සළුසලට මුවාවී පාසල් නිළ ඇඳුම් රෙදි වංචාවක්!

පාසල් නිළ ඇඳුම් රෙදි සැපයීමේදී බරපතල වංචා සිදුවන බව ප‍්‍රකාශ කරමින් පසුගිය වසරේ පාසල් ළමුන්ගේ නිළ ඇඳුම් රෙදි වෙනුවට නිළ ඇඳුම් සඳහා තිළිණ ...

පාසල් නිළ ඇඳුම් රෙදි සැපයීමේදී බරපතල වංචා සිදුවන බව ප‍්‍රකාශ කරමින් පසුගිය වසරේ පාසල් ළමුන්ගේ නිළ ඇඳුම් රෙදි වෙනුවට නිළ ඇඳුම් සඳහා තිළිණ පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී. මෙම තිළිණ පත මඟින් ප‍්‍රමිතියෙන් යුතු නිළ ඇඳුමක් ලබා ගැනීමේ අවස්ථාව පාසල් දරුවන්ට අහිමි වන බැවින් ලංකා ගුරු සංගමය පාසල් නිළ ඇඳුම් තිළිණ පත් ලබා දීමට දිගින් දිගටම විරෝධය පළ කරන ලදී.

එසේ තිබියදී 2017 වසර සඳහා ද තිළිණ පත් ක‍්‍රමය මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. එහෙත් මේ වන විට සළුසල නමින් පාසල් නිළ ඇඳුම් වංචාවක් සිදුවෙමින් පවතින්නේ තිළිණ පත උපයෝගී කර ගනිමිනි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා 2016.09.26 දිනැති EDS/11/161/05/16/02 අංකයෙන් යුතු ලිපියකින් සියලූම පළාත් අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා විදුහල්පතිවරු දැනුවත් කර ඇත්තේ නිළ ඇඳුම් තිළිණ පත් මඟින් දුෂ්කර, අතිදුෂ්කර හා හුදකලා පාසල්වල දරුවන්ට නිළ ඇඳුම් ලබා ගැනීමට නාගරික ප‍්‍රදේශවලට යාමට ඇති අපහසුව සලකා රජයේ ආයතනයක් වන ලංකා සළුසල ආයතන විසින් එම ප‍්‍රදේශවලට ගොස් රෙදි අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බැවින් එම ආයතනයෙන් පාසල් නිළ ඇඳුම් රෙදි ලබා ගැනීමට දෙමව්පියන් දැනුවත් කරන ලෙසය. ලංකා සළුසලට අදාළ සේවකයින් 2016.07.13 දිනැති අමප/16/1194/028 අංකයෙන් යුතු කැබිනට් පත්‍රිකාව මඟින් ස්වේච්ඡා වන්දි යෝජනා ක‍්‍රමය යටතේ විශ‍්‍රාම ගන්වා ඇති අතර, මේ වන විට ලංකා සළුසල සමස්ත සේවක සංඛ්‍යාව 20 කටත් අඩුය. මෙම තත්වය තුළ ලංකා සළුසල සමින් සරත් පතිරණ නමැති පුද්ගලයෙකු නිළ ඇඳුම් රෙදි සැපයීමේ නිරත වෙමින් සිටී.

ලංකා සළුසල මඟින් රෙදි සපයන්නේ නම් ඔවුන් රෙදි ලබා ගන්නා ආයතන ටෙන්ඩර් පටිපාටියක් යටතේ තෝරා ගත යුතුය. එහෙත් එවැන්නක් ද සිදු වී නැත. මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ කිසියම් පුද්ගලයකු විසින් සළුසල නමින් බිල්පත් නිකුත් කර නිළ ඇඳුම් රෙදි වංචාවක නිරත වන ආකාරයත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිළ වශයෙන් ම අනුග‍්‍රහ දක්වන ආකරයත්ය.

ලංකා ගුරු සංගමය දිගින් දිගටම පෙන්වා දෙන ලද්දේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති ජාතික ප‍්‍රසම්පාදන කොමිසම හරහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් පාසල් නිළ ඇඳුම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මඟින් සකස් කරන ලද පිරිවිතර අනුව විධිමත් ලෙස නිළ ඇඳුම් රෙදි සැපයීමට කටයුතු කරන ලෙසයි. එසේ නොකොට තවදුරටත් නිළ ඇඳුම් තිළිණ පත ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය ද සම්බන්ධ වී සිදු කරන මෙම පාසල් නිළ ඇඳුම් රෙදි වංචාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ද ලිඛිතව ඉල්ලා සිටී.

- ලංකා ගුරු සංගමය-



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 856828071218090980

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item