සිංහලයෙකු වීම ජනපති සමාව ලැබීමට බාධාවක් ද? - ගම්මන්පිල අසයි

31 දින ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල දැක්වූ අදහස්, ඊයේ දිනයේ ප්‍රධානතම ප්‍රවෘත්තිය තමයි හැකර් කරුවන්. ජනාධිපති ම...

31 දින ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල දැක්වූ අදහස්,

ඊයේ දිනයේ ප්‍රධානතම ප්‍රවෘත්තිය තමයි හැකර් කරුවන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් දරුවෙක් අද පරිවාස භාරයට පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය සලකන්නේ ලංකාවේ තියෙන සුරක්ෂිතම වෙබ් අඩවිය විදිහටයි. ඒ වෙබ් අඩවියට පාසල් දරුවකු ඇතුළු වුණා කියන්නේ ඔහු සැබෑම දක්ෂයෙකු විය යුතුයි. ඒ දරුවා සැබෑ දක්ෂයකු බවට විභාග දේපාර්තුමේන්තුවත් ලිඛිතව සහතික කරලා තියෙනවා ඉදිරිපත් වුණු සෑම විෂයකටම සාමන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ගෙන. මෙවැනි දරුවන් ඇමරිකාවේ නාසා ආයතනයේ, පෙන්ටගනයේ වෙබ් අඩවි වලට ඇතුල් වෙනවා. පාසල් දරුවන් පරිඝණකයට ඇතුළු වුණාම අල්ලලා හිරේ දාන එක නෙවෙයි ඇමරිකාවේ කරන්නේ. ඒ දරුවෝ ගෙනල්ලා කතා කරලා අවශ්‍ය විනය හදලා ශිෂ්‍යත්ව ලබා දීලා ඒ දරුවා සතු පරිඝනක දැනුම රට වෙනුවෙන් භාවිතා කරන්න අවශ්‍ය හික්මීම සහ දැනුම ලබා දීම තමයි ආණ්ඩුවේ වගකීමක් බවට පත් කර ගැනීම තමයි ඇමරිකාව ඔස්ට්‍රේලියාව වැනි රටවල දී සිදුවන බව අපිට ආරංචි වෙන්නේ. නමුත් අද මේ දරුවා පරිවාස භාරයට පත් කරලා තියෙනවා. ඒ දරුවා කරපු වරදක් නෑ. රහසින් වෙබ් අඩවියට ඇතුළු වුණ බව ඇත්තයි. හැබැයි මේ වෙබ් අඩවියට නිසි ආරක්ෂාවක් නෑ කියන පණිවිඩය තැබුවා. රටේ තියෙන ප්‍රශ්න කිහිපයක් පිළිබද ජනාධිපතිතුමා දැනුම්වත් කලා. දත්ත විකෘති කිරිම, දත්ත සොරා ගැනීම වැනි සයිබර් වරදක් ලෙස සලකන දේවල් මේ දරුවා කල තිබුණේ නෑ. අපිට මතකයි ජනාධිපතිතුමාගේ ජිවිතය බිලි ගන්න ඇවිත් අවශේෂ පිරිසකගේ ජිවිත බිලි ගත්ත ත්‍රස්තවාදියාට ජනාධිපතිතුමාගෙන් සමාව ලැබුණා. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමක් ලෙස නම් කර තිබෙන සිගිරියේ ඓතිහාසික කුරුටු ගී කුරුටු ගෑ තරුණියට ජනාධිපතිතුමාගෙන් සමාව ලැබුණා. හැබැයි ඒ මහා අපරාධ දෙකත් සමග බලද්දි කිසි සේත්ම අපරාධයක් විදිහට හදුන්වන්න බැරි මේ දරුවා පරිවාස භාරයට පත් කිරීමට තිරණය කිරීම. අද සමාජයේ කතිකාවත් මතුවෙලා තියෙනවා මේ දරුවා සිංහල වීමද අර වැනි සමාවක් ලැබීමට නුසුදුසු වුණේ කියලා. සංහිදියාව ගැන කතා කරන. ජාතිවාදයට විරුද්ධව කතා කරන, සංහිදියාට ඇතිකිරිමට ව්‍යවස්ථාපිතව බලය පැවැරි සිටින ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිවාදීව කටයුතු කරනවා කියන හැගීම පණිවිඩය සමාජයට යෑම එතුමා ආඩම්බරයෙන් කතා කරන සංහිදියාව බිහිකරන්න බාධාවක්. ඒ නිසා ජනාධිපතිතුමන් මේ දක්ෂ දරුවාගේ දක්ෂතාවය තේරුම් අරගෙන ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දීලා අවශ්‍ය හික්මීමත් ලබා දීලා පරිඝණක කේෂ්ත්‍රයේ දක්ෂයෙක් කරලා. අවසාන වශයෙන් ඔබට ඉන්න පරිඝණක අංශයේ නිලධාරින් අස් කරලා මේ දරුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහිංසකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මංගලගේ මහ බොරුවක් උදය හෙළිකරයි


පෙරේදා යාපනයේ දී අලුත් ව්‍යවස්ථාව නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියපු ප්‍රකාශයක් මාධ්‍ය වල පොල් ගෙඩි අකුරෙන් වාර්තා වුණා. මෙම ප්‍රකාශය කළේ සදුදා උදෑසන. සදුදා 2.30ට අපි ඒකාබද්ධ විපක්ෂය විදිහට අගමැතිතුමාව මුණගැසුනා. අචාර්ය දයාන් ජයතිලක මහතා මට දුරකථනයෙන් දැනුම් දුන්නා මංගල සමරවීර මහතා මෙහෙම ප්‍රකාශයක් කලා කියලා ඒ වන විටත් මට දැනුම් දීලා තිබුණේ. ඒක නිසා මම මේ පිළිබද අගමැතිතුමාගෙන් ප්‍රශ්න කලා. එවිට අගමැතිතුමා කිව්වේ මැතිවරණ ක්‍රමය, බලය බෙදීම ගැන තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ අපිට නොවැම්බර් අයවැයට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකියාවක් නෑ වැඩිම වුණොත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට කෙටුම්පතක් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි කියලා. මංගල සමරවීර ඇමතිතුමන් අද එන බැංකින් මුන් සතුටු කිරීම සදහා මුසාවක් කරලා තියෙන බවයි පෙන්නේ. පිළිගැනිමට දෙන තෑග්ග නැති නිසා සමහරු කරනවා වගේ තියෙන කුණු ගොඩක් ලස්සන දවටනයක ඔතලා තෑග්ග විදිහට භාර දෙනවා. නැති තෑග්ගක් දෙන්න තමයි උත්සහ කරලා තියෙන්නේ. මේ ප්‍රකාශය කළේ මංගල සමරවීර මැතිතුමාගේ සමීප මිත්‍ර උතුරු පලාත් මහා අමාත්‍ය විග්නේෂ්වරන් මැතිතුමා ඉදිරියේ. එතුමාව සතුටු කරලා වැඩි වැඩියෙන් බලය ලැබෙන, තවදුරටත් බෙදුම්වාදී විෂබීජය වපුරන්න අවස්ථාව ලැබෙන ව්‍යවස්ථාවක් ලග එනවා කියලා එතුමාව කුල්මත් කිරීමේ අරමුණකුත් සමහර විට තිබුණා වෙන්න පුළුවන්. අපි දන්නවා නව ව්‍යවස්ථා සම්බන්දය පිළිබද පත්කරලා තියෙන මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මංගල සමරවීර මැතිතුමා කියන්නේ නිතර විදේශයේ ගත කරන ඉදලා හිටලා ලංකාවට නිවාඩුවට ගොඩවදින රටේ තොටේ වෙන දේවල් අඩුවෙන්ම දන්න පුද්ගලයෙක්. අගමැතිතුමා සහ විදේශ ඇමතිතුමා ලංකාවේ සිදුවන වැදගත් දෙයක් ගැන පරස්පර මත ප්‍රකාශ කරද්දි අනිවාර්යයෙන් අපිට විශ්වාස කරන්න වෙන්නේ අගමැතිතුමා කියන දේ.

හනුමා පාලම විමල්ගේ ද?


ඊයේ එජාපයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා හනුමා පාලම දැන් විමල්ලා උදයලා විරුද්ධ උනාට ඒ අයම තමයි මේ පාලම යෝජනා කලේ කියල. අවාසනාවට එහෙම කියපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා හනුමා පාලමේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිකොතෙනි කියල දැනන් ඉදල නෑ. දැන් හනුමා පාලම ඉන්දීය ව්‍යාපෘතියක් උනත් හනුමා පාලම මුලින්ම යෝජනා උනේ 2003 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් විදිහට. මෑතක ද හින්දු පුවත්පතේ පලවු ලිපියක කියනවා එදා 2003 දී Regaining Sri Lanka හෙවත් යලි පුබුදමු ශ්‍රී ලංකා (මෙහි සැබෑ සිංහල තේරුම නම් ශ්‍රී ලංකාව යලි අත්පත් කරගනිමු කියන එකයි.) ව්‍යපෘතියේ තමයි මේ පාලම යෝජනා කරාල තිබුනේ. පාලමක් සහ දුම්රිය මාර්ගයක් කියන දෙකම ඒ යෝජනාවලියට අඩංගු වුනා.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 දී මේක ඉන්දියාවට යෝජනා කරද්දී ඉන්දියාව එයට එකග උනේ නැහැ. මොකද ඒ වන විට ඉන්දියාව හිටියේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය තුලයි. පෝක් සමුද්‍ර සන්දිය තව දුරටත් හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට පහසුකම් සැලසීමයි මේ ව්‍යාපෘතියේදි සැලසුම් කලේ. නමුත් දැඩි මතධාරී හින්දූන්ගෙන් මේ සදහා විරෝධය එල්ල වුනා. හනුමා විසින් ඉදිකරන ලද පාලම මේ ව්‍යාපෘතිය නිසා විනාශ වන බව ඔවුන්ගේ අදහස වුණා. ඒ වගේම මේ සමුදුරුපතලේ ගල ඉතා දැඩි ස්භාවයක් දැරූ නිසා එය සෑරීම භාරව හිටිය කොරියානු සමාගමට එය සිය උපකරන භාවිතයෙන් හෑරීමට හැකි වුනේ නෑ. ඒ නිසා ඉන්දියාවේ මතයක් පැතිරුණා හනුමා විසින් දේව ආශිර්වාදයෙන් ඉදිකල මේ පාලමට මිනිසාට අත තැබිය කොහැකියි බවට. අවසානයේ ඉන්දියාව මේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත් හැරියා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 කල යෝජනාව අද ඉන්දියාවට අවශ්‍ය වෙලා තියෙනවා. සැලසුම් පොත්වල දිගින් දිගටම ඇවිල්ල 2011 හදපු භෞතික සංවර්ධන සැලසුමකුත් තිබිල තියෙනවලු. නමුත් එහි ආරම්භය අපේ නොවේ. නමුත් අද ඉන්දියාව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර තිබෙන නිසා අද මේ පාලමට එකගතාවය පළ කරල අපටත් වඩා ඉස්සරහින් ඉන්නවා. දැන් අපි කැමති උනත් අකමැති උනත් ඒ පැත්තෙන් පාලම හදාගෙන මේ පැත්තට එන්නයි ඉන්දියාව උත්සහ දරන්නේ.

පුංචි ඡන්දය හෙවත් පිස්සු බල්ලන් නැහැවීමට යාම


අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සිහිපත් කළා පුංචි ඡන්දය ගැන. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය, පලාත් පාලන මැතිවරණය නීති විරෝධීව කල් දමා තිබීම සම්බන්ධයෙන් පලාත් පාලන ආයතන වල ඒකාබද්ධ විපක්ෂය සමග සිටින පලාත්පාලන ආයතනවල මහජන නියෝජිතයන් ගොනුකල නඩු තුනක් විභාගයට ගත්තා. එතනදි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මැතිතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා සැත්තැම්බර් මාසයේ අවසානය වන විට සීමා නිර්ණ කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා.

සීමා නිර්ණයේ ගැටළුව අවසන් වෙමින් පවතින නිසා මැතිවරණ කොමිසම දැන් කියනවා පනතේ අඩුපාඩු 37 තියෙනවා ඒ නිසා මැතිවරණය පවත්වන්නට බැරි ගැටළුවක් තියෙනවා කියලා. අපි මැතිවරණ කොමිසමෙන් අහනව මේ පනත 2013 ජනවාරි මාසයෙදීයි සම්මත වුනේ. වසර තුන හමාරකටත් පස්සේ සීමානිර්නයත් අවසන් උනාමද මැතිවරණ කොමිසම මේ ගැටළු දැක්කේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්දය කල් දැමීම නීති විරෝධි කියල තීරනය කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන නිසා ඡන්දය කල් දැමීමට හේතු හොයාගන්නයි මේ වගේ කටයුතු සිදු කරන්නේ.

ඒ වගේම ඊයේ හරි අපූරු දෙයක් වුනා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන එකලොස් දෙනෙක් ශේෂ්ඨාධිකරණයට මැදිහත් පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් වුනා. ඔවන් අදහස් දක්වන්නේ මේ සියළු ප්‍රශ්න නිරාකරනය කරන තුරු මැතිවරය කල් දැමීමටයි. මේ මහජන නියෝජිතයන් ඇයි මැතිවරණයට මෙතරම් බය. මේ එක් දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබුනේ කඹුරුපිටියේ ප්‍රෙද්ශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් කියන පී.කේ. සූරියආරච්චි කියන පුද්ගලයෙක්. නමුත් පසුව හෙළිවුනා ඔහු එම ප්‍රෙද්ශිය සභාවට අවස්ථා ගණනාවකදී තරග වැදුන නමුත් මන්ත්‍රීවරයෙක් වීමට වරම් නොලැබු බව. ඉතින් මේ වගේ ජනතාව ප්‍රථික්ෂේප කල පුද්ගයන් තමයි මේ මැතිවරණය තියෙනවට බය වෙලා ඉන්නේ.වැඩ බැරි ආණ්ඩුවක් වුණාම ජනතාවට බයයි. ඡන්ද වලට බයයි. ඒ නිසා මේ ආණ්ඩුව පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වාගෙයි අද ඡන්දයට ගෙනියන්න වෙලා තියෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් ස්වාධීන යැයි කියන මැකිවරණ කොමිසම ආණ්ඩුවට අවශ්‍ය පරිදි ඡන්දය කල් දැමීමට අවශ්‍ය වාතාවැණ්‍ය හදන්න උත්සහ දරන්නේ ඇයිද යන්න් නම් අපිට අපිට තේරුම් ගන්න අමාරුයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4805767980774274064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item