'සයිටම් හා ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි' - පාඨලි

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය හා ජාත්‍යන්තර විෂය මාලා උගන්වන ජාත්‍යන්තර පාසල් වහාම වසා දැමිය යුතු බව ඇමති පාඨලී චම්පික රණවක කි...

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය හා ජාත්‍යන්තර විෂය මාලා උගන්වන ජාත්‍යන්තර පාසල් වහාම වසා දැමිය යුතු බව ඇමති පාඨලී චම්පික රණවක කියා සිටියි.

''සයිටම් අර්බුදය මැද අධ්‍යාපනයට අලුත් කියවීමක්'' යන මැයෙන් 'ජාතික විද්වත් සභාව' ඊයේ (01) සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමින් ඇමතිවරයා එබව කියා සිටියේය.

'දෙවන කන්නංගර විප්ලවයට මුලපුරමු' යන තේමාවෙන් යුතුව 'ජාතික විද්වත් සභාව සංවිධානය කල දෙවන සම්මන්ත්‍රණය මෙයවිය.

සම්මන්ත්‍රණය අමතමින් නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වූ සැලැස්මක් ඉදිරිපත් කල ඇමති පාඨලී චම්පික රණවක මහතා, එහිදී ළමාවිය සිට උසස් අධ්‍යාපනය දක්වා වූ අධ්‍යාපනය ප්‍රතිපත්ති වෙනස් කලයුතු ආකාරය පිළිබඳව අදහස් දැක්විය.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වහාම වසා දැමිය යුතු බව පැවසු ඇමතිවරයා, ප්‍රමිතියකින් තොරව මෙවැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන වෛද්‍ය ක්ෂේත්‍රය තුල බිහිවීම අති බිහිසුණු අනාගතයකට පාර කැපීමක් බවද කියා සිටියේය.

දැනට සයිටම් හි අධ්‍යාපනය ලබන දහසකට අධික සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම නම්, එම සිසුන් අතරින් ප්‍රමාණවත් අධ්‍යාපන සුසුසුකම් සපුරා ඇති සිසුන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අවශෝෂණය කර ගැනීමටත්, එසේ නොමැති සිසුන්ට වන්දි ගෙවීමට සයිටම් ආයතනයට නියෝගකළ යුතු බවත් ඇමතිවරයා පැවසිය.

ලංකාවේ ජාත්‍යන්තර පාසල් පිළිබඳව අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක ඇමතිවරයා, ජාත්‍යන්තර විෂය මාලා උගන්වන ජාත්‍යන්තර පාසල් වහාම නවතා දැමිය යුතු අතර එම පාසල් දේශීය විෂය මාලා ඉගැන්වීමට සුදානම් පමණක් ඒ සඳහා අවස්ථාව දිය යුතු බවද කියා සිටියේය.

තවද කන්නන්ගර නිදහස් අධ්‍යාපනයේ මුලධර්ම රැක ගනිමින් දැනට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට පිවිසුම් ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව කිසිඳු ලෙසකින් කප්පාදු නොකල යුතු බවත් එය තව තවත් වර්ධනය කල යුතු බවත් ඔහු සඳහන් කළේය.

රජයේ පාසල්වලින් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් සරසවි වරම් නොලද දක්ෂ සිසුන්ට මුදල් ගෙවා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත්වීමට රජය පහසුකම් සැලසිය යුතු බවද ඇමතිවරයා කියා සිටියේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති අචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ හා කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යන මහත්වරුන්ද මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්විය.

(කුමුදු කුමාර)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1694228205612087121

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item