මේ ක්‍රියාත්මක කරන්න හදන්නෙ අපි හැදූ නව මැතිවරණ ක්‍රමයේ විකෘතියක්‌ - මහාචාර්ය සුදන්ත ලියනගේ

ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට යෝජිත මීළඟ පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට ආණ්...

ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට යෝජිත මීළඟ පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ. කේවල සහ සමානුපාතික ඡන්ද ක්‍රමයන්හි මිශ්‍ර ක්‍රමයක්‌ ලෙස මෙම නව මැතිවරණ ක්‍රමය නිර්මාණය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේය. මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත එම නව මැතිවරණ ක්‍රමය පිළිබඳ මහාචාර්ය සුදන්ත ලියනගේ සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කෙටි හැඳින්වීමක්‌ කළොත්...

2012 පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ පනත මගින් හඳුන්වා දුන් නව ජන්ද ක්‍රමයේ මූලික අරමුණ අපේ රටේ කලින් පැවති ජන්ද කොට්‌ඨාශ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමයි. මේ ඡන්ද කොට්‌ඨාශ හැදෙන්නෙ අපේ රටේ දාහතරදහසක්‌ පමණ තිබෙන ග්‍රාමසේවක කොට්‌ඨාශ ගණනින් සෑහෙන ප්‍රමාණයක්‌ එකට එකතු කිරීමෙනුයි. ඒ අනුව සාමාන්‍යයෙන් ඡන්ද කොට්‌ඨාශ පන්දහසක්‌ පමණ හදන්න වේවි. ඒ අනුව ඡන්ද පත්‍රිකාවේ අදාළ පක්‌ෂයේ හෝ ස්‌වාධීන කණ්‌ඩායමේ නියෝජිතයා වෙනුවෙන් ඡන්දයක්‌ ලකුණු කළ යුතුයි.

අපේ රටේ පැවති කේවල ක්‍රමයෙදී ප්‍රශ්න ඇතිවුණේ පරාද වෙන අයගේ ඡන්දවලට වටිනාකමක්‌ නොලැබුණු නිසා. ඒ ඡන්දවලටත් වටිනාකමක්‌ දීමේ අරමුණින් තමයි ඔය සියයට 70 ක්‌ කේවල ඡන්දවලින් දිනන අයත් ඉතිරි සියයට 30 පරාජය වූ මන්ත්‍රී කණ්‌ඩායම් අතර බෙදා දෙන ක්‍රමය යෝජනා වුණේ. ඒ අනුව ශක්‌තිමත් පළාත්පාලන ආයතනයක්‌ ඇතිවෙනවා. ඒවගේම විපක්‌ෂය බින්දුව වෙන්නෙත් නෑ. තනිකරම කේවල ක්‍රමය තිබුණොත් සමහර විට එකම ඡන්ද කොට්‌ඨාශයක්‌වත් විපක්‌ෂයට නොලැබෙන්න පුළුවන්. මේ ක්‍රමයෙන් විපක්‌ෂයටත් වටිනාකමක්‌ ලැබෙනව. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක්‌ තුළින් රටට වැඩදායක ක්‍රමයක්‌ ලෙස මේ ක්‍රමය අපි නිර්මාණය කළා. මේක තමයි මේ නව මැතිවරණ ක්‍රමයේ ආරම්භය.

ලබාගන්නා ඡන්ද අනුපාතය මත මේ හිමිවෙන මන්ත්‍රී සංඛ්‍යාවෙන් තවත් සියයට 30 ක්‌ කාන්තාවට දිය යුතු යෑයි පළාත් පාලන ක්‍රමයට අලුත් පනතක්‌ මේ වසරේ ගෙනැවිත් තිබෙනවා නේද?

මේ පනතෙන් නව ඡන්ද ක්‍රමය ඇති කිරීමේ අරමුණ එහි හර පද්ධතිය මුළුමනින්ම විනාශ වෙලා යනවා. කාන්තාවන් ගැනීම ගැන අපේ අකැමැත්තක්‌ නෑ. නමුත් කාන්තාවන් තෝරාගන්නා මේ ක්‍රමවේදය හරහා නැවතත් අපි ගමන් කරන්නෙ සමානුපාතික ක්‍රමයටයි. අපි නිර්මාණය කරන කිසිම දෙයක්‌ සදාකාලික නෑ. නමුත් අපි අනුගමනය කළ යුත්තේ අඩුතරමින් වසර 25 ක්‌ වත් ඉදිරියට ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක්‌. මේ 2016 ගෙන ආ පනත නිසා පළාත්පාලන ආයතනවල අනිවාර්යයෙන් අර්බුද ඇතිවේවි. මෙයින් ඇතිවන බරපතළම අභියෝගය වන්නේ මේ නිසා 4500 ක්‌ පමණ වන දැනට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු තරමින් දසදහසක්‌වත් වේවි. මේ පිරිස නඩත්තු කිරීම රටට විශාල බරක්‌ වේවි. මගේ පෞද්ගලික අදහස නම් මේ සංඛ්‍යාව සාපේක්‌ෂව අඩුකළ හැක්‌කේ කෙසේද යන්න පිළිබඳ නැවත කතිකාවක්‌ ඇති කළ යුතු බවයි. ඒ නිසා ඊළඟ පළාත් පාලන මැතිවරණය අලුත් ඡන්ද ක්‍රමයට පැවැත්වීම තුළ යම් අභියෝගයක්‌ තිබෙනවා.

2012 පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ පනතට අනුව ඇති කළ නව මැතිවරණ ක්‍රමයෙත් සංශෝධනය විය යුතු තැන් මැතිවරණ කොමසාරිස්‌වරයාත් පෙන්වා දී තිබුණා. සීමා නීර්ණ කොමිසමේ කටයුතුත් තවම අවසන් වී නෑ. ජනවාරියේ පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණය මේ නව මැතිවරණ ක්‍රමයට පැවැත්වීමට හැකි වෙයිද?

මැතිවරණ කොමසාරිස්‌වරයා පෙන්වා දී තිබෙන 2012 පනතට අනුව ඇති කළ නව මැතිවරණ ක්‍රමයේ ඇති ගැටලු සංශෝධනය කළ යුතුයි. මේ ආණ්‌ඩුව 2012 සිදුකළ සීමා නීර්ණ පිළිගැනීමට නොහැකි බව කියමින් ඒ නැවත සිදුකිරීමට අලුත් කොමිටියක්‌ පත් කළා.

ඕනෑම සමීකරණයක්‌ දිහා බලල එහි ප්‍රතිඵලය නොයෙක්‌ දෙනාට විවිධ ආකාරයට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒක ගණිතයේ ස්‌වභාවය. එක උත්තරයකින් සීමාවෙන්නෙ නෑ. එක එක කණ්‌ඩායම් මේ සමීකරණය දිහා බලල එහි තිබෙන විවිධ දුර්වලකම් සහ ශක්‌තීන් හඳුනාගන්නවා.

අපේ රටේ සීමා නීර්ණ කොමිසම එහි ඉතිහාසයේ ඕනෑතරම් අලුගුත්තේරු වැඩ කරල තියෙනව. ඒක මේ රටේ හැමදාම වෙච්ච දෙයක්‌. මම විශ්වාස කරනව මේ පාර එහෙම නොවෙයි කියල. නමුත් ඒක එහෙමමයි කියල කාටවත් කියන්න බෑ. ඉතිහාසයේ නම් වෙලා තියෙන්නෙ පවතින රජයට හොඳ විදිහට සීමා නීර්ණය වීමයි. මේක අද දෙගොල්ලන්ටම ගැටලු සහගත තත්ත්වයක්‌ වෙලා. මේකට නිශ්චිත කාලයක්‌ ගතවෙයි.

මේකටත් අමතරව තවත් දෙයක්‌ අද අපේ රටේ සිද්ධවෙනව. අද සමහරුන්ගෙ මතයක්‌ තිබෙනව අපි මේ අලුතෙන් හඳුන්වා දුන්නු ක්‍රමයට වඩා පැරණි ක්‍රමය හොඳයි කියල. ඒ නිසා මේ සියල්ල ඉවත් කරල පැරණි ක්‍රමයට යමු කියල යෝජනා කරන පිරිසකුත් ඉන්නව. මේ අතරෙ අපේ රටට අලුත් ව්‍යවස්‌ථාවක්‌ හදන්න ඕන කියල රට වටේ ගිය කට්‌ටියත් අලුත්ම ඡන්ද ක්‍රමයක්‌ යෝජනා කරල තියෙනව. යුරෝපීය ක්‍රමයක්‌ අපේ රටට ගෙනත් දාන්න හදනව. දැන් මේක අවුල් ජාලයක්‌. මේ යන විදිහට මට නම් පෙනෙන්නෙ රට බරපතළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ කරා ගමන් කරන බවයි.

මේ අවුල් සහගත තත්ත්වය මත සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස්‌ නොවෙයි කියලද ඔබ හිතන්නෙ?

සමානුපාතික ඡන්ද ක්‍රමය තියාගන්න නම් ජනාධිපති ක්‍රමය තිබෙන්න ඕන. ජනාධිපතිවරයෙක්‌ නැති කිසිම රටක සමානුපාතික ඡන්ද ක්‍රමය පැවතුණේ නෑ. එවගේම ලෝකයේ කිසිම රටක සැමට සාධාරණය ඇතිවන ක්‍රමයක්‌ හදලත් නෑ. එහෙම ක්‍රමයක්‌ හදන්නත් බෑ. හැමෝම ජයග්‍රාහකයො වෙන ක්‍රමයක්‌ හදන්න පුළුවන්.

මම හිතන්නෙ අපි 2012 දී තමයි හොඳම ක්‍රමය හැදුවෙ. අපි හදාපු ඒ ක්‍රමය දිගින් දිගටම දේශපාලනීකරණය වෙලා වෙලා අද තියෙන්නෙ තනිකරම දේශපාලනඥයන් විසින් නිර්මාණය කරන ලද විකෘතියක්‌. ඡේ. ආර්. 1978 හදපු මැතිවරණ ක්‍රමයටත් සිද්ධ වුණේ මේකමයි. එයින් ඡේ. ආර්. ඇති කළ සියයට 12.5 ක්‌ වූ අවම ඡන්ද ප්‍රමාණය ප්‍රේමදාස ජනාධිපතිවරයා සියයට 5 දක්‌වා අඩුකිරීම නිසා හැදුණු විකෘතිය තමයි අද මේ මුළු රටටම විඳින්න වෙලා තිබෙන්නෙ. ඒ විකෘතියේ ප්‍රතිඵල විදිහට තමයි පක්‌ෂ කැඩිල යන්නෙ, ප්‍රධාන පක්‌ෂවලින් සුළුජාතීන් ඉවත්වෙන්නෙ, රට තුළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ගොඩනැගිල තියෙන්නෙ. ඉතාමත් ප්‍රඥාගෝචර ලෙස දුරදක්‌නා නුවණින් යුතුව ඡේ. ආර්. හැදූ ඒ මැතිවරණ ක්‍රමය තමන්ගේ දේශපාලන උවමනාවන්ට අනුව විකෘති කළ ඡේ. ආර්. ගෙන් පසුව පැමිණි දේශපාලනඥයින් ඊට වගකිවයුතුයි.

අපේ රටේ සිටි තීක්‌ෂණම බුද්ධියක්‌ සහිත දේශපාලනඥයා ඡේ. ආර්. අදත් ඡේ. ආර්. ගෙ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරගන්න බැරිවෙලා තියෙන්නෙ ඒ නිසා. අද ඉන්න දේශපාලනඥයින්ට ඡේ. ආර්. ව කියවගන්න බෑ. එක්‌සත් ජාතික පක්‌ෂෙ අයටත් ඡේ. ආර්.ව කියවගන්න බැරි නිසා තමයි, ඔවුනුත් අද පඹ ගාලක පැටලිලා ඉන්නෙ.

නව මැතිවරණ ක්‍රමයක්‌ පිළිබඳ මේ කතිකාව ඇරඹුණේ 2004 දී. අද වන විට වසර 12 ක්‌ ගතවෙලා. තවමත් නව මැතිවරණ ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන්න නොහැකි වී තිබෙනවා?

අවුරුදු 12 ක්‌ තිස්‌සෙ කතා කරල හදපු ක්‍රමයත් හොඳ නෑ කියල පිරිසක්‌ කියනව. මේ සියලු දේවල් පැත්තකට දාල පරණ ක්‍රමයට ඡන්දෙ තියමු කියල යෝජනා කරන පිරිසකුත් ඉන්නව. මේ අතරෙ අද රටේ පළාත් පාලන නියෝජිතයන් නැතිවීමෙන් විශාල අර්බුදයක්‌ නිර්මාණය වෙලා තිබෙනවා. පළාත් පාලන නියෝජිතයන් නැතිවුණාම ගමේ බලය කොහෙද තියෙන්නෙ? එය රාජ්‍ය නිලධාරීන් අතට ගියහම පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලනඥයෝ ඒ රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරල ඔවුන්ට කැමැති විදිහට ගමේ බලය හසුරුවන්ට උත්සාහ කරනව. ප්‍රජාතන්ත්‍රවාදයට මේව හොඳ දේවල් නෙමෙයි. සියලුම පක්‌ෂ එකට එකතුවෙලා මැතිවරණ පවත්වන්නෙ මොන ක්‍රමයටද කියන තීරණය ගත යුතු හොඳම වෙලාව දැන් උදාවෙලා තිබෙනවා. එමනිසා අලුත් ක්‍රමයක්‌ නැත්නම් තියෙන ක්‍රමයට හරි ජන්දෙ තියල පළාත් පාලන ආයතන ටික ස්‌ථාපිත කර ගත්තොත් අද මේ තිබෙන දේශපාලන අස්‌ථාවරත්වය යම් ප්‍රමාණයකට මගඇරෙන්න පුළුවන්.

2012 දී අපි නිර්මාණය කළ නව මැතිවරණ ක්‍රමයේ සංකල්පයට අදත් හානියක්‌ නෑ. නමුත් එහි ව්‍යවහාරය අද විකෘති කරලා. මම හැමදාම කළ ඉල්ලීම අපි නිර්මාණය කළ ක්‍රමයෙන් එක පාරක්‌ ඡන්දෙ තියල බලන්න. එතකොටයි අඩුලුහුඬුකම් පෙනෙන්නෙ. ඊට පස්‌සෙ අවශ්‍ය සංශෝධන කරල දෙවැනි එක කෙටි කාලෙකින් තියන්න. ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහට ආයතන පවත්වාගෙන යනවට වඩා ඡන්දෙකට මුදල් වියදම් කිරීම ලාබයි.

Divaina



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 1967047862969720140

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item