ඔවුන් යෙදී සිටින්නේ යුද්ධයත්, යුද ජයග්‍රහණයත් අමතක කරලීමේ අසාර්ථක උත්සාහයකයි - මහින්ද රාජපක්‌ෂ මහතා සමග කල සාකච්චාව

මෙවර මහ මැතිවරණය අනෙකුත් මහ මැතිවරණවලට වඩා අතිශය තරගකාරී මෙන්ම තීරණාත්මක ද වී ඇත. ඉදිරි වසර පහක කාලයට රට භාර දෙන්නේ කාටද යන්න ලබන 17 වැනිද...


මෙවර මහ මැතිවරණය අනෙකුත් මහ මැතිවරණවලට වඩා අතිශය තරගකාරී මෙන්ම තීරණාත්මක ද වී ඇත. ඉදිරි වසර පහක කාලයට රට භාර දෙන්නේ කාටද යන්න ලබන 17 වැනිදා මෙරට ජනතාව ලබාදෙන ඡන්දයෙන් තීරණය වනු ඇත. එකී මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. මැතිවරණ උණුසුම එහි පරමෝත්කර්ෂයට ළංවී ඇති මොහොතක මැතිවරණයේ ප්‍රධාන නියමුවන් දෙදෙනා මෙවර මැතිවරණයට ප්‍රධාන පක්‌ෂ දෙකේ සූදානම පිළිබඳ ප්‍රධාන පුවත්පතක්  සමග කළ සංවාදයන්හි සංක්‍ෂිප්තයන් පහතින් දැක්‌වේ.


පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින තුනකි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබ මාධ්‍ය ඉදිරියට පැමිණි හැම අවස්‌ථාවකම ඔබට සිදුවූයේ විවිධ චෝදනාවලට උත්තර දෙමින් ආරක්‍ෂාවීමේ වැඩපිළිවෙළකට තල්ලු වීමටයි. ඒ ගැන ඔබට සිතෙන්නේ කුමක්‌ද?

එක අතකින් එහෙම තත්ත්වයක්‌ වළක්‌වන්න බැහැනෙ. අපි මෑතක්‌ වෙන කල්ම බලයේ හිටියා. යම් යම් දේවල් කිරීම හෝ නොකිරීම ගැන පිළිතුරු දෙන්න අපට සිදුවෙනවා. අපේ විරුද්ධවාදීන් අපට එල්ල කරන චෝදනා කන්දරාව ගැන ප්‍රශ්න නොකර ඉන්න මාධ්‍යවේදීන්ට පුළුවන්කමකුත් නෑනේ. අප කළ ලොකු වරදක්‌ තමයි අපට ඒ ඒ අවස්‌ථාවල එල්ල කරන ලද චෝදනාවන්ට එවෙලේම උත්තර නොදී සිටීම. ඒ නිසා තමයි ඒ චෝදනාවලට අද උත්තර දෙන්න සිදුවෙලා තිබෙන්නේ. මාධ්‍ය මේ ප්‍රශ්න අහන එක ගැන මම සතුටු වෙනවා. එයින් අපට අවස්‌ථාවක්‌ ලැබෙනවා ජනතාවට කරුණු පැහැදිලි කර දෙන්න. පසුගිය ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා Face book (මුහුණු පොත) වැනි සමාජ ජාලා හරහා අපට විරුද්ධව මහ අවලාද ව්‍යාපාරයක්‌ ගෙන ගියා. නමුත් දැන් මේවා සියල්ල අමූලික බොරු බව ජනතාවට අවබෝධ වෙලා තියෙනවා.

දේශපාලනඥයන් දේශපාලනය කරන්නේ මුදල් හම්බ කිරීමට බව බොහෝ අය තුළ මුල්බැසගත් අදහසක්‌. 1977 - 1994 එජාප ආණ්‌ඩුවේ ප්‍රබලයන්ටත් විරුද්ධව විවිධ දූෂණ චෝදනා එල්ල වුණා. 1994 දී පොදුජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුව බලයට පත් වුණේ එජාපයේ දූෂණය හා භීෂණය ගැන කතා කරමින්. 2001 දී එජාප ආණ්‌ඩුවක්‌ බලයට පත් වුණෙත් පොදු පෙරමුණු ආණ්‌ඩුවේ දූෂණය හා භීෂණය කථා කරමින්. මේ අනුවහැම ආණ්‌ඩුවක්‌ ම බලයේ සිටීමට දූෂණය සහ භීෂණය පාවිච්චි කරන බවක්‌ කියෑවෙනවා. මේ පසුබිම තුළ ඔබේ ආණ්‌ඩුවට එරෙහිව තිබෙන දූෂණ චෝදනා ගැන මොනවද කියන්නේ.

මගේ ආණ්‌ඩුව දූෂිත බවත්, මගේ පවුලේ අය පිටරටවල ධනය රැස්‌කර තිබෙන බවටත් මහ චෝදනා ගොඩක්‌ එල්ල වුණා. මේ අලුත් ආණ්‌ඩුවට දැන් මාස 7 ක්‌ ගතවෙලා. නමුත් අපි රැස්‌ කරාය කියන ධනය ගැන මේ දක්‌වා කිසිම පිළිගත හැකි සාක්‍ෂියක්‌ ඉදිරිපත් කරන්න බැරිවෙලා තිබෙනවා. මේවා උසාවියට ඉදිරිපත් කරලා ඔප්පු කරන කාරණය පැත්තක තියමුකො. අඩුම තරමේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට අපි මේ
රැස්‌කරයි කියන ධනය පිළිබඳව වාර්තාවක්‌ ලියන්නට තරම්වත් ප්‍රමාණවත් සාධක ඉදිරිපත් කරන්න කාට හරි පුළුවන් වෙලා තියෙනවාද? අපට එරෙහිව නඟපු ඔය අවලාද ඔක්‌කොම පට්‌ටපල් බොරු. මම එක උදාහරණයක්‌ කියන්නම්. පසුගිය කාලේ අවුරුදු 9 ක්‌ ම මගේ ආණ්‌ඩුවේ ඉඳලා අනෙක්‌ පැත්තට ගිය ඇමැතිවරයෙක්‌ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මුල් වියදම ඩොලර් මිලියන 300 ක්‌ බවත් මගේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ ඒ මුදල් ඩොලර් මිලියන 450 ක්‌ කරලා ඒ වැඩි කළ ඩො. මි. 150 රාජපක්‍ෂ හොරකම් කරා කියල රට පුරාම කියාගෙන ගියානෙ. ඒ ගැන පොතකුත් ලිව්වා. මැතකදී ඒ අය ඔය චෝදනාව නැවත මතුකළ අවස්‌ථාවේදී මගේ මාධ්‍ය ඒකකය පෙන්වා දුන්නේ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මුල් ඇස්‌තමේන්තුව වැඩි වුණේ මොන දිනයේද කියල අපි ප්‍රසිද්ධියට පත් කළාම දැන් අනෙක්‌ පැත්තෙන් වචනයක්‌වත් ඇහෙන්නෙ නෑ. අපට එල්ල කරන අනෙක්‌ චෝදනාවල තත්ත්වයත් ඔය වගේ තමා.

හැම ආණ්‌ඩුවකට වාගේම ඔබේ ආණ්‌ඩුවටත් දූෂණ චෝදනා එල්ල වෙනවා. ඔබේ පුතා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළැයි කියන චෝදනාවත් සමඟ ඔහුගේ මළ සිරුරත් ගොඩ අරගෙන තිබෙනවා. පොදු පෙරමුණු ආණ්‌ඩුව 1994 දී රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ ඝාතනය ගැන කථා කළා වගේ දැන් එක පාරටම තාජුඩීන් ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. මේ ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවාද?

ඒ අය ඉස්‌සර වෙලා උත්සාහ කළේ අපි හොරු කියල කියන්න. පසුගිය මාස 7 තිස්‌සේම ඒ ගැන විමර්ශනය කරල ඒ ගැන සක්‍ෂි නැති නිසා අපි මිනීමැරුවයි කියල ජනතාව අතරේ අපට අපකීර්තියක්‌ ඇති කරන්න උත්සාහ කරනවා. මේ ඡන්දයක්‌ අස්‌සේ තාජුඩීන්ගේ මළසිරුර ගොඩ ගත්තේ ඒකට. ඔය මෘත ශරීරය පිළිබඳව කිසිම වාර්තාවක්‌ මැතිවරණයට කලින් ලබා ගන්න බෑ. තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ ද නැද්ද කියල තවම තීරණය කරල නෑ කියල පොලිසියම කියනවා. ඉතිං මේ වෙලාවේ මෘත ශරීරය ගොඩ ගත්තෙ මිනිසුන්ගෙ සිත් තුළ සැකය ඇති කරල ඒකෙන් දේශපාලන වාසි ලබා ගැනීමේ හැඟීමෙන්. නමුත් මම හිතන්නෙ නෑ මහජනතාව දෙවැනි වතාවටත් මේ බොරු බේගල්වලට රැවටෙයි කියලා. පසුගිය ජනාධිපතිවරණ කාලේ අපේ විරුද්ධවාදීන් අපට විරුද්ධව එක එක චෝදනා එල්ල කළේ ඒවා ඔප්පු කරන්න අවශ්‍ය සියලුම සාක්‍ෂි තමන්ගෙ අතේ තියාගෙන වාගේ. නමුත් ඔවුන් ළඟ මොනම සාක්‍ෂියක්‌වත් නැති බව ජනතාව තේරුම් ගත්තේ ඡන්දෙන් පස්‌සෙයි. ඡන්දය ඉවරවෙලත් මාස 7 ක්‌ ගිහිල්ල තවමත් දූෂණ ගැන සාක්‍ෂි නෑ. ඒ නිසා බැරිම තැන තාජුඩීන්ගේ මළ සිරුර ගොඩ අරගෙන ඔවුන්ට ගොඩ යන්න පුළුවන්ද බලනවා.

ඔබ කොටි සංවිධානයට අල්ලස්‌ දීල දෙමළ ඡන්ද වළක්‌වා ගෙන 2005 වර්ෂයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා කියල රනිල් වික්‍රමසිංහ මහතා හා චම්පික රණවක මහතා චෝදනා කරනවා. ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවද?

මම කොටි සංවිධානයට අල්ලස්‌ දුන්නා කියලා චෝදනා කරන්නේ 1990 දී කොටින්ට මුදල්, ආයුධ දීපු පක්‍ෂයක අයයි. ඒක දෛවයේ සරදමක්‌ වගේ. රණසිංහ ප්‍රේමදාස මහතා කොටි සංවිධානයට මුදල් හා ආයුධ දීපු එක සනාථ වෙච්ච දෙයක්‌. ඒ බව ඒ කාලේ හිටපු ඉහළම නිලධාරීනුත් පිළිඅරගෙන තිබෙනවා. ඒ අය කොටින්ට මුදල්, ආයුධ විතරක්‌ දීලා සෑහීමට පත් නොවී 2002 දී උතුර - නැගෙනහිර පළාත් බන්දේසියක තියල භාර දෙන්නත් හැදුවා. එහෙම අය තමයි අද කියන්නේ මම කොටි සංවිධානයට අල්ලස්‌ දුන්නා කියලා. ඒ අය බලන්නේ මගේ කාලයේ සිද්ධ වූ යුද ජයග්‍රහණය ජනතාවට මේවා කියල අමතක කරවන්න පුළුවන්ද කියලයි.

මගේ ආණ්‌ඩුවේ අවුරුදු 9 ක්‌ ඉඳල එජාපයට ගිය අය කොළඹ දිස්‌ත්‍රික්‌කය පුරාම ගිහින් කියන්නේ මම කොටින්ට මුදල් දුන්නා කියලා. මම අහන්නේ ඒ අය ඒ කාරණය ගැන දැනගෙන හිටිය නම් ඒ දවස්‌වලම එජාපයට ගිහිල්ල රට ජාතිය බේරාගන්න කටයුතු නොකළේ ඇයි?

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ?

මගේ ආණ්‌ඩුවට එල්ල කළ දූෂණ චෝදනා හා මේ මහ බැංකු බැඳුම්කර වංචාව සමාන කරලා.. කථා කරන්න බෑ. ඒ දෙක අතර ලොකු වෙනසක්‌ තියෙනවා. මට විරුද්ධව ඇති චෝදනාවලට කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් කරල නෑ. නමුත් එජාපයේ බැඳුම්කර වංචාව දැනටමත් එම පක්‍ෂයේම නීතිඥයන්ගෙන් සමන්විත කමිටුවක්‌ මගින්ද පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මගින්ද විමර්ශනය කර තිබෙනවා.

සාකච්ඡා කළේ
ජයසූරිය උඩුකුඹුර, 
සී. ඒ. චන්ද්‍රප්‍රේම



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2134818176474434879

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item