දරුවන් සඳහා වන බරපතළ සමාජ මෙහෙයුමක් අවශ්‍යයි

දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීම, අධ්‍යාපනයේ අයිතිය තහවුරු කිරීම, සුරක්ෂිත පරිසරයක හැදී වැඩීම ආදී දෑ ලබාදීමට බැදී සිටියද රටක් ල...

දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීම, අධ්‍යාපනයේ අයිතිය තහවුරු කිරීම, සුරක්ෂිත පරිසරයක හැදී වැඩීම ආදී දෑ ලබාදීමට බැදී සිටියද රටක් ලෙස අවම අවශ්‍යතා තහවුරු කර ඇති බවට සතුටු විය නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ළමා දිනයට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දරුවන්ට එරෙහිව නැගෙන මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් රටක් ලෙස තවමත් මිදී නොමැති බවත් පවුල, පාසල, ඥාති හිතමිත්‍ර සමාජය ඇතුළු සියලු තැන් දරුවන් සඳහා සුදුසු තැන් බවට පත් කිරීමේ බරපතළ සමාජ මෙහෙයුමක් අවශ්‍ය බවත් ජනපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජනපතිගේ ලෝක ළමා දින පණිවුඩය

සෑම දරුවෙකුම මෙලොව එළිය දකින්නේ ස්වභාදහමේ නිමැවුම් පිළිබඳව ඇවිළුණු කුහුලින් යුතුව, විශ්මයෙන් අයා ගත් නෙතින් ද ප්‍රහර්ෂයෙන් විවර කරගත් මුවින් ද යුතුවය. ඔවුන්ගේ ලෝකය සෞන්දර්යයෙන්ද විචිත්‍රත්වයෙන්ද පිරුණු තැනකි.

දේදුන්නේ වර්ණ රටාද කුරුලු කූජනයක ශබ්ද මාධූර්යයද මල් පෙත්තක මුදු මෙළෙකද විනා වැඩිහිටියන් වන අප කරපින්නා ගත් වාර්ගික, ආගමික හෝ දේශ සීමාමය බෙදීම් දරුවන්ගේ ලෝකයට විෂය නොවේ.

“ඔවුන්ට ආදරය දෙන්න. ඔබගේ කල්පනාවන් නොදෙන්න මක් නිසාද යත් ඔවුන්ට ඔවුන්ගේම කල්පනාවන් ඇති බැවිනි” යනුවෙන් දාර්ශනික කිවියර බලීල් පිබිරාන් පියා ලැබුවේ මේ පණිවුඩය සිහිකැඳවනු සඳහාය. 
ලෝක ළමා දිනය සමරමින් යළි යළිත් අප අවධාරණය කළ යුත්තේද මේ ගැඹුරු සිහිකැඳවීමයි.

දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද අධ්‍යාපනයේ අයිතිය තහවුරු කොට දීමටද සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමටද අවකාශ සපයා දීමටද විශ්වීය වශයෙන් අප බැඳී සිටිමු.

එහෙත් රටක් ලෙස මෙම අවශ්‍යතා සියල්ල තහවුරු කොට ඇති බවට කිසිසේත්ම අප සතුටු විය නොහැකිය. දරුවන්ට එරෙහිව නැගෙන මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් අප මිදුණු බවට තවමත් අපට සතුටු විය නොහැකිය. පවුල, පාසල, ඥාති හිතමිත්‍ර සමාජය ඇතුළු සියලු තැන් දරුවන් සඳහා සුදුසු තැන් බවට පත් කිරීමේ බරපතළ සමාජ මෙහෙයුමක් වෙත අප ගමන් කළ යුතුව ඇත්තේ එබැවිනි.

ජනාධිති කාර්යාලයේ මෙහෙයවීමෙන් ‘දරුවන් සුරකිමු’ නමින් වන ජාතික වැඩසටහන් අප ඇරඹුවේ එම බරපතළ සමාජ අවශ්‍යතාවට ප්‍රමුඛතාව දෙමිනි.
ලෝකය දරුවන්ට නිදහසේ සැරිසැරීමට සුදුසු සුරක්ෂිත හා විචිත්‍රවත් තැනක් වනු දැකීමේ රිසින් අද දින ලෝක ළමා දිනය සමරන සියලු දෙනා සමග හදවතින්ම එක්වෙමින් ලොව වෙසෙන සෑම දරුවෙකු වෙතම මගේ ආදරයත් සුභාශිංසනයත් පළ කරමි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5186462557010657872

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item