කරදියන්ආරු පුදබිමේ බොදු උරුමය වනසන වසලයා කවුද?

නැගෙනහිර යනු එදා හෙළ දරුවන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වූ පුරයකි. ඒ බව කියාපාන්නට මහා උරුමයන් රැසක්‌ අදටද නැගෙනහිර පළාත පුරාවටම ගව්වෙන් ගව්ව...

නැගෙනහිර යනු එදා හෙළ දරුවන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වූ පුරයකි. ඒ බව කියාපාන්නට මහා උරුමයන් රැසක්‌ අදටද නැගෙනහිර පළාත පුරාවටම ගව්වෙන් ගව්වට වන වදුළට යටව මිනිසුන්ගේ නොපනත්කම් හමුවේ අවසානය කරා ළංවෙමින් සිටිති. එම වසර දහස්‌ ගණනක ඉතිහාසය දිනපතාම වාගෙ අකාමකා දමා නැගෙනහිර අලුත් ඉතිහාසයක්‌ ලියවෙමින් තිබේ. ඒ අනුව තව වසර කිහිපයක්‌ ගතවුණ කළ ඉපැරණි බොදු උරුමය යටපත්ව ඒ මත ඉදිවන පල්ලි කෝවිල් නැගෙනහිර පුරාම දක්‌නට ලැබෙනු ඇත.

අපි මේ කියන්නට යන්නේද එවැනි කතාවකි. මේ කතාව නම් පුරාවිද්‍යාවට ටිකක්‌ රිදෙනු ඇත. එයට හේතුව වන්නේ පුරාවිද්‍යාවේ කොන්ද පණ නැතිකම නිසාය. කොන්ද කෙළින් කරන්නට බලපැම් කංඩායම් ඉඩ නොදෙන නිසාය.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කරදියන්ආරු පොලිස්‌ බල කොට්‌ඨාසයේ පන්කුඩාවේලි නම් ප්‍රදේශයක්‌ ඇත. චෙංකලඩි මහඔය මාර්ගයේ ගිය විට මෙම ප්‍රදේශයට යා හැකිය. අප මේ කියනා ගම්මානයේ ප්‍රධාන පාරට ළංව පිහිටා ඇත්තේ එකල දසතටම ධර්මය බෙදූ ඉපැරණි රජමහා විහාරයකි. ඒ පිළිබඳව දැනටද එක එල්ලේ බැලු කළ සාක්‌ෂී ඕනැවටත් වඩා ඇත.

නැගෙනහිර උරුමය සුරකින අභීත හඬ හෙවත් මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට මෙම ඉපැරණි පුදබිම පිළිබඳ තොරතුරක්‌ ලැබෙන්නේය. ඒ සැනින් ක්‍රීයාත්මකවූ උන්වහන්සේ එතැනට වැඩම කළ විට දුටු දෙයින් දැඩිසේ කම්පාවට පත් වන්නේය. මෙය රැක ගැනීම සඳහා පන්සලක්‌ එතන හැදිය යුතුයෑයි සිතු උන්වහන්සේ අපටද මෙය දන්වා සිටින්නේ මෙම මහා විනාශය ඉරිදා දිවයින ඔස්‌සේ රටට කියා පාන්නටය.

එළිය වැටෙන්නට හෝරා කිහිපයක්‌ තිබියදී මඩකලපුව බලා ගිය අප එම පුරාණ බෞද්ධ සිද්ධස්‌ථානය වෙත යන විට දුටුවේ මග දෙපස පොලිස්‌ නිලධාරීන් පොකුරු පිටින් සිටින අයුරුය. සුමනරතන හිමියන් එම ස්‌ථානයට ඇතුළුවන්නට උත්සාහ කරත්ම කලවංචිකුඩි සහකාර පොලිස්‌ අධිකාර සිසිර වෙත්තතන්ත්‍රී සහ කරදියන්ආරු පොලිස්‌ ස්‌aථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සේනානායක එම ස්‌ථානයට ඇතුළුවීම වැලැක්‌වීම සඳහා උසාවි නියෝගයක්‌ ගෙන මග අවුරාගෙන ඇත.

අපි අධිකරණයට ගරු කරනවා. මේ මිනිස්‌සු අපේ රජමහා විහාරයට කරලා තියෙන හානිය බලන්න. එන්න මම මේ විනාශය පෙන්වන්නම් යෑයි කියා පොලිස්‌ නිලධාරීන්ද කැටුව සුමනරතන හිමියන් එම භුමියට ඇතුළු වන්නට වූහ. එම භුමියේ කුඩා ඉඩ කොටසක්‌ වන්නට සියල්ලම කුඹුරු සකසා වී වපුරා ඉපැරණි පුදබිම මැදින් වැටවල් ගසා ඇත.

මාර්ගය ආසන්නයේම ඇත්තෙත් විශාල බෝධින් වහන්සේ නමකි. ඒ පාමුල විශාල ගඩොල් කැබලි වලින් දිස්‌වූයේ එම ස්‌ථානයේ අතීතයේ සහ මීට වසර ගණනකට පෙර නිමකර තිබු ගොඩනැගිලිවල කඩාබිඳ දැමු සුන්බුන්ය. එය පසුකර තවත් අඩි කිහිපයක්‌ ගිය විට අපි දුටු දෙයින් මවිතයට පත්වූහ. ඒ එක තැනකට ගොඩකර ඇති ගල්කණු විශාල ප්‍රමාණයක්‌ අප දුටු නිසාය. මෙම ඉඩම කුමන හෝ ආකාරයෙන් අත්පත් කරගෙන තිබෙන පුරාවස්‌තු වනසන්නෝ මෙම ගල්කණු ඩෝසර් යොදා උගුල්ලා එක්‌ තැනකට ගොඩ කර අපුරුවට මහා ඉතිහාසයක්‌ උඩින් සීසා වී වපුරා ඇත.

සිරි පතුල් ගල්, නිමාකරමින් තිබෙන සඳකඩ පහනක්‌ ,ගල් කණු ඇතුළු විවිධ මට්‌ටමේ පුරා වස්‌තුන් රැසක්‌ ඒ අතර විය. සුමනරතන හිමියෝ කටුකම්බි ගසා සකස්‌ කළ දෙවටක්‌ දිගේ අප කැඳවා ගෙන යති. අපි එවර දුටු දෙයින් විස්‌මයට පත් වුණේමු. ඒ ගරා වැටි තිබෙන එම දාගැබ මැදින් කණු සිටුවා කටුකම්බි ගැසූ වැටකි. ඒ මදිවට දාගැබ මුදුනින්ද වැට ගසා වගා කරද්දි පුරාවිද්‍යාව නීතිය දෙපරැන්දේ ගහගෙන දොයිය.

මෙම විහාර භුමිය පුරාම ඩෝසර් කර වී වගා කර තිබෙන අතර ඒ සෑම ස්‌ථානයකම ඉපැරණි ගඩොල් ඇතුළු විවිධ පුරාවස්‌තුන් විසිරී ඇත. ඒත් කිසිවෙකුට වගේ වගක්‌ නැත.

අපේ හාමුදුරුවනේ මෙතන පංසලක්‌ හදන්න දැන් ඉඩ දෙන්න බැහැ. ඉදිකිරීම උසාවියෙන් තහනම් කරලා තියෙන නිසා අපි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂක කැඳවන්නම්. පස්‌සේ සාකච්ඡා කරලා තීරණයක්‌ ගමු යෑයි පැවසූහ. නැෙගනහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක එච්.බි.ඒ.කේ .නිල්මල්ගොඩ මහතා පැමිණ මෙම ස්‌ථානයේ පුරා වස්‌තු තිබෙන පැරණි ස්‌ථානයක්‌. නමුත් මෙතන ඉදිකිරීමක්‌ කරන්න දැන් අවසර දෙන්න විදිහක්‌ නැහැ. මෙම ස්‌ථානයේ වගා කළ අය අත්අඩංගුවට ගන්න විදිහක්‌ නැහැ. එම නිසා අපි මෙම ස්‌ථානය පිළිබඳ වාර්තාවක්‌ සකස්‌ කර ගැසට්‌ කරන්න කටයුතු කරලා අපි මෙම ස්‌ථානයේ විනාශ කළ අය පිළිබඳ කටයුතු කරමු යෑයිද ඒ අවස්‌ථාවේ සහකාර අධ්‍යක්‌ෂකවරයා පවසා සිටියේය.

මෙතන මම කුඩාරමක්‌ අටවාගන්න හැදුවම කියනවා අත්අඩංගුවට ගන්නවා කියලා. නමුත් පුරාවස්‌තු වලට මෙච්චර හානි කළ අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි යනුවෙන් සුමනරතන හිමියන් දිගින් දිගටම පවසා සිටියේය. 

පසුව එම ස්‌ථානයට ද්‍රවිඩ සංධාන මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසියම් වියාලේන්දම් හෙවත් අමලන් පැමිණී අතර එම අවස්‌ථාවේදී තවත් දමිළ පිරිසක්‌ එක්‌රොක්‌ වූ අතර කෙවිලියාමඩුවේ සිංහල පිරිසක්‌ද තමන්ට වූ අසාධාරණය කියන්නට කෙවිලියාමඩුව සිට මඩකලපුව කච්ෙච්රියට යැමට ලොරි රථයකින් පැමිණෙන ලදී. එම පිරිසට සහ මෙම පුදබිමේ ඉදිකිරීම් කිරීම සඳහා මඩකලපුව පන්සලේ සිට පැමිණි ට්‍රැක්‌ටරයද පොලිසිය අතරමගදි නතර කර එන්නට ඉඩ නොදුන් අතර සුමනරතන හිමියන් මේවා විනාශ කරන්න පුළුවන් හැබැයි මේවා හදන්න මේවා රැකගන්න කට්‌ටියට එන්නේ දෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරල පොලිසියෙන් මම ඉල්ලීමක්‌ කරන්නේ කරුණාකරලා ඒ අයට එන්න දෙන්න යෑයි පවසා සිටියේය.

ඒ අවස්‌ථාවේ කෙවිලියාමඩුව ගම්වැසියන්ටද පොලිසිය එන්නට ඉඩ දුන් අතර ගැටුමක්‌ ඇතිවීමට තිබුණු අවස්‌ථාවන් නතර කරගැනීම සඳහා කටයුතු කරන්නට වූහ. 

මඩකලපුව නගරයේ දෙමළ මුස්‌ලිම් අපි සහයෝගයේ කටයුතු කරනවා. ඒක නිසා දේශපාලන වාසි ගන්න අහිංසක මිනිස්‌සු කුලප්පු කරලා කලබල ඇති කරන්න එපා යෑයිද ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයාට සුමනරතන හිමියන් දැඩිසේ පවසා සිටින්ට වූහ. 

ඒ අවස්‌ථාවේ අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ පැවසුහ.

දැන් මේ මහත්තයෙක්‌ගේ දුරකතනයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල් තුමා සම්බන්ධ කරලා දුන්නාම මම විස්‌තරේ කීවාම ඔයාලා කියන විදිහට අපට කරන්න බැහැ. හානිය පිsළිබඳ බුද්ධශාසන අමාත්‍යාංශයට කියන්න කියලා කීවා. ඒකට කියලා වැඩක්‌ නැහැ කීවාම ඒකට මට කරන්න දෙයක්‌ නැහැ කියලා අධ්‍යක්‌ෂකවරයා කීවා. එහෙමනම් මම මෙතන පදිංචි වෙනවා කීවාම එහෙම උනොත් ඔබ වහන්සේව මට අත් අඩංගුවට ගන්න වන බවත් බලපෑම් තිබෙන නිසා මේ පිළිබඳ තීරණයක්‌ ගැනීමට නොහැකි බවද කීවා. මේවා රැකගන්න හදන මට මෙතනට ඇතුළු උනා කියලා අත්අඩංගුවට ගන්නව කියන නිලධාරීන් ඇයි හත්දෙයියනේ මෙම පුරා වස්‌තු නාස්‌ති කළ අය පිළිබඳ කටයුතු කරන්නේ නැත්තේ. ඇයි ඒ අය අත් අඩංගුවට ගන්නේ නැත්තේ. මේවා රකින්න මෙතනට එන අපියි අත්අඩංගුවට ගන්න හදන්නේ.

අද නැගෙනහිරම තත්ත්වය ඕකයි. අපේ හාමුදුරුවරු පොල්වළක්‌ කුණු වළක්‌ කපල දැම්මත් පුරාවිද්‍යා පොලිසියට දුවලා ගිහින් පැමිණිලි කරනවා. හැබැයි. අපේ ඉතිහාසය, බෞද්ධ උරුමය මුළුමනින්ම බිමට සමතලා කරද්දි, විනාශ කරද්දි පුරාවිද්‍යාව නිහඬ වෙලා ඉන්නවා. එනිසා දිනෙන් දින පුරා වස්‌තු විනාශ වෙනවා. වැරදි කළ අය අත්අඩංගුවට ගන්න පුරාවිද්‍යාව බයයි. මේ සියලු නීතිය මේවා රැකගන්න දගලන අපිට තමයි. මට මාසයක්‌ ඇතුළත මෙම ස්‌ථානය පිළිබඳ නිසි ආකාරයේ කටයුතු නොකළොත් මෙම ස්‌ථාන රැකගන්න මම දිවි පරදුවට තියලා කටයුතු කරනවා. මම නැගෙනහිර බෞද්ධ උරුමය සහ සිංහල ජනයා රැකගන්න ජීවිතය පුදා හෝ කටයුතු කරනවා යෑයිද සුමනරතන හිමියන් එම අවස්‌ථාවේ පවසා සිටින්නට වුහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්‌ථානය පිළිබඳ අදාළ කටයුතු සිදුකරන තෙක්‌ මෙම ස්‌ථානයට මාර්ග බාධක යොදා නිසි ආරක්‌ෂාවක්‌ ලබාදීමට කටුයතු කරන බවද මඩකලපුව මහා දිසාපතිතුමිය මුණගැසී මේ පිළිබඳව සාකච්ජා කිරීමට අවස්‌ථාව ලබාදෙන බවද පොලිසිය පැවැසීම නිසා සුමනරතන හිමියන් විරෝධතාවය අවසන් කරන ලදී. 

මෙම ස්‌ථානයේ පුදබිම විනාශ කිරීම සම්බන්ධයෙන් සුමනරතන හිමියන් කරදියන්ආරු පොලිසිය වෙත ගොස්‌ පැමිණිල්ලක්‌ද දැමූ අතර අදාළ වරදකරුවන් ඉතා ඉක්‌මනින් අධිකරණය වෙත ඉදිරිපත් කර දඬුවමක්‌ ලබා දෙන ලෙස සුමනරතන හිමියෝ ඉල්ලා සිටින්නට වූහ.

පසුව සුමනරතන හිමියන් මඩකලපුව මහා දිසාපතිනියටද මෙම ස්‌ථානය රැකගැනීමට කටයුතු කරන ලෙස ලිපියක්‌ද භාර දෙන ලදී. 

මේ ආකාරයට මෙම ස්‌ථානයේ පමණක්‌ නොව නැගෙනහිර පළාත තුළම ඇති තත්ත්වය වන්නේ පුරාවස්‌තු විනාශ කිරීමය. අක්‌කරපත්තුව මොට්‌ටයාගල මේ ආකාරයට ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර දමන ලදී. වට අඩි හාර පන්සියයකින් යුත් තිරුක්‌කෝවිල් දාගැබ නිsධන් ගැනීම සඳහා ඩෝසරයකින් දෙපළු කරන ලදී. සාගම දාගැබද මේ ආකාරයෙන් නිධන් හොරුන් විසින් විනාශ කරන ලදී. මේවා මේ ආකාරයෙන් මුළුමනින්ම විනාශ කර දැමුවද පුරාවිද්‍යාවට වගේ වගක්‌ නැතිසේය. හැබැයි ගැටලුවක්‌ව ඇත්තේ පැරණි පුදබිමක විහාරස්‌ථානයක සිටින හිමි නමක්‌ පොල් වළක්‌වත් අවසර නොගෙන කැපුවොත් ඇතිවන තත්ත්වයය.

ඉස්‌සර රජවරු ලෙන් හැදුවේ ඉරහඳ පවතින තුරු සිව්දෙසින් එන භික්‌ෂූන් වහන්සේලා හට වැඩසිටින්නය. නමුත් පුරාවිද්‍යා පනත අනුව එය අයිතිවන්නේ පුරාවිද්‍යාවටය. එනිසා දැන් සිදුව ඇත්තේ පුරාවිද්‍යාව සිටින තුර භික්‌ෂූන් වහන්සේලාහට එම ලෙන්වල වසන්නට බැරිවීමය. එයට හොඳම උදාහරණය වන්නේ 2013 වසරේ සිට කුඩුම්බිගල වන සෙනසුනේ ලෙන් කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට කුඩුම්බිගල නාහිමියන් පුරාවිද්‍යාවෙන් උපදෙස්‌ ඉල්ලු කළ වසර 03 ක්‌ යනතෙක්‌ පුරාවිද්‍යා ලොක්‌කෝ ඒ සඳහා උපදෙස්‌වත් අවසරවත් ලබා නොදෙන ලදී. අවසානයේදී පැරණි බිත්ති දිරා වේයන් ගසා දිරාපත්ව හුඹස්‌ බැඳ තිබීම නිසා එම පැරණි බිත්ති බැඳ ප්‍රතිසංස්‌කරණය කළවිට කුඩුම්බිගල හිමි පොලිසියට ගෙන ගොස්‌ කටයුතු කරන්නට පුරාවිද්‍යාව සිංහයන්සේ නිර්භීත වෙති.

නමුත් දෙමළ හෝ මුස්‌ලිම් ජනයා වෙසෙන පැත්තක පුරාවස්‌තු සහමුලින්ම ඩෝසර කළද පුරාවිද්‍යාවට ඒ ගැන කිසිදු වගක්‌ නැත. වැරදි කරුවන් පෙනි පෙනී සිටියද ගැටලුවක්‌ නැත. අසරණ මනුස්‌සයෙක්‌ යම් පුරා වස්‌තුවකට හානි කළහොත් පුරාවිද්‍යා ලොක්‌කන්ගේ ආසනය ශක්‍රයාගේ පඬුපුල් අසුන සේ රත්වන්නේය. එම නිසා නහුතෙට තදවී ලොකු දඩයක්‌ දෙන්නේ. එසේ නැතිනම් මාස ගණනක්‌ සිරගේකට ගාල් කරන්නේ. 

මෙම කරදියන්ආරු පුදබිම විනාශ කරන්නට ඉඩ දුන්නේ කවුද? මේවට ඔප්පු තිරප්පු දුන් නිලධාරියා කවුද? මේ ආකාරයෙන් කිසිම තැනක තිබෙන පුරා වස්‌තුවලට හානි කරන්නට ඉඩ දිය හැකිද? නොහැකි නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට නොහැකිද? පුළුවන් නම් මෙම පුදබිම විනාශ කළ අයට නිතිය රැහැනට කොටුකර දඬුවම් ලබාදෙන්න යෑයි අපි පුරාවිද්‍යාවට කියන්නෙමු. ඒ අභියෝගය ඉටු කරනවාදැයි අපි විමසිල්ලෙන් පසු වන්නෙමු. එසේනම් අපේ පුරාවිද්‍යාවට කොන්දක්‌ තිබෙන බව පෙන්නීමට අප අභියෝග කරන්නෙමු. 

සුසන්ත අමර බන්දු



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7506473250257690085

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item