මෛත්‍රී ගැන කලකිරීමක් නෑ, අගමැති ධූරය මට නොදී ඉන්න එකක් නෑ - දෙරණ 360 මහින්ද සමග කල සාකච්චාව

ජනවාරි 09 දා අළුයම තමන් නික්ම ගියේ නැවත දේශපාලනයට නොඑන්නට වුවත් ජනතාව‍ගේ ඉල්ලීම අහකදාන්නට බැරිවුණු නිසා නැවත පැමිණි බව හිටපු ජනාධිපති ම...


ජනවාරි 09 දා අළුයම තමන් නික්ම ගියේ නැවත දේශපාලනයට නොඑන්නට වුවත් ජනතාව‍ගේ ඉල්ලීම අහකදාන්නට බැරිවුණු නිසා නැවත පැමිණි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමා කෙරෙහි එදා පැවති ජනතාවගේ ආදරය තවමත් එලෙසින්ම පවතින බව රාජපක්ෂ මහතා කියා සිටියේ ටී.වී දෙරණ 360 විශේෂ රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.

ජනවාරි 09 වන දින අළුයම නීතිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් අරලියගහ මන්දිරයට කැඳවා කුමන්ත්‍රණ සාකච්ඡාවක් පැවැත්වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදිනි ඩිල්කා සමන්මලී මිය විසින් විමසන ලදුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ එසේ කැඳවීම සත්‍යයක් බවයි.

මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ පුද්ගලයා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන තෙක් තමා තවදුරටත් රටේ ජනාධිපතිවරයා බැවින් රටේ කලකෝලාහල ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් තමා වගකිව යුතු බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවන තැනට ගනු ලැබිය හැකි පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.

කුමන්ත්‍රණ සිදුකිරීමට නීතිපතිවරයා අවශ්‍ය නොවන බවත්, නීතිපති උපදෙස් මත සිදුකරන නීත්‍යනුකූල කුමන්ත්‍රණ යනුවෙන් දෙයක් පැවතිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

තමාගේ නිල කාලය සම්පූර්ණවීමට වසර දෙකක් තිබියදී මැතිවරණයකට යනු ලැබුවේ දෛවඥයින්ගේ උපදෙස් අනුව නොවන බවත්, එහෙත් මැතිවරණයට සුභ දිනයක් යොදාගැනීම සම්බන්ධයෙන් උපදෙස් ගත් බවත්, එහෙත් දෛවඥයා තමාට ලබාදුන්නේ සුභ දිනය නොවන බවත්, සුභ දිනය ලබාදී තිබුණේ මෛත්‍රීට බවත් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

එහෙත් දැන් දෛවඥයින් ගේ අදහස් ගැන ඒ තරම් තැකීමක් නොකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


ජනාධිපතිවරයෙකු පත්වන්නේ වරක්ද දෙවරක්ද තෙවරක්ද යන්න තීරණය කළ යුත්තේ එරට ජනතාව විසින් බවත්, එ‍සේ නොමැතිව අමෙරිකානු හෝ ප්‍රංශ ව්‍යවස්ථාවේ සීමා පවතින බැවින් අප සීමා පනවා ගතයුතු නැති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය පිළිබඳ තමන් තුළ කිසිදු කලකිරීමක් නොමැති බවත්, එය පක්ෂ‍යේ ඡන්ද පදනම ගොඩනැඟීමට මිස බිඳදැමීමට හේතු නොවූ බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

විශේෂයෙන්ම පක්ෂයේ පහල කොටස්වලට ජනාධිපතිවරයා විසින් ධෛර්ය ලබාදුන් බවත්, අනෙක් අතට මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පෙන්වාදුන් කරුණු එජාපයේ ඡන්ද අඩුකිරීමට නම් හේතුවන බව තමාට විශ්වාස යයි හෙතෙම සඳහන් කළේය.

එහෙත් සන්ධානය ජයග්‍රහණය කළද අග්‍රාමාත්‍යධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබානොදෙන බවට ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රකාශ කළ බව සිහිපත් කිරීමේදී රාජපක්ෂ මහතා කියා සිටියේ මෛත්‍රී ගැන තමන් 1970 සිට දන්නා බැවින් අගමැති ධූරය ඔහු තමාට නොදී සිටින්නේ නැති බවයි.

තම පාලන කාලයේදී යම් යම් වැරදි අඩුපාඩු සිදුවුණු බව තමන් පිළිගන්නා බවත්, නිදසුනක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය හොර මුදල් නොට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඇය රක්ෂිත බන්ධනාගාර ගත නොකොට පරීක්ෂණ පවත්වන්නට තමන් උපදෙස් ලබාදුන් බවත්, එවැනි දේ නොකළේ නම් මැනවි යයි දැන් තමන් විශ්වාස කරන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මේ ආණ්ඩුව කටයුතු කරන්නට පටන් ගත් තැන සිට සියලු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන් මේවන විට ලක්ෂ 15ක් රැකියා විරහිතභාවයට පත්ව ඇති බවත්, එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය.

පහල කම්කරුවන්ගේ සිට කළමනාකරුවන්ගේ සිට ඉංජිනේරුවරුන් දක්වාම පිරිස් අද වන විට රැකියා නොමැතිව දැඩි දුෂ්කරතාවට ලක්ව ඇති බව රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවත්, ඒ පිළිබඳ එදා ආණ්ඩුවට චෝදනා කළද එජාපයේ අය ඒ ගැන අද චෝදනා නොකරන්නේ එලෙස චෝදනාවන්ට ලක්වූවන් අද ඒ අය සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා යයි රාජපක්ෂ මහතා චෝදනා කළේය.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා කිරීම ප්‍රමාණවත් නොවන බවත්, ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීමට සාක්ෂි තිබිය යුතු බවත්, ඒ සඳහා සහය ලබාදිය යුතුව ඇති බවත්, පහරකෑමට ලක්වූවන් පවා ඒ ගැන සාක්ෂිදීමට ඉදිරිපත් නොවන බවත් ඔහු සිහිපත් කළේය.

සමහර රාජ්‍ය මාධ්‍ය නිදහස් කළ යුතු බව තමන් අද විශ්වාස කරන බවත්, එහෙත් කොයි කාලෙකවත් එවැන්නක් සිදුනොවුණු බවත්, අද පවා එවැනි නිදහසක් දක්නට නොලැබෙන බවත් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමාගේ විදේශ ප්‍රතිපත්තිය නිවරදි නමුත් එය ක්‍රියාත්මකවීමේදී යම් යම් දුර්වලතා ඇති වූ බව තමන් පිළිගන්නා බවයි.

මේවන විට නීතියේ ආධිපත්‍යය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව කියා සිටින රාජපක්ෂ මහතා අගවිනිසුරු ඉවත්කිරීමට හා නව අගවිනිසුරු පත්කිරීමට ක්‍රියා මාර්ග ගනු ලැබූ ආකාරයෙන්ම එය පැහැදිලිවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

තමා පාලන යුගයේදී අගවිනිසුරුවරිය ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූවේ පැවති ව්‍යවස්ථානුකූල විධිවිධාන අනුව බවත්, ඒ අනුව පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කොට සාක්ෂි කැඳවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් ඉවත් කිරීමට කටයුතු කළ නමුත් වත්මන් ආණ්ඩුව ක්‍රියා කරනු ලැබුවේ එවැනි පිළිගත් ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයකින් නොවන බවත් අවධාරණය කළේය.

පාතලය ළඟ තබාගෙන කටයුතු කරනු ලබන්නේ කවුරුන්ද යන්න බව බ්ලුමැන්ඩල් සිදුවීමෙන් තහවුරු වුණු බවත්, තම ආණ්ඩු කාලයේදී රටින් පැනගොස් සිටි නමගිය අපරාධකරුවන් යළි ගෙන්වූයේ කවුරුන්දැයි දැන් පැහැදිලි වන බවත්, සිරගෙදර හිටපු අපරාධකරුවන් දැන් සිටින්නේ කොහේදැයි පැහැදිලිවන බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු‍වේ මන්ත්‍රී ආසන 117ක් ලබා ගැනීමට හැකි යයි තමන් විශ්වාස කරන බවත්, 113ට අඩුවෙන් ගනු ලැබුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමට සහය ලබාදීමට ඕන තරම් අය සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගිය කාලයේ සුළු ජාතීන් තම ආණ්ඩුව සමග පැවති හොඳ හිත පළුදු කිරීමට බොදුබල සේනා වැනි සංවිධාන විසින් කටයුතු කරනු ලැබුවේ බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බවත්, එකී හිමිවරුන් ජිනීවා ගොස් සාකච්ඡා පවත්වා ඒ පිළිබඳ කටයුතු කරනු ලැබු ආකාරය පිළිබඳ මේවන විට කෘතියක් පවා ප්‍රකාශයට පත්ව ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එකල ආණ්ඩුව සමග මුස්ලිම් ජාතීන්ගේ හොඳ හිත බිඳීමට කටයුතු කරමින් ඔවුන් තම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට කටයුතු කළ බවත්, එය සාර්ථක වූ බවත්, අද දවසේ ‍මෙවර මැතිවරණයට තරඟ කරමින් සිංහල-බෞද්ධ ඡන්ද කැඩීමටත් එමගින් බටහිර අවශ්‍යතා ඉටුකිරීමටත් ඔවුන් කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ කාරණා දෙකින්ම බොදුබල සේනා සංවිධානය කටයුතු කරනු ලබන්නේ කාගේ අවශ්‍යතා ඉටුකරන්නටද යන්න මැනවින් තහවුරු වන බව රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේදී වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3631354543274019528

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item