා. ඒ ගැන විවිධ දේශපාලනඥයන් විවිධ අර්ථකථන සපයනවා. පාද යාත්‍රාවේ සංවිධායක කමිටුවේ සභාපති වන මහින්දානන්ද නිරුපද්‍රිතව පක්‍ෂයේ ඉන්නත් එහි ප්‍රබල ක්‍රියාකාරිකයකු වන ඔබ නිරුපද්‍රිතව ඉන්නත් කමිටුවේ ලේකම් වන රෝහිත අබේගුණවර්ධන සහ වෙනත් ක්‍රියාකාරිකයන් එළියට දාන්නත් බලපෑ දේශපාලන හේතු මට කියන්න.

පිළිතුර - මම ඉතාම කනගාටු වෙනවා. දිවයින වැනි පුවත්පතක්‌ මේ වගේ ප්‍රාථමික ගණයේ ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කිරීම ගැන. මොකද මම ආසන සංවිධායකයෙක්‌ නොවෙයිනේ. ඒකවත් දන්නෙ නැද්ද. නැති සංවිධායකකමකින් කොහොමද එළියට දාන්නේ. 2001 න් පස්‌සේ මට ආසන සංවිධායක කමක්‌ නෑ. මට තිබුනේ දිස්‌ත්‍රික්‌ සංවිධායක කමක්‌ විතරයි.

ප්‍රශ්නය - එතකොට මහින්දානන්ද අලුත්ගමගේ. එයත් සංවිධායකයෙක්‌ නොවෙයිද?

පිළිතුර - තේරුම් ගන්න. මෙයාලට මේ ඔක්‌කොම සැලසුම් සහගතව ඉටු කරගන්න කල් තියා සකස්‌ කරපු, එක්‌සත් ජාතික පක්‍ෂයේත්a ආශිර්වාදය ඇති දේශපාලන න්‍යාය පත්‍රයක්‌ තියෙනවා. ඒකට අනුවයි මේ නායකයෝ කටයුතු කරන්නේ. ඒ අනුව මැතිවරණයටත් ඉස්‌සරවෙලා දෙන්නෙක්‌ගේ සංවිධායකකම් අහෝසි කළා. කංචන විඡේසේකරගෙයි, එස්‌. එම්. චන්ද්‍රසේනගෙයි. ඊට පස්‌සේ මැතිවරණයට පසුව තව 7 දෙනෙක්‌ගේ සංවිධායකකම් අහෝසි කළා. සාලින්ද, ප්‍රසන්න, දිලුම් ගීතා වගේ අයගේ අහෝසි කළා. රෝහිතවයි ලොකුගේවයි සම සංවිධායකවරු කළා. 17 දෙනෙක්‌ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළා. දැන් මේ තවත් ප්‍රබලයෝ කණ්‌ඩායමක්‌ ඉවත් කරලා තියෙනවා. දැන් මෙයාලට මේ පුරප්පාඩුවලට දාගන්න කෙනෙක්‌ නෑ. ප්‍රබලයෝ නෑ. ලැයිස්‌තුවල අඩියේ හිටපු දුර්වලයෝ විතරයි ඉන්නේ. ලංකාවේ ලාබෙටම තිබුණ දේ ලුණු නේ. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සංවිධායකකම ලුණුවලටත් වඩා ලාභයි.

ප්‍රශ්නය - මම ඇහුවේ මහින්දානන්ද ගැන.

පිළිතුර - ඔව්. සිරිකොතෙන් හදලා ශ්‍රී ලනිප නායකත්වයට දීපු දේශපාලන න්‍යාය පත්‍රය අනුව එයාටත් ටිකට්‌ එක හම්බවෙයි. ඒ විතරක්‌ නොවෙයි. තව 11 දෙනෙක්‌ ඉන්නවා සංවිධායකවරු වෙල්ගම මන්ත්‍රීතුමා, ජනක මන්ත්‍රීතුමා, චමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා වගේ 11 ක්‌ ඉන්නවා. ඒ අය වෙනුවෙන් යම් යම් උපක්‍රම ඇති. කලබල වෙන්න එපා. බලන් ඉන්න. ජනවාරි 8 වැනිදාට පෙර එජාපය හා ඔය කියන ශ්‍රී ලනිපය අතර ඇතිවූ රටට අප්‍රකාශිත එකඟතාවක්‌ තියනවා. ඒකට අනුව වැඩ සිද්ධ වෙයි.

ප්‍රශ්නය - මහින්දානන්ද, ඩලස්‌ අලහප්පෙරුම යන දෙදෙනාත් යහපාලන රජයත් මෙබඳු එකඟතාවක කටයුතු කරනවා කියලත් සමහරු කියනවා. ඒ අනුව ඔබලාගේ සූදානමක්‌ තියෙනවාලු රජයට එක්‌වන්න.

පිළිතුර -කවුද ඒ සමහර අය.....

ප්‍රශ්නය - බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රියත් පසුගිය දවසක මේ ගැන කිව්වා.

පිළිතුර - එයාද... අන්න එයාට මේ උත්තරය ලියාගන්නකෝ. ඕනම කෙනකුට පුළුවන් තමන් මෝඩයෙක්‌ තමන් නූගතෙක්‌ තමන් පුස්‌සෙක්‌ කියල කියන්න අයිතියක්‌ තියෙනවා. ඒ අයිතිය ඔය කියන මහ ඇමැතිටත් තියෙනවා. දේශපාලනඥයන්ට විතරක්‌ නෙවෙයි. මාධ්‍යවේදීන්ටත් ඒ අයිතිය තියනවා. හැබැයි මම කනගාටු වෙනවා. මිලියන තුනක්‌ ඡන්ද තියන බස්‌නාහිර පළාතේ මහ ඇමැතිවරයාගේ වගකීම දරන්නේ මනාප 18 දාහක්‌ ගනිපු මිනිහෙක්‌ වීම ගැන. එයාට ඒක දෙන්න නායකත්වය ගනිපුq තීන්දුව වැරදියි කියන එක තමයි ඔය කට්‌ටිය ගිරව් වගේ දොඩවමින් එක එක බහුබූත කියමින් කරමින් ඉන්නේ. ඔච්චරයි මට ඒ ගැන කියන්න තියෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 5657934968065110008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item