ආදරේදි මං වාසනාවත් අවාසනාවත් අත්විඳ තිබෙනවා - කාවිංග පෙරේරා
කාලයක් පුරාවට පුංචි තිරයේ අපට හමු වූ කඩවසම් පෙම්වතා මෑතක සිට පුංචි තිරයේ දුෂ්ටයා ලෙස ඔබේ ආලින්දයට එයි. එදා පෙම්වතා අද දුෂ්ටයා වුවද ඔහුට...
https://www.sathhanda.com/2015/08/interview-with-kavinga-perera.html
කාලයක් පුරාවට පුංචි තිරයේ අපට හමු වූ කඩවසම් පෙම්වතා මෑතක සිට පුංචි තිරයේ දුෂ්ටයා ලෙස ඔබේ ආලින්දයට එයි. එදා පෙම්වතා අද දුෂ්ටයා වුවද ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසගේ නම් කිසිම අඩුවක් නැති තරම්. මේ දිනවල විකාශය වන 'දියණියෝ' ටෙලි නාට්‍යයෙහි දුෂ්ටයා ලෙස රන්දිව් ගේ චරිතය ඇතුළු තවත් චරිත කිහිපයකින්ම ඔබ හමුවට එන ඔහු සෑම විටෙකම වෙනසක් සෙවීමේ පිපාසාවෙන් පෙළෙන ජනප්‍රිය රංගන ශිල්පි කාවිංග පෙරේරා ය. අද අපේ කතා බහ ඔහු සමගයි.
වරදක් නැහැ. මගේ අම්මයි නංගියි එක්ක හොඳින් සතුටින් සහ පාඩුවේ ඉන්නවා.
කාවිංග මේ දවස් වල සෑහෙන කාර්යබහුලයි වගේ නේද?
ලොකු කාර්යබහුලත්වයක් නම් ඇත්තේ නැහැ.
වැඩිපුර මේ දවස් වල දකින නිසයි එහෙම ඇහැව්වේ?
මං ෂූටිං නිමා කරපු සහ තවමත් වැඩ කරගෙන යන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස් වල විකාශය වෙනවා. ඒ නිසා කාර්යබහුලයි කියලා හිතෙන්න ඇති නේද?
හැබෑටම මෙච්චර ජනප්‍රිය වීමේ රහස මොකද්ද?
පළමු දේ නිහතමානි කම. ගරු කළ යුත්තන්ට ගරු කිරීම සහ කාවිංග කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වන චරිතයක් වීම. මේ ගුණාංග කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔය දේවල් තමයි මගේ ජනප්‍රියත්වයේ රහස
චරිත තෝරා ගැනීමේදී කාවිංග ගේ ප්‍රතිපත්ති මොනවාද?
එකම රාමුවක කොටු නොවීමේ ප්‍රතිපත්තිය නම් මේ ක්ෂේත්රයට ආපු මුල් කාලේ ඉඳලම තිබුණා.
හැම වෙලේම වෙනසක පිපාසාවෙන් ඉන්න කතාව ඇත්ත?
ඔව්. මම හරිම කැමැති නිතරම වෙනස් දේවල් කරන්න. මට ලැබුණු චරිතයක පිටපතට අමතරව ඒ චරිතයට තවත් වෙනස් කම් එකතු කරන්න පුළුවන් නම් සමහර විට අධ්යක්ෂවරයා සමග කතා බහ කරලා ඒ චරිතයට අදාළ යම් යම් වෙනස් කම් කර ගෙන ඒ චරිතය නිවැරැදිව කරන්නයි මට අවශ්‍ය. මේ දේවල් මං ඉගෙන ගත්තේ එච්. ඒ. පෙරේරා සහ මහේන්ද්‍ර පෙරේරා කියන මගේ ගුරුබවතුන්ගේ ගුරුහරුකම් තුළින්. ඉතින් ඒ ගුරුහරුකම් වගේම රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක සහ සුසිල නිෂ්පාදන සමාගමටත් මාව වෙනස් නිර්මාණකරුවකු කළාට ස්තුති වන්ත විය යුතුයි.
මේ වෙනස් චරිත අතුරෙන් ඔබ වඩාත් කැමැති චරිතය කුමක්ද?
මට මෙතෙක් ලැබුණු හැම චරිතයක්ම හොඳයි. ඒ අතරින් ‘අඟුරු සිත්තම්‘ හී රයන් සහ ‘දියණියෝ‘ හී රන්දීව් ගේ චරිත වලට මගේ ලොකු කැමැත්තක් තියෙනවා.
'උතුම් පැතුම්' හී ලොකු අයියා මුහුණ පානවා වගේ ප්‍රශ්නයකට ඔබ මුහුණ පෑවොත් ඔබේ තීරණේ කුමක් වේවිද?
ආදරේ කියන්නේ හරිම සුන්දර විෂයක්නේ. මට ආදරේ කරන්න පුළුවන් කෙනාගේ පැත්ත මම අනිවාර්යෙන්ම ගන්නවා. මිල මුදල්, යාන වාහන මට වැඩක් නැහැ. මං මේ කතා කරන්නේ ලොකු අයියා ගැන නෙමෙයි කාවිංග ගැන හොඳද.
දෛවය, වෙලාව සහ වාසනාව ගැන ඔබේ විශ්වාසය ?
මං ජ්‍යොතිෂය පස්සෙ පන්නන කෙනෙක් නම් නෙමෙයි. නමුත් කාලය හැම දේම තීරණය කරන බව නම් තදින්ම විශ්වාස කරනවා. ඒ වගේම අපිට දෙයක් වෙන්න තියෙනවා නම් ලැබෙන්න හෝ නැති වෙන්න තියෙනවා නම් ඒ දේවල් වෙනවාමයි.
ඔබේ ආදරයටත් ඒ දේවල් පොදුයිද?
කාලෙකදි හිතෙනවා අපි තෝරා ගත්තේ හරි කෙනාව කියලා. කල් යද්දි තේරෙනවා එහි වැරැද්ද. නමුත් ආදරේදී මං වාසනාව සහ අවාසනාවත් සම සේ අත් විඳලා තියෙනවා.
මං අහන්නේ නැහැ ඔබ දැන් ආදරවන්තයෙක්ද කියලා?
අහ් හා...
හැබැයි ආදරේදී ඔබට වැරදුණේ කොතැනද කියලා මං අහන්නම්?
සමහර අපි ගන්න තීරණ මං කලින් කිව්වා වගේ හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්.මමත් එවැනි තීරණ අරන් තියෙනවා.
අතීතය ගැන කාවිංගට තිබෙන්නේ කලකිරීමක් වගෙයි?
පහු ගිය කාලේ මගේ අප්පච්චිගේ වෙන් වීම, ඒ කාලේදීම මගේ ජීවිතේ වුණු තවත් සිදුවීම් දෙකක් සමඟ පහුගිය කාලේ මං හිටියේ ඔබ කිව්වා වගේම පුංචි කලකිරීමක් හා වේදනාවකින් තමයි. නමුත් කාලෙකට පස්සේ ඒ වුණු සමහර දේවල් හොඳයි කියලා හිතුණා. ඉතින් කාලයා විසින්ම ඒ වේදනා සුවපත් කරලා තියෙනවා. දැන් මං අම්මයි නංගියි බලා ගෙන සතුටින් ජීවත් වෙනවා.
කවුරුන් හෝ ඔබට යම් චෝදනාවක් කළොත් ඊට දක්වන ප්‍රතිචාරය?
මං කිසිම වෙලාවක මට එල්ලවෙන චෝදනාවකට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමෙයි. මං වැඩිපුරම අහලා තියෙන්නේ මා එක්ක වැඩ කරන්න බැහැ කියන චෝදනාව.
එහෙම කියන්නෙත් සමහර විට මා එක්කම එකට ඉන්න එකට කන බොන අයමයි. ඒහෙම කියලා මං කවදාවත් ඔවුන්ගෙන් පලි ගන්න යන්නේ නැහැ. කලාව කියන්නේ මගේ දෙවැනි පවුල. ඒ නිසා කලාවට මං පට්ට ආදරෙයි. ඉතින් ඒ හැම දේටම දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි රංගනයෙන් මගේ දස් කම් පෙන්වන එක.
කාවිංග ගේ හෙට දවස?
මං අද දවස හොඳින් සතුටින් ජීවත් වෙන කෙනෙක්. අද ජීවත් වෙලා දෙවියන්ගේ පිහිටෙන් හෙට උදේට නැගිට්ටොත් තමයි හෙට දවස ගැන හිතන්නේ.
ටානියා මෝසස්
Related