ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක්

ශ්‍රී ලංකා යුද, ගුවන් හා නාවික හමුදාවන්හි නිවාඩු නොගෙන සේවයට නොපැමිණෙන නිලධාරීන් හා සෙසු නිලයන් සඳහා නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්ව ...

ශ්‍රී ලංකා යුද, ගුවන් හා නාවික හමුදාවන්හි නිවාඩු නොගෙන සේවයට නොපැමිණෙන නිලධාරීන් හා සෙසු නිලයන් සඳහා නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්ව යාමට මාසයක පොදු සමා කාලයක් ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම පොදු සමා කාලය දෙසැම්බර් 01දා සිට දෙසැම්බර් 31දා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව දින 90කට වඩා නිවාඩු නොලබා සේවයේ නොසිටින ත්‍රිවිධ හමුදා සාමජිකයන් සේවය අත්හැරගියා සේ සලකන බවත් එලෙස නීත්‍යානුකූල නොවන අයුරින් සේවයෙන් ඉවත්ව සිටින හමුදා සාමාජිකයන්ට මෙම කාල සීමාව තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් විය හැකි බවත් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙලෙස ඉවත්වන්නන්ගෙන් හමුදාව වෙත අයවිය යුතු මුදල් ප්‍රමාණයක් ඇති අවස්ථාවලදී එම මුදල රුපියල් 10,000කට වඩා අඩු වන අවස්ථාවන්වලදී එම මුදල් කපා හැරීමට ද කටයුතු කරයි.

මේ අතර 2003 වසරේ සිට 2016 වසරේ පළමු අදියරේ දී යුද හමුදාවේ නිලධාරීන් 130ක් සහ හමුදා භටයින් 67630ක් පොදු සමාකාලවලදී සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්ව ඇති බවත් මේ වන විට නිලධාරීන් 174ක් සහ හමුදා භටයින් 40,000කට ආසන්න පිරිසක් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී සිටින බවත් යුද හමුදාවේ මේජර් ජනරාල් ජානක වල්ගම මහතා පැවසීය.

යුද හමුදා සාමාජිකයන් තමන්ට ආසන්නතම හමුදා රෙජිමේන්තුව වෙත වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ පොදු සමා කාලය තුළ නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් විය හැකි බවත් මේජර් ජනරාල් වල්ගම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 1998 වසරේ සිට පොදු සමා කාලයන් අවස්ථා 08කදී ක්‍රියාත්මක කළ බවත් එම අවස්ථාවන් 8තුළ දී නාවික නිලධාරීන් ඇතුළු 8937දෙනෙකු සේවයෙන් ඉවත්ව ඇති බවත් පෙන්වා දෙන නාවික හමුදාවේ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා මේ වන විට නිලධාරීන් 26ක් සහ නාවික භටයන් 6133දෙනෙකු නීත්‍යානුකූලව ඉවත් නොවි සිටින්නන්ගේ කාණ්ඩයට ඇතුළත් ව සිටින බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙම කාලය තුළ සේවයෙන් ඉවත්වන්නන් වැලිසර පිහිටි නාවික හමුදා රෙජිමේන්තුව වෙත වාර්තා කරන ලෙසත් එසේ නොමැති පුද්ගලයන් තමන්ට ආසන්නතම කඳවුරට වාර්තා කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේ මෙලෙස පොදු සමා කාලයක් ලබාදෙන්නේ අවසන්වරට බවත් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙසත් ය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2709768030620976594

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item