රුවන්වැලි මහ සෑයේ ගුවන් කැමරාවක් ගැටේ

අනුරාධපුර අටමස්ථානාධිපති හා ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති යන නාහිමිවරුන්ගෙන් අවසරයක් නොමැතිව ස්වර්ණමාලි සෑරදුන් ඉදිරියෙන් ඉහළ අහසට ඩ්‍රෝන් කැම...

අනුරාධපුර අටමස්ථානාධිපති හා ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති යන නාහිමිවරුන්ගෙන් අවසරයක් නොමැතිව ස්වර්ණමාලි සෑරදුන් ඉදිරියෙන් ඉහළ අහසට ඩ්‍රෝන් කැමරාවක් ගුවන් ගත කර කප්රුක් පූජාවක් පටිගත කළ අවස්ථාවේ සෑ රදුන් ආසන්නයෙන් ගමන් කළ කැමරාව හතරැස් කොටුවේ (දේවතා කොටුව) ගැටීමට සලස්වා අනර්ථයක් සිදුකළ බවට චෝදනා ලැබූ කැමරා ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ රත්නායක ඊයේ (15) සවස නියෝග කළේය.

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන්ට අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණේ කැමරා ශිල්පියෙකු වශයෙන් මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු අංක 456 වැලිපාර අලවතුගොඩ ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ චතුර ඒකනායක යන සැකකරුයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ අනුරාධපුර අටමස්ථාන ‍පොලිස් මුර‍පොළේ ස්ථානාධිපතිවරයා විසින් සැකකරු සමග ඩ්‍රෝන් කැමරාව පෙරේදා (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට බාර දී ඇති බවයි.

පොහොර සංස්ථාවේ උසස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් පෙරේදා (14) සවස ස්වර්ණමාලි සෑරදුන් අභියස කප්රුක් පූජාවක් පවත්වා ඇති බවත් එම ආයතනයේ උසස් නිලධාරියා නාහිමියන්ගෙන් අදාළ පූජාව වීඩියෝ කැමරාගත කිරීමට හා ඡායාරූප ගත කිරීමට අවසර ලබාගෙන ඇතත් ඩ්‍රෝන් කැමරාව ගුවන්ගත කිරීමට අවසර ලබා නොගෙන ගුවන් ගත කළ අවස්ථාවේ එය රේඩියෝ සංඥාවලින් මිදී ගොස් ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන්ගේ හතරැස් කොටුවේ ගැටී බිමට කඩා පතිත වී තිබෙන බවයි.

සෑ මළුවේ ආරක්ෂාවේ සිටි ‍පොලිස් නිලධාරියෙකු සෑය දෙසින් නිල් පැහැති ආලෝකයක් දිස් වී එක්වරම එය බිමට පතිත වන අයුරු දැක වහාම එම ස්ථානයට ගොස් බලද්දී සැකකරු එම කැමරාව ක්‍රියාත්මක කරන අයුරු දැක වහාම අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්‍ලේගම හේමරතන නාහිමිපාණන්ට දන්වා ඇති බවත් උන්වහන්සේ විසින් ලබාදුන් උපදෙස්වලට අනුව සැකකරු උඩමළුව ‍පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ බව නඩු මෙහෙයුම් අංශය අධිකරණයට දන්වා සිටියේය.

උඩමළුව ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ සෑයේ හතරැස් කොටුවට හානි සිදුව ඇත් දැයි පරීක්ෂා කර ඇති බවත් සෑරදුන්ට යම්කිසි හානියක් සිදුවී ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ පිළිබඳව වාර්තා කර තිබෙන බව නඩු මෙහෙයුම් අංශය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
ඩ්‍රෝන් කැමරාව එහි ගැටීමක් සිදුවුවත් සෑරදුන්ගේ හතරැස් කොටුවට කිසිදු හානියක් සිදු වී නැති බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. ඇප මත මුදාහැරී සැකකාර කැමරා ශිල්පියාට මේ මස 23 වනදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5360149480649368056

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item