මට ගැළපෙනවා නම් නිළියක් වුණත් කමක් නැහැ - තාරක පීරිස්

කලා ක්ෂේත්‍රයට අලුත් මුහුණක් මාංචන තාරක පීරිස් පළමුව ඔබේ නම සඳහන් කරමු? මාංචන පීරිස්. එතකොට වෘත්තීය? රංගනය. කොච්චර ...


කලා ක්ෂේත්‍රයට අලුත් මුහුණක් මාංචන තාරක පීරිස්

පළමුව ඔබේ නම සඳහන් කරමු?

මාංචන පීරිස්.

එතකොට වෘත්තීය?

රංගනය.

කොච්චර කල් ද රඟපාන්නට ඇවිල්ලා?

අවුරුදු හතරක් විතර.

මේ කාලය ඇතුළත ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන සඳහන් කළොත්?

මන්දාකිණි තමයි මගේ පළමු ටෙලි නාට්‍යය වුණේ. හැබැයි ඒක තවම විකාශය වුණේ නැහැ.

ඔබව මං මියුසික් වීඩියෝ බොහොමයක දැකලා තියෙනවා?

ඔව්. මං වැඩිපුරම හිටියේ ඒවායේ. එකක් යන්න එකක් ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට.

එහෙම රඟපාපු ජනප්‍රිය මියුසික් වීඩියෝ දෙක තුනක් මට කියන්න බලන්න?

තීක්ෂණගේ පමා වූ අතීතේ, සජිත් නුවන්ගේ හීනයක් වෙලා. ඊට අමතරව හිත පාරලා, කවිකාරි මමයි, කඳුළින් වැනි අලුත් අයගේ මියුසික් වීඩියෝස්වලට එකතු වුණා. මේ ඔක්කොම යූ ටියුබ් හරහා නරඹන්න පුළුවන්.

ඔබ රටේ ජනප්‍රියම කෙනෙකුගේ පුතෙක්. මේ වෙනකම් මං ඒ ගැන ඇහැව්වේ නැහැ?

මං වැඩිය කැමැති නැහැ තාත්තාගේ නම කියාගෙන ඉස්සරහට යන්න. මට ඕනෑ මගේ ස්ව උත්සාහයෙන් ගමනක් යන්නටයි.

ඒ වුණාට මෙතනදි නම් ඔබේ පියාගේ නම මට පවසන්නම වෙනවා?

ඔහු ප්‍රකට ජ්‍යෝතිෂවේදියෙක්. නම මංජුල පීරිස්.

ඇයි තාත්තාගේ නම අඩු වශයෙන් පාවිච්චි කරන්නේ?

තාත්තා ජ්‍යෝතිෂ ක්ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු මගේ ගමනට මගේ පිටුපස ඉන්නා යෝධ සෙවණැල්ලක්. ඒ වුණාට මං ඔහු මෙතෙක් ගොඩ නඟාගත් නමේ එල්ලිලා ඉදිරියට යන්නේ නැහැ. මං මාංචන පීරිස් කියන නමින් කලා ලොවේ නැඟී සිටිනවා. මං ඇතැම් අධ්‍යක්ෂවරුන්ට මම ගැන කියනවා. අවසානයේදී තමයි කියන්නේ මම අහවලාගේ පුතා කියලා. ඔවුන්ටත් පුදුමයි.

නිසැකවම ඔබේ නම දාන්න ඇත්තේ තාත්තා වෙන්න ඇති?

අනිවාර්යයෙන්ම.

මොකක්ද නමේ තේරුම?

මාංචන තාරක පීරිස් තමයි මගේ සම්පූර්ණ නම. ඒකෙ තේරුම දිදුලන තාරකාව.

තාත්තා ඔබේ අනාගතය දැකලා තියෙනවා?

ඔහු මගේ ඉපදුණ වෙලාවට මගේ හඳහන හදද්දි ඔහුට පෙනිලා තියෙනවා මම කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යනවා කියලා. ඒ නිසා තමයි මට මේ නම දාලා තියෙන්නේ.

මාංචනටත් ඕනෑ දිදුලන තාරකාවක් වෙන්නද?

ඔව්. ඒකට තමයි මේ උත්සාහය.

තාත්තාගේ අඩි පාරේ ඔබ නොගිය හේතුව මොකක්ද?

පොඩි කාලේ ඉඳලම ජ්‍යෝතිෂය පිළිබඳ කතාබහ වන වටපිටාවකනෙ ඔබ හැදුණේ?

මං ඒ විෂයට දක්ෂ නැහැ. ඒ වුණාට මං ජ්‍යෝතිෂ හැදෑරුවා. තාත්තා ඒ සම්බන්ධ ප්‍රවීණයෙක් බව ඇත්ත. පියාට තරම් මට ඒ ගැන උනන්දුවකුත් නැහැ.

තාත්තා කියන්නේ නැතිද ඔහුගෙන් පසු මේ කාර්යය ඉදිරියට ගෙනි යන්න කියලා?

මා පෙර කිව්වනේ ඔහු දැනගෙන හිටියා මම කවදා හරි ඉදිරිය දකින්නේ කලාවෙන් කියලා. ඒ වෙලේ ඉඳන් මේ වෙනකම් තාත්තා මගේ හීනයට බාධා කළේ නැහැ. මට කැමැති අංශයෙන් ඉදිරියට යන්න උදව් කරනවා.

කලා ලොව ගැන මොකද ඔබට හිතෙන්නේ?

ඇත්තටම කලාවේ යෙදීම වෙනස්ම අත්දැකීමක්. වෙලාවකට හරිම විනෝදජනකයි.

නළුවකු වුණාම ගැහැනු ළමුන්ගෙන් වැඩි ආකර්ෂණයක් තියෙනවා නේද?

ඒක නම් එහෙම තමයි. ඒත් අපි දැනගෙන ඉන්න ඕනෑ මේ ජනප්‍රියකම් තාවකාලිකයි කියලා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැනෙ.

මේ ළඟදී චිත්‍රපටයක රඟපෑවා කියලා ආරංචියි?

එකක් නෙවෙයි දෙකකම හිටියා.

ඒ මොනවාද?

ඩොනල්ඩ් ජයන්තගේ ආදරේට ආදරෙන් සහ උදයකාන්ත මහත්මයා අධ්‍යක්ෂණය කළ මධුර චාරිකා.

ඉන් ඔබට ආදරේට ආදරෙන් විශේෂයි?

ඒකෙ මම උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ. චරිතෙ නම ෆ්‍රෙඩී. හේමාල් තමයි ඒකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මම ඔහුගේ යාළුවෙක්.

කොහොමද ඔබට ඒ චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙන්නේ?

ඩොනල්ඩ් අංකල් නිතර අපේ ගෙදර එනවා. එහෙම දැකලයි මට ඒ චිත්‍රපටවලට ආරාධනා කළේ.

නව පරපුරේ නළුවකු විදිහට ඔබ රංගනය හදාරනවාද?

මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ගාව හැදෑරුවා. ඊට අමතරව මම චිත්‍රපට නරඹනවා. ඒවායින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

ආදරේට ආදරෙන් රඟපාන්න ගිහිල්ලා කවුදෝ කෙනෙක් ඔබට ගහන්න ආවලු නේද?

ඒක වුණේ මෙහෙමයි. එදා ෂූටිං තිබුණෙ පාර්ලිමේන්තුව ගාව. අධ්‍යක්ෂවරයා මාව ඒ ළඟ කඩයක වාඩි කරලා කැමරාව ගාවට ගියා. කඩේ මිනිහා දන්නේ නැහැ මං එතැන වාඩි වුණේ රූගත කිරීමකට කියලා. මුදලාලි මට බනින්න පටන් ගත්තා. මම හෙල්ලුණේ නැහැ. බැරිම තැන ගහන්න ආවනෙ. අපේ නිෂ්පාදන කණ්ඩායම දුවගෙන ඇවිත් මාව බේර ගත්තා. නැත්නම් මට හොඳටම ගුටිකන්න වෙනවා.

ඔබ මේ වන විට වෙනත් වෘත්තියක යෙදෙන්නේ නැහැ. කවදා හරි මේ ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න පුළුවන් වේවි කියලා හිතනවාද?

මට එහෙම වෙන්න පුළුවන්. මං තවමත් මව්පියන්ගේ යටතේ ඉන්නේ. ඒ හින්දා මේ වන විට මට ලොකුවට ආර්ථික අපහසුකම් දැණෙන්නේ නැහැ. ඉදිරියේදී තවත් නිර්මාණවලට දායක වෙමින් වෙනසක් කරමින් ස්ථාවර වෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ ක්ෂේත්‍රයේ ඉන්න කොට ඇති තරම් කටකතා හැදෙනවා?

ඒක මං දන්නවා. කටකතා මේ ක්ෂේත්‍රයට සාමාන්‍යයි. මට කටකතා හැදුනොත් ඒක පුදුමයට කාරණයක් නෙවෙයි.

මේ වන විට ඔබට ආදරවන්තියක් සිටියිද?

නැහැ.

ක්ෂේත්‍රයේ කෙනෙකු ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත්?

එයා ගැන හොයලා බලලා අම්මට කියනවා.

ඒ කියන්නේ ඔබට ගැළපෙනවා නම් නිළියක් වුණත් විවාහ වෙනවා?

ඔව්.

මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

තව නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඒවා වැට උඩ තියෙන්නේ.

ඔබව කවුරු හෝ සම්බන්ධ කර ගන්නේ කොහොමද?

මගේ ෆේස් බුක් ගිණුම හරහා මාව ඉක්මනින්ම සම්බන්ධ කරගන්න පුළුවන්. එහි නම තියෙන්නේ මාංචන තාරක පීරිස් කියලා.

සටහන - ප්‍රසාද් සමරතුංග 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 6424583334296337779

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item